ලොව විශාලතම කඩොලාන වනාන්තරය සහිත “සුන්දර්බාන්ස් තෙත්බිම”.

තෙත්බිම් යනු ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් පාරිසරික පද්ධතීන්. එසේම ඒවා සමාජ ආර්ථික වශයෙන් ද, පාරිසරික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද වැදගත් වෙනවා. එහිදී, සුවිශේෂ තෙත්බිම් සහිත රටක් වීම එම රටට ජාත්‍යන්තර අවධානය යොමුවීමට හා ඉහළ ජෛව විද්‍යාත්මක හා පාරිසරික වශයෙන් වැදගත්කමක් ලැබීමට ද හේතු වෙනවා. එසේම එය රටෙහි අනන්‍යතාවය ඔප්නැංවීමට හේතුවක්ද වෙයි. එනිසාම ලොවපුරා විවිධ රටවල පිහිටි තෙත්බිම් ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇතිවා මෙන්ම ඒවා සුවිශේෂී ජීවි විශේෂ වලට නවාතැන් බවට ද පත්වී තිබෙනවා. එවැනි වැදගත්කමකින් යුතු ලෝකයේ පිහිටි විශාලතම තෙත්බිම් අතරින් එකක් ලෙස “සුන්දර්බාන්ස්” තෙත්බිම හඳුනාගැනීමට හැකියි. එපමණක් නොව එය ලෝකයේ පිහිටි විශාලතම කඩොලාන වනාන්තරය ද වෙනවා.

easyvivek.wordpress.com (සුන්දර්බාන්ස් තෙත්බිමෙහි පිහිටීම දැක්වෙන පින්තුරයක්)

සුන්දර්බාන්ස් තෙත්බිමේ පිහිටීම හා වැදගත්කම.

සුන්දර්බාන්ස් තෙත්බිම පිළිබඳව අධ්‍යයනය කරන විට එහි පිහිටීම සලකා බැලීම වැදගත් වෙනවා. මෙම තෙත්බිම ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට හා බංගලාදේශයේ දකුණුදිග ප්‍රදේශයට අයත්ව පිහිටා තිබෙනවා. එලෙස මෙය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 10 000 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරී තිබෙනවා. ඉන් 60% භූමි ප්‍රදේශය බංගලාදේශයට අයිති භූමියේ පිහිටා ඇති අතර ඉතිරි භූමිය අයත්වන්නේ ඉන්දියානු භූමියටයි. මෙම තෙත්බිම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඒ ගංගා, බ්‍රහ්මපුත්‍ර, හා මේඝනා නමැති ගංගාවන් මුහුදට වැටෙන ස්ථාන ද වෙනවා. එසේම මෙහි පිහිටීම තවදුරටත් විමසා බලන විට එය උතුරු අක්ෂාංශ 21, 27’ 30’’ හා 22 30’ 00’’ හා බටහිර දේශාංශ 89 02’ 00’’ හා 90 00’ 00’’ අතර පිහිටා තිබෙනවා. මෙම අපුර්ව භූමිය ලෝකයේ ඇති විශාලතම ඩෙල්ටාවක පිහිටා ඇතිවා මෙන්ම එය පාරිසරික පැවැත්ම පිළිබඳව වැදගත් උදාහරණ ද සපයනු ලබනවා. එහිදී මෝසම් වැසි ඇති වීම, ගංවතුර තත්ත්වයන්, ඩෙල්ටාවේ සැකසුම, හා වඩදිය හා බාදිය පාලනය ආදිය හඳුනා ගැනීමට හැකියි.

එමෙන්ම මෙම භූමිය ඒ ආශ්‍රිතව දිවිගෙවන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය ද වෙනවා. මේ ආශ්‍රිතව දැව ලබා ගැනීම, මත්ස්‍යයන් ඇල්ලීම, මීපැණි ලබා ගැනීම, තණකොළ ලබා ගැනීම ආදිය මෙහි ආර්ථික ප්‍රතිලාභ වශයෙන් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම තෙත්බිම ගොඩබිමේ වාසය කරන වැසියන්ට ලබාදෙන ආරක්ෂාවද ඉමහත් වෙනවා. සුළි කුණාටු, මුහුදු දිය ගැලීම් ආදී ස්වභාවික විපත්වලින් ආරක්ෂාව ලබාදීම තෙත්බිම විසින් සිදුකරනවා.

ජෛව විද්‍යාත්මක වැදගත්කම.

ජෛව විවිධත්වය අතින් ඉහළ අගයක් ගන්නා භූමි ප්‍රදේශයක් ලෙස සුන්දර්බාන්ස් තෙත්බිම ලෝකයේ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ප්‍රධානකොටම එහි පවතින කඩොලාන පරිසරය නිසාවෙන්. මෙය ලෝකයේ ඇති විශාලතම කඩොලාන වනාන්තරයයි. එනිසා මෙම භූමිය ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා මෙන්ම එය මෙහි ඇති ජෛව විවිධත්වය කෙරෙහි ද විශාල බලපෑමක් සිදු කරනවා.

commons.wikimedia.org (එහිදී දැකගැනීමට ලැබෙන බෙංගාල ව්‍යාඝ්‍රයෙකුගේ පින්තුරයක්)

සුන්දර්බාන්ස් යනු බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ නිජබිම ලෙස ද හැඳින්වීමට හැකියි. එසේම මෙය බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ අභයභූමියක් වෙන අතර මේ වනවිට සිදු කර ඇති සංගණනයන් වලට අනුව මෙහි බෙංගාල ව්‍යාඝ්‍රයන් 400-450ක් පමණ වසන බව සොයාගෙන තිබෙනවා. එය ලෝකයේ අනෙක් සියලු වනෝද්‍යානවල වෙසෙන ව්‍යාඝ්‍රයන්ගේ ප්‍රමාණයන්ට වඩා වැඩි අතර, වැඩිම බෙංගාල ව්‍යාඝ්‍රයන් ඝණත්වයක් ඇති ප්‍රදේශය බවට ද පත්ව තිබෙනවා.

