යෞවනයන් සමඟ කෘෂිකර්මාන්තයට නව යුගයක්

කෘෂිකර්මාන්තය ලොව ඇති පැරණිත ම හා වැදගත්ම කර්මාන්තයකි. කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාවට වසර 2500 කටත් වැඩි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇත. එය රටේ දරිද්‍රතාව අවම කිරීමේ වැදගත් සාධකයක් වී ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 8.4% ක පමණ දායකත්වයක් සපය යි.

දේශගුණික විපර්යාස හේතුවෙන් නියඟය, ගංවතුර සහ ජෛව විවිධත්ව අහිමි වීම, පාංශු ඛාදනය, ලිංගභේද ගැටලු හේතුවෙන් කාන්තා සහභාගීත්වය අඩු වීම, ගොවීන්ගේ ආදායම අඩු වීම, කෘෂි අංශයට පිවිසීමට යෞවනයන්ගේ නැඹුරුතාව අඩු වීම, 2020 මාර්තු මස සිට ඇති වූ කොවිඩ් සීමා යනාදියෙන් ද වසර ගණනාවක සිට කෘෂිකර්මාන්තය අභියෝග රැසකට මුහුණ දී තිබේ.

තාරුණ්‍යය කොහිද? (Chang Duong – Unsplash)

කෝ අපේ තරුණ පිරිස?

“තරුණයන් අපේ අනාගතයයි” යන්න සෑම අංශයකට ම අදාළ කියමනකි. ශ්‍රම බළකායේ සහභාගීත්වය පහත වැටීමේ ප්‍රවණතාවකට මුහුණ පා සිටින බැවින් තරුණයන්ට ඊට ශ්‍රමයෙන් පමණක් නොව, කෘෂි කර්මාන්තයේ තිරසාර පැවැත්ම සඳහා නිවැරදි තාක්‍ෂණයෙන් හා නවෝත්පාදන විසඳුම් ද ලබා දිය හැකි ය.

තරුණ සහභාගීත්වයෙන් තොර ව, කර්මාන්තයේ දියුණුවට ඇති අවස්ථා අඩු ය. එහිදී තීරණාත්මක ප්‍රශ්න දෙකක් මතු වේ.

  1. යෞවනයන් කෘෂිකර්මාන්තයට අවතීර්ණ නොවන්නේ ඇයි?
  2. කෘෂි ක්‍ෂේත්‍රය තුළට තාරුණ්‍යය සමීප කර ගන්නේ කෙසේද?

යෞවනයන් කෘෂිකර්මාන්තයට අවතීර්ණ නොවන්නේ ඇයි?

කෘෂිකර්මාන්තයට තරුණ සහභාගීත්වය නොලැබීමට පහත හේතු පවතින බවට උපකල්පනය කෙරේ:

  1. අඩු මට්ටමේ රැකියා සුරක්ෂිතතාව, අඩු සමාජ පිළිගැනීම, වැටුප් සහ සමස්ත කාර්මික තිරසාරභාවයේ අඩු බව;
  2. ශ්‍රී ලංකාවේ කෘෂි අංශය තුළ ප්‍රයෝජනයට ගන්නා තාක්‍ෂණික සහ නවෝත්පාදනවල හිඟකම;
  3. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කර්මාන්තයේ අඩු වාණිජ වටිනාකම.

කෘෂි ක්ෂේත්‍රය තුළට තාරුණ්‍යය සමීප කර ගන්නේ කෙසේද?

මෙයට පිළිතුරු දීමට පෙර ඊට බලපාන සාධක ගැන සොයා බැලිය යුතු වේ.

ඒ යටතේ අවධානය යොමු කළ යුතු පළමු කරුණ ආර්ථික බලපෑම යි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.6% කින් අඩාල වූ බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන අතර, එය මෙතෙක් වාර්තාගත අඩුම වාර්ෂික වර්ධන වේගය යි. රැකියා අහිමි වීම සහ ආදායම් කපා හැරීම් සිදු වූ අතර දිළිඳුකම 2019 දී 9.2% සිට 2020 දී 11.7% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වසරේ මෙරට මුළු රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව මිලියන 8.2 ක් පමණ වූ අතර එයින් 26.5% ක් පමණ කෘෂිකර්මාන්තයේ හෝ ඊට අදාළ රැකියාවල නියුක්ත වූවෝ වෙති.

