ශ්‍රී ලංකා භූමියෙන් වඳ වී ගිය බිලාලයන්

බිලාලයන් කියන්නේ බළල් පවුලට අයත් සිව්පා සතුන් හඳුන්වන්න පාවිච්චි කරන නමක්. ලංකාවේ දැනට බිලාල පවුලට අයත් සතුන් වර්ග කිහිපයක්ම දකින්න ලැබුණත් මේ වර්ගයේ වඩාත් ජනප්‍රිය විශාල සතුන් වන සිංහයන් සහ කොටියන් දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ අද බිලාල වර්ගයට අයත් විශාල ප්‍රමාණයේ සතෙක් විදිහට දකින්න ලැබෙන්නේ දිවියා විතරයි. හැබැයි අතීත බිතු සිතුවම් සහ ඉතිහාස වාර්තා වල ලංකාවේ සිටි සිංහයන් සහ කොටින් ගැන දැක්වෙන සටහන් නිවැරදි වෙන්න හේතු කිහිපයක්ම  සොයා ගෙන තියෙනවා.

පුරාවිද්‍යාඥයන් මෑතකදී ලංකාවේ සිදු කරපු කැණීම්වලින් වැදගත් කරුණු රාශියක් හෙළිදරව් කරගෙන තියෙනවා. මේ අතරින් මෑතකදී සොයා ගත්තු  බලංගොඩ මානවයාට අයත් ඇටසැකිලි කොටස් සහ සංස්කෘතික සාක්ෂි ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව සොයා ගත්තු අනිත් වැදගත්ම දේ තමයි ලංකා භූමියේ අතීතයේ ජීවත් වුණු සතුන්ගේ පොසිල. මේ පොසිල අතර අපි කලින් කියපු බිලාල කුලයේ විශාල සතුන්ගේ පොසිල සොයා ගන්නත් මොවුන් සමත් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්න සත්ව පුරාවිද්‍යාව සහ පාෂාණිභූත විද්‍යාව (සරලව කිව්වොත් පොසිල විද්‍යාව) ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක් විදිහට සැලකෙන කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව ලංකාවේ සොයා ගත් ක්ෂීරපායී සතුන්ගේ පොසිල වැඩිම ගණනක් හමු වෙලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉතා බහුල මැණික් ඉල්ලම් පසේ මේ පොසිල වැඩියෙන් දකින්න ලැබෙනවා. රත්නපුර සත්ව ප්‍රජාව (Ratnapura Fauna) කියලා හඳුන්වන මේ පොසිල පොලව මට්ටමේ සිට මීටර් 4 – 12 අතර ගැඹුරක තමයි බහුල වශයෙන් පැතිරිලා තියෙන්නේ. සමහර පොසිල මීටර් 35ක් තරම් ගැඹුරකින් පවා සොයා ගෙන තියෙනවා.

ලංකා සිංහයා

ලංකා සිංහයා (Leo sinhaleyus) ගේ පාෂාණිභූත දතක්. මේ සතාගේ යටි හනුවේ වම් පැත්තේ චාර්වක දතක් වන මේ පොසිලය ලංකාවේ පරිණාමය වුණු සිංහ විශේෂයක් අතීතයේ ජීවත් වුණු බවට ප්‍රබල සාක්ෂියක්. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා

ලංකා සිංහයා (Leo sinhaleyus) ගේ පාෂාණිභූත දතක්. මේ සතාගේ යටි හනුවේ වම් පැත්තේ චාර්වක දතක් වන මේ පොසිලය ලංකාවේ පරිණාමය වුණු සිංහ විශේෂයක් අතීතයේ ජීවත් වුණු බවට ප්‍රබල සාක්ෂියක්. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා

ශ්‍රී ලංකාව තුල සිංහයන් විසූ බවට මුලින්ම මත පල වෙන්න පටන් අරගෙන තියෙන්නේ 1930දී සොයා ගත්තු පොසිල දෙකක් නිසයි. ඊට පස්සේ මීට අදාලව කැණීම් කටයුතු පවා පුළුල් කෙරුණා. නමුත් කණගාටුවකට වගේ මේ මුලින්ම සොයා ගත් පොසිල දෙක හැරෙන්න ප්ලෛයිස්ටොසීන යුගයට අයත් සිංහ ප්‍රජාවක් ගැන වෙනත් සාක්ෂි මේ වන තුරුත් සොයා ගෙන නැහැ.

