Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්වොකා: ලොව සතුටින්ම සිටින සත්ත්වයා

“ක්වොකා” කියන නම අපට ටිකක් විතර ආගන්තුක යි. ක්වොකාගේ පින්තූරයක් වුණත් දකින විට, බොහෝ දෙනා සිතන්නේ ඒ අලුත් සත්ත්වයෙකු හෝ නිර්මාණය කළ සත්ත්වයෙකු කියලා යි. ක්වොකා ඕස්ට්‍රේලියාවට ආවේණික යි. සැලකිය යුතු ක්වොකා ගහණයක් ඕස්ට්‍රේලියාවේ රොට්නෙස්ට් දූපතේ ජීවත් වෙනවා.

කවුද ක්වොකා කියන්නේ?

ක්වොකා, ප්‍රමාණයෙන් බළලෙකු තරම් වන, මීයෙකුගේ තරම් දිග වලිගයක්, සහ කුඩා පැටවුන් රැගෙන යාමට කැන්ගරුවෙකුගේ මෙන් පැසක් ඇති සතෙක්. ලොම්වලින් පිරුණු සිරුරක් සහිත මෙම හුරුබුහුටි සත්ත්වයා රොට්නෙස්ට් දූපතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් හේතුවක් වුණා.

ක්වොකා/ San Diego Zoo

කැන්ගරුන් සහ වොලබි සතුන් අයත් වන පවුලේ සාමාජිකයෙකු වන ක්වොකා වසර 10ක පමණ ආයු කාලයකට හිමිකම් කියනවා. ඔවුන් වරක දී එක් පැටවකු පමණක් බිහිකරන අතර, වසරකට දෙවරක් පැටවුන් බිහිකරනවා. මේ පැටවා මවගේ පැසෙහි මාස 6ක් පමණ ජිවත් වෙනවා. කැන්ගරුවන් මෙන්ම ශාකභක්ෂක ජීවියෙකු වන ක්වොකා නිශාචර සතෙකු ද වෙනවා. මොවුන්ගේ සම තද දුඹුරු පැහැයට හුරු වර්ණයකින් යුතු අතර පිරිමි සතෙකු කිලෝ 2.5 – 4.5 වන අතර ගැහැණු සතෙකු කිලෝ 1.5 – 3.5 පමණ වෙනවා. Setonix brachyurus යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන ක්වොකා 40 – 55 cm පමණ උස යි. 

ක්වොකාට නම දුන්නේ කවුද?

ක්වොකාට නම දී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ගෝත්‍රයකින් බව යි සැලකෙන්නේ. ඔවුන්ගේ බසින් “ග්වගා” ලෙස මුලින්ම ඔවුන් මෙම හුරුබුහුටි සත්ත්වයා හැඳින්වුණු අතර, පසුව කාලයත් සමග ඔවුන් “ක්වොකා” බවට පත්වුණා. 

ක්වොකා ගස් නගින්නටත් දක්ෂ සතෙක්. දවසින් වැඩි කාලයක් ගස් සහ පඳුරු අතර ගත කරන මොවුන්ට පිහිනීමට ද හැකියාව තිබෙනවා.

ක්වොකාගේ ඉතිහාසය

ලිඛිත ඉතිහාසයට අනුව මුලින්ම ක්වොකා ගැන සදහන් වන්නේ වසර 1656 දී පමණ යි. එකල දේශ ගවේශනය කළ ඕලන්ද ජාතික කපිතාන්වරයෙකු වන සැමුවෙල් වොල්කට්සූන්ගේ දිනපොතක ‘කැළෑ බළලුන්’ විශේෂයක් ලෙස ක්වොකා ගැන සඳහන් කොට තිබෙනවා. ඉන් වසර 3කට පමණ පසු විලියම් ඩි ව්ලමින් නම් ගවේශකයා මොවුන් යෝධ මීයන් විශේෂයක් ලෙස වරදවා හඳුනාගෙන, ඔවුන් විසූ එම දූපත ‘රැට් නෙස්ට්’ (මීයන්ගේ කූඩුව) දූපත ලෙස නම් කරනවා. අදටත් එම දූපත ‘රොට්නෙස්ට්’ ලෙස හැඳින්වෙන්නේ එම නිසා යි.  

ක්වොකා මවක් සහ පැටවෙක්/ Reddit

අපිට ක්වොකා සුරතලයට ඇති කරන්න පුළුවන් ද?

රොට්නෙස්ට් දූපත පුරාවට ක්වොකා සතුන් 10,000කට වැඩි ප්‍රමාණයක් වාසය කරන අතර, ක්වොකා සමග ඡායාරූප ගැනීම සහ ඔවුන්ට සමීපව නැරඹීම ආදියට කිසිදු තහනමක් පනවා නොමැති නමුත් ඔවුන්ව සුරතලුන් ලෙස ඇති කිරීම, උද්‍යාන තුළ දී ඔවුන් මිනිස් ආහාර ලබාදීම ආදිය තහනම් කර තිබෙනවා. එසේම ක්වොකා සතුන්ව රට තුළ හෝ රටින් බැහැරව ප්‍රවාහනය කිරීම, ඔවුන් විකිණීම, සහ මිල දී ගැනීම ද එරට රජයට අනුව දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්.