මෙම ජනගහනයෙන් බහුතරයක් ග්‍රාමීය හා වතු අංශයන්ට අයත් විය. ග්‍රාමීය ප්‍රදේශවල මුළු ජනගහනයෙන් 80% ක් පමණ වාසය කරන අතර කෘෂිකර්මාන්තයට විශාල දායකත්වයක් සපයන්නේ ඔවුන් ය. සේවා නියුක්තික ජනගහන ව්‍යාප්තිය පිළිබඳ 2019 ශ්‍රී ලංකා කම්කරු බළකායේ දිස්ත්‍රික් සමීක්‍ෂණයේ දී මෙය මීට පෙර ඉස්මතු කර තිබිණි. මෙම සංඛ්‍යාලේඛනවල දිස්ත්‍රික්කය අනුව කෘෂිකාර්මික රැකියාවල සැලකිය යුතු වෙනස්කම් ඇති බව පෙන්වා දිණි. 

ඒ අනුව, බදුල්ලේ 55.4% ක් ද නුවරඑළියේ 51.2% ක් ද මොනරාගල 48.6% ක් ද වූ අතර කොළඹ 1.6% ක් ද කෘෂිකර්මාන්තයේ නියැළී ඇති බව දක්නට ලැබිණි. කුඩා පරිමාණ වගාකරුවන් මිලියන 1.65 ක් හෙක්ටයාර දෙකකට වඩා අඩු ප්‍රමාණයක වැඩ කරන නමුත් වාර්ෂික ආහාර නිෂ්පාදනයෙන් දළ වශයෙන් 80% ක් වෙත ඔවුහු දායක වෙති. මේ අතර, දරිද්‍රතා රේඛාවට සමපාතව හෝ ඊට පහළින් ජීවත් වන ගොවීන්ගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් කුඩා පරිමාණ වගාකරුවන් ය.

කෘෂිකර්මාන්තයට පිවිසීමේදී කාන්තාවන් සහ තරුණියන් දිගින් දිගටම අභියෝගයන්ට මුහුණ දෙති (Gyan Shahane -Unsplash)

අවධානය යොමු කළ යුතු දෙවන කරුණ නම් කෘෂිකර්මාන්තයේ ස්ත්‍රී පුරුෂ විෂමතාව යි. කෘෂිකර්මාන්තයෙන් කාන්තාවන් සහ තරුණියන් බැහැර කිරීම, රැකියා අවස්ථා, සේවා සහ විශේෂිත අධ්‍යාපනයක් නොමැතිකම, සමාජ ආකල්ප හෝ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවලින් සහයෝගයක් නොමැතිකම යනාදියෙන් කෘෂි ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දක්වන්නේ 2020 දී කාන්තාවන්ගේ ශ්‍රම සහභාගීත්වය 34.3% ක් වූ අතර එයින් 27.7% ක් කෘෂිකාර්මික අංශයේ රැකියා කළ අය බව යි.

කෘෂිකාර්මික අංශයේ අවිධිමත් කාන්තා සේවිකාවන් මෙම සංඛ්‍යාවලින් පිළිබිඹු නොවන අතර එනිසා ම කෘෂිකර්මාන්තයට සහ රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය බොහෝ දුරට ඇගයීමට නොගැනේ. කෘෂිකාර්මික අංශයේ කාන්තාවන්ගෙන් වැඩි දෙනකු යැපුම් කෘෂිකර්මාන්තයේ (පවුලට සරිලන ලෙස පමණක් බෝග වගා කර ගැනීම) නියැළෙද්දී පිරිමි, වී ගොවිතැනේ නිරත වෙමින් වෙළඳපොළේ විකිණීම සඳහා වැඩි වටිනාකමකින් යුත් නැවුම් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළහ.කෘෂිකර්මාන්තයට පිවිසීමේ දී කාන්තාවෝ සහ තරුණියෝ දිගින් දිගට ම අභියෝගයන්ට මුහුණ දෙති. ඒවා අතර ණය ලබා ගැනීමේ දුෂ්කරතා, සම්පත් වෙත ප්‍රවේශය අඩු බව සහ පාලනයට ලක් වීම, දරුවන් බලා ගැනීමේ අපහසුතා සහ පුරුෂ මූලික කර්මාන්තයක් බවට සලකන වැරදි මත වැනි දෑ ඇතුළත් වේ. 

