Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දක්ෂයාට තම කාර්යය නිසි ලෙස ඉ‍ටු කිරීමට ඉඩ ලබා නොදුන් කල – ආචාර්ය සුමිත් පිලපිටියගේ ඉල්ලා අස්වීම පිළිබඳව සටහනක්

සිය රාජකාරී කටයුතු වලට එල්ලකරන ලද දැඩි දේශපාලන බලපෑම් වලට විරෝධය පලකරමින්, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය පසුගිය 6 වන දා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය (ඡායාරූපය: msdw.gov.lk)

අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය (ඡායාරූපය: msdw.gov.lk)

කවුද මේ සුමිත් පිලපිටිය?

වර්තමානයේ ලෝකයේ වනජීවී විෂයය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් අතර ප්‍රමුඛස්ථානයක සිටින ආචාර්ය සුමිත් පිලපිටිය, පසුගිය මාර්තු 30 වන දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් වැඩ භාරගත්තේ ය. ඒ, වසර 23ක් තිස්සේ ලෝක බැංකුවේ දකුණු ආසියාතික කලාපයේ පරිසර විශේෂඥයෙකු වශයෙන් සේවය කිරීමෙන් අනතුරුවයි. මෙම තනතුරේ වැඩ භාරගැනීම උදෙසා, ආචාර්ය පිලපිටිය විසින් තමා එතෙක් ලෝක බැංකුවේ පරිසරය, ජල මූලාශ්‍ර, හා දේශගුණ විපර්යාස පිළිබඳ දකුණු ආසියාතික අංශයේ ප්‍රධාන පාරිසරික විශේෂඥයා වශයෙන් හෙබවූ තනතුර අතැර දමන ලද්දේ, සිය මව්බිමේ වනජීවී හා වෘක්ෂලතා සම්පත් ‍රැකගැනීම පිළිබඳව ඔහු තුළ වූ මහත් ළැදිකම හේතුවෙනි.

“පාරිසරික විශේෂඥයෙකු වන මා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරනා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහි කිසියම්ම කටයුත්තක් හෝ, වනජීවී සංරක්ෂණයට අහිතකර ලෙස බලපාන කිසියම්ම කටයුත්තක යෙදීමෙන් වැළකී සිටිමි. එමෙන්ම තනතුරට අදාල කටයුතු කෙරෙහි එල්ලවන කිසිම දේශපාලන බලපෑමකට යටත් නොවෙමි. වනජීවී සංරක්ෂණයට අහිතකර ලෙස බලපාන ක්‍රියාවන්ට සාධක වනවාට වඩා මෙම තනතුරෙන් ඉල්ලා අස්වීම වඩා කැමැත්තෙමි,”යි පසුගිය අප්‍රේල් මස තම තනතුරෙහි වැඩ භාරගන්නා අවස්ථාවේ දී ආචාර්ය පිලපිටිය ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුදු, නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තම පත්වීමෙන් දෙමසකට මදක් වැඩි කාලයක් තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය තිරසර සංවර්ධනය හා වනජීවී කටයුතු පිළිබඳ ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා හට භාර දී ඇත. මෙම හදිසි ඉල්ලා අස්වීම පිළිබඳව සොයා බැලීමේ දී නිල නොවන විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීපයක් හරහා තොරතුරු ‍රැසක් අනාවරණය විය.

ආචාර්ය පිලපිටිය ඉල්ලා අස්වූයේ ඇයි?

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය කරනා, නිර්නාමිකව සිටීමට කැමැත්ත පල කළ උසස් නිලධාරියෙකු සඳහන් කළ පරිදි ආචාර්ය පිලපිටිය තම රාජකාරියේ නියැලීමේදී ‘මුරණ්ඩු’, සහ ‘කෙලින් කටයුතු කරනා’ නිලධාරියෙකු වශයෙන්ද, නීති විරෝධී ක්‍රියාවන්ට අනුබල දෙන කිසිම දේශපාලන බලපෑමකට, ඉහළ නිලධාරීන්ගේ බලපෑමකට යටත් නොවන්නෙකු වශයෙන් ද නමක් දිනාගෙන ඇත්තෙකි. ආචාර්ය පිලපිටිය විසින් කරන ලද ප්‍රකාශයන්ට අනුව තම තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා ද බලපා ඇත්තේ, වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා වන අනිසි දේශපාලන බලපෑම් ය.