එයට අමතරව තවත් සත්ත්ව විශේෂයන් රැසක් මෙම අභයභූමිය තුල දැකගැනීමට හැකියි. කුරුළු විශේෂ, ක්ෂීරපායි විශේෂ, උරඟ විශේෂ, මත්ස්‍ය විශේෂ මෙන්ම තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ වලට අයත් කිඹුල් විශේෂ හා පොළඟුන් විශේෂ ද මෙහිදී දැකගැනීමට හැකියි. මෙහි වනජීවින් විශේෂ 693ක් පමණ වසන අතර එයින් විශේෂ 49ක් පමණ ක්ෂීරපායින් ද, විශේෂ 59ක් පමණ උරඟයින්ද, උභයජීවී විශේෂ 8ක් පමණ ද හඳුනාගෙන තිබෙනවා.

daily-sun.com (සුන්දර්බාන්ස් වනෝද්‍යානයේ දී දැකගැනීමට ලැබෙන සොඳුරු දසුනක් දැක්වෙන පින්තුරයක්)

තවද මෙම අභයභූමියේ දී මත්ස්‍ය විශේෂයන් 210ක් පමණ ද හඳුනාගෙන තිබෙනවා. කූනිස්සන් විශේෂ 24ක්ද, කකුළු විශේෂ 14ක් පමණ ද මෙහිදී දැකගැනීමට හැකියි. එසේම මෙය කුරුළු විශේෂ 260 කටද නිවහන වෙන අතර, එයින් මෙයටම විශේෂිත පිළිහුඩු විශේෂ 9ක් ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

එපමණක් ද නොව මෙම තෙත්බිම ශාක විශේෂ රැසක නිජභූමිය ද වනවා. ඒ අතරින් ගණයන් 245 කටද ගෝත්‍රයන් 75 කටද අයත් පැළෑටි විශේෂ 334ක් පමණ මෙයින් සොයාගෙන තිබෙනවා. එසේම ඇල්ගී පැළෑටි විශේෂ 165ක් පමණද හමු වන අතර එහි සුන්දරත්වය තවත් වැඩි කරන්නට සමත් ඕකිඩ් විශේෂ 13ක් පමණ ද සොයාගෙන තිබෙනවා.

fanpop.com (මෙහිදී දැකගැනීමට ලැබෙන කඩොලාන ප්‍රජාව දැක්වෙන පින්තුරයක්)

ආරක්ෂක විධිවිධාන

මෙතරම් වැදගත්කමකින් යුතු පරිසර පද්ධතියක් ලෙස මෙම භූමියේ ආරක්ෂාව සැලසීම ද ඉතා වැදගත්. මන්දයත් ඇතැම් අවිචාරශීලි මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සුන්දර භූමිය තර්ජනයකට ලක් වීමයි. එනිසා විවිධ නීතිමය විධිවිධාන හරහා මෙහි ආරක්ෂාව සැලසීමට එහි රජයට සිදුව තිබෙනවා. එම ආරක්ෂක විධිවිධාන පිළිබඳව සලකා බලනවිට එය අභයභූමියක් බවට පත්කිරීම හරහාද ලෝක උරුම භූමියක් බවට පත් කිරීම හරහාද එහි ආරක්ෂාව තවතවත් වර්ධනය කර තිබෙනු හඳුනාගැනීමට හැකියි. මෙම භූමියේ ආරක්ෂාව සදහා නීති සකස්කිරීමට අවධානය යොමුව ඇත්තේ  19 වන සියවසේ මුල්භාගයේදී යි. එසේම 1977 බංගලාදේශයේ වනජීවී පනත මගින් ද මෙහි ආරක්ෂාවට විධිවිධාන යොදවා තිබෙනවා. 1974 එරට වනජීවී පනතට අනුව මෙම සුන්ද්ර්බාන්ස් භූමිය ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් සීමා කිරීමට ද කටයුතු කර තිබෙනවා. එයට අනුව මෙම අභයභූමියට ඇතුළු වීමේ සිට, එහි හැසිරිය යුතු ආකාරය, මත්ස්‍යයින් ඇල්ලීම, දඩයම් කිරීම ආදී බොහෝ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීම සම්බන්ධව නීති පනවා තිබෙනවා. 1977 වසරේදී යුනෙස්කෝව විසින් මෙම භූමිය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා.

captainmilchs.com (කවරයේ පින්තුරය)

මූලාශ්‍ර:

whc.unesco.org

shunya.net

wwfindia.org

greenpeace.org

Related Articles