Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි බල හිමි අමරණීය ජීවියා

මොහොතකට හිතන්න ඔබට අමරණීයත්වය ලැබුණා කියල. ඔබට ඕනෑම පරිසර පද්ධතියක් තුළ දිවි රැක ගැනීමට හැකි ආකාරයේ සුපිරි බලයක් හිමිවෙනවා. අධික ශීතල, අධික උණුසුම, අන්ධකාර සාගරය තුළ, විශ්වයේ රික්තක අවකාශයක් තුළ හෝ ලෝක විනාශයක දී පවා ඔබට දිවි රැකගන්න පුළුවන්.  හරියට කොමික් කතාවක චරිතයක් වගේ නේද? හැබැයි ඔබ නිකමට හරි හිතුවා ද, මේ හැකියාවන් තියෙන කෙනෙක් මේ ලෝකෙ, අපිත් එක්කම, ඇත්තටම ජීවත් වන බව? හැබැයි මේ කතා කරන්න යන්නෙ මනුෂ්‍යයෙක් ගැන නෙවෙයි. ඉහතින් දක්වපු ඕනෑම පරිසර පද්ධතියක් යටතේ නොනැසී පැවතිය හැකි අපූර්ව අන්වීක්ෂීය ජීවියෙක් ගැන. ඒ තමයි “ටාර්ඩිග්‍රාඩා” නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “ටාර්ඩිග්‍රේඩ්” නම් පොදු නාමය ඇති, සර්වභක්ෂක, අන්වීක්ෂීය ජීවියා. 

කවුද මේ ටාර්ඩිග්‍රේඩ්

ටාර්ඩිග්‍රේඩ් යනු ඉතා කුඩා, හුරුබුහුටි, සැබැවින්ම විනාශ කිරීමට අපහසු සුවිශේෂී ජීවී කොට්ඨාසයක්. ලොව පුරා කළ පර්යේෂණ තුළින් මෙම ටාර්ඩිග්‍රේඩ් ජීවී විශේෂ 1300ක් පමණ සොයාගෙන තිබෙනවා. මෙම ජීවීන් හට අධික උෂ්ණත්වයක් සහිත නටන ජලයෙහි, අන්ධකාර අගාධ සාගර පතුළෙහි මෙන්ම අධික ශීතල රික්තක අවකාශයක පවා ජීවය පවත්වාගෙන යාමේ විශ්මිත හැකියාවක් පවතිනවා.

ටාර්ඩිග්‍රේඩ් සතුව දිගැටි, තර සිරුරක් පවතින අතර, කොට පාද අටක් සහිත යි. මොවුන් කෘමීන්ට සහ ක්‍රශ්ටේෂියාවන්ට නෑකම් කියනු ලබන අතර බාහිර ස්වරූපයෙන් ඌරෙකු හෝ වලසෙකුගේ හැඩය ගනු ලබනවා. මේ කාරණාව නිසාම මොවුන් “ජල-වලසුන්” යන නාමයෙන් පවා හඳුන්වනු ලබනවා. බොහෝ ටාර්ඩිග්‍රේඩ් ජීවී විශේෂ මිලිමීටර් භාගයකට වඩා කුඩා යි. සාපේක්ෂව එය දුහුවිලි අංශුවක තරම් ප්‍රමාණයක්. ඇතැම් ටාර්ඩිග්‍රේඩ් ජීවීන් මිලිමීටර් 1.5ක් තරම් වර්ධනය වන අතර එය කුඩා ධාන්‍ය ඇටයක් හෝ වැලි කැටයක් තරම් වන අතර, ඔවුන් පියවි ඇසින් දැකගත හැකි බව සඳහන් වෙනවා. 

ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ අන්වීක්ෂීය ඡායාරූපයක් (Eye of ScienceSPL)

ටාර්ඩිග්‍රේඩ් ජීවීන්ගේ වර්ගයා බෝ කිරීම සිදුවෙන්නෙ කොහොමද

ටාර්ඩිග්‍රේඩ් සත්ත්ව විශේෂ තුළ අසාමාන්‍ය සංවාස ක්‍රියාවලියක් පවතිනවා. ඔවුන් අයත් වන ටාර්ඩිග්‍රේඩ් විශේෂය අනුව, ලිංගිකව එක්වීමෙන් හෝ එසේ නොමැතිව සිය වර්ගයා බෝ කිරීම සිදු කරනු ලබනවා. ඇතැම් ටාර්ඩිග්‍රේඩ් විශේෂවල පිරිමි සත්ත්වයින් ඔවුන්ගේ ශුක්‍රාණු සිය උච්චර්මය මත තැන්පත් කරනු ලබනවා. ඉන්පසු ඩිම්බ රැගත් වැඩුණු ගැහැණු සතුන් සමග සිදුවන සංවාසයෙන් සිය වර්ගයා බෝ කිරීම සිදු වනවා. ඇතැම් ටාර්ඩිග්‍රේඩ් විශේෂවල ගැහැණු සත්ත්වයින් සිය බිත්තර සිය උච්චර්මය මත තැන්පත් කොට උච්චර්මය හැර යනු ලබනවා. පසුව පිරිමි සත්ත්වයින් විසින් මෙම බිත්තර සඵලතාවයට පත් කරනු ලබනවා. හිතකර පරිසර පද්ධතියක් තුළ දී මෙම බිත්තරවලින් දින 40ක් වැනි කාලයක් ඇතුළත පැටවුන් බිහි වීම සිදුවන අතර, වියළි පරිසර තත්ත්වයක් තුළ දී ඒ සඳහා දින 90ක් වැනි කාලයක් ගත විය හැකි බව සඳහන් වෙනවා. 

බිත්තර රැගත් Hypsibius dujardini ටාර්ඩිග්‍රේඩ් ජීවියෙක් (Sinclair Stammers/NPL)

මේ ටාර්ඩිග්‍රේඩ් ජීවීන් ජීවත් වෙන්නෙ කොහේද?

මෙම ජීවීන් අර්ධ-ජලචර ජීවීන් විශේෂයක් ලෙස සලකනු ලබනවා. ඔවුන්ට ජලජ පරිසර පද්ධතියක් තුළ මෙන්ම ගොඩබිම් පරිසර පද්ධතියක් තුළ දී පවා නොනැසී පැවතීමේ හැකියාව පවතිනවා. මෙම පරාසය සාගර, ජලාශ, වැව්, කඳුකර ප්‍රදේශ, වනාන්තර හෝ වැලි සහිත ශුෂ්ක කලාපයන් දක්වා විහිදී යා හැකියි. මොවුන් ලෝකය පුරා සෑම ස්ථානයකින් පාහේ වාර්තා වී ඇති අතර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර හා සක්‍රීය ගිනිකඳුවල පවා ජීවත් වන බව සඳහන්. දියසෙවල සහිත පරිසර පද්ධතීන් තුළ මොවුන් බහුල වශයෙන් ජීවත් වනවා. 

බොහෝ ටාර්ඩිග්‍රේඩ් ජීවීන් ඇල්ගී වර්ග ආහාරයට ගනු ලබන අතර, මල් හටගන්නා ශාකවල, කඳ සිදුරු වූ ශාකවල ඇති සංඝටක සිය නාලාකාර වූ මුඛය මඟින් උරාගනු ලබනවා. සර්වභක්ෂක ටාර්ඩිග්‍රේඩ් ජීවීන් අනෙකුත් වර්ගවල ටාර්ඩිග්‍රේඩ් ජීවීන් ආහාරයට ගනු ලබනවා. 

ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සොබාදහමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන අතර අලුත් ජීවය පවත්වා ගැනීමට අපහසු පරිසර පද්ධතීන් තුළ කොලනි තනාගන්නවා. විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මොවුන් සාගරය හැරදා වියළි ගොඩබිමට පැමිණි මුල්ම ජීවීන් අතර සිටින්නට ඇති බව යි. 

