Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මකුළුවන් 111ක් සොයා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා 

ලෝක ප්‍රකට ස්පයිඩර් මෑන් සිනමාපට මාලාව ඔබ නරඹා ඇත්නම් මකුළුවන් දෙස නිර්මාණශීලි ව බැලූ සිනමාකරුවන් පිරිසකගේ අපුරු සංකල්පනා දකින්නට ඇති. අපේ විද්‍යාඥයෙක් මේ කෘමි සත්වයා දෙස කුතුහලයෙන් බැලීමේ ප්‍රතිඵලය වූයේ ලෝකය මෙතෙක් නොදැන සිටි නව මකුළු විශේෂ 111ක් මේ වනවිට සොයාගැනීමට හැකියාව ලැබීම යි. ජාත්‍යන්තර කීර්තියට පත් මේ විද්‍යාඥයා මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පර්යේෂණ මහාචාර්යවරයෙක් වන සුරේෂ් පී. බෙන්ජමින්. මහාචාර්ය බෙන්ජමින්ගේ අපූරු සොයාගැනීම් දෙස අපත් විමසිලිමත් වුණා. 

මහාචාර්ය බෙන්ජමින් මූලික අධ්‍යයන ආයතන පර්යේෂණාගාරයේ – nifs.ac.lk

  මහාචාර්ය බෙන්ජමින්

මූලික අධ්‍යයන ආයතනයේ  පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීවවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස සේවය කරන්නේ මහාචාර්ය  බෙන්ජමින්.  ඔහු මකුළුවන් දෙස බාල කාලයේ සිට ම ඉතා කුතුහලයෙන් බැලූ කෙනෙක්. මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙන්නේ මකුළුවන් දැල් සාදන ආකාරය පිළිබඳව යි. අවසානයේ ඔහු තමා පෙමින් බැදුණු තරුණිය  සිහිවීම සඳහා ද ඇගේ නමින් ද නව මකුළු විශේෂයක් නම් කර තිබෙනවා.

ජීවන තතු

කොළඹ දී උපත ලැබූ  සුරේෂ් පී. බෙන්ජමින් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයෙන්. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා  ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්රුක් විශ්වවිද්‍යාලයෙන් (University of Innsbruck) විද්‍යාපති උපාධියත්, ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විද්‍යාලයෙන් (University of Basel) ආචාර්ය උපාධියත් හිමි කර ගත්තා. පසුව අමෙරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ සහ වොෂිංටන්හි ස්මිත්සෝනියන් ආයතනයේ පර්යේෂණ කළ ඔහු  ශ්‍රී ලංකාවට පැමිණ පර්යේෂණ මහාචාර්යවරයෙක් ලෙස මහනුවර හන්තානේ පිහිටි මූලික අධ්‍යයන ආයතනයට එකතු වුණා. 

 ජර්මනියේ හම්බෝල්ට් පදනම මගින් පිරිනමන ජෝර්ජි ෆොස්ටර් පර්යේෂණ සම්මානය ද පසුගියදා ඔහු දිනා ගත් අතර ඒ පනින මකුළුවන් පිළිබඳ ව කළ අධ්‍යයනවලට යි. 

මහාචාර්යවරයා සොයාගත් නව මකුළුවෙක් – earth.com

මෑත පර්යේෂණ

පනින මකුළු විශේෂ හතක් අලුතින් හඳුන්වාදීමට මහාචාර්ය බෙන්ජමින් සමත් වුණේ මේ අවුරුද්ද මුලදී යි. මහාචාර්ය බෙන්ජමින් සමඟ මේ පර්යේෂණ සඳහා මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂිකා දිලිනි බෝපෙආරච්චිත් එක්වී තිබෙනවා. පනින මකුළු පවුලේ flacillula ගණයට මේ සතුන් අයිති වෙනවා.

පනින මකුළුවන් ගණ 658කට අයත් විශේෂ 6323ක් මේ වනවිට ලෝකයේ සිටිනවා. ශ්‍රී ලංකාවේ මකුළු ගණත්වය ඉහළ මට්ටමක පවති බව යි මහාචාර්ය බෙන්ජමින් පවසන්නේ. මේ මකුළුවන් කුඩා ප්‍රමාණයේ විශේෂවල සිට විශාල විශේෂ දක්වා පැතිර සිටිනවා. උන් තම ගොදුරු අල්ලා ගැනීමට ඉදිරි ගාත්‍රා දෙක උපයෝගී කර ගන්නවා. පනින මකුළුවන්ගේ ඇස් අටක් පිහිටා තිබෙන අතර නළලේ ලොකු ඇස් දෙකක් තිබෙනවා. තවත් ඇස් තුන බැගින් ඒ දෙපස පිහිටා තිබෙනවා. ඔවුන්ට ඉතා තියුණු ඇස් පෙනීමක් තිබෙනවා. 

මෑතක දී සොයා ගත් පනින මකුළුවන් – mongabay.com

විස මකුළු ලෝකය

සත්ව විද්‍යාත්මකව  Araneae නම් ගෝත්‍රයට සියලු ම මකුළුවන් ඇතුළත් කර තිබෙනවා.  කුල 114කට අයත් මකුළු විශේෂ 45756ක්‌ මේ වන විට ලොව පුරා වාර්තා වී තිබෙන බව පර්යේෂණවලින් පේනවා. සැම පරිසර පද්ධතියක ම පාහේ මකුළුවන් ජීවත් වෙනවා. මකුළුවන් බහුතරයක්‌ ඉතා කුඩා වන නමුත් ඇතැම් දිවි මකුළුවන් සෙන්ටිමීටර් 10 පමණ දක්‌වා දිග යි.

