පොදු ව්‍යවහාරයේ දී ‘කොරල්’ යනුවෙන් හඳුන්වනු ලබන ජනපදයක් වශයෙන් වාසය කරන සාගර අපෘෂ්ඨවංශීන්ගේ බාහිර සැකිලි තැන්පත් වීමෙන් මුහුදු පතුලේ සකස් වූ සුවිසල් ව්‍යුහයන් සරල ව ‘කොරල් පර’ ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. කොරල් පර නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබාදෙන කොරල් විශේෂය ‘හර්මාටිපික් කොරල්’ හෝ ‘ඝන කොරල්’ යන නාමය දරණ අතර ඔවුන්ගේ මොළොක් සිරුරු ආරක්ෂා කර ගැනීම සඳහා මුහුදු ජලයේ අන්තර්ගත කැල්සියම් කාබනේට් උරාගෙන ඝනකම් සහ කල් පවතින බාහිර සැකිල්ලක් සකස් කර ගන්නවා. පසුකාලීන ව සුවිසල් කොරල් පර නිර්මාණය වීම සඳහා හේතු වන්නේ එම බාහිර සැකිලි යි.

© Elite Limo / Flickr

තනි කොරල් ජීවියෙකු ව ‘පොලිප්’ ලෙස හඳුන්වන අතර ඔවුන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ මුතුන්මිත්තන් විසින් නිර්මාණය කරන ලද කැල්සියම් කාබනේට් බාහිර සැකිලි තුළ වාසය කරනවා. එසේ වාසය කිරීමේ දී ඔවුන් විසින් ද පැරණි ව්‍යුහය මත අලුතෙන් බාහිර සැකිල්ලක් ගොඩනැංවීමට යොමු වන අතර, එහි ප්‍රතිඵලය වන්නේ කාලයාගේ ඇවෑමෙන් කොරල් පරය ක්‍රමයෙන් වර්ධනය වීම යි. ඇලස්කාවේ ඇලූෂියා දූපත් වටකර ගත් හිම මෙන් ශීතල මුහුදු ජලයේ මෙන් ම නිල්වන් රළ නගන කැරිබියානු මුහුද සතු උණුසුම් සාගර දියේ ද කොරල් පර දැකගැනීමට ලැබෙනවා. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයට අයත් නොගැඹුරු මුහුදේ කොරල් පර වඩාත් හොඳින් වර්ධනය වන අතර ලොව විශාලතම කොරල් පරය ලෙස සැලකෙන්නේ කි. මී. 2,400 (සැතපුම් 1,500)ක් පමණ දිගින් යුතු ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය යි.

විශේෂ රැසකින් සැදුම්ලත් කොරල් පර

කොරල් පරයක් නිර්මාණය කිරීම සඳහා දායක වන එකිනෙකට වෙනස් කොරල් විශේෂ රාශියක් පවතිනවා. ඒ සියලු කොරල් විශේෂ අයත් වන්නේ මුහුදු ලොඩියන්, මුහුදු අනැමනී, සහ තවත් සාගර අපෘෂ්ඨවංශීන් රැසක් අයත් වන ස්නිඩාරියා නම් සත්ත්ව වංශයට යි. මෙම කොරල් විශේෂ සඳහා ආහාර ලැබෙන මූලික ආකාර ද්විත්වයක් පවතිනවා. ඇතැම් කොරල් විශේෂ ඔවුන් සතු විෂ බූව සහිත ග්‍රාහිකා යොදාගනිමින් ප්‍රමාණයෙන් කුඩා මසුන් සහ ප්ලාවාංග අල්ලා ගන්නා අතර, බොහෝ කොරල් විශේෂ ප්‍රභාසංස්ලේෂණය මඟින් ශක්තිය සපයා ගන්නා ‘සූසැන්තේ’ (zooxanthellae) නම් ඇල්ගී ආහාරයට ගන්නවා.

