හම්බන්තොටට සිසිල ගෙනෙන රම්මලේ කන්ද

උණුසුමෙන් බැටකන හම්බන්තොට පිහිටි තෙත් කලාපයේ දේශගුණය සහිත අපුරු පෙදෙසක් තමයි රම්මලේ කන්ද කියන්නේ. ඓතිහාසිකවත් වැදගත්, වැඩි දෙනෙක් නොදන්නා රම්මලේ ප්‍රදේශය ගැන තොරතුරු සොයාබැලීමට අපි සිතුවා.  

 කඳුවැටියේ තෙත් වනාන්තර-  facebook- Lahiru Nish

පිහිටීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන්මලේ කන්ද පිහිටා තිබෙන්නේ. තංගල්ල නගරයේ සිට කිලෝ මීටර 34ක් දුරින්. මාතර සිට කිලෝ මීටර 52ක් දුරයි. විතාරන්දෙණිය, වීරකැටිය, කොටබෝධිය හරහා ජුලම්පිටිය පාරේ පැමිණ රම්මල් කන්ද පාමුලට එන්න පුළුවන්. කන්ද උසින් අඩි 2700ක් දක්වා පැතිර යනවා. කඳු අඩවිය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර 268ක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උස ම තැන වන්නේ ද මේ කඳු මුදුන යි. රම්මල් කන්ද වටා පිහිටි පරිවාර කඳු ලෙස දෙනිය කන්ද, කරවිල කන්ද, මැද කන්ද, බෙංගමු කන්ද, හුළං කන්ද වේගිරිය කන්ද සැලකිය හැකි යි. එහි විශාලත්වය අක්කර 2000ක් පමණ වෙනවා.

11-12 සියවස්වලදී මේ අවට නිතර යුදගැටුම් සිදුවුණු අතර රණ මල යන්න පසුව රන්මල වූ බවට මතයක් පවතිනවා. කැලෑවෙන් වැසුණු කන්ද යන අරුතින් රන්මල වූ බව තවත් අදහසක්.

 වනපෙතේ කුරුළු කැදැල්ලක්–facebook

තෙත් කලාපයේ ගස්වැල්

හම්බන්තොට කියන්නේ නිතර ඉඩෝරයෙන් බැටකන ශුෂ්ක කලාපයට අයත් ප්‍රදේශයක්. නමුත් මේ දිස්ත්‍රික්කයේ පිහිටි නිවර්තන තෙත් වනාන්තරයක් තමයි රම්මලේ කන්ද කියන්නේ. වැඩි දෙනකු නොදැන සිටියත් මෙහි දැක ගත හැක්කේ තරමක සිසිල් දේශගුණයක්. ජනවාරි සිට ජූනි දක්වා නිරිතදිග මෝසමින් ද නොවැම්බර්- දෙසැම්බර් මාස දෙකේ ඊසානදිග මෝසමින් ද මේ ප්‍රදේශයට  වර්ෂාව ලැබෙනවා.

පහතරට නිවර්තන කලාපයේ වැවෙන හොර, බක්මී, මල්බුරුත, කුඹුක්, ඉඳි, කැකුණ, අංකෙන්ද, කිතුල් ආදී ශාක වර්ග රාශියක් මේ වනපෙතේ වැවෙනවා. වෙනිවැල්, කුඩුමිරිස ඇතුළු ඖෂධීය වැල් වර්ග රාශියක් ද දැකගත හැකි යි. රම්මල කඳුවැටියෙන් ආරම්භ වන සපුගහදොළ, බිසෝඇල්ල පිගලැල්ල දොළ ආදි  දොළ මාර්ගවලින්   කිරම ආර පෝෂණය වෙනවා. එහි ප්‍රධාන ජල පෝෂක  ප්‍රදේශය වන්නේ රම්මල රක්ෂිත වනය යි.

 ගොවිතැනට දියවර සපයන වරාපිටිය වැව – facebook.com

ජන ජීවිතය

තෙත් සහිත දේශගුණය නිසා කඳු පාමුල පෙදෙස් රාශියක තේ වගාව ආරම්භ කර තිබෙනවා. මේ නිසා කන්දේ පරිසරය විනාශ වන බවයි වාර්තා වන්නේ.  වන රක්‍ෂිත ප්‍රදේශ ද අත්පත් කර ගැනීම එහිදී සිදු ව තිබෙනවා. මේ වන විනාශය නිසා රම්මල කන්දේ නායායාම් ද වාර්තා වුණා. 2003 වර්ෂයේ  රන්මල කඳුවැටියේ “ සපුතන්ත්‍රී කන්ද” ප්‍රදේශයේ අක්කර 08 ක පමණ කොටසක් නාය යෑම නිසා  ජීවිත හානි 28 ක් සිදු වුණා. 

