ලොව උසම වනෝද්‍යානය – සාගර්මාතා ජාතික වනෝද්‍යානය

ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් විවිධ කරණා හේතුකොටගෙන විශේෂ වන වනෝද්‍යාන ගැන වාර්තා වනවා. අද මෙම ලිපියෙන් අපි කතා කරන්නේ ඒ වගේ තරමක් විශේෂ වනෝද්‍යානයක් ගැනයි. ලොව උසම වනෝද්‍යානය නම් කරලා තියෙන්නේ සාගර්මාතා කියලයි. ඒ අනුව මෙහි පිහිටීම, නම් කිරීම, ස්ථාපිත කිරීම, දැක ගත හැකි ශාක හා සත්ව විශේෂ මෙන්ම ෂර්පා ජන කොට්ඨාසය ගැනත් දැනුවත් වීමට මෙහි දී හැකියාව ලැබෙනවා.

පිහිටීම හා නම් කිරීම

වනෝද්‍යානයට ඇතුල් වන ස්ථානය (commons.wikimedia.org)

ලෝකයේ උසම ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ එවරස්ට් කන්ද අශ්‍රිතව බව පැවසෙනවා. මෙම එවරස්ට් කන්ද නේපාල ජාතිකයන් හඳුන්වනු ලබන්නේ සාගර්මාතා කියලයි. එහි අර්ථය මුහුදෙහි සිට ඉහළම ස්ථානය වැන්නක්. ඒ වගේම ටිබෙට් ජාතිකයන් කන්ද හඳුන්වන්නේ චොමොලුන්ග්මා කියලයි.

මුල්ම වතාවට එවරස්ට් කන්ද තරණය කිරීමට සුදානම් වී හිටියේ සර් එඩ්මන්ඩ් හිලරි යි. ඔහු කන්ද තරණය කිරීමට පෙරාතුව ඔහුගෙන් අසා තිබුණේ,

“ ඔබේ හදවත මුව තුළට එන තෙක් අපහසුවෙන් හුස්ම ගැනීමට ඔබට සිදුවනු ඇත. ඔබට හිසරදය සහා වමනය ඇති වෙයි. ආහාර ගිලීමට අපහසු වෙයි. ඔබට සිරුර විඩාපත් කරවයි. එමෙන්ම ඔබට නිදා ගැනීමට නොහැකි වනවා පමණක් නොව එහිදී ඔබ පහසුවෙන් මිය යාමටද ඉඩ ඇත. එතරම් අවදානමක් තිබෙද්දිත් ඔබ ලොව උසම කන්ද තරණය කිරීමට උත්සාහා දරන්නේ ඇයි? “ යන්නයි.

මෙම ලිපිය එවරස්ට් කන්ද ගැන ලියන්නක් නොවුවත් මෙමඟින් ප්‍රස්තුත කරන්නට උත්සහා කරන්නේ එවරස්ට් කන්ද හා බැඳී තිබෙන කටුක අපහසු පරිසරයයි. ඒ වගේම ලොව උසම වනෝද්‍යානය ද පිහිටා තිබෙන්නේ හිමෙන් වැසුණු මේ ආකාරයට කටුක දුෂ්කර පරිසරයකයි.

ස්ථාපිත කිරීම

සාගර්මාතා වනෝද්‍යානය පිහිටුවා තිබෙන්නේ වර්ෂ 1976 දී ය. එය​ වර්ග සැතපුම් 470කින් පමණ විශාල භුමි ප්‍රදේශයකින් යුක්ත වනවා. ඒ වගේම ඩඩ්කෝෂී නමැති ගංගාවේ ඉහළ ද්‍රෝණිය පිහිටා තිබෙන්නේ සාගර්මතා වනෝද්‍යානයට අයත් සිමාව තුළ බව දැක්වෙනවා. ෆේසාලේ නමැති ස්ථානයේ ආසන්නයේදී මෙම වනෝද්‍යානයට පිවිසීමට ලඟා වීය හැකි වනවා. ඒ වගේම මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 9184 ක් පමණ ඉහළින් පිහිටා තිබෙන බවද සඳහන්. මෙම ස්ථානයේ සිට එවරස්ට් කන්ද මුදුනට යාමට නම් තවත් අඩි 19680 ක් පමණ නැගිය යුතු බව දැක්වෙනවා.

දැක ගත හැකි ශාක විශේෂ

වනෝද්‍යානයෙදී දැක ගත හැකි මල් වර්ගයක් (grida.no)

බර්ච් , ජුනිපර් සහ රොඩොඩෙන්ඩ‍්‍රන් නමැති ශාක වර්ග වනෝද්‍යානයේ පහළ කොටසේදී දැක ගත හැකි බව දක්වනවා. ඒ වගේම පළමු මෝසම් කාලයෙන් අනතුරුව එළඹෙන ජුනි මාසයේදී රොඩොඩෙ‍්‍රන්ඩන් නමැති ගස් වල ප්‍රමාණයෙන් අධික වර්ණවත් මල් රාශියක් හට ගන්නා බව සඳහන් වනවා. නමුත් ඉහළ කොටසට ගමන් කරන විට ශාක වැදීමේ ප්‍රවණතාවය යම් අඩු මට්ටමක තිබෙන බව දක්වනවා. ඒ වගේම උස වැඩි වන විට පඳුරු වැනි ශාක දැක ගත හැකි බව දක්වනවා.