අවධානයට ලක් විය යුතු තුන්වන කරුණ නම්, පැරණි ක්‍රම සහ සම්ප්‍රදායන් අනුව කෘෂිකර්මාන්තය කළ යුතු යැයි දැඩි විශ්වාසවල එල්බ සිටීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂි තාක්‍ෂණය සඳහා විවෘත භාවයක් නොලැබී යාම යි. තාක්‍ෂණය භාවිතයේ සහ නවෝත්පාදනයේ හිඟකම යෞවනයන් කර්මාන්තයට සම්බන්ධ වීම අවම කිරීමට හේතු වේ

වැඩිහිටි පරම්පරාවට තාක්‍ෂණික උපකරණවල මිල දරා ගැනීමට නොහැකි බව මෙන්ම එවන් උපකරණ/ක්‍රම ප්‍රයෝජනයට ගැනීමට දැනුම මඳ බවක් ද පෙන්වයි. එලෙස තාක්‍ෂණික දැනුම අඩු මට්ටමක පැවතීම නිසා නාගරික අංශයට සාපේක්ෂ ව ග්‍රාමීය හා වතු අංශය අතර ඩිජිටල්  භේදය පුළුල් ව පවතී.

තාක්‍ෂණය නොමැතිකම තරුණයන් කර්මාන්තයෙන් ඈත් කිරීමට දායක වේ (jeshoots.com – Pexels)

ඉදිරි ගමන

දිනෙන් දින ඉහළ යන ජනගහනයක් මධ්‍යයේ ආහාර හිඟය ලොව පුරා තර්ජනයක් ව මතු ව ඇති හෙයින් කෘෂිකර්මාන්තය අද තරම් කිසි දිනෙක වැදගත් වී නැත. කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ලාභය ලොව පුරා රටවල සාර්ථකත්වය තුළින් පිළිබිඹු වේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික හා තාක්‍ෂණය මඟින් මෙහෙයවන නවීන කෘෂිකාර්මික ක්‍රියාවලීන් ඒකාබද්ධ කිරීම නිසා අස්වැන්න ඉහළ නැංවීම, මිනිස් පැය ගණන අඩු කිරීම, සෞඛ්‍ය සම්පන්න බෝග සඳහා දායක වීම සහ දිගු කාලීන ව පිරිවැය හා පාඩු අවම කිරීම ය. අස්වැන්න නෙළීම ස්වයංක්‍රීයකරණය කිරීමේ සිට ඩ්‍රෝන් යානා, බ්ලොක්චේන් තාක්‍ෂණය, ජාන සංස්කරණය, නාගරික කෘෂිකර්මාන්තය සහ සිරස් ගොවිතැන දක්වා වන කෘෂි තාක්‍ෂණය, ගොවීන් අතර වන දුප්පත්කම, ගොවිතැන් කළ හැකි ඉඩම් හිඟය, වේගයෙන් ඉහළ යන ජනගහනය සහ වේගයෙන් වෙනස් වන පාරිභෝගික මනාප සමඟ ලොව පවතින ගැටලුවලට “කෘෂි තාක්‍ෂණය (AgriTech)” වනාහි ඍජු පිළිතුරකි.

යෞවනයන් අතර කෘෂිකාර්මික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා කර්මාන්තයේ දියුණුව සඳහා ගාමක බලවේගයක් වූ කෘෂි තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීම   කෘෂිකාර්මික අංශයේ පවතින ගැටලු සඳහා විසඳුමක් විය හැකි ය. “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ව්‍යවසායකත්වය කෙරෙහි යෞවනයන්ගේ උනන්දුව කෙරෙහි බලපාන සාධක” යන මාතෘකාව යටතේ කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, “තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකත්වය කෙරෙහි ආකල්ප, පිළිගැනීම, ආදායම, මාපිය තෘප්තිය, මාපිය ආදායම, කෘෂි යන්ත්‍ර හිමිකම, ඉඩම් හිමිකම යනාදියෙන් බලපෑම් එල්ල වන බව ය. රජයේ සහය සහ ණය පහසුකම් ඔවුන් අපේක්‍ෂා කරන අතර මාපිය අධ්‍යාපන මට්ටම ද අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.”

