Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝස පැහැති මඩු මත්ස්‍යයා: Inspector Clouseau

ලොව ඇති අපූර්වත ම නිර්මාණය වන පරිසරය නිර්මාණය වී ඇති ප්‍රධාන කොටස් දෙකක් ලෙස ගස්වැල් සහ සතුන් හැඳින්විය හැකි ය. ගස්වැල් සහ සතුන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන ඕනෑම අයකුට ඒ හා බැඳුණු පුදුම සහගත කරුණු රැසක් සොයා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිත මුහුදේ ජීවත් වන, 2015 වසරේ දී මුල්වරට හඳුනා ගත් රෝස පැහැති මඩු මත්ස්‍යයා සත්ත්ව ලෝකයේ එවැනි අපූරු නිර්මාණයකි. මෙම මත්ස්‍යයා පිළිබඳ ව මේ වන විට පර්යේෂණ ගණනාවක් සිදු කර තිබේ. වඩාත් වැදගත් කරුණ වන්නේ එම පර්යේෂණ මේ වන විට තවත් සුවිශේෂී සොයාගැනීම් රැසකට මුල පුරා තිබීම යි.

මේ අපූරු මත්ස්‍යයා සහ එම පර්යේෂණ  පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සොයා බලමු.

රෝස පැහැති මඩු මත්ස්‍යයා – www.nationalgeographic.com

කැමරා කාචයට හසු වූ රෝහ පැහැති මඩු මත්ස්‍යයා

ඡායාරූප ශිල්පියකු වන ක්‍රිස්ටියන් ලේන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයට දකුණු දෙසට වන්නට පිහිටි දූපතක් අසල 2020 වසරේ පෙබරවාරි මස දිනක  මුහුදේ කිමිදෙමින් ඡායාරූප ගනිමින් සිටියේ ය. එක්වර ම රෝස පැහැති, දීප්තිමත් මඩු මත්ස්‍යයකු තමන් අසලින් පිහිනා යන අයුරු සිය කැමරා කාචයට හසු වනු  දුටු ක්‍රිස්ටියන් පුදුමයට පත් විය. රෝස පැහැති මඩු මත්ස්‍යයකු පිළිබඳ ව කිසි දිනෙක අසා නොතිබූ ඔහු සිතුවේ සිය කැමරාවේ දෝෂයක් නිසා එම මත්ස්‍යයා රෝස පැහැයෙන් පෙනෙන්නට ඇති බව යි.

ඔහු පසු අවස්ථාවක සිය අත්දැකීම විස්තර කර තිබුනේ පහත පරිදි ය:

“මං කවදාවත් අහලා තිබුණේ නැහැ ලෝකයේ කිසිම තැනක රෝස පාට මඩුවන් ඉන්නවා කියලා. ඒ නිසා මං මුලින් ම හිතුවේ මගේ කැමරාවේ යම්කිසි දෝෂයක් නිසා සාමාන්‍ය මඩුවෙක් රෝස පැහැයෙන් කැමරාවට හසු වෙලා ඇති කියලා”

මහා බාධක කොරල් පරය – www.britannica.com

සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප

කෙසේ වෙතත් තමන් එදින ඡායාරූපගත කර ඇත්තේ වට ප්‍රමාණය අඩි දහයක් පමණ වන ශරීරයකට හිමිකම් කියන රෝස පැහැති මඩු මත්ස්‍යයකු බව ඔහුට පසුව දැනගන්නට ලැබිණි. 2020 වසරේ පෙබරවාරි මස ඔහු මෙම සිදුවීමට මුහුණ දී තිබුණේ ය. ඔහු එදින ලබා ගත් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ අතර ඒවා විදුලි වේගයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වන්නට වූයේ ඔහු ද පුදුමයට පත් කරමිනි. ඒ සමඟ මසත්ත්ව විද්‍යාව පිළිබඳ  ලොව පුරා උනන්දුවක් දක්වන පුද්ගලයන් අතර මෙම මත්ස්‍යයා පිළිබඳ විශාල කතාබහක් ඇති විය.