මෙම ඉල්ලා අස්වීමට මූලික විය හැකි යැයි පැහැදිලිවම හඳුනා ගත හැකි ආසන්නතම සිදුවීම් දෙකකි. එක් සිදුවීමක් වන්නේ, නීති විරෝධීව යම් යම් පුද්ගලයින් සන්තකයේ රඳවා තබාගෙන සිට, අධිකරණ නියෝගයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කර සිටි අලින් නැවතත් අයිතිකරුවන් වෙත ලබා දීමට අධිකරණ නියෝගයක් නිකුත් කිරීමේ සිදුවීමයි. දෙවැනි සිදුවීම වන්නේ, පසුගිය දා යාල ජාතික වනෝද්‍යානය තුළ දිවියෙකු මරා, එම සත්ත්වයාගේ දත් ගලවා ගනිමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව, එම වැටලීම සිදු කළ නිලධාරීන්ට විරුද්ධව දැඩි දේශපාලන බලපෑම් එල්ලවීම ය.

පසුගිය කාලය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත වරින් වර සිදු කරන ලද වැටලීම් මගින් නීති විරෝධීව පුද්ගල සන්තකයේ රඳවාගෙන සිටි අලි පැටවුන් 38 දෙනෙක් පමණ අත්අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා තබා සිටි අලි පැටවුන් 15 දෙනෙක් එලඹෙන අගෝස්තු මස තෙක් මාස තුනක කාලයක් පෙරහැර කටයුතු සඳහා නිදහස් කිරීමට නියෝග කරන ලද්දේ කො‍ටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසිනි. මෙම සිදුවීම සම්බන්ධව විරෝධය පාමින් ආචාර්ය පිලපිටිය සඳහන් කළේ තම දෙපාර්තමේන්තුව භාරයේ සිටින් අලින් පෙරහැර කටයුතු සඳහා මාසයෙන් මාසයට තැනින් තැනට මාරු කිරීම සිදුකරන ලදහොත් තමා තනතුරෙන් ඉල්ලා අස්වන බවයි. මෙම සිදුවීම ජනපතිවරයාට වාර්තා කරන ලදුව ඔහු විසින් ආචාර්ය පිලපිටියට දැනුම් දී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති වනාන්තර වලින් අවශ්‍ය පමණ අලින් අල්ලා ගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරන ලෙසයි. ආචාර්ය පිලපිටිය විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

අනවසරයෙන් රඳවා තබාගෙන සිටි අලි පැටවුන් 38දෙනෙකු පමණ අත්අඩංගුවට ගන්නා ලදී  (ඡායාරූපය: pinterest.com)

අනවසරයෙන් රඳවා තබාගෙන සිටි අලි පැටවුන් 38දෙනෙකු පමණ අත්අඩංගුවට ගන්නා ලදී  (ඡායාරූපය: pinterest.com)

2009 අංක 22 දරණ පනත මගින් අවසන් වරට සංශෝධිත, 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතෙහි 22අ වගන්තියට අනුව, නීත්‍යානුකූල බලපත්‍ර සහිතව ගෘහාශ්‍රිත අලි ඇතුන් පමණක් පුද්ගල සන්තකයේ තබාගත හැකි අතර, වනයෙන් අල්ලාගත් අලි ඇතුන්ට බලපත්‍ර ලබාගැනීමට නොහැක. එම පනතේ 23වන වගන්තියට අනුව වනයෙන් අල්ලාගත් අලි ඇතුන් සන්තකයේ තබාගැනීම නීති විරෝධී කටයුත්තක් වන අතර, එවන් වරදකරුවෙකු වරෙන්තු රහිතව ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමේ නීතිමය අවසරය ඇත. එසේම, වරදකරුවෙකුට රුපියල් ලක්ෂයකට නොඅඩු, දෙලක්ෂයකට නොවැඩි දඩයකට හෝ, වසර දහයත් විස්සත් අතර සිර දඬුවමකට හෝ, මෙම දඬුවම් දෙකටම යටත් කිරීමේ බලය අධිකරණය සතු වේ.