කුරුඳු වගාව සහ පැඟිරි වගාවත් මෙහි කලක පටන් කෙරෙනවා. කිරම බිබුලේගොඩ සහ කොහොම්පෝරුව ගමේ ජීවත් වන්නේ වළං කර්මාන්තයේ නිරත පවුල්. කිතුල් කර්මාන්තයත් මේ අවට දැකගත හැකි පුරාණයේ පටන් සිදුවන ජීවිකා වෘත්තියක්.

 සිත්තම් ගල්ලෙන විහාර දාගබ පසුබිමේ රම්මල කන්ද- facebook

ඉතිහාස පුවත්

මහාවංශයේ රම්මල කන්ද සඳහන් වන්නේ “සුවණ්ණමලය”නමින්. මේ ප්‍රදේශය ලංකා ඉතිහාසයේ මුලින් ම සඳහන් වන්නේ පළමුවන විජයබාහු රජ දවස යි. කුඩා කාලේ විජයබාහු කුමරු හා ඥාතීන් සතුරු සේනාවලින් ආරක්ෂාවීමට රම්මල අඩවියේ රෙමුණ හෙවත් සිත්නරු බිම් ප්‍රදේශයේ බුදල්නාවන් නම් පුද්ගලයාගේ රැකවරණය ලැබූ බව පනාකඩුව සන්නසේ සඳහන් වෙනවා.

පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ සුගලා බිසව සමඟ පැවති සටන්වලදී රම්මල අඩවියේ කඳවුරු කිහිපයක් ම පිහිටුවා ගත් බව මහාවංශය සඳහන් කරනවා. මාවරල, බෙරලපනාතර, ඌරුබොක්ක, පුවක්දණ්ඩාව, බෝවල, කටුවන ආදී ස්ථාන නාමවලින් ඒ බව පැහැදිලි වෙනවා. රම්මල කන්ද ආශ්‍රිත ව සිත්තම් ගල්ලෙන, කටුවන ශ්‍රී මහා විහාරය, අඹගහහෙන් පුරාණ විහාරය ඇතුළු  පැරණි විහාර කිහිපයක් ද දැකගත හැකි යි.

විජයබාහු කුමරු රම්මලේ කන්දේ “රෙමුණුගල කඳවුර” බැඳි බව සඳහන් වෙනවා. රම්මලට ආසන්නයේ ඇති බෝවලදී  විජයබාහු කුමාරයා” ,“ලොකේෂ්වර” සමඟ යුද කොට ජය අත්පත් කර ගත් බව ද මහාවංශය විස්තර කරනවා.

බුද්ධ වර්ෂ 2234 වැන්නෙහි ලියූ “කොලවෙනිගම විහාර සන්නසේ සඳහන් වන්නේ දන්ත ධාතුව ටික කලක් රම්මලේ කන්දේ සඟවා පැවති බවයි. “බියට පත් මහ සඟන දන්ත ධාතූන් වහන්සේ ප්‍රධානව වස්තූන් ද ගෙන රහසින්ම කොලවින්න විහාරය අතහැර වන වැදී මහ හිමයන් පසු කර රෝහණ දේශය බද රංමලේ නමැති ගිරට පැමිණ එහි වූ ගුහාවක දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා….” යන පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනවා.  

 සිත්තම් ගල්ලෙන විහාරයට යන මඟ- facebook

සිත්තම් ගල්ලෙන රජ මහ විහාරය

වලස්මුල්ලට නුදුරු වරාපිටිය – පාතේගම ගම් අතරමැද පිහිටි ඓතිහාසික රම්මලේ කඳු වැටිය පාමුල දැකුම්කලු පසුබිමෙක ‘සිත්තම් ගල්ලෙන්’ රජ මහා විහාරය දැකගත හැකියි.  ක්‍රිස්තු පූර්ව 01 වන සියවසෙහි දී වළගම්බා රජු  මේ විහාරයේ කටාරම් කොටවා ඉදිකරවූ බව ජනප්‍රවාදවල කියවෙනවා.  ගල් පර්වතයේ සිත්තම් ඇඳ තිබීම නිසා සිත්තම් ගල්ලෙන යන නම ලැබී තිබෙනවා.

විහා බිමේ රජ්ජුරුබණ්ඩාර   සහ කතරගම දේවාල සහිත නිසා පුංචි කතරගම ලෙසත් විහාරය හැඳින්වෙනවා.  මාතර සිට පැමිණෙන අයකුට වලස්මුල්ල මිද්දෙණිය මාර්ගයේ කිරමට පැමිණ, ඌරුබොක්ක මාර්ගයේ කිලෝ මීටර් 6 ක් පැමිණි පසු මෙම විහාරස්ථානයට ළඟා විය හැකි යි. මාවරල සිට කිලෝමීටර් 8 ක දුරකින් ද, ඌරුබොක්ක සිට කිලෝ මීටර් 9 ක දුරකින් ද මෙම විහාරස්ථානය පිහිටා තිබෙනවා.