© J. B. Razza

ඇමෙරිකානු එක්සත් ජනපද පරිසර ආරක්ෂණ කාර්යංශය සඳහන් කරන අන්දමට කොරල් සහ සූසැන්තේ ඇල්ගී අතර ඇත්තේ දෙපාර්ශවයට ම ප්‍රතිලාභ සහිත සහජීවී සම්බන්ධතාවයක්. ඒ අනුව කොරල් පොලිප් තුළ වාසය කරන ඇල්ගී, ප්‍රභාසංස්ලේෂණයේ යෙදීම මඟින් දෙපාර්ශවයට ම අවැසි ශක්තිය නිෂ්පාදනය කරන අතර එයට ප්‍රතිඋපකාර ලෙස කොරල් පොලිප්, ඇල්ගී සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් සැපයීම සිදුකරනවා. එසේ ම පැහැයක් නොමැති කොරල් සඳහා වර්ණවත් පැහැයන් ලබාදීම සිදුකරන්නේ ද සූසැන්තේ ඇල්ගී විසින්.

හැඩයෙන් මිනිස් මොළයක් හා සමාන ‘මොළ කොරල්’ වැනි ඇතැම් බහුලිංගික කොරල් විශේෂ, බිත්තර දැමීම සහ ශුක්‍රාණු නිපදවීම යන කාර්යයන් ද්විත්වය ම සිදුකරන්නේ එක විට යි. පොදු ව්‍යවහාරයේ දී මෙම ක්‍රියාවලිය ‘කොරල් වැවීම’ ලෙස හඳුන්වන අතර සමහර කොරල් වි‍ශේෂ වසරකට එක්වරක් පමණක් අභිජනනයේ යෙදෙනවා. නමුත් ‘එල්ක්හෝන් කොරල්’ වැනි ඒකලිංගික කොරල් විශේෂ ද පවතින අතර ඔවුන් සම්පූර්ණයෙන් ම පිරිමි හෝ ගැහැනු ලෙස කොරල් ජනපද නිර්මාණය කරනවා. එක් එක් කොරල් ජනපදය බිත්තර දැමීම හෝ ශුක්‍රාණු නිපදවීම යන කාර්යයන් ද්විත්වයෙන් එකක් පමණක් සිදුකරන අතර අදාළ ජනපද අතර හුවමාරු මාධ්‍යය ලෙස කටයුතු කරන්නේ මුහුදු ජලය යි.

© Ron / Flickr

වර්ණ පිරුණු කොරල් පර ලෝකය

වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන බොහෝමයක් කොරල් පර නිර්මාණය වී ඇත්තේ අදින් වසර 5,000 – 10,000 පමණ පෙර යි. බොහෝ විට කොරල් පර නිර්මාණය වන්නේ මනා ව හිරු එළිය ලැබෙන උණුසුම් සහ නොගැඹුරු මුහුදු ජලයේ වන අතර මුහුදු පතුලේ සමස්ත බිම් ප්‍රමාණයෙන් 1%ක් වැනි කුඩා ප්‍රමාණයක් කොරල් පර මඟින් ආවරණය වී තිබෙනවා. එසේ වුව ද පෘථිවිය සතු වඩාත් කාර්යක්ෂම සහ විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියක් ලෙස කොරල් පර හැඳින්වීමේ වරදක් නැහැ. ආහාර සහ නවාතැන් සපයාගැනීම සහ අභිජනන කාර්යයන් සහ දැනට සොයාගෙන ඇති මුහුදු ජීව විශේෂ අතරින් 25%කට අධික ප්‍රමාණයක් කොරල් පර භාවිතා කරනවා. ඇතැම් විටෙක ‘සාගරයේ වැසි වනාන්තර’ ලෙස හැඳින්වෙන කොරල් පර, මත්ස්‍ය විශේෂ 4,000ක, කොරල් විශේෂ 700ක, සහ මුහුදු සත්ත්ව හා පැළෑටි විශේෂ දහස් ගණනකගේ ප්‍රාථමික වාසස්ථානය ලෙස කටයුතු කරන බව යි වාර්තා වන්නේ.