මීට වසර හයකට පස්සේ, ඒ කිව්වේ 1936 අවුරුද්දේ කුරුවිට ප්‍රදේශයෙන් සිංහ දත් දෙකක් සොයා ගත් බව එවකට සිටි දක්ෂතම පුරා විද්‍යාඥයෙක් වන P. E. P. දැරණියගල මහත්මයා තම වාර්තා සටහන්වල දක්වලා තියෙනවා. ඔහුට අනුව මේවා ලංකාවට ආවේණික වුණු සිංහ අනු කාණ්ඩයක සතුන්ට අයත් දත් දෙකක්. මෙම කාණ්ඩයේ විද්‍යාත්මක නාමය Panthera leo sinhaleyus හෙවත් ශ්‍රී ලංකා සිංහයා (එවකට සිලෝන්හි සිංහයා) ලෙස ඔහු හඳුන්වා දුන්නා.

මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා සම කර්තෘවරයෙක් වශයෙන් ප්‍රකාශයට පත් කරපු විද්‍යාත්මක ලිපියකට අනුව මේ දත් දෙක ශ්‍රී ලංකා සිංහයෙකුගේ යටි හනුවේ වම් පස චාර්වක දත් තුනෙන් එකක් සහ යටි හනුවේ දකුණු පස රදනක දත විදිහට හඳුනාගෙන තියෙනවා. මේ අතරින් අපි ඉහළ රූපයෙන් දක්වලා තියෙන චාර්වක දත තමයි ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වර්ගීකරණයට ඇතුලත් කරගන්න උපයෝගී කර ගැනුණේ. රදනක දත “පැහැදිලි නිගමනයකට එන්න තරම් හොඳ තත්වයකින් ආරක්ෂා වෙලා තිබුණේ නැහැ” කියලා එම විද්‍යාත්මක ලිපියේ දක්වලා තියෙනවා.

දැරණියගල මහත්මයා මේ සිංහ කොට්ඨාශය විශේෂ කාණ්ඩයකට ඇතුලත් කළත් මේ සතා අනෙක් සිංහ වර්ග වලින් වෙනස් වුණේ මොන විදිහටද කියලා පැහැදිලි කර ගන්න අතිරේක සාක්ෂි කිසිවක් තාමත් හමු වෙලා නොතිබීම කණගාටුවට කරුණක්. බොහෝ පුරා විද්‍යාඥයන්ගේ මතය අනුව මේ පොසිල වසර 100,000ක් තරම් පැරණි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වානරයන් සංස්කෘතික වශයෙන් නව්‍ය මිනිසුන් බවට පරිණාමය වෙන්නත් කලින් මිහිතලයෙන් වඳ වෙලා ගියා වෙන්නත් පුළුවන්.

පුරාතන කොටියා

පුරාතන යුගයේ විසූ දැවැන්ත කොටියෙක් චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්. රූපය : petsme.org

පුරාතන යුගයේ විසූ දැවැන්ත කොටියෙක් චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්. රූපය : petsme.org

ශ්‍රී ලංකා සිංහයා ගැන සාක්ෂි විරල වුණත් ලංකාවේ ජීවත් වුණු පුරාතන කොටි විශේෂයක් ගැන වඩා පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙනවා. වැඩි පොසිල ගණනක් හමු වෙලා තියෙන නිසා වඩාත් ගැඹුරින් කෙරුණු අධ්‍යයනයන් පවා සොයා ගන්න පුළුවන්.

Panthera tigris කියලා හඳුන්වන මේ පුරාතන කොටි විශේෂය ලංකාවේ විසූ බව පොසිල සහ අනු පොසිල 9ක් ඇසුරෙන් තහවුරු වෙලා තිබෙනවා. මෙයින් හතරක කාබන් කාල නිර්ණ දත්ත ඇසුරෙන් මේ කොටි විශේෂය මීට වසර 14,000 – 17,000කට ඉහත කාලයේ ජීවත් වූ බව දක්වන්න පුළුවන්. ඒ අනුව පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා සිංහයා සිටි කාලයට වඩා ඉතා මෑතකදී මේ කොටි විශේෂය ජීවත් වී ඇති බවයි. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව මේ කොටියන්ගේ පොසිල කිහිපයක් බලංගොඩ මානවයා “ඉවතලන ආහාර පාන දැමූ ස්ථාන” (kitchen midden) වලට ඉතා ආසන්නයෙන් දැක ගන්න ලැබෙන නිසා එකල මිනිසුන් මේ කොටියන්ව ආහාර පිණිස දඩයම් කරන්න ඇති බවත් තහවුරු කරගන්න පුළුවන්. (උදාහරණයකට අපි කුණු දමන තැනක තියෙන කුකුල් මස් කටු වලින් අපි කුකුළන් මස් පිණිස ආහාරයට ගත්තු බව තහවුරු කර ගන්නවා වගේ)

බටදොඹලෙන ප්‍රදේශයෙන් හමු වුණු පුරාතන කොටියෙකුගේ ඇට කැබැල්ලක්. මෙය උගේ දකුණු පාදයේ ඇඟිල්ලක මැද පුරුකක් විදිහට හඳුනාගෙන තියෙනවා. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා

බටදොඹලෙන ප්‍රදේශයෙන් හමු වුණු පුරාතන කොටියෙකුගේ ඇට කැබැල්ලක්. මෙය උගේ දකුණු පාදයේ ඇඟිල්ලක මැද පුරුකක් විදිහට හඳුනාගෙන තියෙනවා. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා

මේ පොසිල වැඩි හරියක් සොයා ගනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතවයි. මේ විදිහට සොයා ගත්තු කොටි පොසිල ගැන විස්තර පහතින් දක්වලා තියෙනවා.

  1. මේ කොටි වර්ගයට අයත් සතෙකුගේ යටි හනුවේ වම් පැත්තේ පළවෙනි චාර්වක දතේ පොසිලයක් 1963 වර්ෂයේදී P. E. P. දැරණියගල මහත්මයා විසින් සොයා ගනු ලැබුවා.
  2. ඇඟිල්ලක මැද පුරුකේ හොඳ තත්වයේ සම්පූර්ණ නිදර්ශකයක්, නියපොත්ත සම්බන්ධ පුරුකක කොටසක්, පාදයට සම්බන්ධ වන පුරුකේ කොටසක් සහ ඉහළ හනුවේ පුරස් චාර්වක දතක කොටසක් කුරුවිට පිහිටි බටදොඹලෙන ගුහාව තුලින් 1982දී සොයා ගැනුණා.

    (ක්ෂීරපායී සතුන්ගේ ඇඟිලි පුරුක් තුනකින් සමන්විතයි. මේ පුරුක් තුන නියපොත්තට සම්බන්ධ පළමු පුරුක [වඩාත් ඈතින් ඇති] – distal phalanx, මැදි පුරුක – middle phalanx, පාදයට/අත්ලට සම්බන්ධ පුරුක [වඩාත් ලඟින් ඇති] – proximal phalanx කියලා හඳුන්වනවා. ඔබේ අත දිහා බැලුවොත් මේ පුරුක් තුන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පාදයේ ඇඟිලි වුණත් මේ විදිහට පුරුක් තුනකට බෙදිලා තියෙනවා. මේක ක්ෂීරපායී සතුන්ගේ පැහැදිලි ලක්ෂණයක්. බල්ලෙක් පූසෙක් වගේ ඕනෑම සතෙක්ගේ මේ ලක්ෂණය පිහිටා තියෙනවා. කුර ඇති සතුන්ගේ මේ පළමු පුරුක තමයි කුරය බවට පත් වෙන්නේ.)

  3. දකුණු පාදයේ විලුඹ ඇටයේ (astragalus) සම්පූර්ණ නිදර්ශකයක් සහ නියපොත්තට සම්බන්ධ පළමු පුරුකේ කොටසක් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාහියන්ගල ලෙන් ගුහා වලින් 2009දී සොයා ගැනුණා.
  4. නියපොත්තට සම්බන්ධ පළමු පුරුකේ කොටසක් සහ පුරස්චාර්වක දතක් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවල ප්‍රදේශයේ පිහිටි පොත්ගුල් ලෙන තුල තිබී 2008 දෙසැම්බර් සිට 2009 වසරේ මැයි දක්වා කාලයේ කළ කැණීම් වලින් සොයා ගැනුණා.

මේ පොසිල වලින් අපට ලැබෙන අනෙකුත් තොරතුරු

ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික / කලා අංග වල සිංහයන් හා සම්බන්ධ ඉදිරිපත් කිරීම් දකින්න ලැබුණත් දැනට පවතින සාක්ෂි අනුව ඒ කිසිවක් ලංකාවේ ජීවත් වුණු බිලාල කුලයේ සතුන්ට සම්බන්ධ බවට තොරතුරු නැහැ. රූපය : hitchhikersguidetosrilanka.wordpress.com

ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික / කලා අංග වල සිංහයන් හා සම්බන්ධ ඉදිරිපත් කිරීම් දකින්න ලැබුණත් දැනට පවතින සාක්ෂි අනුව ඒ කිසිවක් ලංකාවේ ජීවත් වුණු බිලාල කුලයේ සතුන්ට සම්බන්ධ බවට තොරතුරු නැහැ. රූපය : hitchhikersguidetosrilanka.wordpress.com

මේ පොසිල ඇසුරෙන් පැන නැගෙන ප්‍රධානම ප්‍රශ්නය මේ සතුන් වඳ වෙලා ගියේ ඇයි කියන එක. මේ ගැන මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා කියන්නේ ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දෙන්න අපහසු වුණත් වාසය කිරීමට නුසුදුසු විදිහට වාස භූමියේ සිදු වුණු වෙනස්කම්, වාස භූමිය අහිමි වීම වගේ කරුණු ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් කියලයි. ඇතැම් විට ඒ කාලයේ විසූ වඩාත් විශාල සතුන්ට ගොදුරු වීමේ සම්භාවිතාවකුත් තිබුණු බව ඔහු කියා සිටියා. කොටියන් සහ සිංහයන් කියන්නේ ඉතා සුවිශේෂී වාස භූමි ලක්ෂණ අවශ්‍ය සත්ව කොට්ඨාශ දෙකක්. විශේෂයෙන්ම සිංහයන්ට ජීවත් වීම සඳහා විවෘත උස් තණ භූමිය අත්‍යාවශ්‍ය සාධකයක්.

මේ නිසා ලංකාවේ පුරාතන සිංහයන් වඳ වී යාමට පැහැදිලි පුරෝකතනයක් විශේෂඥයන් ලබා දීලා තියෙනවා.

උස් තණ භූමිය සිංහයන්ට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා ලංකා ඉතිහාසයේ වර්ෂාව ගහණ වූ යුගය (pluvial phase) සමග ප්‍රදේශය පුරාම අලුතින් පහළ වූ වැසි වනාන්තර සහ ඝන මෝසම් වනාන්තර නිසා ඔවුන්ගේ වාස භූමිය අහිමි වුණා කියලා හිතන්න පුළුවන්. මෙවැනි කාරණාවක් සිංහ ගහණය වඳ වී යාමට ප්‍රමාණවත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. කුරුවිට සහ රත්නපුර අනෙක් ප්‍රදේශ වලින් හමු වුණු පොසිල වලට අනුව සිංහයන් සහ කොටින් කියන සත්ව වර්ග දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව විසූ බව පැහැදිලියි. (මෙය sympatic – සම භූමි ලෙස හැඳින්වෙනවා) නමුත් මේ සත්ව කොට්ඨාශ දෙක ‘එකම කාලයේ එකම ප්‍රදේශයේ’ විසූ බවට (syntopic) කිසිදු සාක්ෂියක් නැහැ.”

කොටියා කියන්නේ සාමාන්‍යයෙන් ඝන වැසි වනාන්තර තුල ජීවත් වෙන්න ප්‍රිය කරන සත්ව කොට්ඨාශයක්. මේ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කොටි පොසිල බහුලව තිබීම මීට වසර සිය දහස් ගණනකට ඉහතදී දැනට ශ්‍රී ලංකාවේ වියළි කලාපය විදිහට හඳුන්වන ප්‍රදේශ වැසි වනාන්තර වලින් පිරුණු ප්‍රදේශ විදිහට පැවතුණු බවට පැහැදිලි සාක්ෂියක් කියලත් විශේෂඥයන් අතර මත පළ වෙලා තියෙනවා.

