උත්තර ධ්‍රැවයේ දියවෙන අයිස් අබියස හිම වලසුන්ගේ දුක්බර ඉරණම

මිනිස් ජනාවාසයන්ට බොහෝ දුරින් පිහිටා ඇති හුදෙකලා පරිසරයන් හි වාසය කරන හිම වලසුන් දැක ගැනීම සඳහා ජීව විද්‍යාඥයින්ට පවා අවස්ථාවක් හිමි වන්නේ ඉතාමත් කලාතුරකින් බව පැවසීම බොරුවක් නෙමෙයි. ඒ නිසා හිම වලසෙකුගේ මූලික හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාඥයෙකුට පවතින ප්‍රධාන ම මූලාශ්‍රයන් ලෙස දශක 4 කට පමණ පෙර කැනේඩියානු ජීව විද්‍යාඥයෙකු වූ ඉයන් ස්ටර්ලින් විසින් හිම වලසුන්ගේ හැසිරීම සහ ආහාර සොයා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ ව වාර්තා කරන නිරීක්ෂණයන් සහ උත්තර ධ්‍රැවයේ වාසය කරන ස්වදේශිකයන් සතු දැනුම හැඳින්විය හැකි යි.

© Natallia

තොරතුරුවල පවතින හිඟකම හේතුවෙන් උත්තර ධ්‍රැවයේ අයිස් දිය වීම සමග ඇති වී තිබෙන පාරිසරික වෙනස්වීම්වලට හිම වලසුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීම, හිම වලසුන් රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය යි. මෙයට පිළියමක් ලෙස කැලිෆෝනියා සරසවියේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන ඇන්තනි පාගානෝ, ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය, සංරක්ෂණය සඳහා වන සැන් දියාගෝ සත්ත්වෝද්‍යාන ආයතනය සහ ජීව විද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ඇට්කින්සන් සමග එක් ව 2013 වර්ෂයේ සිට හිම වලසුන්ගේ හැසිරීම සහ ශරීර ලක්ෂණ නිරීක්ෂණය කිරීම සිදු කරනවා.

ඔවුන් මෑතක දී හිම වලසුන්ගේ චාර්යා රටාවන් පිළිබඳ සවිස්තර තොරතුරු සහ පරිවෘත්තීය දත්ත ඇතුළත් වාර්තාවක් එළි දක්වා තිබුණා. එහි සඳහන් වන අන්දමට මෙතෙක් කාලයක් විද්‍යාඥයින් උපකල්පනය කර තිබුණාට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් හිම වලසෙකුට අවශ්‍ය වෙනවා. එසේ ම හිම වලසෙකු තම ආහාර වේල සපයා ගැනීම සඳහා සීල් මත්ස්‍යයන් මත කොපමණ රඳා පවතිනවා යන කරුණ එම වාර්තාවේ ඉස්මතු කර පෙන්වා තිබෙනවා.

(© Keenpress Photography)
ක්‍රමයෙන් දියවෙන උත්තර ධ්‍රැවය

හිම වලසෙකුට කොතරම් ශක්තියක් අවැසි ද?

කැනඩාවට උතුරු දෙසින් බෝෆෝට් මුහුද ආශ්‍රිත ව වාසය කරන හිම වලසුන්ගේ සංඛ්‍යාව, පැවැත්ම සහ ශරීර සෞඛ්‍ය ක්‍රමයෙන් පිරිහී ගොස් ඇති බව යි, වාර්තා පෙන්වා දෙන්නේ. පර්යේෂකයින් උපකල්පනය කරන අන්දමට එයට හේතු වී ඇත්තේ හිම වලසුන් දිනෙකට දඩයම් කරන සීල් මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව පහළ ගොස් තිබීම සහ ආහාර සොයා ඇවිදීමට සිදු වී ඇති දුර ප්‍රමාණය වැඩි වීම යි. මෙය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට සහ අභිජනනයට අහිතකර ලෙස බලපෑම් කරන ශක්ති අසමතුලිතතාවයකට හේතු වී තිබෙනවා. නමුත් මෙවැනි සෘනාත්මක​ ශක්ති අසමතුලිතතාවක් මග හරවා ගැනීම සඳහා හිම වලසෙකුට කොතරම් ශක්ති ප්‍රමාණයක් අවැසි වනවා ද යන්න පිළිබඳ ව විද්‍යාඥයින් තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ.

© David C. Irey

මෙයට පිළියමක් ලෙස සත්ත්ව විද්‍යාඥයින් යෝජනා කරන්නේ තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් හිම වලසුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන්, හැසිරීම, ආහාර සපයා ගැනීමේ ක්‍රම සහ චලනයන් නිරීක්ෂණය කර යළි ශක්ති සමතුලිතය ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට අවැසි සහයෝගය ලබා දීම යි. නමුත් අදාළ තාක්ෂණික උපකරණ, – 30ºC ක් තරම් සීතල පරිසරයක දී භාවිතා කිරීම සුදුසු තරම් දියුණු නොවීම හේතුවෙන් මෙම අරමුණ මුදුන් පත් කර ගැනීම සඳහා තවත් අවුරුදු කිහිපයක් ගත වීම වැළැක්විය නොහැකි යි.