මුල් වරට හඳුනා ගැනීම

එම මත්ස්‍යයා මුල්වරට හඳුනා ගෙන තිබුනේ 2015 වසරේ දී ය. ලෝ ප්‍රකට පින්ක් පැන්තර් කතා මාලාවේ එන විකට චරිතයක් වන ‘Inspector Clouseau’ නමින් නම් කර ඇති මෙම මත්ස්‍යයා දැනට ලෝකයේ හඳුනා ගෙන ඇති එකම රෝස පැහැති මඩු මත්ස්‍යයා ලෙස සැලැකේ. 2015 වසරේ දී හඳුනා ගැනීමෙන් පසුව මෙම මත්ස්‍යයා මිනිස් ඇසට හසු වී ඇති අවස්ථා ගණන දහයකටත් අඩු ය. ඒ නිසාම ක්‍රිස්ටියන් පවසා ඇත්තේ මෙම මත්ස්‍යයා දැකගන්නට ලැබීම පිළිබඳව තමන් අතිශයින් ම සතුටට පත් වන බව යි.

මත්ස්‍යයාගේ උදර පෙදෙස – www.cosmosmagazine.com

ශරීර වර්ණය පිළිබඳ පර්යේෂණ

ඕස්ට්‍රේලියානු පර්යේෂක කණ්ඩායමක් වන ‘Project Manta’ හි විද්‍යාඥවරුන් මුලින් අනුමාන කළේ සමේ ඇති වූ යම්කිසි ආසාදන තත්ත්වයක් නිසා හෝ පරිභෝජනය කරන යම්කිසි ආහාරයක් නිසා මෙම මත්ස්‍යයාගේ ශරීරය රෝස පැහැයට හැරී ඇති බව යි.

ෆ්ලැමින්ගෝ නම් පක්ෂීන් ගන්නා ආහාර නිසා ඔවුන්ගේ ශරීර රෝස පැහැයට හුරු වන ආකාරයෙන් මෙම මඩුවාගේ ශරීරය ද ආහාර නිසා රෝස පැහැයක් ගෙන ඇති බව ඔවුහු මුලින් නිගමනය කළහ.

ෆ්ලැමින්ගෝ පක්ෂියා – www.thoughtco.com

කෙසේ වෙතත් 2016 වසරේ දී එම පර්යේෂක කණ්ඩායමේ විද්‍යාඥවරියක් වන ඇමීලියා ආම්ස්ට්‍රෝං මෙම මත්ස්‍යයාගේ සමෙන් කුඩා පටක කොටසක් ලබාගෙන කළ පරීක්ෂණයකින් අනතුරුව නිගමනය කර ඇත්තේ ‘Inspector Clouseau’ ගේ ශරීරයේ වර්ණය ස්වාභාවික ශරීර වර්ණය බව යි.

ඉදිරි පර්යේෂණ සඳහා රුකුලක්

මේ වන විට මෙම පර්යේෂණ කණ්ඩායමේ අදහස වන්නේ මෙම මත්ස්‍යයා ගේ ශරීරයේ ඇති මෙලනින් සංඝටකවල ඇති යම්කිසි විකෘතිභාවයක් නිසා රෝස වර්ණය ලැබී තිබිය හැකි බව යි.

“මෙම මත්ස්‍යයා හුදෙක් සාමාන්‍ය මත්ස්‍යයෙක් නොවේ. ඔහුගේ ශරීර වර්ණය ඇති වීම සඳහා හේතු වූ කරුණු අධ්‍යනය කිරීම මඟින් මඩුවන්ගේ ශරීර වර්ණය පරිණාමය වූ ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි වනු ඇති,” යනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයෙක් මෑතකදී සඳහන් කළේ ය.

මඩු මසුන් පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තාවක් – www.betterposters.blogspot.com

‘erythrism’ නම් විකෘතිය නිසා ඇති වූ තත්ත්වයක් බවට මතයක්

ලුසියානා හි නිකොලස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ජලජ පරිසර විද්‍යාඥයකු වන සොලමන් ඩේවිඩ් සඳහන් කර ඇත්තේ මෙම මඩු මත්ස්‍යයා, සතුන්ගේ ශරීර වර්ණය රතු හෝ රෝස බවට පත් කිරීමට හේතු වන ‘erythrism’ නම් විකෘතිතාවකින් පෙලෙන බව යි. මත්ස්‍යයන්ගේ ශරීර වර්ණය වෙනස් වීම සඳහා බලපාන වෙනත් විකෘති තත්ත්වයන් පිළිබඳ සැලකීමේ දී මෙවැනි තත්ත්වයක් පැවතීම බලාපොරොත්තු විය නොහැකි කරුණක් නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.