© Wallpaper Studio

ගැටි පර, බාධක පර, කැබලි පර, සහ ඇටොල් ලෙස කොරල් පර මූලික වශයෙන් සිව් ආකාරයකින් යුතු වෙනවා. බහුල වශයෙන් දැකගැනීමට ලැබෙන ‘ගැටි පර’ සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ මුහුදු වෙරළ ආශ්‍රිත ව යි. ගැඹුරු මුහුද සහ වෙරළ තීරය අතර බාධකයක් ලෙස කටයුතු කරන කොරල් පර ‘බාධක පර’ ලෙස හඳුන්වන අතර, ගැටි පර සහ බාධක පර මැද මහද්වීපික තටාකයේ පිහිටා ඇති ස්වාධීන කොරල් පර ‘කැබලි පර’ ලෙස නම් කර තිබෙනවා. ‘ඇටොල්’ ලෙස හඳුන්වන්නේ මුහුද මැද පිහිටා ඇති හැඩයෙන් මුද්දක් හා සමාන කොරල් පර යි.

අවදානම් හමුවේ කොරල් පරවල ඉරණම

බොහෝමයක් මුහුදු ජීවීන් යැපෙන තීරණාත්මක සාගර වාසස්ථානයක් වන කොරල් පර, වර්ෂයක කාලයක් තුළ දී ලොව පුරා වැසියන්ට උපයා දෙන ආර්ථික ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වන බව යි ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ හොප්කින්ස් සාගර මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර ඇත්තේ. එසේ වුව ද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කොරල් පරයන්ට මුහුණදීමට සිදු වී ඇති අන්තරායන් දිනෙන් දින ම ඉහළ යන බව යි වාර්තා වන්නේ.

ෆොසිල ඉන්ධන දහනය කිරීම හේතුවෙන් වායුගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් උරා ගන්නා සාගර හේතු‍වෙන් මුහුදේ ආම්ලික බව ඉහළ ගොස් තිබෙනවා. එය ක්‍රමයෙන් කැල්සියම් කාබනේට් බාහිර සැකිලි නිපදවීම සඳහා කොරල් ජීවීන්ට ඇති හැකියාව අඩපණ කරන බව යි පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත්තේ.

© Amy Blackburn / Twitter

ජල දූෂණය ද කොරල් පර විනාශය සඳහා විශාල වශයෙන් බලපෑමක් එල්ල කර තිබෙනවා. කෘෂිකාර්මික පොහොර වර්ග සහ පළිබෝධනාශක, තෙල් සහ ගෑස්, කැලිකසළ සහ වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් කොරල් ජීවීන්ගේ වර්ධනය අඩාල වී තිබෙනවා. පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත්තේ කොරල් සහ අනෙක් සාගර ජීවීන් අතර ඇති අන්තර් සම්බන්ධතා පළුදු වීම කෙරෙහි ජල දූෂණය ප්‍රබල වශයෙන් බලපා ඇති බව යි. එසේ ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සමගාමී ව සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පොලිප්, තමන් සමග වාසය කරන සූසැන්තේ ඇල්ගී පලවා හැරීම කෙරෙහි යොමු වී තිබෙනවා. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේ දී ම කොරල් පර විනාශ වීම සහ කොරල් සතු සොඳුරු වර්ණයන් වියැකී යාම සිදු විය හැකි යි.

එසේ ම මසුන් ඇල්ලීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ට්‍රෝලර් යාත්‍රා යොදා ගැනීම හේතුවෙන් වසර දහස් ගණනක් පැරණි කොරල් පර තත්පර කිහිපයක් තුළ දී විනාශ වී යන බව යි සාගර විද්‍යාඥයින් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

කවරයේ පින්තූරය: (© David Doubilet) ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය