Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිම කලක් දරුගැබ දරා සිටින සතුන්

මිනිස් දරුගැබක් සාමාන්‍යයෙන් සති හතළිහක කාලයක් ගැහැණියක විසින් දරා සිටිනවා. මේ කාලය තුළ එය සම්පූර්ණ පරිණතියට පත්වන අතර සමහර විටෙක මෙහි සුළු අඩු-වැඩිවීම් සිදුවිය හැකි යි. සත්ත්ව ලෝකයේ විවිධ සතුන්ගේ ගර්භණී කාලය මිනිසාට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා. මින් සමහරෙකුගේ ගර්භණී සමය සති කිහිපයකට සීමා වෙද්දී, තවත් සමහරෙකුගේ වසරකටත් වඩා දික් ගැස්සෙනවා. සත්ත්ව ලෝකයේ දීර්ඝතම ගර්භණී සමය ගත කරන සතුන් කිහිප දෙනෙකු ගැනයි මේ සටහන.

සීබ්‍රා – මාස 10 සිට 12 දක්වා

wallpapers4u.org

ලෝකයේ සීබ්‍රා විශේෂ 3ක් දැකිය හැකියි. ඔවුන් සාමාන්‍ය සීබ්‍රා, කඳුකර සීබ්‍රා, හා ග්‍රේවිගේ සීබ්‍රා ලෙස වර්ග වෙනවා. මින් ග්‍රේවිගේ සීබ්‍රාට එම නාමය ලැබී ඇත්තේ හිටපු ප්‍රංශ ජනපතිවරයෙක් වන ජුලියස් ග්‍රේවිගේ නම අනුසාරයෙනුයි. එම විශේෂය ගවේෂණය කළ ප්‍රංශ ජාතික එමීල් ඖස්ටලෙට් විසින් ඔවුනට එම නාමය තබා තිබෙනවා.

මෙම ත්‍රිත්ව විශේෂයන්ට අයත් සීබ්‍රා සතුන්ගේ යම් යම් ජීව විද්‍යාත්මක වෙනස්කම් තිබෙනවා. දළ වශයෙන් මේ සියල්ලන්ගේම ගැහැණු සතුන් තුන් වියැති වන විට ලිංගික පරිණතියට පත්වෙනවා. විශේෂය අනුව ඔවුන්ගේ ගැබිණි කාලය මාස 10 සිට 12 දක්වා වෙනවා. එනම් සති 41 සිට 52 දක්වා කාලයක්.

සීබ්‍රා ගැහැණු සතෙකු එක්වරකට ප්‍රසූත කරන්නේ සාමාන්‍යයෙන් එක් පැටවෙකු යි. උපතේ සිට කෙටි වේලාවකින්ම පැටවුන්ට සිටගැනීමේ හා ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. උපතේ සිට වසර තුනක් මොවුන් මවගේ රැකවරණය යටතේ හැදී වැඩෙනවා. (1)

ඔටුවා – මාස 13 සිට 15 දක්වා

wallpapers4u.org

කාන්තාරයේ නෞකාව වශයෙන් හඳුන්වනු ලබන ඔටුවා වඩා ප්‍රචලිත වී ඇත්තේ වියළි කාන්තාරික දේශගුණයන්ට අනුවර්තනය වීමේ හා එහි නිරුපද්‍රිතව ජීවත්වීමේ ශක්‍යතාව නිසා යි. ඔටුවන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසරකටත් වඩා සිය දරුගැබ දරා සිටීම යි. ලොව සිටින ඔටු විශේෂයන් ද්විත්වයේම ඔටු දෙනුන් මාස 13 – 15 අතර කාලයක් ගර්භණීව ගතකරනවා.

ඔටු දෙනක් සාමාන්‍යයෙන් වරකට ප්‍රසූත කරන්නේ එක් පැටවෙක් පමණක් වුවත් ද්විත්ව උපත් ද දුලබ නැහැ. උපතේ දී ඔටු පැටවෙකු කිලෝග්‍රෑම් 40ක පමණ බරකින් යුක්ත වන අතර ඉපදී පැය බාගයක් පමණ කාලයක දී සිටගැනීමට හා ඇවිදීමට සමත්කම දක්වනවා. ඔටුවන්ට සමීපතම නෑකමක් දක්වන ලාමා සතුන් ද උපතකට පෙර දීර්ඝ ගර්භණී සමයක් ගතකරන අතර එය දළ වශයෙන් දින 330ක් හෙවත් මාස 11ක්. (2)

ජිරාෆ් – මාස 13 සිට 15 දක්වා

wallpapers13.com

ජිරාෆ් වර්තමාන ලෝකයේ ජීවත් වන උසින් වැඩිම සත්ත්වයා යි. මොවුන් සිය දරු ගැබ වසරකට වඩා වැඩි කාලයක් දරා සිටිනවා. ජිරාෆ් සතෙකුගේ සාමාන්‍ය ගර්භණී කාලය මාස 13 සිට 15 දක්වා වෙනවා. මෙහි  සුවිශේෂී කාරණයක් වන්නේ උසින් වැඩි වූව ද ගැහැණු ජිරාෆ් සත්ත්වයා ප්‍රසූතිය සිදුකරන විට සිටගෙන සිටීම යි. මේ හේතුවෙන් උපදින පැටවාට ඉතා ඉහළ උසකින් බිම පතිතවන්නට සිදුවෙනවා. මොවුන්ගේ ගැබ් කාලය දීර්ඝ වන්නට එය ද එක් හේතුවක්. ඒ කාලය තුළ පැටවා මේ ඝට්ටනයට ඔරොත්තු දෙන තරමට ශක්තිමත්ව වැඩෙනවා. දරුගැබ මෙලෙස ශක්තිමත්ව විකසනය වීමට තවත් හේතුවක් වන්නේ ජිරාෆ් සත්ත්වයින් ස්වභාවිකව ජීවත් වන අප්‍රිකානු වනාන්තරවල විලෝපිකයින් බහුලව සිටීම යි.

