වැඩි ම වන වැස්මක් සහිත ලොව රටවල් 10ක්

වනාන්තර සැලකෙන්නේ ලෝකයේ පෙනහළු ලෙස යි. ජීවයට අහිතකර කාබන් ඩයොක්සයිස් වායුව ඔක්සිජන් බවට පරිවර්තනය කොට පෘථිවියේ ජීවත් වන මිනිස් ප්‍රජාව ඇතුළු අනෙකුත් සත්ත්වයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට වනාන්තර ඉටු කරන්නේ අනුපමේය මෙහෙවරක්. ලෝකයේ ගොඩබිමෙන් තුනෙන් එකක් පමණ වසා පවතින වනාන්තර ඔක්සිජන් නිපදවීමෙන් පමණක් නොනැවතී, ජල චක්‍රය පවත්වා ගැනීම පස සරු කිරීම, අහිතකර අපද්‍රව්‍ය අවශෝෂණය කරගැනීම වැනි ඉතාමත් වැදගත් සංසිද්ධීන් රාශියකට සිය දායකත්වය සපයනවා. 

වනාන්තර, ලෝකයේ දේශගුණය නිසි ලෙස පවත්වා ගැනීමටත් උරදෙන ප්‍රධානත ම සාධකයක්. මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා වර්තමානය වන විට මේවා පවතින්නේ ඉතා අවදානම් මට්ටමක යි. 1990 වසරේ සිට මේ දක්වා ලොව පුරා වනන්තර වර්ග කිලෝමීටර මිලියන 1.3 ක් විනාශ වී ඇති අතර, එය දකුණු අප්‍රිකාවේ භූමි ප්‍රමාණයටත් වඩා වැඩි වපසරියක් වෙනවා.

 ඇමසෝන් කලාපයේ ගින්නක්- gettyimages.com 

 

වනාන්තර විනාශයට වැඩිමනත් ම හේතු වී තිබෙන්නේ කෘෂිකාර්මික හා වෙනත් කර්මාන්ත ආශ්‍රිත කටයුතුවලට වනාන්තර විනාශ කිරීම යි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස පරිසරයට හරිතාගාර වායු විමුක්ත වීම සිදුවන අතර පසුගිය කාලයේ ඇමසෝන් වනාන්තර කලාපයේ ඇති වූ ගිනිවලින් පරිසරයට විමුක්ත වී ඇති කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මෙගා ටොන් 228 ක්. මෙය 2010 වසරෙන් පසු වාර්තා වූ ඉහළ ම අගය වෙනවා.

ලොව වැඩි ම වන වැස්මක් ඇති රටවල් දහය

ලෝක බැංකුවේ 2016 වසරේ දත්තවලට අනුව, ලොව සමහරක් රටවල වන වැස්ම අඩු වී ඇති අතර, තවත් රටවල් සාර්ථක ලෙස සිය වනාන්තර ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක තබා ගැනීමට සමත් වී තිබෙනවා. එම දත්තවලට අනුව ලොව වැඩිම වන වැස්මක් ඇති රටවල් දහය පහත පරිදි වෙනවා.

 සුරිනාමයේ වනගත පෙදෙසක්- davidsbeenhere.com 

 

සුරිනාමය

ලොව වැඩි ම වන වැස්මක් ඇති රට වන්නේ දකුණු අමෙරිකානු රටක් වන සුරිනාමය යි. එහි වන වැස්ම 98.3% ක් තරම් ඉහළ අගයක් ගන්නවා. දෙවන ස්ථානය මයික්‍රොනීසියාවට හිමි වී ඇති අතර එය 91.9% ක් වෙනවා. අප්‍රිකානු මහාද්වීපයට අයත් රටක් වන ගැබෝන් තෙවන ස්ථානයේ පසුවන අතර එය 90% ක්. සීෂෙල්ස් දූපත් හි වන වැස්ම 88.4% ක් වන අතර, පැසිෆික් සාගරයේ පවතින පලාවු හි වන වැස්ම 87.6 ක් වෙනවා. ඇමෙරිකානු සැමොවා හි වන වැස්ම 87.5% ක් වන අතර, ගයානාවේ වන වැස්මත් 83.9% ක් තරම විශාල අගයක් ගන්නවා. 

ගිනිකොණ දිග ආසියානු රටක් වන ලාඕසය මෙම ලැයිස්තුවේ අට වන ස්ථානයේ පසු වන්නේ 82.1% ක වන වැස්මක් සහිතව යි. සොලමන් දූපත් නව වන ස්ථානයේ පසුවන්නේ 77.9% ක වන වැස්මක් සමඟ යි. මෙම ලැයිස්තුවේ දසවන ස්ථානයේ පසුවන පැපුවා නිව්ගිනියාවේ වන වැස්මෙහි ප්‍රතිශතය 74.1% ක්. මෙහි 11 වන ස්ථානය පින්ලන්තයට හා 12 වන ස්ථානය භූතානයට හිමි වී පවතින්නේ 70% කට වැඩි වන වැස්මක් සහිත ව යි. මින් භූතානය වඩාත් වැදගත් වන්නේ එය කාබන් ඍණ හෙවත් කාබන් ඩයොක්සයිස් විමුක්ත කරන ප්‍රමාණයට වඩා, ඒවා අවශෝෂණය කරන රටක් වීම නිසා යි. අතීතයේ හරිත පැහැයෙන් ගහණව තිබූ ශ්‍රී ලංකාවට වර්තමානය වන විට මෙහි හිමිව ඇත්තේ 96 වන ස්ථානය වන අතර, ඒ 33% ක පමණක් වන වැස්මකට හිමිකම් කියමිනු යි. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය යුතු තත්ත්වයක්.