ලංකාවේ දිවි මකුළුවෙක් – Diariya youtube channel

මකුළුවන් පිළිබඳ ව සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ ඉතා සුළු දැනුමක්. එනිසා ම නොයෙකුත් මිථ්‍යා විශ්වාස පැතිර තිබෙන බව පෙනෙනවා.  සමහරුන් සිතන්නේ සැම මකුළුවකු ම විස සහිත බව යි. අප රටේ හමු වන කිසිදු මකුළුවකු මාරාන්තික විස සහිත නැහැ.  සුළු විෂක් හෝ ඇත්තේ වනාන්තරබද ව වාසය කරන දිවි මකුළුවන්ට පමණ යි. ශ්‍රී ලංකාවේ දිවි මකුළු විශේෂ 9ක්‌ වාර්තා වී ඇති අතර ඉන් 8ක්‌ ම අප රටට ආවේණික යි. 

මකුළුවන් නිපදවන විස ස්‌නායු පද්ධතියට බලපෑම් ඇති කරන  හෝ දෂ්ට කළ ස්‌ථානයේ පටකවලට හානි කරන විස ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්වෙනවා. ලොව වඩාත් ම විසසහිත යයි සැලකෙන මකුළු විශේෂ වන The black widow, Brazilian wandering spider සහ Sydney funnel web spider යන විශේෂයන්ගේ විස ස්‌නායු පද්ධතියට බලපෑම් ඇති කරනවා. 

බිරියගේ නම තැබූ සිංහරාජයේ මකුළුවා- srihnada.lk

මකුළු පර්යේෂණ

ශ්‍රී ලංකාවේ පක්ෂීන්, ක්ෂීරපායින්, උභය ජීවීන්, කටුස්සන් සහ සමනලුන් වැනි සත්ව කාණ්ඩ පිළිබඳ ව විශාල පිරිසක් පර්යේෂණ කළත් මකුළුවන් සහ කෘමීන් පිළිබඳ ව අධ්‍යයනය සඳහා යොමු ව සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණ යි. වැඩි දෙනෙක් සලකන්නේ මකුළුවා පිලිකුල්සහගත වැඩකට නැති සතෙක් කියා යි. මහාචාර්ය බෙන්ජමින් පවසන්නේ මකුළුවා අපූරු නිර්මාණශීලී දැලක් වියන, පරිසර සමතුලිතතාවට දායකවන කෘමියෙක් බව යි. 

ලංකාවේ මකුළුවන් ගැන විද්‍යාත්මක පර්යේෂණ කරන විද්‍යාඥයන් දුලබ යි.  මහාචාර්ය බෙන්ජමින්  මුලින් ම 2010 දී දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයෙන්  නව මකුළුවෙක්  ලොවට හඳුන්වා දීමට සමත් වුණා. සිංහරාජයෙන්  හමුවුණු අලංකාර මකුළුවෙක් ඔහු නම් කළේ තම බිරිය දුෂානිගේ නමින්. Myrimaracachne dushanai එම මකුළුවාගේ නම යි.

වනගතව පර්යේෂණ කරමින් – twitter.com

ලංකාවේ මකුළුවන් 596යි

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති මකුළුවන් විශේෂ සංඛ්‍යාව 596ක්. ඉන් 90%ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික වෙනවා. මහාචාර්ය බෙන්ජමින් සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් පමණ ඉරිදියේ දී සොයා ගැනීමට තිබෙන බව යි. අතීතයේ ප්‍රමාණවත් තොරතුරු නොමැති ව හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ කිහිපයක් මහාචාර්ය බෙන්ජමින් නැවත විස්තරාත්මකව හඳුන්වා දීම ද සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මකුළුවන්ට ඇති ප්‍රබල ම තර්ජනය වන්නේ උන් ජීවත් වන වනගත පරිසරය විනාශ වී කොන්ක්‍රිට් වනාන්තර බිහිවීම යි. සංවර්ධන කටයුතුවලට මුවා වී කරන අවිධිමත් ඉදිකිරීම් නිසා බෙහෝ සත්ව වාසස්ථාන අහිමිවෙමින් පවතිනවා. 

මෑතක දී හඳුන්වා දුන් නව මකුළු විශේෂ තුනක් – පරිසර සමාගම facebook page

මකුළුවන් සොයා ගත් රටවල්

අලුතින් හඳුන්වා දුන් මකුළුවන් අතරින්, වැඩි ම ප්‍රමාණයක් සිටින්නේ ශ්‍රී ලංකාවේ යි. අනෙකුත්  රටවලින් හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ ගණන 22ක්. ඉන්දුනීසියාව (07), බ්‍රසීලය (04), මැලේසියාව (03), ඉන්දියාව (04), මැඩගස්කරය (01), ටැන්සානියාව (02) යන රටවලින් සහ ඩොමිනිකන් රාජ්‍යය (01) එම නව මකුළු විශේෂ හමුවූ රටවල් අතරට අයත් වෙනවා. 

මහාචාර්ය බෙන්ජමින් සඳහන් කරන්නේ තමන් පර්යේෂණ කරන මකුළු එකතුව මූලික අධ්‍යයන ආයතනයේ තිබෙන අතර  පරීක්ෂණ අවසන් වුණා ම ඒ සතුන් ජාතික කෞතුකාගාරයට භාර දෙන බව යි.

කවරයේ ඡායාරූපය - මහාචාර්ය බෙන්ජමින් සහ ඔහු පසුගියදා ලංකාවෙන් සොයාගත් පනින මකුළුවන් - gwu.edu/ mongabay.com
මූලාශ්‍ර:
bbc.com
nifs.ac.lk
Dailynews.lk

Related Articles