ටාර්ඩිග්‍රේඩ් ජීවීන් බොහෝ වශයෙන් ජීවත් වන්නේ දියසෙවළ හෝ ලයිකන ආශ්‍රිතවයි (PapilioAlamy)

ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ ආයුකාලය කොපමණ වේවිද?

සම්පුර්ණ වශයෙන් ක්‍රියාකාරී ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ ආයුකාලය මාස කීපයකට සීමා වනවා. නමුත් නමුත් මොවුන් සිය ආයුකාලය වැඩි කර ගැනීම සඳහා අපූර්ව ක්‍රමවේදයක් භාවිතා කරනු ලබනවා. එහිදී ඔවුන් “ටන්” (පීප්පයක හැඩය ඇති) නම් වූ තත්ත්වයකට පත් වන අතර, එවිට මොවුන්ගේ සිරුර වටා වීදුරු වැනි ආරක්ෂිත ආවරණයක් වර්ධනය වීම ආරම්භ වෙනවා. එම ආවරණය තුළ දී ඔවුන් සිය පරිවෘත්තිය ක්‍රියාවලිය සාමාන්‍ය අගය මෙන් 0.01ක් දක්වා අවම අගයකට පත් කරගනු ලබනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු අදහස් දක්වන පරිදි මෙම ක්‍රියාවලිය නිසා ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හට සියවස් ගණනක් ජීවත් වීමේ හැකියාවක් පවතිනවා. මෙය තාවකාලික මරණයකට වඩා ශිශිරතාරක නින්දකට පත්වීම හා සමාන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. 

ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකු ටන් තත්ත්වයට පත් වීම (Eye of ScienceSPL)

ටාර්ඩිග්‍රේඩ් ජීවීන් අමරණීයයි ද?

සක්‍රීය මට්ටමේ දී ටාර්ඩිග්‍රේඩ් ජීවීන් මරණයට පත්වීමේ හැකියාව පවතින බව හාවර්ඩ්හි පර්යේෂකයා ප්‍රකාශ කරනු ලබනවා. ඔහු ප්‍රකාශ කරන්නේ පර්යේෂණ සිදුකරන අතරතුර අත්වැරදීමෙන්, හාමත් කිරීමෙන්, සහ අධික වේගයකින් වියළීමට ලක් කිරීමෙන් ඔහු විසින් ගිණිය නොහැකි තරම් ටාර්ඩිග්‍රේඩ් ජීවීන් පිරිසක් ඝාතනයට ලක් කළ බව යි. තවත් වරෙක ඔහු අනවධානයෙන්, ටාර්ඩිග්‍රේඩ් ජීවීන් පිරවූ පරීක්ෂණ නලයක් ආරක්ෂක ස්කෑනර් යන්ත්‍රයක් හරහා යවා තිබූ අතර ඔවුන් සියල්ල මරණයට පත් වී තිබුණා. ඔවුන් “ටන්” තත්ත්වයේ නොසිටින අවස්ථාවේ දී අනෙකුත් සෑම අන්වීක්ෂීය ජීවියෙකු මෙන්ම ටාර්ඩිග්‍රේඩ් ජීවීන් ද මරණයට පත් කිරීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කරනවා. නමුත් “ටන්” තත්ත්වයට පත් වූ පසු ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හට විකිරණවලට ඔරොත්තු දීම, අධික පීඩනය, අධික උණුසුම හා බින්දුවට ආසන්න වන උෂ්ණත්වයක් තුළ පවා නොනැසී පැවතීමේ හැකියාව පවතිනවා. 