බලපත්‍ර රහිත අලි ඇතුන් පොදු දේපල ලෙස සලකණු ලබන අතර, එම අලි ඇතුන් සම්බන්ධව 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත බල පැවැත්වේ. මෙම සිදුවීම සම්බන්ධව නීතිමය පසුබිම එසේ තිබියදී මැයි 24වන දා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීති විරෝධී අලි ඇතුන් මුදාහැරීමට ලබාදුන් නියෝගය විසුළු සහගත මෙන්ම මහේස්ත්‍රාත් තනතුරේ බලය අවභාවිත කිරීමක් ද වෙයි.

කෙසේ නමුත්, රජයේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විසින් මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් ලබාදුන් නියෝගය අත්හි‍ටුවමින්, මැයි 26 වන දා තහනම් නියෝගයක් නිකුත් කරන ලදුව පසුගිය 9 වන දා එම තහනම් නියෝගය ලබන 22වන දා තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කළේ ය.

ආචාර්ය පිලපිටියගේ ඉල්ලා අස්වීමට සම්බන්ධ මූලිකම හා ආසන්නම සිදුවීම වශයෙන් සඳහන් වන්නේ වනෝද්‍යානයක් තුළ මරාදැමූ දිවියෙකුගේ දත් ගලවා ගනිමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් උද්‍යාන භාරකාර සුරංග රත්නායකට දැඩි දේශපාලන බලපෑම් එල්ලවීමයි.

පරිසරවේදී ශශිකලන රත්වත්ත සිය නිල ෆේස්බුක් පි‍ටුවේ සඳහන් කළ පරිදි පසුගිය 5වන දා යාල ජාතික වනෝද්‍යානයේ ආකාස චෛත්‍ය මාර්ගයේදී වනසතුන් මරා මස් වේලමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගෝන මස් කිලෝ 46ක් සහ, වනෝද්‍යානයේ වාසය කළ ‘කන් කොටා’ යනුවෙන් නම් දරා සිටි ප්‍රසිද්ධ දිවියෙකුගේ යැයි සැළකෙන මළ සිරුරක් ඔහු සන්තකයේ තිබී වනජීවී නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇත. දිවියාගේ දත් ගලවා ගැනීම සඳහා හකු වෙන්කරගෙන තිබී ඇති බව රත්වත්ත සඳහන් කළේ ය. අදාල සැකකරු රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටල් වලට මස් සැපයීමේ නිරත වූ අයෙක් බව පැවසේ. අත්අඩංගුවට පත් වූ සැකකරු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ආධාරකරුවෙකු බවට පරිසරවේදීන් හා සමාජජාල ක්‍රියාකාරීන් චෝදනා නගන අතර, වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් අදාල වැටලීමට මූලිකත්වය දුන් උද්‍යාන භාරකාර සුරංග රත්නායකට පාර්ලිමේන්තුවට පැමිණ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් සමාව ගන්නා ලෙසට දැඩිව බලපෑම් සිදු කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව ආචාර්ය පිලපිටිය විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව පැවසේ.

මරා දමන ලදැයි සැකකෙරෙන 'කන් කොටා'  (ඡායාරූපය: Arran Sivarajah)

මරා දමන ලදැයි සැකකෙරෙන ‘කන් කොටා’  (ඡායාරූපය: Arran Sivarajah)

“වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඉවත් වීමට හේතුව දේශපාලන බලපෑම් නොවේ”

වනජීවී අමාත්‍යංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය  (ඡායාරූපය: Shashikalana Rathwaththa)

වනජීවී අමාත්‍යංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය  (ඡායාරූපය: Shashikalana Rathwaththa)