ඒ වගේම 1988 දී ගින්නෙන් විනාශ වූ පසු නැවත ඉදි කරන ලද අලංකාර ආරාමයක් මෙහි තිබෙන බව වාර්තා වනවා.

දැක ගත හැකි සත්ව විශේෂ

Himalayan musk deer (grida.no)

මෙම වනෝද්‍යානයේ වටිනා කමින් ඉතාමත් ඉහළ සත්ව විශේෂ ජිවත් වන බව සඳහන් වනවා. මීටර් තුනක් පමණ උසින් යුතු කස්තුරි මුවා, උස් උන්නතාංශයේදී දක්නට ලැබෙන හිමාලයානු එළුවා සහ බෙල්ල, සහ ඉදිරි ගාත‍්‍රා ලොමින් වැසුණු කඳුකර එළුවා, මාංශ භක්ෂකයින් අතර ආසියානු කළු වලසා සහ කුඩා පැන්ඩා විශේෂයන් දැක ගත හැකි බව සඳහන් වනවා.

ඒ වගේම පක්ෂි විශේෂ 118 කට වඩා අධික ප්‍රමාණයක් මෙහි වාසය කරනු ලබනවා. ඒ අතර Himalayan monal, blood pheasant, red-billed chough, yellow-billed chough වන බව සඳහන් වෙනවා. ඒ වගේම වනාන්තරයේදී මෙන්ම කඳු ආශ්‍රිතවත් මෙම පක්ෂීන් දැක බලා ගත හැකි වනවා. නන්පා, ජාගොසුම්බා , කුම්බු සහ ඉම්ප්, යන විශාල ග්ලැසියර මඟින් සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය තවත් ඔප් නංවනවා.

මෙම ප්‍රදේශය තුළම පිහිටි ගොක්‍යෝ විල් 2007 දී රම්සාර් තෙත් බිමක් ලෙස නම් කෙරුණා. එයද සාගර්මාතා වනෝද්‍යානයේ වටිනාකම වැඩි වීමට හේතුවක් වුණා.

ෂර්පා ජන කොට්ඨාසය (Sherpa people)

ෂර්පා ජන කොට්ඨාසයට අයත් පුද්ගලයෙක් (thoughtco.com)

ඉහළ කඳුකරයේ දී දැක ගත හැකි ජන කොට්ඨාසයක් හැටියට ෂර්පා හඳුන්වන්නට පුළුවන්. මොවුන්ගේ ප්‍රභවය සිදු වී තිබෙන්නේ නැගෙනහිර ටිබෙටයේයි. ඒ වගේම ක්‍රි.ව. 1400 – 1500 යන වකවානු වල මොවුන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වෙලා තියනවා. ඔවුන් සාගර්මාතා ජාතික වනෝද්‍යානයට අයත් භූමියේ වෙන්ව පිහිටි ගම්මාන කීපයක වාසය කරන බවත් සඳහන් වනවා. ජිවත් වීමට අපහසු ප්‍රදේශයක උනත් මොවුන් සම්ප්‍රදායික කෘෂිකාර්මාන්තයෙනුත් වර්තමානයේ සංචාරක කර්මාන්තයෙනුත් ජිවත් වෙනවා. මෙම සංචාරකයින් මෙම ප්‍රදේශයට පැමිණීම ආරම්භ වෙලා තියෙන්නේ 1960 වර්ෂයේදී පමණය. ඒවගේම 2003 වසරේදී 19,000 පමණ සංචාරකයින් පැමිණිලා තියනවා.

වසරේ ඕනෑම කාලයකදී වනෝද්‍යානය නැරඹීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ දේශගුණික වෙනස් වීම් සිදු වීමයි. ජුනි සිට සැප්තැම්බර් කාලයේ මෝසම් සුළං හේතුවෙනුත්, ශිත සෘතුවේදී අධික සීතල හේතුවෙනුත් බාධා ඇති කරනු ලබනවා. මේ හේතුවෙන් සාගර්මාතා ජාතික වනෝද්‍යානය සංචාරයේ දීමට හැකි වන්නේ අතරමැදි කාල වලදී පමණක් බවද සඳහන් වනවා. මේ අතර වසන්ත සෘතුව ප්‍රධාන ස්ථානයක් ගන්නා බව දැක්වෙනවා.

කවරයේ පින්තුරය: stretchingintoinfinity.com

Related Articles