සුදු සහ කළු මිශ්‍ර පැහැති මඩු මත්ස්‍යයෙක් – www.ocean.si.edu

සාමාන්‍ය මඩු මත්ස්‍යයා

සාමාන්‍යයෙන් කොරල්පර ආශ්‍රිත ව ජීවත් වන මඩු මත්ස්‍යයන් ප්‍රධාන වශයෙන් සම්පූර්ණයෙන් කළු, සුදු, හෝ කළු සුදු මිශ්‍ර වර්ණයක් ගනී. ඒ අතරින් බහුල ව දැකිය හැක්කේ කළු සහ සුදු යන වර්ණ දෙකෙන් ම යුතු මඩුවන් බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

එවැනි මත්ස්‍යයන්ගේ ශරීරයේ ඉහළ කොටස කළු පැහැයක් ගන්නා අතර පහළ කොටස, එනම් උදරය කොටස සුදු පැහැයක් ගනී. ඒ ආකාරයෙන් ශරීරයේ ඉහළ සහ පහළ කොටස් වර්ණ දෙකකින් යුක්ත වීම නිසා ඔවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂකයන්ගේ මතය වේ.

සම්පූර්ණයෙන් කළු පැහැති මඩු මත්ස්‍යයෙක් – www.bigfishexpeditions.com

සොලමන් ඩේවිඩ් සඳහන් කර ඇත්තේ මඩු මත්ස්‍යයන් ඉපදී ඉතා කෙටි කාලයක් වැඩෙන බව යි. ඔහු පවසන අන්දමට සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු මඩුවකුගේ බර ටොන් එකකට ආසන්න විය හැකි ය. ඒ අයුරින් ඉක්මනින් වර්ධනය වීම නිසා ඔවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාවක් පවතින බව ඔහුගේ මතය යි.

ඔහු සඳහන් කරන්නේ දුර්ලභ ශරීර වර්ණය හෝ වෙනත් හේතු නිසා මෙම මත්ස්‍යයන් ආරක්ෂා කිරීමට ස්වාභාවික පරිසරයෙන් ඈත් කර තැබුවහොත් එය මත්ස්‍යයන්ට අහිතකර වනු ඇති බව යි.

දැවැන්ත මඩු මත්ස්‍යයෙක් – www.nitroexpress.com

නිල් පැහැති මඩු මත්ස්‍යයෙක්?

 ඉහත කී ඕස්ට්‍රේලියානු පර්යේෂක කණ්ඩායම මේ වන විට තවත් මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත මඩු මත්ස්‍යයන් සිටී ද යන්න සෙවීම සඳහා පර්යේෂණ ආරම්භ කර තිබෙයි. මෙම රෝස පැහැති මඩු මත්ස්‍යයාගේ ශරීර වර්ණය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී එවැනි තත්ත්වයන් සහිත තවත් මසුන් සිටිය හැකි බව අනුමාන කළ හැකි බැවින් එම පර්යේෂණ ආරම්භ කළ බව එම කණ්ඩායමේ සාමාජිකයෙක් සඳහන් කර තිබේ. මේ වන විට නිල් පැහැති ශරීරයකට හිමිකම් කියන මඩු මත්ස්‍යයකු සිටින බවට ද තොරතුරු ලැබී තිබෙන බවත් ඔහු පවසා තිබේ.

මඩු මත්ස්‍යයන් මුහුණපාන තර්ජන

වර්තමානය වන විට ආහාරයට ගැනීම සඳහා මඩු මත්ස්‍යයන් ඇල්ලීම රටවල් රැසක ව්‍යාප්ත වී ඇති නිසා මඩුවන් ගහණය බොහෝ සෙයින් අඩු වෙමින් පවතී. විශේෂයෙන්ම මඩු මත්ස්‍යයන් සිය වර්ගයා බෝ කිරීම අතින් තරමක් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන බැවින් විශාල වශයෙන් දඩයම් කිරීම මඩු මත්ස්‍ය ගහණය සැලකිය යුතු ලෙස පහළ බැසීමට හේතු විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදේ ජීවත් වන මඩු මත්ස්‍යයන් විශාල ලෙස දඩයමට ලක් වේ.

ධීවරයන්ට හසු වුණු මඩු මත්ස්‍යයෙක් –  www.nitroexpress.com

කවරයේ ඡායාරූපය- මහා බාධක කොරල්පරය ආශ්‍රිත ව ජීවත් වන රෝස පැහැති මඩු මත්ස්‍යයා - www.nationalgeographic.com

මූලාශ්‍ර- www.nationalgeographic.com

www.newscientist.com

www.boredpanda.com

www.abc.net.au

Related Articles