නුදුරේ දී දරුණු සාගතයක් ඇති වෙයි ද?

මෙවැනි තාක්ෂණික බාධාවන් පවතින විට දී පවා දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වය හමුවේ හිම වලසුන් ව ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසීමේ අරමුණෙන් පර්යේෂකයන් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන්, හැසිරීම, ආහාර සපයා ගැනීමේ ක්‍රම සහ චලනයන් නිරීක්ෂණය කිරීම නොකඩවා සිදු කරන අතර දැනට විද්‍යාඥයින්ට මුහුණ දී ඇති ප්‍රබල ගැටලුවක් වන්නේ හිම වලසෙකුගේ දෛනික ශක්ති අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නේ කෙසේ ද යන්න යි. දළ වශයෙන් ම මෙතෙක් කාලයක් විද්‍යාඥයින් උපකල්පනය කර තිබුණාට වඩා අඩු තරමේ 1.6 ගුණයක් වැඩි ශක්ති ප්‍රමාණයක් හිම වලසෙකුට අවශ්‍ය වන බවට විද්‍යාඥයින් නිගමනය කර තිබෙනවා.

© Elliott Neep

එසේ ම හිම වලසුන්ට පළඳවා ඇති වීඩියෝ කරපටි මගින් තම ආහාර සපයා ගැනීම සඳහා හිම වලසෙකුට දැරීමට සිදු වන වෙහෙස මැනවින් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් හිම වලසෙක් ආහාර පිණිස සීල් මත්ස්‍යයෙකු සොයා ගැනීම සඳහා දිනෙකට පැය කිහිපයක් ගත කරන අතර සීල් මත්ස්‍යයින් වාසය කරන ගුලක් සොයා ගැනීමෙන් අනතුරු ව ගොදුර​ අල්ලා ගැනීම සඳහා කුරුමානම් අල්ලමින් මිනිත්තු කිහිපයක් ගත කරනවා. ඔහුගේ කුරුමානම සාර්ථක වුවහොත් දෙපයින් නැගී සිටින හිම වලසා, අයිස් තට්ටුව බිඳගෙන ඉලක්කයට කඩා පනින අතර සීල් මත්ස්‍යයාගේ බෙල්ලෙන් අල්ලාගෙන ගොඳුර අඩපණ කරනවා.

නමුත් දැන් දැන් ක්‍රමයෙන් ආහාර සඳහා සීල් මත්ස්‍යයින් හිඟ වීම නිසා හිම වලසුන්ට තම ආහාර බෙදාහදා ගැනීමට සිදු වී තිබෙනවා. එසේ ම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ආහාර සොයාගෙන දිගු දුරක් තරණය කිරීම සිදු වී ඇති බැවින් හිම වලසුන්ගේ බර සති දෙකක කාලයක් තුළ රාත්තල් හතළිහකින් (කිලෝග්‍රෑම් දහඅටක්) පමණ පහළ යා හැකි බව යි. එසේ ම පර්යේෂකයින් නිරීක්ෂණය කර ඇත්තේ සීල් මසුන්ගෙන් සමන්විත ආහාර වේල් කිහිපයක් ලබා ගැනීම තුළින් අහිමි වූ බර ප්‍රමාණය දින කිහිපයකින් නැවත අත් කර ගැනීමට හිම වලසුන්ට හැකි බව යි. හිම වලසුන්, ශක්තිය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් සීල් මසුන් මත යැපෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

(© Mike Lockhart)
සීල් මත්ස්‍යයෙකු පැමිණෙන තෙක් ගුලක් අසල බලා සිටින හිම වලසෙක්

ජීව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ උත්තර ධ්‍රැවයේ අයිස් දියවීම දිගින් දිගට ම සිදු වුවහොත් ක්‍රමයෙන් පහළ යන සීල් මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව හේතුවෙන් හිම වලසුන්ට ආහාර හිඟකමකට මුහුණ දීමට සිදු විය හැකි බව යි. එසේ වුවහොත් ආහාර සොයා හිම වලසුන්ට දිගු දුරක් ගමන් කිරීමට සිදු විය හැකි අතර එය ඔවුන්ගේ ශරීර ශක්ති මට්ටම තව දුරටත් අසමතුලිත කිරීමට හේතු වන බව නොඅනුමාන යි. දැනට ම රතු දත්ත පොතේ ‘අනතුරට ලක් විය හැකි’ (Vulnerable) සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇති හිම වලසුන්ගේ ඉරණම, සාගතයක් හේතුවෙන් අවසානය කරා ළඟා වුවහොත් එය කොතරම් අවාසනාවක් ද?

කවරයේ පින්තූරය : © Salt Lake City Weekly

Related Articles