Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනයෙන් පැමිණ මිනිස් ඇසුරට වැටුණු සතුන්ගේ කථාව

සුරතල් මත්ස්‍ය ටැංකියක අනිවාර්යයෙන් ම දැකගැනීමට ලැබෙන, සුන්දරත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වන ගෝල්ඩ්ෆිෂ්ලාගේ මුතුන් මිත්තන් රීදී පැහැයෙන් යුතු වූ බව හෝ ගෘහාශ්‍රිත ගවයින්ගේ පූර්වජයන් මේ වන විට සදහට ම මිහිමතින් සමුගෙන ගොස් ඇති බව ඔබ දැන සිටියා ද? මේ ලිපිය මිනිස් ඇසුර හේතුවෙන් හීලෑ සතුන් බවට පත් වූ සතුන් කිහිපදෙනෙකු ගැන යි.

යුරෝපීය රට හාවා සහ ගෘහාශ්‍රිත හාවා

ක්‍රි. පූ. 200 දී පමණ රෝම ජාතිකයන් විසින් ඔවුන් ස්පාඤ්ඤයෙන් රැගෙන එන ලද විද්‍යාත්මක ව Oryctolagus cuniculus ලෙස හඳුන්වනු ලබන යුරෝපීය රට හාවුන් ව ඇති කිරීම අරඹා ඇත්තේ මස් සහ ලොම් ලබා ගැනීමේ අරමුණෙන්. නමුත් එයට වසර 300කට පමණ පෙර මුල්වරට යුරෝපීය රට හාවුන් ව හීලෑ කිරීම සිදුකර ඇත්තේ ප්‍රංශ පූජකයින් බව යි වාර්තා වන්නේ. ඒ කොරොස්ම කාලය හෙවත් වතාරික සමය (Great Lent) තුළ දී ආහාරයට ගන්නා ‘laurices’ ලෙස හඳුන්වන අලුතෙන් උපන් හා පැටවුන් ලබා ගැනීම සඳහා යි.

© J. J. Harrison

මේ වන විට ලොව පුරා හාවුන් විශේෂ 50ක් පමණ වාසය කරන අතර ඔවුන් වැඩි දෙනෙකු ඇති කරන්නේ සුරතල් සතුන් ලෙස යි. නමුත් තවමත් මස් සහ ලොම් සඳහා පමණක් නොව විද්‍යාගාර පර්යේෂණ සඳහා යොදාගැනීමට ද හාවුන් අභිජනනය කිරීම සිදුවෙනවා.

ඕරොක්ස් සහ ගෘහාශ්‍රිත ගවයා

මේ වන විට මිහිමතින් වඳ වී ගොස් ඇති ඕරොක්ස් නම් යුරෝපීය ගොනුන්ගෙන් පැවත එන වත්මන් ගෘහාශ්‍රිත ගවයින් හීලෑ කිරීම මුල්වරට සිදු වී ඇත්තේ අදින් වසර 10,500කට පමණ පෙර ඉරානයේ දී යි. එයින් වසර 6,000කට පමණ පසු ව ඉන්දියානු ජාතිකයන් විසින් හීලෑ කරන ලද සීබූ නම් ගොනුන්ගෙන් පැවත එන ගවයින් විශේෂ ද වර්තමානයේ දී දැකගැනීමට ලැබෙනවා. එසේ ම අප්‍රිකානු ගවයින් පැවත එන්නේ ද උණුසුම් දේශගුණය ප්‍රිය කරන සීබූ නම් ගොනුන්ගෙන්.

© Charles Hamilton Smith

මේ වන විට ලොව ගවයින්ගේ ගහනය බිලියන 1.5ක් පමණ වන අතර ඔවුන් විශේෂ 800කට පමණ අයත් වෙනවා. වර්තමානයේ දී වැඩි වශයෙන් ගවයින් ඇති කරන්නේ කිරි, මස්, සහ සම් ලබා ගැනීමේ අරමුණ ඇතිව යි.

