Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාතන යුගයෙහි සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු -2

පුරාතන යුගවල හෙවත් නූතන මිනිසා සම්භවය වීමට පෙර මිහිමත ජීවත් වූ, ඩයිනසෝරයන් නොවන, භයානක මෙන්ම අපූර්ව ජීවීන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු පසුගිය ලිපියකින් අප ඔබ සමඟ බෙදාගත්තා. එම ලිපි පෙළෙහි දෙවැන්න වන මේ ලිපියෙනුත්, මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියෙහි සම්භවය වී, විවිධ හේතූන් මත නෂ්ට වී ගිය එවැනි ම අපූර්ව ජීවීන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු ඔබත් සමඟ බෙදාගන්නට අප තීරණය කළා.

මොවුන් සියලු දෙනා මෙලොව ජීවත් වූ බවට විද්‍යාත්මක සාක්ෂි රාශියක් හමු වී ඇති අතර, සීමිත වන එම සාක්ෂි ඔස්සේ වැඩිදුර පර්යේෂණ සිදුකර, ඔවුන්ගේ ස්වභාවය, ආහාර රටා හා ශරීර ප්‍රමාණ වැනි දේ පිළිබඳ ව කල්පිත හා උපකල්පන ගොඩනඟන්නට විද්‍යාඥයන් කටයුතු කර තිබෙනවා. 

ක්වෙට්සලොකැට්ලස් -James Kuether

 

ක්වෙට්සලොකැට්ලස්

මෙම සත්ත්වයා සැලකෙන්නේ ලොව එදා මෙදා තුර පියාසර කළ විශාලත ම ජීවියා ලෙස යි. ටෙරොඩැක්ටිල් ඝණයට අයත් ක්වෙට්සලොකැට්ලස් සතුන් ඩයිනසෝරයන් ලෙස විවිධ චිත්‍රපට, සඟරා සහ චිත්‍රකතා වැනි දේවල සඳහන් කර තිබුණත්, ඇත්ත වශයෙන් ම මොවුන් ඩයිනසෝර කුලකයට විද්‍යාඥයන් ඇතුළත් කොට නැහැ. ඒ ඔවුන්ගේ සැකැස්ම ඩයිනසෝරයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වන නිසා යි. මොවුන් අයත් වන්නේ ටෙරසෝර කුලකයට යි.

මේ සත්ත්වයන් පිළිබඳ සාක්ෂි ලොව හමු වී තිබෙන්නේ අල්ප වශයෙනු යි. මොවුන් සම්බන්ධ, බොහෝ සෙයින් විනාශ වී ගිය පොසිල කිහිපයක් පමණක් හමු ව ඇති අතර, සම්පූර්ණයෙන් වැඩුණු, මේ විශේෂයේ සත්ත්වයකුගේ සැබෑ විශාලත්වය පිළිබඳ අදටත් විවාද තිබෙනවා. වර්තමානය වන විට සිදු කර ඇති අනුමානයන්ට අනුව, සම්පූර්ණයෙන් ම පියාපත් විදා හළ විට මෙම සත්ත්වයකුගේ පියාපත් දෙක අතර උපරිම දිග අඩි 35 ක් පමණ වෙනවා. කලින් අනුමාන කොට තිබුණේ එය අඩි 60 ක් පමණ වන බැව් මුත්,  එය අසත්‍යයක් බවට මෑත කාලීන ව තීරණය කෙරුණා. මොවුන්ගේ බර පිළිබඳ අනුමාන කිරීම ඊටත් වඩා අසීරු වී තිබෙන අතර, එය රාත්තල් 450 – 500 අතර අගයක් ගන්නා බවට අනුමාන කර තිබෙනවා.

