අවුරුදු 50ක් දළදා වඩමවා කටුගෙට ගිය රාජා

දළදා මාළිගයට යන වැඩි දෙනෙක් රාජා “ඇතා කටුගේ” බලන්නත් යනවා. මේ කටුගේ පිහිටා තිබෙන්නේ පුරාණ රජ සමයේ තිබූ සිංහාසන මන්දිරය නම් ගොඩනැගිල්ලෙ යි. ලංකාවේ වැඩිම කලක් දළදා කරඬුව වැඩම කරවූ, රටේ බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වූ රාජා ඇතා ජාතික වස්තුවක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා. සෙල්ෆි නොතිබූ ඒ කාලේ රාජාත් සමග පින්තූරවලට පෙනී සිටීමට අපේ රාජ්‍ය නායකයන් වැඩි කැමැත්තක් දැක්වූ බවත් පේනවා.

ඇත්පැටවකු හමුවෙයි

බතික් ඇදුමෙන් සැරසුණු රාජා 1967 දී-     මුදුන fb page

ඒ 1925 අවුරුද්ද යි. මඩකලපුවේ එරාවුර්වල අලි අල්ලන්නට ප්‍රසිද්ධ කණ්ඩායමක් ජීවත් වුණා. එම්. උමාරු ලෙබ්බේ කියන්නේ ඉන් කෙනෙක්. ඔහු තවත් කිහිප දෙනෙක් සමග ආණ්ඩුවෙන් බලපත්‍ර ලබාගෙන මන්නාරමේ කැලෑවකට වැදුණේ අලි අල්ලාගැනීමට යි. උමාරු ලෙබ්බේගේ මද්දකට අවුරුදු 10ක් පමණ වයස ඇත් පැටවකු අසු වුණා. පැටවා පලා යාමට හැදුවත් එඑයට ඉඩක් ලැබුණේ නෑ. උමාරු ලෙබ්බේ මේ ඇත්පැටවාත් (රාජා) මඩකලපුවෙන් අල්ලා ගන් තවත් ඇත් පැටවෙකුත් (කන්දා) මහනුවර ගිරාගම ටිකිරි බණ්ඩා මාම්පිටිය දිසාවට විකුණුවා. ඒ රු. 3300කට. මාම්පිටිය දිසාව ඇතුන් දෙදෙනා වෙනුවෙන් අංක 1318 දරන බලපත්‍රයත් ලබාගෙන 1925 දෙසැම්බර් 11 දා ගිරාගම වලව්වට කැදවාගෙන ආවා. ඒ කාලෙ දැන් වගේ අලිඇතුන් ප්‍රවාහනය කිරීමට වාහන තිබුණේ නැහැ. ඇත්ගොව්වො පා ගමනින්ම තමයි ඇතුන් දෙදෙනා මහනුවරට කැදවාගෙන ආවේ.

රාජා සහ කන්දා ඇතුළු මාලිගාවේ ඇතුන් සමග හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න-  මුදුන fb page

එක් ඇතෙකුට රාජා යන නමත් අනෙකාට දත්පූට්ටුවා යන නමත් ලැබුණා. පසුව කන්දා වූයේ දත්පූට්ටුවා යි. පිළිමතලාවේ ගිරාගම වලව් (දැන් ගුරු විද්‍යාලය) බිමේ ඇත්පැටවුන් දෙදෙනා ආදරයෙන් ඇතිදැඩි වුණා. උන් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ද තිබුණා. මේ අතර තරුණ වියේ සිටි රාජා ඇතා එක්වරම දැඩි සේ අසනීප වුණා. අලි වෙදුන් පැමිණ වෙදකම් කළා. බලවත් සේ දුකට පත් මාම්පිටිය දිසාව ඇතා සුවපත් වූ විට අලුත්නුවර දේවාලයට රන් අලිපැටවකු තනා පූජා කරන්න බාරයක් වුණා. ටික දිනකින් තරුණ රාජා සුවපත් වුණා.

ඇතුන් දළදා මාලිගයට

දළදා මාලිගයේ අලි සිතුවමක්- දළදා මාලිගාව නව සොයාගැනීම් පැරණි සිතුවම්- ලීලානන්ද ප්‍රෙමතිලක/ ආනන්ද කොළඹගේ කෘතියෙනි.