මේ විදිහට රත්නපුර ඇතුළු ප්‍රදේශ වලින් සොයා ගත්තු පොසිල නිදර්ශක වලින් දැනට වඳ වී ගොස් ඇති වෙනත් ක්ෂීරපායී සත්ව කොට්ඨාශ ගණනාවකට අයත් සතුනුත් ලංකාවේ වාසය කළ බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. රයිනෝසිරස් වර්ග දෙකක්, හිපපොටේමස් විශේෂයක් සහ දැන් දකින්නට නොලැබෙන අලි විශේෂ දෙකක් මේ අතරින් ප්‍රධානයි. මේ වර්ගවලින් පැවත එන වර්තමාන සත්ව කොට්ඨාශ බොහෝ විට වියළි ප්‍රදේශ ආශ්‍රිතව දකින්න ලැබෙන නිසා මේ පොසිල වල හිමිකාර සතුන් ශ්‍රී ලංකා සිංහයා විසූ කාලයේම ජීවත් වුණු බව තමයි මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාගේ විශ්වාසය. ඒ කාලයේ මෙම ප්‍රදේශ වියළි කලාප ලෙස පැවතුණු බව ශ්‍රී ලංකා සිංහයා මෙම ප්‍රදේශ වල විසීමෙන් තහවුරු වෙනවා.

ඉතින් දැන් අපිට වැදගත් ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. සිංහයා කියන්නේ අපේ ජාතික කොඩියේ පවා ඉන්න අපේ රටේ බොහෝ සංස්කෘතික හා කලා නිර්මාණ වල දකින්න ලැබෙන සත්වයෙක්. ඉතින් සිංහයා සහ අපේ රට අතර ඇති සබැඳියාවත්, ඇත්තටම ලංකාවේ ජීවත් වුණු සිංහ කොට්ඨාශයත් අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද? දැනට හමු වුණු පොසිල වලට අනුව ලංකාවේ සිටි සිංහයන් මිනිසුන් පරිණාමය වෙන්න බොහෝ කාලයකට කලින් වඳ වී ගිය බවට සාක්ෂි තියන නිසා ලංකාවේ සිටි සිංහයන් මේ කලා නිර්මාණ වලට හේතු වෙන්න ඉඩකඩ ඉතා අඩු බව තමයි මනමේන්ද්‍ර මහතාගේ මතය. ලංකාවේ අතීතයේ සිටි සිත්තරුන් සහ කැටයම් ශිල්පීන් බොහෝ විට ඉන්දියාවේ වෙසෙන සිංහයන් ගැන තම මුතුන් මිත්තන් මුඛ පරම්පරා ගතව ගෙන ආපු කතා ඇසුරෙන් මේ සිංහයන් දැක්වෙන නිර්මාණ කරන්න ඇති කියලා ඔහු පවසනවා. (ඉන්දියාවේ දැනටත් ආසියානු සිංහයන් ජීවත් වෙනවා) ඉතින් බොහෝ විට මේ ශිල්පීන් වැඩි දෙනෙක් සිංහයෙක් දැකලා වත් නොතිබුණා වෙන්න පුළුවන්.

ඒ කෙසේ වෙතත් ලංකාව සහ සිංහයා කියන්නේ චීනය සහ මකරා තරමටම බද්ධ වූ සංකල්ප දෙකක්. වෙනසකට තියෙන්නේ මකරා සම්පුර්ණයෙන්ම නිර්මිත සතෙක් වීමයි. සිංහයා දැනටත් ලෝකය පුරා ජීවත් වෙන සතෙක්. කොහොම වුණත් ඉස්සර හිටපු ශිල්පීන් සිංහයා කියන්නෙත් මකරා වගේම නිර්මිත සතෙක් කියලා හිතාගෙන තම නිර්මාණ ඒ වටා ගොඩ නැගුවා කියලා හිතන්න තමයි වැඩි සාක්ෂි තියෙන්නේ.

Related Articles