එබැවින්, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ කරමින් තරුණ තරුණියන්ගේ ශක්‍ය වෘත්තීය අපේක්ෂාවක් ලෙස කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පළමු පියවර විය යුතු ය. කෘෂිකර්මාන්තයේ වැදගත්කම, ඒ හා සම්බන්ධ තාක්‍ෂණය සහ එයින් ලබා දෙන අවස්ථා බහුලභාවය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම මඟින්  කෘෂිකර්මාන්තය තමන්ට ඉහළට යා හැකි දෙයක් ලෙස සැලකීමට තරුණ තරුණියන්ට උපකාරී වේ.

කෘෂිකාර්මික නිමැවුමේ වර්ධනය සහ ස්ථාවරභාවය සහතික කිරීම සඳහා කුඩා වතු හිමියන්ට ඔවුන්ගේ පලදායිතාව තිරසාර ලෙස ඉහළ නැංවීමට උපකාර කිරීම වැදගත් වේ @no_one_cares -Unsplash

තවත් වැදගත් පියවරක් වනුයේ කෘෂි තාක්‍ෂණය, අධ්‍යාපනය, ඉහළ නිපුණතාව සහ මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීම යි. ආධුනිකත්ව පුහුණුව, සීමාවාසික පුහුණුව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ රැකියා පුහුණුව තුළින් තරුණයන්ගේ ක්‍ෂේත්‍රය කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට හැකි වන අතර ම, එම ක්ෂේත්‍රයේ වෘත්තීය අනන්‍යතාවක්  ඇති කර ගැනීමට ඔවුන්ට ඉඩ සලසයි.

කෘෂිකර්මයේ වර්ධනය සහ ස්ථාවරභාවය සහතික කිරීම සඳහා කුඩා වතු හිමියන්ට ඔවුන්ගේ පලදායිතාව තිරසාර ලෙස ඉහළ නැංවීමට උපකාර කිරීම වැදගත් වේ. මේ සඳහා ස්වාභාවික සම්පත් විනාශය අවම කිරීම, කෘෂි තාක්‍ෂණය භාවිතය, සහ නාගරික හා ග්‍රාමීය වර්ධනය සම්බන්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වේ. වටිනාකම් දාම වර්ධනය වැඩි කිරීමට ග්‍රාමීය කාන්තාවන් සහ පිරිමින් සවිබල ගැන්වීමෙන් ඔවුන්ට වෙළඳපොළ සමඟ වඩා හොඳින් සම්බන්ධ වීමට ද හැකි වේ.

රජයේ සහයෝගය මත කෘෂිකාර්මික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) වලට විශේෂ ව්‍යාපාර ව්‍යාපෘති ණය ලබා ගත හැකි අතර එමඟින් ඔවුන්ගේ ව්‍යාපාර දියත් කිරීමට හෝ වැඩි දියුණු කිරීමට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට හැක.

ඊට අමතර ව, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපත්ති සහ අයවැය උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙන් කෘෂිකර්මාන්තයට සහභාගී වන කාන්තාවන් සහ තරුණියන් සංඛ්‍යාව වැඩි කළ හැකි ය. කාන්තා සවිබල ගැන්වීමේ විශේෂඥ විගිතා රෙන්ගනාදන්පවසන්නේශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් කෘෂිකර්මාන්තයේ නියැළී සිටින නමුත් ඒ කාන්තාවන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැති බව යි.  “කෙසේ වෙතත්, මෑතකදී, බොහෝ කාන්තාවන් සහ තරුණයන් නිෂ්පාදකයන් බවට පත් වී ඇති අතර, හොඳ අස්වැන්නක් සහ ආදායමක් සඳහා නව තාක්‍ෂණයන් ඒකාබද්ධ කිරීමට ඉගෙනීමට ඔවුන් උනන්දු වෙනවා,” යි ඇය පවසයි. 

ඇය වැඩිදුරටත් පැවසුවේ: “ඔක්ස්ෆෑම් හරහා ක්‍රියාත්මක වන යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් සමාජ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය (Enhancing Gender-Inclusive Socio-Economic Development Project – EGSD), Save the Children, LEADS Sri Lanka එවැනි ගොවි-නිෂ්පාදකයන් බොහෝ දෙනකු හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ ධාරිතා වර්ධනය කරගෙන ව්‍යාපාර ශක්තිමත් කර ගන්නට උපකාර කර තිබෙනවා.” කියා ය.