අලුත උපන් ජිරාෆ් පැටවෙකු උසින් අඩි 6ක් පමණ වන අතර ඉපදී පැය කිහිපයකින් සිටගැනීමේ හා ඇවිදීමේ සමත්කම දක්වනවා. (1)

රයිනෝසිරස් – මාස 15 සිට 16 දක්වා

pictures.4ever.eu

ලොව පුරා රයිනෝසිරස් විශේෂ 5ක් හමු වනවා. එම විශේෂ සුදු, කළු, සුමාත්‍රා, ජාවා, හා මහා තනි අඟැති රයිනෝ යනුවෙන් හඳුන්වනවා. මේ විශේෂ 5න් තුනක්ම අතිශය වඳවීමේ තර්ජනයට ලක්වූවන් වන අතර ඉතිරි විශේෂ 2 ද වඳවීමේ තර්ජනයට ලක්වූවන් ලෙස සැලකෙනවා.

විශාල ක්ෂීරපායී සත්ත්වයෙක් වන රයිනෝසිරස් ගැහැණු සතෙක් සිය දරුගැබ මාස 15 – 16 අතර කාලයක් දරා සිටිනවා. සුදු රයිනෝ විෂයයෙහි සමහර විටෙක මෙම කාලය මාස 16ත් ඉක්මවා යනවා. රයිනෝ මවට එක් වරකට එක් පැටවෙකු පමණක් ලැබෙන අතර අළුත උපන් පැටවා කිලෝග්‍රෑම් 40 -65 අතර බරකින් යුක්ත වෙනවා. රයිනෝ පැටවුන් තුන් වියැති වන තුරු සිය මවගේ සෙවනේ හැදී වැඩෙනවා. (2)

තල්මසුන් – මාස 12 සිට 16 දක්වා

amazingwallpaperz. com

ලොව වෙසෙන විශාලම සත්ත්වයා වන තල්මසාටත් දීර්ඝ ගර්භණී සමයක් තිබෙනවා. එය මාස 12 සිට 16 දක්වා දිගු කාලයක් වන අතර තල්මස් විශේෂය අනුව එය වෙනස් වෙනවා.

ක්ෂීරපායී සත්ත්වයෙකු වන තල්මසාගේ ගැහැණු සත්ත්වයා එක් වරකට සාමාන්‍යයෙන් බිහි කරන්නේ එක් පැටවෙකු පමණ යි. තල්මස් විශේෂය අනුව කුඩා පැටවෙකු ලිංගික පරිණතියට පැමිණෙන කාලය වෙනස් වෙනවා. මේ නිසා එම පැටවෙකු මව් සෙවනේ ගත කරන කාලය ද විශේෂය අනුව වෙනස් වෙනවා. (1)

ඩොල්ෆින් – මාස 15 සිට 18 දක්වා

Alex Mustard/ Naturepl.com

ඉහළ බුද්ධි මට්ටමක් ඇති ක්ෂීරපායීයෙකු ලෙස සැලකෙන ඩොල්ෆින් මිනිසාගේ මිතුරෙකු ලෙස ද හැඳින්වෙනවා. ඩොල්ෆින් ද දීර්ඝ ගර්භණී සමයකට උරුමකම් කියන අතර ගැහැණු ඩොල්ෆින් සතෙකු අවුරුද්දකට වඩා වැඩි කාලයක් සිය පැටවා කුස දරාගෙන සිටීනවා. ඩොල්ෆින් විශේෂ කිහිපයක් ලොව වසන අතර විශේෂය අනුව ගැබ් කාලය මාස 15 සිට 18 දක්වා වෙනස් වෙනවා. (2)

අලියා – මාස 18 සිට 22 දක්වා

Liam Dang/ Pinterest.com

ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන අලියා සියළු ක්ෂීරපායී සතුන් අතරින් දීර්ඝතම ගර්භණී සමයට උරුමකම් කියනවා. එය දළ වශයෙන් මාස 18 -22 අතර, හෙවත් අවුරුදු දෙකකට කිට්ටු කාලයක්. විශේෂයෙන් අප්‍රිකානු ඇතින්නක මාස 22ක ගැබ් කාලයක් සිය පැටවා ලැබීමට පෙර ගත කරන අතර, ආසියානු කෙනෙරක් සම්බන්ධයෙන් එය මාස 18 -22 අතර ඕනෑම කාලයක් වෙනවා.

අලි පැටවුන් ද වරකට එකා බැගින් බිහිවන අතර උපතේ දී ඔවුන් කිලෝග්‍රෑම් 90ත් 115ත් අතර බරකින් යුක්ත වෙනවා. අලියෙකු ලිංගිකව පරිණත වීමට වසර 8ත් 13ත් අතර කාලයක් ගන්නා නමුත් සම්පූර්ණයෙන්ම වැඩී අවසන් වන්නට වසර 20ක් පමණ ගත වෙනවා. ඉතා සුහදශීලී සත්ත්වයෙකු වන අලින් විශාල රංචු වශයෙන් ගැවසෙන අතර තම කණ්ඩායමේ ඇතින්නකට ලැබෙන පැටවා එහි අනෙකුත් සාමාජිකයින් සියල්ල විසින් රැකබලා ගන්නවා.

කවරයේ පින්තූරය- wallpaperscraft.com

මූලාශ්‍ර-

  1. themysteriousworld.com
  2. mnn.com

Related Articles