පරිසරවේදීන්ගේ චෝදනා එසේ වෙතත්, පසුගිය 8වන දා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරුණේ ආචාර්ය පිලපිටියගේ ඉල්ලා අස්වීමට කිසිදු දේශපාලන බලපෑමක් හේතු නොවූ බවයි. තමා විසින් උද්‍යාන භාරකාරවරයාට බලපෑම් එල්ල කළ බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවටත්, අදාල වරදකරු සමඟ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවටත් අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මෙම මාධ්‍ය නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබිණි. එසේම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පිලපිටියගේ අස්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් තවමත් භාර නොගන්නා ලද බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් සිය නිල ෆේස්බුක් පි‍ටුවට ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමා කුඩා කල සිටම වනාන්තරයට හා වනසතුන්ට ආලය කරන බවත්, ඒවා ‍රැකගැනීමට කටයුතු කර ඇති බවත් ය. මෙහි උත්ප්‍රාසයට කරුණ වන්නේ, යාල අදාල ප්‍රදේශයෙන් වෙඩි හඬක් ඇසුනු බවට ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට දැනුම් දුන්නේ තමා නමුදු, වෙඩි තැබීම් වලට සම්බන්ධ යැයි කටකතා වලට ඈඳා ඇත්තේ තම නම වීම බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. සත්‍ය කවදා නමුත් එලිවන බවත්, තමාගේ නිර්දෝශීභාවයට දෙවියන් වග කියන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පි‍ටුවේ කර තිබූ ප්‍රකාශය

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පි‍ටුවේ කර තිබූ ප්‍රකාශය

ආචාර්ය පිලපිටිය යලි තනතුරෙහි පිහි‍ටුවන ලෙස ඉල්ලමින් විරෝධතා

පරිසරවේදීන්, ක්‍රියාකාරීන්, හා සමාජ ජාල ආශ්‍රිත සමූහයන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යලි සේවයේ පිහි‍ටුවන මෙන් ඉල්ලා විරෝධතා මාලාවක් සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන්හි සංවිධායකවරයෙකු වන පරිසරවේදී, නීති ශිෂ්‍ය සුපුන් ජයවීර විසින් සඳහන් කරන ලද්දේ මෙවන් සිදුවීම් පිළිබඳව ජනතාව සිය මතය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණයට මෑත කාලයේ පත්වුණු දක්ෂතම නිලධාරියා ආචාර්ය පිලපිටිය බවත්, ඔහු යටතේ දෙපාර්තමේන්තුව කුඩා කලක් තුළ සංවර්ධනයන් ‍රැසක් අත්කරගත් බවත් සඳහන් කළේ ය. දූෂිත දේශපාලනය විසින් අවංක නිලධාරීන්ට බලපෑම් කිරීම නිරන්තරයෙන්ම සිදුවන්නක් බවත්, එයට විරුද්ධ වීම මහජනයාගේ වගකීම බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ රාජකාරියට දේශපාලන බලපෑම් එල්ල කිරීමට විරෝධය පලකරමින් ද, ඔහු නැවත් සේවය පිහි‍ටුවීම ඉල්ලා සිටිමින් ද සංවිධානය කළ විරෝධතා ‍රැලියක් ජුනි 12වන දා කො‍ටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ද පැවැත්විනි. සමාජ ජාල හරහා සංවිධානය කළ මෙම ‍රැළියට විවිධ වෘත්තීන්වල නියුතු, විවිධ වයස්වල පිරිස් සහභාගී වූහ.

“වනජීවයට දේශපාලනය එපා!” (ඡායාරූපය: චාමර සුමනපාල)

ලෝක බැංකුව යටතේ ඉහළ වේතනයකට සේවය කරමින් සිටි ආචාර්ය සුමිත් පිලපිටිය අදාල තනතුරු අත්හැර දමා වනජිවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් වැඩ භාරගන්නා ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ය. ආචාර්ය පිලපිටිය මෑත ඉතිහාසයේ වනජීවී දෙපාර්තමේන්තුවට පත් වූ දක්ෂතම නිලධාරියා මෙන්ම, අවංකම නිලධාරීන්ගෙන් කෙනෙකු බව ද පරිසරවේදීන් හා ක්‍රියාකාරීන් බහුතරයකගේ මතය වේ. කෙසේ නමුත්, රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා දක්ෂ නිලධාරීන් පත්කිරීම පමණක් නොසෑහෙන අතර, ඔවුන්ගේ රාජකාරි කටයුතු දේශපාලන බලපෑමෙන් තොරව සිදුකිරීමට ඉඩකඩ සලසා දීම ද අත්‍යවශ්‍ය ය.

කවරයේ පින්තුරය: ft.lk 

Related Articles