ක්වොකා ඇයි හැමවෙලාවෙම හිනා වෙලා ඉන්නේ?

ක්වොකා අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්න මූලිකම හේතුව වෙන්නේ ක්වොකාගේ සුරතල් ලස්සන හිනාව යි. ඇත්තටම ඒකට හේතුව නම් ක්වොකා ඇත්තෙන්ම හිනාවීම නෙවෙයි. ක්වොකාගේ හිනාව පරිනාමික ලක්ෂණයක්. 

ක්වොකා හිනාවෙන්නේ බල්ලන් කට ඇරගෙන ඉන්න හේතුව නිසාම යි. ඉතා උණුසුම් ඕස්ට්‍රේලියාවේ වසන ඔවුන්ගේ ඉහළ දේහ උෂ්ණත්වය ක්වොකා විසින් පහත හෙලාගන්නේ කට පළලට අරගෙන හති දැමීමෙන්. ඔවුන් නිතර සිනාසෙන බවක් පෙනෙන්නේ ඒ නිසා යි. 

ක්වොකා ඇත්තටම හිනාවෙනවා ද?/ Pinterest

ක්වොකා දරුණු සත්ත්වයෙක් ද?

ක්වොකාට හිරිහැරයක් වෙනවා කියලා හිතුනොත්, ඕනෑම කෙනෙක් සපා කන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ. සෑම වසරකම ක්වොකා සපාකෑම් දුසිමක් පමණ වාර්තා වන බව යි කියවෙන්නේ. 

අතීතයේ හිටිය ක්වොකා තරම් දැන් ජීවත්වන ක්වොකා මිනිසුන්ට එතරම් බියක් දක්වන්නේ නැහැ. ඊට හේතුව තමයි, දැන් සංචාරකයන් කියන්නේ එයාලගෙ එදිනෙදා ජීවිතයේ කොටසක් වීම.

ක්වොකා වැදගත් වන්නේ ඇයි ?

ක්වොකා වඳවීගෙන යන සත්ත්ව කොට්ඨාසයක්. IUCN විසින් පල කරන ලද දත්ත වාර්තාවලට අනුව දැනට ක්වොකා ජීවින් 7500 – 15000 අතර ප්‍රමාණයක් ජීවත් වේයැ යි සැලකෙනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන්නේ රොට්නෙස්ට් දූපතේ යි. 

ක්වොකාට දැනට තිබෙන ප්‍රධානම තර්ජනය තමයි වනාන්තර ගහනය අඩුවීම සහ දේශගුණික විපර්යාස. වර්ෂාපතනයේ ඇති වන වෙනස්කම් සහ ලැව්ගිනි ආදිය මෙයට හේතු වෙනවා. මීට අමතරව ක්වොකාට තියෙන බරපතලම තර්ජනය වන්නේ මිනිස් ප්‍රජාව යි. එරට රජය ක්වොකා සුරතලුන් ලෙස ඇති කිරීමට තැත් කිරීම සහ විවිධ වූ ශාරීරික වධ හිංසා කිරීම බහුලව වාර්තා වෙනවා. ක්වොකා සතුන් ආරක්ෂා කිරීමට නීති පනවා ඇත්තේ ඒ නිසා යි. 

#Quokkaselfie

“තෝර්” සහ ක්වොකා/ Chris Hemsworth

දශක කිහිපයකට පෙර ක්වොකාට මිනිසුන් හා ගැටීම තරමක් අලුත් දෙයක්. නමුත් අද වන විට සංචාරක කර්මාන්තය නිසාම මිනිසුන් ආශ්‍රය කිරිම ක්වොකාට ඉතා සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා. ක්වොකාගේ සුරතල් සහ හුරුබුහුටි බාහිර පෙනුම නිසා බොහොමයක් සංචාරකයන් ක්වොකා සමග සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට ප්‍රිය කරන අතර, පසුගිය කාලයේ එය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වුණා. ඒ නිසා #quokkaselfie යන හෑෂ්ටැග් එක යටතේ එසේ ලබාගත් ඡායාරූප බොහොමයක් සමාජජාලයන්ට ද එක්වුණා. ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙම ට්‍රෙන්ඩ් එකට එක්වී පින්තූර පල කර තිබුණා. මෙමඟින් ක්වොකා පිළිබඳව සමාජය දැනුවත් කිරීම සහ ඔවුන් සංරක්ෂණය කිරීම සමහර පරිසර සංවිධාන සහ සංචාරකයන් අරමුණු කරගත් නමුත් තවත් සමහරකගේ අදහස වූයේ එය ක්වොකාගේ ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑමක් කළ හැකි බව යි.

ඉතින් කවදා හරි ඕස්ට්‍රේලියාවට යනවා නම්, ක්වොකා බලන්න යන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය:

Het is de Merckx

මූලාශ්‍රයයන්: 

everywherewild.com/quokka

columbusmagazine.nl

cbc.ca

Related Articles