සුරිනාමයේ පරිසරය හා සබැඳි සංචාරක කර්මාන්තය

අතීතයේ ලන්දේසි යටත් විජිතයක්ව පැවති, දකුණු අමෙරිකානු මහාද්වීපයේ ඊසාන දිග වෙරළබඩට වන්නට පිහිටා ඇති සුරිනාමය සැලකෙන්නේ ලොව වඩාත් ම වනයෙන් වැසුණු රට ලෙස යි. මෙහි වනාන්තර නොවන භූමිය ඇත්තේ 1.7% ක් වන අතර, සෙසු භූමියේ ඇති පාරිසරික සුන්දරත්වය විඳීම සඳහා නන් දෙසින් සංචාරකයන් එහි පැමිණෙනවා. විශේෂයෙන් එහි රජය රාජ්‍ය නොවන සංවිධාන හා එක් ව මෙහි වූ වෘක්ෂලතා, වන සතුන් හා ජල ප්‍රභව ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා. මෙහි වනාන්තරවලට වැඩි ම තර්ජනය සිදු වන්නේ අනවසර ගස් කැපීම හා රත්‍රන් නිධි කැණීම යන කටයුතුවලිනු යි.

මෙහි රජය හෙක්ටයාර මිලියන 1.6 කින් යුතු මධ්‍යම සුරිනාම් ස්වභාවික රක්ෂිතය ප්‍රකාශයට පත් කළ අතර 2000 වසරේ දී එය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කළා. මීට අමතරව එහි ‘දකුණු සුරිනාම් සංරක්ෂණ කොරිඩෝව’ නම් පෙදෙසක් ද පවතිනවා. පරිසරය හා සබැඳි සංචාරක කර්මාන්තය සුරිනාමය වෙත විදේශ විනිමය ගලා එන ප්‍රධානත ම මාර්ගයක් වෙනවා.

 මයික්‍රොනීසියාවේ කෘෂි කර්මාන්තය සිදුවන්නේ පරිසරයට හිතකර පරිදි යි- Jason Sulog/ CR  

 

මයික්‍රොනීසියාවේ තිරසාර කෘෂිකර්මය

පැසිෆික් සයුරේ වර්ග කිලෝමීටර මිලියන 1.6 ක ප්‍රමාණයක විසිරී පවතින දූපත් සමූහයක් වන මයික්‍රොනීසියාවේ දූපත් 600 ක් පමණ පවතිනවා. මෙය පාලනය කෙරෙන්නේ කලාප 4 කට වෙන් කොටගෙන යි. මෙහි 92% පමණ වූ වන වැස්මෙහි පැවැත්ම ‘පොන්පෙයි සංරක්ෂණ සමාජය’ වැනි සමාජ කිහිපයක් මඟින් පාලනය කරන අතර, ඔවුන් පුරවැසියන් දැනුම්වත් කරමින්, ඔවුන් ම යොදා ගෙන ස්වභාවික සම්පත් කළමනාකරණය සිදු කරනවා. විශේෂයෙන් එම සමාජ එහි ගොවීන් ඇතුළු පුරවැසියන්ට අවශ්‍ය පාරිසරික හා තාක්ෂණික දැනුම ලබා දෙන අතර, වන වැස්ම විනාශ වීමේ ආදීනව කියා දී, පරිසර සංරක්ෂණය සිදුවන අයුරින් වගා කිරීම සිදුකරන ආකාරය ද කියා දෙනවා. ඊට අමතර ව ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන ද සපයනවා.

 ගැබෝන් හි පරිසර සංරක්ෂණය සිදු කෙරෙන්නේ අලි ඇතුන් ආරක්ෂා කිරීමත් සිදුකරමිනුයි.-   www.afrik21.africa/en 

 

වන අලින් ආරක්ෂා කර වනය ද ආරක්ෂා කරන ගැබෝන්

අප්‍රිකානු අලින් බහුල ලෙස ගැවසෙන ගැබෝනයේ භූමි ප්‍රමාණයෙන් 90% ක් පමණ වනයෙන් වැසී තිබෙනවා. මෙහි වනයට හා වන සතුන්ට විශාලත ම තර්ජනය තිබෙන්නේ දඩයක්කරුවන්ගෙනු යි. 2004 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලයේදී ගැබෝන් හි වන අලින් 25000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. මේ නිසා වක්‍රාකාරයෙන් වන වැස්මට ද හානියක් වී ඇත්තේ අලින් වැනි වන සතුන් මඟින් වෘක්ෂ ලතාවල ප්‍රචාරණයට විශාල පිටුබලයක් ලැබෙන නිසායි. දිනකට විශාල වශයෙන් ඔබ මොබ සැරිසරන අලියකුගේ ශරීරයේ දැවටී හෝ, වසුරු මගින් බීජ ප්‍රචාරණය යහමින් සිදුවනවා. මේ නිසා වන සම්පත රැකගැනුමට නම් අලින් ඇතුළු වන සතුන් ද රැකගත යුතු යැයි අවබෝධ කොට ගත් ගැබෝන් හි රජය ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

කවරයේ පින්තූරය - eea.europa.eu 

මූලාශ්‍ර:

weforum.org

Ceoworld.biz

dgb.earth

Related Articles