ගෝගනොප්ස් – Pinterest.com

 

ගෝගනොප්ස්

ඩයිනසෝරයන්ට පෙර ද මෙලොව භයානක සහ විශාල සතුන් ජීවත් ව තිබෙනවා. ඊට හොඳ සාක්ෂියක් වන්නේ ගෝගනොප්ස් සතුනු යි. මීට වසර මිලියන 260 කට පමණ පෙර ලොව ගෝගනොප්ස් සත්ත්වයන් ජීවත් ව ඇති අතර, ඒවන විට ලොව ප්‍රධානත ම විලෝපික සත්ත්ව විශේෂය බවට ඩයිනසෝරයන් පත් ව තිබුණේ නැහැ.

ගෝගනොප්ස් සත්ත්වයන් දිගින් අඩි 10 ක් පමණ වෙනවා. එමෙන් ම ඔවුන් දඩයමෙහි සමර්ථ, මාංශභක්ෂක, ඉතා වේගවත් මෙන් ම ශතිමත් සත්ත්ව විශේෂයක් වූ බවට සාක්ෂි හමු ව තිබෙනවා. එම නිසා සම්භවයෙන් පසු  ඔවුන් ආහාර දාමයේ ප්‍රමුඛස්ථානයකට ඉතා ඉක්මනින් පත් වුණා. ගොදුරු අල්ලා ගැනීමට මොවුන්ට ඉතා ශක්තිමත්, තියුණු හා විශාල දත් ඇඳි දෙකක් සම්භවය වී තිබූ අතර, මොවුන්ගේ කෘන්තක හා රදනක දත් ඉතා තියුණු ලෙස උල් වී, හනුවලින් දැඩි ලෙස පිටතට නෙරා තිබුණා. මේ නිසා ඔවුනොවුන් අතර සිදුවන ඝට්ටනවල දී ඔවුනට විශාල හානියක් ද ගෙන දුන්නා. පසුකාලීන ව ආහාර දාමවල පහළ මට්ටම්වල සිදුවූ වෙනස්කම් මොවුන්ගේ ගහනයට අහිතකර ලෙස බලපෑවා.

ෆොරස්රැසිඩේ – ‘ටෙරර් බර්ඩ්’ හෙවත් ‘භයානක පක්ෂියා’ – alchetron.com 

 

ෆොරස්රැසිඩේ

ෆොරස්රැසිඩේ නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම පක්ෂී විශේෂය ලොව බොහෝ විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘ටෙරර් බර්ඩ්’ හෙවත් ‘භයානක පක්ෂියා’ ලෙස යි. මාංශභක්ෂක මේ සතුන්ට පියෑඹීමේ හැකියාව තිබුණේ නැහැ.

එම පක්ෂී විශේෂයෙහි හොඳින් වැඩුණු සත්ත්වයෙක් අඩි 3 සිට අඩි 10 තරම් දිගකට වැඩෙන අතර, උසින් අඩි 10 ක් පමණ වන බවට අනුමාන කර තිබෙනවා. මොවුන්ට පැයට කිලෝ මීටර් 30 ක තරම් වේගයෙන් දිවීමේ හැකියාව තිබී ඇති අතර ඉතා තියුණු, වක් වූ හොටක් පිහිටා තිබෙනවා. එම නිසා ගොදුරුවලට මොවුන්ගෙන් පහසුවෙන් බේරී පලා යා හැකි වූයේ නැහැ. වර්තමානයේ මොවුන්ට නෑකම් කියන පක්ෂී විශේෂයක් ලෙස ලොව ඉතිරි වී ඇත්තේ, අඟල් 35 ක පමණ දිගින් යුක්ත, ‘සෙරීමා’ නම් පක්ෂි විශේෂය පමණ යි. එම විශේෂය කිසිදු ලෙසකින් භයානක නොවන මුත්, මෙම ‘ටෙරර් බර්ඩ්’ නම් ඉතා භයානක සත්ත්ව විශේෂයක් බවට පත්ව තිබූ බවට සාක්ෂි හමු ව තිබෙනවා. වසර මිලියන 60 ක පමණ කාලයක් ලොව ප්‍රධානත ම විලෝපිකයා ලෙස වැජඹී ඇත්තේ මෙම පක්ෂි විශේෂය යි.