වරෙක ජපන් විද්‍යාඥයන් පිරිසක් ටාර්ඩිග්‍රේඩ් ජීවීන් පිරිසක් වසර 30ක් පුරා හිමායිත (මිදවීම) කර තිබූ අතර, වසර 30 ගෙවී ගිය පසුත් ඔවුන් නැවත සක්‍රීය වන බව හඳුනාගෙන තිබුණා. තවත් වරෙක යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය විසින් ටාර්ඩිග්‍රේඩ් ජීවීන් පිරිසක් සූර්ය විකිරණවලට නිරාවරණය පරිදි අභ්‍යාවකාශ ගත කර තිබුණත් එහිදී ද දැකගත හැකිවී තිබුණේ එම සියළු පරිසර තත්ත්වයන් අභිබවා ටාර්ඩිග්‍රේඩ් ජීවීන් පණ රැක ගන්නා බවයි. 

සෑම ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුටම දීර්ඝ කාලයක් ජීවත් වීමේ වරම හිමි නොවේ (Power and SyredScience Photo Library)

ටාර්ඩිග්‍රේඩ් ජීවීන් ආශ්‍රය කර ගනිමින් සිදුකරන පර්යේෂණවල තත්ත්වය කුමනාකාර ද

1773 දී ජර්මනිය ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හා සම්බන්ධ පළමු පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මෙම ජීවීන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්. ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සම්බන්ධව මෙතෙක් සිදුකළ පර්යේෂණ තුළින් වාර්තා වී ඇති ආකාරයට මොවුන් මිනිසාට හානිකර කිසිදු රෝගකාරකයක් පතුරුවන බවට වාර්තා වී හැනැ. නමුත් මෙම ජීවීන් සතුව පවතින විශ්මිත හැකියාවන් නිසා වර්තමානය වන විට මෙම ජීවීන්ගේ හැකියාවන්ගෙන් මනුෂ්‍ය ප්‍රජාවට ලබාගත හැකි දෑ පිළිබඳ සොයා බලනු ලබනවා. ඒ අනුව ඔවුන් දක්වා සිටින්නේ ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හරහා කරනු ලබන පර්යේෂණ තුළින් ශල්‍යකර්මයක දී හෝ අභ්‍යාවකාශයේ දී මනුෂ්‍යයෙකුට දිවි රැක ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳ අනාගතයේ දී හෙළිකර ගත හැකි බවයි. 

හාවර්ඩ්හි පර්යේෂක පිරිස අනාගතයේ දී ටාර්ඩිග්‍රේඩ් ජීවී සෛල යොදා ගනිමින් කෘතීම ප්‍රෝටීනයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන බව ප්‍රකාශකොට තිබෙනවා. එම කෘතීම ප්‍රෝටීනය භාවිතා කර අවයව බද්ධ කිරීමක දී, බද්ධ කිරීමට යොදා ගන්නා අවයව අයිස් මත තැබීමෙන් ජීවී කාලය වැඩි කර ගන්නවාට වඩා වැඩි කාලයක් ජීවී අයුරින් පවත්වා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා. මීට අමතරව අනාගතයේ දී ආඝාතයට සහ හෘද රෝගවල දී රෝගියාගේ අවයව අකර්මණ්‍ය වීම වළක්වා, රෝගී පුද්ගලයාට නිසි ප්‍රතිකාර ආරම්භ කරන තෙක් සිදුවිය හැකි අතුරු ආබාධ වලක්වා ගැනීමට මොවුන්ගේ මේ “ටන්” තත්ත්වයේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තු ද වෙනවා. මීට අමතරව න්‍යෂ්ටික බලාගාරවල සේවයේ යෙදෙන තාක්ෂණික නිළධාරීන් විකිරණවලින් ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමටත්, දීර්ඝ කාලීන අභ්‍යාවකාශ චාරිකාවල නිරතවන ගගනගාමීන්ගේ ජීව්‍ය පැවැත්ම තහවුරු කිරීමටත් ටාර්ඩිග්‍රේඩ් ජීවීන්ගේ හැකියාව යොදා ගත හැකිවේයැ යි විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා.

 

Related Articles