ප්‍රශියන් කාපියා සහ ගෝල්ඩ්ෆිෂ්

විද්‍යාත්මක ව Carassius gibelio යන නාමයෙන් හඳුන්වන රීදි පැහැ ප්‍රශියන් කාපි මසුන්ගෙන් පැවත එන ගෝල්ඩ්ෆිෂ් අභිජනනය මුල්වරට සිදු වී ඇත්තේ අදින් වසර 2,000කට පමණ පෙර චීනයේ දී යි. ටැන්ග් රාජ සමයේ දී පොකුණු අලංකරණය සඳහා ගෝල්ඩ්ෆිෂ්ලා බහුල ව යොදාගත් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී තිබෙනවා. වර්තමානයේ දී සුරතල් මසුන් ඇති කරන්නන් අතර ජනප්‍රිය ම මසුන් විශේෂය වන ගෝල්ඩ්ෆිෂ් විද්‍යාත්මක ව හඳුන්වන්නේ Carassius auratus ලෙස යි.

© George Chernilevsky

රතු වලි කුකුළා සහ ගෘහාශ්‍රිත කුකුළා

බොහෝ කාලයක් ගත වන තුරු විද්‍යාඥයින්ගේ විශ්වාසය වුණේ ගෘහාශ්‍රිත කුකුළන්ගේ එක ම පූර්වජයා, Gallus gallus හෙවත් රතු වලි කුකුළා බව යි. නමුත් මෑතක දී සිදුකරන ලද ජාන පර්යේෂණ මඟින් ඇතැම් කුකුළු විශේෂයන් Gallus sonneratii හෙවත් අළු වලි කුකුළන්ගෙන් පැවත එන බව හෙළිදරව් වී තිබෙනවා. එසේ ම ගෘහාශ්‍රිත කුකුළන්ගේ පරිණාමය සඳහා විද්‍යාත්මක ව Gallus lafayetti ලෙස හඳුන්වන ශ්‍රී ලංකා වලිකුකුළා ද දායක වී ඇති බව යි වාර්තා වන්නේ. එසේ ම අදින් වසර 4,000කට පමණ පෙර ඉන්දු නිම්නය ආශ්‍රිත ව වාසය කළ මිනිසුන් විසින් මුල් වරට කුකුළන් හීලෑ කරන්නට ඇති බවට වූ මතය ද මේ වන විට බිඳ වැටී ඇති අතර, මෑතකාලීන ව සිදුකරන ලද පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත්තේ වියට්නාම් වැසියන් විසින් අදින් වසර 10,000කට පමණ පෙර කුකුළන් ඇති කිරීම සිදුකර ඇති බව යි.

© Jason Thompson / Flickr

මුල්කාලීන ව කුකුළන් හීලෑ කර ඇති අරමුණ අපැහැදිලි වුවත් වර්තමානයේ දී කුකුළන් ඇති කිරීම සිදුවන්නේ මස් සහ බිත්තර ලබා ගැනීම සඳහා වන අතර, ඒ අයුරින් වාණිජ මට්ටමින් ඇති කරන කුකුළු විශේෂ පවතින්නේ අතළොස්සක් පමණයි.

මැලාඩ් සහ ගෘහාශ්‍රිත තාරාවුන්

© Pinterest

අදින් වසර 2,000 – 10,000 අතර කාලයේ දී චීන ජාතිකයන් විසින් තාරාවුන් හීලෑ කිරීම සිදුකර ඇත්තේ මස් ලබා ගැනීමට පමණක් නොව වී වගාවන් විනාශ කරන කකුළුවන් මර්ධනය කිරීම සඳහා යි. ගෘහාශ්‍රිත තාරාවුන් පැවතෙන්නේ Anas platyrhyncos ලෙස විද්‍යාත්මක ව හඳුන්වන මැලාඩ් නම් පක්ෂීන්ගෙන්. එසේ ම චීන ජාතිකයන් හා සමගාමී ව කොළොම්බියානුවන් විසින් Cairina moschata හෙවත්, මස්කොවී තාරාවුන් ලෙස හඳුන්වනු ලබන දකුණු ඇමෙරිකානු තාරාවුන් විශේෂය හීලෑ කර තිබෙනවා.

මීට අමතර ව මිනිස් ඇසුරට වැටුණු, මිනිසාට වඩාත්ම සමීප සතුන් කිහිපදෙනෙකු ගැන ද මීළඟ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.  

කවරයේ පින්තූරය : © Hive Mind / Flickr

Related Articles