 පර්වතය මත පියගැට- facebook

පසුව පොළොන්නරු යුගයේ දී පළමුවන විජයබා රජු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කර වැව් අමුණු සෑදීමේ දී සිත්තම්ගල්ලෙන ද ප්‍රතිසංස්කරණය කර ඇති බව ජනප්‍රවාවල සඳහන් වෙන කරුණක්.  විහාරස්ථානයේ ඉහළ මළුව විහාරයේ දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක් ද රජ්ජුරුබණ්ඩාර දේවාලය ඇතුළු සතර මහා දේවාල ද පිහිටා තිබෙනවා. ඉපැරැණි බෝධියක් ද  විහාර ගෙය ආසන්නයේ දැකගත හැකි යි. ගල මත  පොකුණක් ද, දාගබ ද පිහිටා තිබෙනවා.  පහළ විහාරයේ ගල් ලෙනක අපාය මුර්තිමත් කර තිබෙනවා. පහළ විහාරයේ ද දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සමඟ දෑගසව් හිමිවරුන්ගේත්, සත්සතියේත් ප්‍රතිමා මූර්තිමත් කර තිබෙනවා. මේවා පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක්වූ ප්‍රතිමායි.

ඊට අමතරව සැරියුත් මුගලන් අගසව් දෙනම, සත්සතිය, සුජාතාවගේ කිරිපිඩු දානය, පස්වග මහණුන්ට ධර්මය දෙසීම, ආදී අවස්ථා නිරූපණය කැරෙන ප්‍රතිමාත් මෑතක දී තනා තිබෙනවා. මෙම විහාරය ආශ්‍රිතව වාර්ෂික ඇසළ පෙරහරක් ද සංවිධානය කෙරෙනවා.  

 සුන්දර දියඇල්ල- facebook.com

සපුගහදොළ ඇල්ල

රන්මලේ කන්ද රක්ෂිතය තුළින් ගලා එන දිය දහරාව මගින් සපුගහදොළ ඇල්ල පෝෂණය වෙනවා. මෙහි ජලය ගලා ගොස් එකතු වන්නේ කිරම ආරට යි.  තෙත් කලාපීය පරිසරයක පිහිටා තිබෙන ඇල්ල උසින් අඩි 25 ක්. එය  කොටස් දෙකක් ලෙස පර්වත අතරින් පහළට ගලා හැලෙනවා.  

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් එකම දිය ඇල්ල වන්නේත් සපුගහදොළ ඇල්ල යි. දිය ඇල්ල පහළට වැටෙන ස්ථානයේ ස්වාභාවික නාන තටාකයක් ලෙස නිර්මාණය වි තිබෙනවා. මේ නිසා විශාල පිරිසක් ස්නානය සඳහා මේ දියඇල්ලට ඇදී  එන්නට පුරුදු වෙලා. ඇත්අඩි ඇල්ල නමින් තවත් කුඩා ඇල්ලක්ද රම්මලේ දිය පහරකින් නිර්මාණය වෙනවා.

 වරාපිටිය වැවේ දසුනක් – Katuwanaps.gov.lk

 

වරාපිටිය වැව

කිරම හන්දියේ සිට වරාපිටිය මාර්ගයේ කිලෝ මීටර 07 ක් පමණ ගිය විට වරාපිටිය හන්දිය හමුවෙනවා. වැව පිහිටා ඇත්තේ වරාපිටිය හන්දිය අසලම යි. රම්මල කන්ද පසුබිමේ පිහිටි මේ ජලාශය ඉතා අලංකාර පරිසරයක් මවා පානවා.  රම්මල කඳුවැටියට අයත් සපුතන්ත්‍රිකන්ද, බැලුම්ගල කන්ද වැනි ඉතා අලංකාර කදු මුදුන් මේ අසලට කදිමට දර්ශනය වෙනවා.  

රම්මල ආරණ්‍ය සේනාසනය

රම්මල රක්ෂිත වනයේ පිහිටි මෙහි බවුන් වඩන භික්ෂුන් වහන්සේ වැඩවාසට කරනවා.  මෙම සේනාසනය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන බව පුරාවෘත්තවල කියවෙනවා. කාගේත් සිත් නිවන් තැනක් වන රම්මල ආරණ්‍ය සේනාසනයට සංචාරකයන්ට පැමිණිය හැකි වන පරිදි පසුගිය කාලයේ මෙහි මාර්ගය ද නවිකරණය කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- කෙත්යායට පසුබිම් වූ රම්මලේ කඳුවැටිය -facebook.com

මූලාශ්‍ර:

රම්මල් පුවත- සුමිත් රණසිංහ

cens.lk

dinamina.lk

budusarana.lk

Related Articles