මාම්පිටිය දිසාව මහළු වියට එළඹිලා. තමන් නැති කලක ඇතුන් දෙදෙනා බලාකියා ගන්න කෙනෙක් නැති බව දැනසිටි ඔහු දෙදෙනාම දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කළා. දිනය 1937 ජූලි 31 දා යි. ඒ වන විට තරුණ වියේ සිටි රාජාගේ උස අඩි 8ක්. කන්දාගේ උස අඩි 7 ½ක් වුණා. එවකට සිටි දියවඩන නිලමේ ටී. බී. රත්වත්තේ මේ ඇතුන් දෙදෙනා දළදා මාළිගයේ වාහල්කඩ අසල දී මාම්පිටිය දිසාව වෙතින් බාරගත්තා. මේ ඇත් පූජාව දැකගන්නට විශාල පිරිසක් මාළිගා වාහල්කඩ අද්දරට රැස්වූ බව වාර්තා වෙනවා. රාජාත් කන්දාත් කැදවාගෙන ආවේ අලි ඇදුම් අන්දවා අලංකාරව සරසාගෙන යි. මේ අවස්ථාව ගැන මාම්පිටිය දිසාවගේ ඥාති දියණියක වන රඹුක්පොත මඩුගල්ලේ කුමාරිහාමි 1984 සැප්තැම්බර් කල්පනා සගරාවට මෙසේ පවසා තිබුණා:

අපේ මාමා ඇතුන් දෙදෙනාගේ හොඬවැල් දියවඩන නිලමේගේ අත්ල මත තබා, උන්ගේ අයිතිය මාළිගාවට ලබාදුන්නා. ඊට පසු හොඬවැල්වලට රන් කෙණ්ඩියෙන් ජලය වත්කළා. වටේට රැස්ව සිටි මිනිස්සු සාධුකාර දුන්නා. රාජා ඒ වෙලාවේ කුංචනාද කළා. මාම්පිටිය දිසාව වගේම දියවඩන නිලමේ සහ රැස්ව සිටි අයගේ ඇස්වලට කඳුළු ආවා.

මේ අවස්ථාවේ පූජා ඔප්පුව සකස් කළේ පුංචි බණ්ඩා රණරාජා නොතාරිස් විසින්.  

මාම්පිටිය දිසාව රාජා මිලට ගත් කුවිතාන්සිය- ශ්‍රී දළදා මාලිගාවේ රාජා- ඩී. ඔලිවර් සිල්වා කෘතියෙනි.

මාලිගාවේ ඇත් පන්තියේ ජනප්‍රිය චරිත දෙකක් වූ රාජා සහ කන්දා 1937න් පසු හැම අවුරුද්දකම දළදා පෙරහරට දායකත්වය දුන්නා. එකල දළදා කරඬුව වැඩම කරවූයේ මහ රාජා හෙවත් දත් කොටා නම් හස්තියා යි. මහ රාජා වයස්ගතව දුර්වල වූ විට දළදා කරඬුව වැඩම කරවීමේ වගකීම ලැබුණේ තරුණ රාජාට යි. ඉදහිට කන්දාත් දළදා කරඬුව වැඩම කළා. රාජා පළමුවෙන් දළදා කරඬුව වැඩම කළේ 1953 අවුරුද්දේ බව යි පැවසෙන්නේ. ඌ කුමරිය කුලයට අයත් බව යි අලි විශේෂඥයන් පවසා සිටියේ. ලංකාවේ අලිඇතුන් අතර උසස්ම කුලය ලෙස සැලකෙන්නේ කුමරිය කුලය යි. උපශාන්ත ගමන, සන්සුන් බව. තැන්පත් නුවණ ඌ සෙසු ඇතුන්ගෙන් වෙන් කරන චරිත ලක්ෂණ වුණා.

පෙරහර ඇබැද්දි

රාජා කුලප්පු වූ අවස්ථාවක දළදා මාළිගයට රැගෙන එමින්- මුදුන fb page

1955 අවුරුද්දේ එක් රැයක ඇසළ පෙරහරේ කරඬුව වැඩම කරවද්දි රාජා එක්වරම ගමන නැවැත්තුවා. ඒ රැජන හෝටලය අසල දී යි. ඇත්ගොව්වා කෙතරම් උත්සාහ කළත් ඌ සෙලවුණේවත් නැහැ. නුගවෙල දියවඩන නිලමේ පැමිණ උත්සාහ කළත් ඌ ගමන් කළේ නැහැ. පසුව පරීක්ෂා කර බැලීමේ දී පෙනුණේ ඇතාගේ පිට මත කරඬුව තැන්පත් කර තිබූ රන්සිවිගෙයි රැහැන් පට කැඩී ගොස් තිබුණු බව යි. තව පොඩ්ඩෙන් රන්සිටි ගෙය බිමට වැටීමට ඉඩ තිබුණු බව යි පැවසෙන්නේ.

තවත් දිනෙක රාජා මද කිපී සිටි අවස්ථාවක පාරේ ගමන් කළ ලොරියකට පහර දුන්නා. පසුව හෙළිවුණේ එය රා පැටවූ වාහනයක් බව යි. රාජා ගැන මේ වගේ කතන්දර කිහිපයක්ම පැතිර තිබෙනවා.

