ලොව විශාලම පක්ෂියා වන පැස්බරා

ඇතැමුන් විසින් ඔටු කුරුල්ලා නමින් හදුන්වන පැස්බරා ලෝකයේ ජීවත්වන විශාලතම කුරුළු වර්ගයයි. බොහෝ දෙනා නමින් අසා තිබෙන පැස්බරා පිළිබඳ ඊට වඩා සවිස්තරාත්මක විස්තරයක් ගෙන ඒම මෙම ලිපියේ බලාපොරොත්තුවයි. මෙහිදී පැස්බරුන්ගේ උප වර්ග, ඔවුන්ගේ විශේෂ ශාරීරික ලක්ෂණ, පැස්බරා සතු විශේෂ හැකියාවන්, තම වර්ගයා බෝකරන ආකාරය පිලිබදව සාකච්ඡා කෙරෙනු ඇත​.

en.wikipedia.org

අප්‍රිකානු සතෙකු වන පැස්බරා තණබිම් සිට කාන්තාර දක්වා ව්‍යාප්තව සිටි. ලෝකය පුරා ඇති සත්ව උද්‍යාන තුල මෙම කුරුළු වර්ගය මිනිසුන්ට දැක ගත හැකිය. පැස්බරාට පියෑඹීමට​ නොහැක. නමුත් ඉතා වේගයෙන් දිවීමේ හැකියාවක් පවතී. මොවුන්ගේ පියවර දෙකක් අතර දුර මීටර 3-5ත් අතර වේ. පැස්බරුන් ප්‍රමාණයෙන් ඉතා විශාල බිත්තර දමන අතර ඒවා බොහෝවිට හයිනාවන්ගේ හා ඊජිප්තු ගිජුලිහිණියන්ගේ ගොදුරු බවට පත්වේ.

සාමාන්‍ය පැස්බරුන් පහත ආකාරයට උප වර්ග වලට බෙදා දැක්විය හැකිය.

  • උතරු අප්‍රිකානු පැස්බරා – වඩාත් බහුලව දැකිය හැකි වර්ගයයි. උතුරු අප්‍රිකානු ප්‍රදේශ වල ව්‍යාප්තව සිටි. රතු පැහැයට හුරු රෝස පැහැයෙන් යුතු ගෙලක් දක්නට ලැබේ.
  • දකුණු අප්‍රිකානු පැස්බරා – මොවුන් වැඩි වශයෙන් මාංශ ලබාගැනීමට හා සම් ලබාගැනීමට ඇති කිරීම කරයි. ගෙල කළු පැහැයක් ගනී.
  • මසායි පැස්බරා – මොවුන්ගේ හිසේ කුඩා පිහාටු දැකිය හැක. කලව සහ බෙල්ල රෝස පැහැයක් ගනී. මෙම වර්ගය දකුණු කෙන්යාව, නැගෙනහිර ඉතියපියාව හා දකුණු සෝමාලියාවට සිමාවේ
  • අරාබියන් පැස්බරා – මොවුන් සිරියන් පැස්බරුන් ලෙසද හැදින්වේ. අරාබියානු අර්දද්විපය හා සිරියාවේ බහුලව දැකිය හැකි විය​. මොවුන් 1966දි පමණ වදවී ගොස් ඇත.

ශාරීරික ලක්ෂණ

MacMillan Dictionary

පිරිමි සත්වයාට කළු හා සුදු වර්ණ පිල් කලබක් ඇත. ගැහැණු සත්වයා දුබුරු පැහැයක් ගනී. ගැහැණු පිරිමි දෙපාර්ශවයම දිගු බෙල්ලක් හා දිගු පාද යුගලකින් සමන්විත වේ. මීටර් 3ක් පමණ උසින් යුතු වන මෙම සත්වයා කිලෝග්‍රෑම් 150ක් පමණ බරකින් යුතු වේ. මොවුන්ගේ පාද වල ඇගිලි දෙක බැගින් ඇත.

පැස්බරාට පියාපත් ඇතැත් ඒවා පියෑඹීමට​ උපකාරී නොවේ. වේගයෙන් දුවන විට දිශාව වෙනස් කිරීමට හා සමබරතාව රැකගැනීමට පියාපත් උපකාරී වේ. තවද විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීමටද ඔවුන් පියාපත් යොදාගනී.

පැස්බරාගේ විශේෂත්වයන්

ashworthafrica.com

පැස්බරාගේ දිගු පාද යුගල නිසා පැයට කිලෝමීටර 70  පමණ වේගයෙන් දිවීමට හැකියාව ලැබී ඇත. එය ගොඩබිම පක්ෂියෙකු සතු උපරිම දිවීමේ වේගය ලෙස සැලකේ. සාමාන්‍යයෙන් රංචු වශයෙන් ජීවත් වන පැස්බරාගේ රංචුවක සතුන් 10 සිට 100 දක්වා සිටි. සතුරන්ගෙන් ආරක්ෂා වීමට මෙය ඔවුනට උපකාරී වේ. වැඩුණු පැස්බරෙකු සතුරකුට එල්ල කරන පා පහරක් සිංහයෙකු පවා මරාදැමීමට තරම් ප්‍රබල වේ.

පැස්බරාගේ ප්‍රධාන ආහාරය වන්නේ ශාක කොටස් වන නමුත් අපෘෂ්ටවංශික කුඩා සතුන්ද ආහාරයට ගනී. මොවුන් තරමක ආහාර ප්‍රමාණයක් උගුර තුල එක්රැස් කර පසුව ගිල දැමීම සිදු කරයි. මොවුනට දිගු ආහාර ජීර්ණ පධතියක් හිමිවේ. ජලය අඩුවෙන් පානය කරන අතර ඔවුන් ලබා ගන්නා ආහාර වලින්ම ඒවා ජීර්ණය වීමට හා ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය සපුරා ගනී.

සතුරන් දුටුවිට වැල්ලේ හිස සඟවා ගන්නේද?

todayifoundout.com

ඇතැම් අවස්ථාවල පැස්බරා සිය හිස බිමට පහත් කරනු දකින්නට පිළිවන​. මේ හේතුවෙන් ඌ වැල්ලේ හිස සඟවා ගන්නේ යන කතාව නිර්මාණය වී ඇත​. එය සත්‍යය පිළිනොගෙන බොරුවට සැඟවෙන මිනිසුන් හැඳින්වීමේ උපමාවක් ලෙස ද යොදා ගනී. ඊට හේතුව තමාගේ විශාල ශරීරය පෙනෙන්නට ඇති විට හිස පමණක් සගවා ගැනීම විසුළු සහගත නිසාවෙනි.

නමුත් මෙහිදී සැබෑ ලෙසම සිදු වන්නේ අනෙකකි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවීමට පැස්බරා වැලි සහ ගල් ගිල දමයි. ඒ සඳහා පොළොවට නැඹුරු වීම හිස සඟවා ගැනීමේ මිත්‍යාවට හේතු වී ඇත​.

සත්‍ය වශයෙන්ම නම් සතුරකු ඉදිරියේ පැස්බරා සැඟව යන්නේ නැති අතර ඉතා ආක්‍රමණකාරී වේ.

වර්ගයා බෝ කිරීම

පැස්බරු රංචුවක සාමාන්‍යයෙන් ප්‍රධාන පිරිමි සත්වයෙක් හා ගැහැණු සත්වයෙක් දැකිය හැක. මොවුන් වරකට බිත්තර 7 -10ත් අතර ප්‍රමාණයක් දමයි. බිත්තර රැකීම දවල් කාලයේ ගැහැණු සතුන්ද රාත්‍රි කාලයේදී පිරිමි සතුන් විසින්ද කරනු ලබයි. පැස්බර බිත්රයක් අගල් 6ක් පමණ දිගින් යුතු වන අතර අගල් 5ක් පමණ පළලින් යුතු වේ. බර කිලෝග්‍රෑම් 1.5 පමණ වේ.

රංචුවේ ප්‍රධාන ගැහැණු සත්වයා හා පිරිමි සත්වයාට අමතරව අනෙකුත් සාමාජිකයන් දමන බිත්තරත් ප්‍රධාන ගැහැණු සහත්වයා බිත්තර දමන කුඩුවේම දමයි. මෙහිදී ප්‍රදාන ගැහැණු සත්වයාගේ බිත්තර ආරක්ෂා සහිතව කුඩුව මැද්දට වන්නට තබා පරිස්සමින් රැකීම සිදු කරයි.

scienceabc.com

කුඩා පැටවුන් බිහිවී දින කීපයක් තුල තම රංචුවේ වැඩුණු පැස්බරුන් සමග ආහාර සොයා යාමට පටන් ගනී. වසර 3ක් 4ක් යනතුරු ගැහැණු හා පිරිමි ලෙස පැටවුන් වෙන් කර හදුනා ගැනීම අපහසු වේ. අවුරුදු 4කින් පමණ පසු ඔවුන්ගේ ගැහැණු පිරිමි බව අනුව වර්ණයන් හා පිහාටු ලැබීම සිදුවේ. මෙහිදී පිරිමි සත්වයාට කළු හා සුදු වර්ණ පිල් කලබක් වැඩෙන අතර ගැහැණු සතුන් දුඹුරු පැහැයට හුරු පිහාටු ලබයි. කුඩා පැටවුන්ගේ වර්ධනය මසකට අඩියක් පමණ වේ.

සතුරු කරදරයකදී ගැහැණු සතුන් හා පැටවුන් ආරක්ෂාව පිණිස පඳුරු අතර සඟවයි. විලෝපිකයින් සමග බොහෝවිට සටන් කරන්නේ පිරිමි සතුන්ය. මේ සදහා ඔවුන්ගේ හොදින් වැඩුණු ශක්තිමත් පාද උපයෝගී කර ගනි.

කවරයේ පින්තුරය – en.wikipedia.org

Related Articles