අවසන් උතුරු සුදු රයිනෝසිරස් : සුඩාන්

කිසියම් දවසක මේ මිහිතලය මත කතාබහ කරන්න හෝ දුක සැප බෙදා ගන්න කිසිම යාළු මිත්‍රයෙක් නැතුව තනිව ම ජීවත් වන්නට සිදු වුණොත් ඔබට කුමක් සිතේවි ද? එය අතිශය හුදෙකලා ජීවිතයක් වන බවට කිසිම සැකයක් නැහැ. එසේ ම එය මිනිස් වර්ගයාගේ අවසානය ද වෙනවා.

මේ එවැනි තත්ත්වයකට මුහුණ දුන් දුක්බර සත්ත්වයෙකුගේ කතාවක්. කතාවට පාදක වන්නේ පසු ගිය වසරේ නොවැම්බර් 6 වැනි දින ජීව විද්‍යාඥයෙකු වූ ඩැනියෙල් ෂ්නයිඩර් ඔහුගේ ට්විටර් ගිණුමේ සේයාරුවක් සමග “මිහිමතින් සම්පූර්ණයෙන් ම වඳ වී යාම කෙසේ දැයි දැන ගැනීමට අවැසි ද? මේ අවසන් උතුරු සුදු රයිනෝසිරස් පිරිමි සත්ත්වයා යි. අන්තිමයා. වෙනත් කිසිවෙකු නැහැ” ලෙස තබන ලද සටහන යි.

(© Twitter)
ඩැනියෙල් ෂ්නයිඩර්ගේ ට්විටර් සටහන

අවසන් උතුරු සුදු රයිනෝසිරස්ගේ කතාව

ජීව විද්‍යාඥ ඩැනියෙල් ෂ්නයිඩර්ගේ සේයාරුවට හසු වූ අවසන් සුදු රයිනෝසිරස් ව නම් කර ඇත්තේ සුඩාන් ලෙස යි. 2014 දෙසැම්බර් මාසයේ දී කැලිෆෝනියාවේ සැන් දියාගෝ සත්ත්ව උද්‍යානයේ වාසය කළ ‘අංගාලීෆු’ නම් උතුරු සුදු රයිනෝසිරස්වරයාගේ මිය යෑමෙන් පසු ව මිහිමත ඉතිරි ව සිටින අවසන් උතුරු සුදු රයිනෝසිරස් පිරිමි සත්ත්වයා බවට සුඩාන් පත් වුණා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 45 කට ආසන්න වන අතර ජීව විද්‍යාඥයින්ගේ මතය අනුව ඔහුට තමන්ගේ වර්ගයා බෝ කිරීමට ඇති හැකියාව ඉතාමත් අසම්භාව්‍ය බව පැවසෙනවා.

සුඩාන් වාසය කරන්නේ කෙන්යාවේ ඔල් පෙජේටා සංරක්ෂිතයේ යි. ඒ නාජින් සහ ෆාටු ලෙස නම් තබා ඇති උතුරු සුදු රයිනෝසිරස් ගැහැනු සත්ත්වයින් දෙදෙනෙකු ද සමග වන අතර සංඛ්‍යා දත්ත පෙන්වා දෙන අන්දමට ඒ මිහිමත වාසය කරන අවසන් උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයින් තිදෙනා යි. යම් හෙයකින් සුඩාන් මිය ගියහොත් උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයින් සදහට ම මිහිමතින් තුරන් වී යනවා.

(© Georgina Goodwin/Barcroft Media via Getty Images)
සුඩාන්ගේ සේයාරුවක්

නීත්‍යානුකූලව සුඩාන්ගේ භාරකාරත්වය හිමි වී තිබුණේ චෙක් රාජ්‍යයේ ඩෙවූර් ක්‍රාඕවර් නම් සත්ත්ව උද්‍යානයට යි. නමුත් යුරෝපයේ දී සිදු කරනු ලබන අභිජනන උත්සාහයන්ට වඩා, උතුරු සුදු රයිනෝසිරස්ගේ නිජබිමේ දී අභිජනන උත්සාහයන් සිදු කිරීම වඩාත් සාර්ථක වන ඇතැයි යන අපේක්ෂාවෙන් 2009 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥයින් ඔහුව කෙන්යාව රැගෙන විත් තිබෙනවා. නමුත් ස්වභාවිත අභිජනනය ද සාර්ථක වී නැහැ. දීර්ඝ කාලීන වෛද්‍ය පර්යේෂණයන් හි ප්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයේ දී සුඩාන්ගේ ශුක්‍රාණු නිපද වීම සැලකිය යුතු ලෙස අඩු බවත් නාජින් සහ ෆාටු යන ගැහැනු සත්ත්වයින් දෙදෙනා ම අභිජනනය සඳහා වයස්ගත වැඩි බවත් පශු වෛද්‍යවරුන්ට අනාවරණය කර ගැනීමට හැකි වුණා.