අලි කුලප්පුව

අලි කුලප්පුව පුවත්පත් දුටු අයුරු-silumina.lk

1959 අගෝස්තු 19 දා ඇසළ පෙරහරට අඳුරු දිනයක්. එදා තමයි එස්. වී. උඩුරාවණට අයිතිව සිටි රාජා නම් වෙනත් අලියෙක් හදිසියේ කුලප්පු වී පෙරහරෙන් ඉවතට පැන දුවන්නේ. අද “අලිය ගිය මාවත” නමින් පාරක් ද තියෙනවා ඔබ සමහරවිට දන්නවා ඇති. ඒ මේ අලියා දුවපු පාරක් තමයි. මේ කලබලයෙන් 15 දෙනෙක් මරණයට පත් වුණා. එදා කරඬුව වැඩම කරවා තිබෙන්නේ රාජා බවත්, ඌ නිසොල්මනේ නුගවෙල දියවඩන නිලමේට කීකරුව කලබල නොකර සිටි බවත් තමයි සඳහන් වන්නේ. අලි ඇතුන් විශාල පිරිසක් එහිදී කලබලයට එක්වූ අතර අවසානයේ කලබලයට හේතු වූ උඩුරාවණගේ රාජා නම් අලියා පොලිසිය  වෙඩි තබා මරා දමනවා.

වියපත් රාජා ජාතික වස්තුවක්

හිටපු ජනපති ජේ. ආර්. සහ දියවඩන නිලමේ නිශ්ශංක විජේරත්න සමග රාජා-  wikipedia.org

මාලිගාවේ ඇත් පන්තියේ ආඩම්බරය වූ රාජා 1986 වන විට මහළු වයසට පත්ව දුර්වලව සිටියා. දිගු කලක් ආගමික මෙහෙයක නිරතවූ රාජා 1986 අගෝස්තු 20 දා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් ජාතික වස්තුවක් ලෙස නම් කෙරුනා.

රෝගී වූ රාජාට ප්‍රතිකාර කළ අවස්ථාවක්- මුදුන fb page

ආසියාවේ ජාතික වස්තුවක් වූ ප්‍රථම සත්ත්වයා තමයි රාජා. හැබැයි මේ ඇතා නම් ඒ ගැන දැන සිටියේ නැහැ.

දුර්වලව සිටි ඇතාට ප්‍රතිකාර කළේ පශු වෛද්‍ය විජිත කුරුවිට. ඒ වන විටත් උගේ මිතුරු කන්දා මියගොස් සිටියා. නිතර ප්‍රතිකාර ලබාදුන්න ද රාජාට තම ජීවිතය අවසන් කිරීමට සිදුවුණා. ඒ ඇසළ මාසයේම දිනක යි. 1988 ජූලි 16 දා උදෑසන 10.16ට රාජා බිම ඇදවැටෙමින් ජීවිතය අවසන් කළා.

රාජා දහවල් පෙරහරේ ගමන් කරන අවස්ථාවක්- ශ්‍රී දළදා මාලිගාවේ රාජා- ඩී. ඔලිවර් සිල්වා කෘතියෙනි

අඩසියවසකට වැඩි කලක් දළදා පෙරහරේ ගිය ගමන ඌ නිම කළේ බොහෝ දෙනා දුකට පත් කරවමින්. රාජාගේ මරණය බොහෝ බෞද්ධයන් දුකට පත් සිදුවීමක් වුණා. එයට හේතුව ඌ දළදා සංස්කෘතියට අයත් ස්මාරකයක් බවට පත්ව සිටීම යි.

රාජා කටුගෙට යයි

ජනපති ප්‍රේමදාස සමග රාජා ඇතා- මුදුන fb page

ඒ කාලයේ ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස සහ දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්නගේ මැදිහත්වීමෙන් රාජාගේ සිරුර සංරක්ෂණය කිරීම ඇරඹුණා. උගේ සම වෙන්කර එය පුරවා සකස් කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පාලිත සමරප්පෙරුම සහ ගාමිණී කුමාර විතාන යන ශිල්පීන් දෙදෙනා විසින්. ජීවමාන ආකාරයෙන් සකස් කළ රාජා කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. එය 1989 දී විවෘත කෙරුණා.

කටුගෙට ගිය හස්තියා-leisureandme.com

පැරණි සිංහාසන මන්දිරයේ සකස් කළ එම කටුගෙය සතකු වෙනුවෙන් අප රටේ තැනූ එකම කටුගෙය යි. එහි රාජාගේ දේහය දැකගත හැකි අතරම උගේ පෙරහර ඇදුම්, ඇතා ගැන විස්තර ආදියත් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඇතා සැමරීම සදහා 1989 දෙසැම්බර් 2 දා ශත 75ක මුද්දරයක් ද නිකුත් කළා. ඒ කාලේ සාමාන්‍ය තැපැල් ගාස්තුව වුණේ ශත 75 යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ශ්‍රී දළදා මාලිගාවේ රාජා- ඩී. ඔලිවර් සිල්වා

සිළුමිණ- 2018-08-31

දිවයින 2013-08-07

Cover : රාජා හිටපු ජනපති ජේ. ආර්. සමග - මුදුන fb page

Related Articles