බොහෝ කාන්තාවන් සහ තරුණයන් නිෂ්පාදකයින් බවට පත් වී ඇති අතර හොඳ අස්වැන්නක් සහ ආදායමක් සඳහා නව තාක්‍ෂණයන් ඒකාබද්ධ කිරීමට ඉගෙනීමට උනන්දු වෙති 

මෙම ව්‍යාපෘතිය මඟින්, බදුල්ල, මොනරාගල, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාමීය සහ වතු යෞවනයන්ට ශ්‍රමික වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන කුසලතා පුහුණුව සහ රැකියා ප්‍රවර්ධනය කිරීමෙන් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට Save the Children ආධාර කරයි. මෙය සිදු කෙරෙන්නේ බීජ අර්තාපල්, කිරි, කුරුඳු සහ කොකෝවා වටිනාකම් දාම සම්බන්ධ වෙළෙඳපොළ තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) වැඩසටහන් සම්බන්ධ කර ගැනීමෙනි.

කෘෂිකාර්මික අංශයේ රැකියා අපේක්‍ෂා කරන පුහුණුලාභී තරුණ තරුණියන් වැඩි කිරීමෙන්, දිස්ත්‍රික්ක තුනේ කෘෂිකාර්මික කර්මාන්තයේ සහ ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා TVET වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ පාසල් අධ්‍යාපනය අතහැර දමා රැකියා කළ හැකි වයසේ පසුවන හෝ රැකියා විරහිත තරුණ තරුණියන් ය.

ESGD ව්‍යාපෘතියට සමාන ව, කෘෂිකර්මාන්තය තුළ කාන්තාවන් සහ තරුණියන්, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග පොහොසත් කර ගැනීමට සහ ඔවුන්ගේ ඉදිරි ගමන පාදා ගැනීමට අත්‍යවශ්‍ය මාවතක් සකසා දීම සඳහා රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අනුග්‍රහය දක්වන වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ ආරම්භ වී තිබේ.

අභියෝගවලින් පිරි ව්‍යාපාරික ක්ෂේත්‍රයකට පිවිසීමට සහ ඔවුන්ගේ ඉලක්ක ජය ගැනීමට උපකාර කිරීම සඳහා කෘෂිකාර්මික අංශයේ නියැලුණු තරුණ ග්‍රාමීය පිරිමි හා කාන්තා ව්‍යවසායකයින් සහ සේවකයින් සඳහා ආධාරක පද්ධති ගොඩනැගීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ගණනාවක් දායක වී ඇත.

රජයේ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශයේ අඛණ්ඩ උත්සාහයට ස්තූතිවන්ත වන්නට, යෞවනයින්ට කෘෂිකර්මාන්තයට පිවිසීම සහ ඒ තුළින් කල්පවත්නා වෘත්තියක් ගොඩ නැගීම දැන් පෙර නොවූ විරූ ලෙස පහසු වී ඇත.

කෘෂිකර්මාන්තය පිළිබඳ සාමාන්‍ය ආකල්ප වෙනස් වීමත් සමඟම, කෘෂිකර්මාන්තයේ ශක්‍යතාවයන් ඇති බව යෞවනයන් වැඩි වැඩියෙන් අවබෝධ කර ගැනීමට පටන් ගෙන ඇත. කර්මාන්තය සඳහා නව අනාගතයක් ලියැවෙමින් පවතින අතර ශ්‍රී ලංකාව එහි ඉදිරියෙන්ම සිටින නමුදු, කෘෂිකර්මාන්තය නූතන තරුණ තරුණියන්ගේ සිත් දිනා ගැනීම සඳහා තව බොහෝ දුර යා යුතුව ඇත. නව කෘෂිකාර්මික යුගයක් ආරම්භ කිරීම සඳහා දැනටමත් ශ්‍රී ලංකාව නිවැරදි මාවතකට පිවිස සිටින බැවින් මෙරට ආර්ථිකයට සහ පුරවැසියන්ට යෞවනයේ හිරු කිරණ පිරි හෙට දිනක් නොබෝ කලකින් ම උදාවනු ඇත.

Related Articles