අලුත් බලාපොරොත්තුවක්

උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයින් මිහිමතින් සම්පූර්ණයෙන් ම වඳ වී යාම නතර කිරීම සඳහා මේ වන විට පර්යේෂකයන්ට ඇති එක ම බලාපොරොත්තුව වන්නේ නළ සංසේචන ක්‍රමවේදය (in vitro fertilization) යොදා ගැනීම යි. මේ වන විටත් පශු වෛද්‍යවරුන් මිය ගිය ගැහැනු සත්ත්වයින්ගෙන් ලබා ගත් ඩිම්බයන්, සංසේචනය සඳහා යොදා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එසේ ම උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයින්ට ළඟ ම නෑකමක් දක්වන දක්ෂිණ සුදු රයිනෝසිරස් ගැහැනු සත්ත්වයින්ගෙන් ලබා ගත් ඩිම්බ සංසේචනය සඳහා යොදා ගත හැකි ද යන්න සොයා බැලීම සඳහා ද මේ වන විට පර්යේෂණ ආරම්භ වී අවසන්.

(© Erico Hiller)
නාජින් සහ ෆාටු

නමුත් අදාළ පර්යේෂණ කටයුතු මෙහෙය වීම සිදු කරන ඔල් පෙජේටා සංරක්ෂිතයේ ප්‍රජනක කායික විද්‍යා අංශයේ අධ්‍යක්ෂක පවසන්නේ මෙයට පෙර රයිනෝසිරස් සත්ත්වයින් නළ සංසේචනය සඳහා යොමු කර නොමැති බැවින් සහ සත්ත්වයින් දෙවර්ගයක් අතර සංසේචනය අතිශය දුෂ්කර කටයුත්තක් බැවින් මෙම පර්යේෂණයන් සාර්ථක වීම සඳහා ඇත්තේ සුළු ඉඩකඩක් බව යි.

වඳ වීමේ දොරටුව අබියසට

සොබාදම් සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංගමයට අනුව මෙයට දශක කිහිපයකට පෙර උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයින් වයඹ දිග උගන්ඩාව, නිරිත දිග සුඩානය, මධ්‍යම අප්‍රිකාවේ නැගෙනහිර පෙදෙස සහ කොන්ගෝවේ ඊශාන දිග ප්‍රදේශයන් හි නිදහසේ සැරිසරා තිබෙනවා. නමුත් 2006 වර්ෂයෙන් පසු ව කිසිම උතුරු සුදු රයිනෝසිරස් සත්ත්වයෙක් ව ඔවුන්ගේ නිජබිම් හි දී දැක ගැනීමට ලැබී නැහැ.

(© United States Environmental Protection Agency)
සුඩාන් ඔහුගේ ආරක්ෂකයෙකු සමග

මෙයට හේතු වී ඇත්තේ 1990 වර්ෂයේ පමණ සිට හොරෙන් සිදු වූ රයිනෝසිරස් දඩයම් කිරීම්. දශක කිහිපයක් තිස්සේ උතුරු සහ දක්ෂිණ සුදු රයිනෝසිරස් යන සත්ත්ව වර්ගයන් ද්විත්වය ම දළ සඳහා විශාල වශයෙන් මරා දැමීම සිදු කර ඇති අතර සංරක්ෂණයන්ට ස්තූතිවන්ත වන්නට දක්ෂිණ සුදු රයිනෝසිරස් සත්ත්වයින් 20,000 ක් පමණ මේ වන විට මිහිමත ඉතිරි ව සිටිනවා.

මෙම ක්‍රියාවන් නතර කිරීම සඳහා රජයන් විසින් විවිධ පියවර ගෙන තිබුණ ද අප්‍රිකානු මහද්වීපය තුළ දළ සඳහා රයිනෝසිරස් සත්ත්වයින් හොර රහසේ මරණයට පත් කිරීම තව දුරටත් සිදු වෙනවා. තරුණ ජවය සහ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන සාම්ප්‍රදායික චීන ඖෂධ නිපදවීම සඳහා අවැසි ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන නිසා රයිනෝසිරස් දළ සඳහා කළු වෙළඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමක්. මේ හේතුවෙන් සුඩාන්ට ඔහුගේ හුදෙකලා දිවිය ගත කිරීමට සිදු වී ඇත්තේ දැඩි රැකවල් මධ්‍යයේ යි.

කවරයේ පින්තූරය : (© Ian Aitken)

Related Articles