මෙගාතීරියම් – Mauricio Anton

 

මෙගාතීරියම්

මෙගාතීරියම් නම් සත්ත්වයන් වර්තමාන ‘ස්ලොත්’ සත්ත්වයන්ට නෑදෑකම් කියනවා. කෙසේ නමුත් කිසිදු හානියක් නොමැති, ඉතා උදාසීන, ඉතා සෙමෙන් ගමන් කරන ස්ලොත් සත්ත්වයන් මෙන් නොව මෙම මෙගාතීරියම් සතුන් නම් භයානක, මාංශභක්ෂක සතුන් කොටසක් සේ ලොව ජීවත් වී තිබෙනවා. මොවුන් ද ස්ලොත් සත්ත්වයන්ට සමාන ජීවන රටාවක් පෙන්වා තිබෙන අතර, ඔවුන් ඊට වඩා බොහෝ සෙයින් විශාල බව විද්‍යාඥ මතය යි. මොවුන් වලසකුගේ රූප ස්වභාවය දක්වා තිබෙන අතර, වර්තමාන අලියකු තරම් විශාල ව වැඩී සිට තිබෙනවා.

අලියකුගේ මෙන් නොව මෙම සතුන්ට විශාල නිය පිහිටා ඇති බව පැවසෙනවා. මේ නිසා ඔවුනට තම ශරීර ප්‍රමාණයටත් වඩා උසක් දක්වමින්, පසුපස ගාත් දෙකෙන් සිටගෙන සිටීමේ හැකියාව තිබී තිබෙනවා. මෙම ලිපි ද්විත්වයෙන් සඳහන් අනෙක් සතුන් මෙන් නොව, මෙම සතුන් වර්තමාන මිනිසා සමඟ සමකාලීනව ජීවත්ව සිටින්නට ඇති බැව් විද්‍යාඥ මතය වෙනවා. ඊට හේතු වන්නේ, දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙම සතුන් ලොවෙන් සදහට ම වඳ වී ගොස් ඇත්තේ මීට වසර 10,000 කට පමණ පෙර මෑත අතීතයේ වීම යි.

තැලටෝකාකන් – Raul Martin / 2013 National Geographic

 

තැලටෝකාකන්

 තැලටෝකාකන් සත්ත්වයන්, සාගරබදව ජීවත් වූ , අඩි 28 ක පමණ දිගින් යුක්ත උරග විශේෂයක් වෙනවා. මොවුන් සතු වූ අති විශාල හනු හා ශක්තිමත් දත් දෙපෙළ නිසා ඔවුන්ගේ ශරීර ප්‍රමාණයට සමාන සත්ත්වයන් පවා ගොදුරු කර ගැනීමේ සමත්කම් දක්වා තිබෙනවා. තවත් විශේෂත ම කාරණාවක් වන්නේ මොවුන් පිළිබඳ විද්‍යාඥයන් කරුණු සොයා ගත්තේ ඉතාම මෑතක දී හෙවත් 2013 වසරේ දී වීම යි. මේ නිසා තවමත් මොවුන් පිළිබඳ තොරතුරු විශාල ලෙස අනාවරණය වී නැහැ.

ඉහත දැක්වෙන්නේ වර්තමානය වන විට විද්‍යාඥයන් හඳුනා ගෙන ඇති පුරාත්න ජීවී විශේෂ කිහිපයක් පිළිබඳ තොරතුරු යි. මෙලෙස තවමත් සොයා නොගත් විශේෂ දහස් ගණනක් සිටින්නට හැකි බැව් ඔවුන්ගේ මතය යි. එම නිසා සැබැවින් ම මොවුන්ටත් වඩා විශාල, භයානක, වේගවත් සතුන් ලොව අනිවාර්යයෙන් ම සිටින්නට ඇති බැව් ඔවුන් පවසනවා. 

පුරාතනයේ සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු පළමු ලිපියට පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය - 'ටෙරර් බර්ඩ්' හෙවත් 'භයානක පක්ෂියා'ගේ ඇටසැකිල්ලක් -  Amanda/Wikipedia 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Cnet.com

Rd.com

Related Articles