Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිරිදියේ වෙසෙන ලොව භයානක සත්තු දස දෙනෙක්

මහ මුහුද භයානක විය හැකි සතුන් රාශියකට වාසස්ථාන සපයන තැනක්. ප්‍රචණ්ඩ හැසිරීම් රටා දැක්විය හැකි විශාල මෝරුන් සහ අනෙකුත් ක්ෂීරපායි සතුන් මෙන් ම, මුහුදු සර්පයන්, බ්ලූ රින්ග්ඩ් බූවල්ලන්, සමහර ජෙලි ෆිෂ් හා මත්ස්‍ය වර්ග වැනි මාරාන්තික විෂ සහිත සතුන් රාශියක් මහ සයුරේ ජීවත් වෙනවා. ඇතැම් මුහුදු ජීවින්ගේ ස්වභාවය ගැන මුහුද ආශ්‍රිත ව ජීවත් වන ප්‍රජාවට යම් අවබෝධයක් තිබෙනවා. දැල්වලට මෙවැනි විෂ සහිත සතුන් හසු වූ විට ප්‍රවේශමෙන් ඔවුන් ඉවත් කරන අන්දම ගැන අත්දැකීම් ඇතැම් ධීවරයන්ට තිබෙනවා.

 කරදි‍යේ ජීවත් වන අන්තරායකාරී සතුන් බොහෝමයක් ගැන අප අසා තිබුණත්, ගංගා, විල් වැනි මිරිදිය තුළ ජීවත් වන භයානක සතුන් ගැන අප අසා තිබෙන්නේ ස්වල්ප වශයෙන්. මිරිදිය පරිසර පද්ධතියක ජීවත් වන දරුණු ම  සහ ප්‍රසිද්ධ ම විලෝපිකයා වන්නේ කිඹුලා යි. කිඹුල් ප්‍රහාර නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ මිනිසුන් ගැන ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී තිබෙනවා. කිඹුලා හැරෙන්නට මිරිදියේ වාසය කරන තවත් අන්තරායකාරී සතුන් දස දෙනකුගේ විස්තර මේ ලිපියෙන් ගෙන එනවා. ඔවුන්ගේ භයානකත්වය හේතු කිහිපයක් මත පදනම් විය හැකි යි. ඇතැම් විශේෂ භයානක වන්නේ, ආක්‍රමණශීලි විලෝපිකත්වය හමුවේ පරිසර පද්ධතියට වන බලපෑම නිසා යි. ලැයිස්තුවේ ඇතැම් සාමාජිකයන් ලෝකයේ එක් භූගෝලීය කලාපයකට පමණක් සීමා වී ජීවත් වෙනවා.

අප්‍රිකානු ටයිගර් මත්ස්‍යයා – cusafaris.com 

අප්‍රිකානු ටයිගර් මත්ස්‍යයා

 කෙදිනෙක හෝ ඔබ අප්‍රිකාවේ සංචාරයක් කරන අතරතුර ටයිගර් මත්ස්‍යයකු දුටුවහොත්, හැකි ඉක්මණින් එම ස්ථානයෙන් ඉවතට පිහිනා යෑම වඩාත් සුදුසු යි. ටයිගර් මත්ස්‍යයන්ට තරමක භයානක වූ පෙනුමක් තිබෙනවා. දිගු, තියුණු දත් සහිත ටයිගර් මසුන් ඔවුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා ඕනෑම මත්ස්‍යයකු ආහාරයට ගන්නවා. ඔවුන්ගේ ම වර්ගයා වුවත් ආහාරයට ගන්න ටයිගර් මත්ස්‍යයන් පසුබට වන්නේ නැහැ. තමන්ගේ ආහාර වේල ගැන සෑහීමට පත් නොවෙන අවස්ථාවල ජලය මතුපිට ආසන්නයෙන් පියාඹා යන කුරුල්ලකු වුවත් ඩැහැ ගන්න මොවුන් සමත් වෙනවා.

 අප්‍රිකානු ටයිගර් මසුන් අතරින් විශාලතමයා වන්නේ “ගොලියත් ටයිගර් මත්ස්‍යා” නම් විශේෂය යි. එවැන්නකු මීටර් 1.5ක් දක්වා වර්ධනය විය හැකි අතර, බර කිලෝග්‍රෑම් 15.5ක් පමණ වෙනවා. මෙම විශේෂය සතු ව ඇති විශාල දත් සහ රුදුරු හැසිරීම නිසා රංචුවක් ලෙස ක්‍රියාකළහොත්, විශාල භෞමික සත්ත්වයකු වුවත් ගොදුරු කරගත හැකි යි. 

 මොවුන්ගේ ගොදුරු අතර මිනිසා නොමැති වුවත්, කොංගෝව ආශ්‍රිත ව දිවි ගෙවන මිනිසුන්ට ඔවුන් පහර දුන් අවස්ථා වාර්තා වී තිබෙන බව සඳහන්. ඒවායේ සත්‍ය අසත්‍ය බව එතරම් පැහැදිලි නැහැ.

විදුලි ආඳන්ගේ විද්‍යුත් කම්පන මිනිසාට මරණීය විය හැකි යි – sciencemag.org 

විදුලි ආඳා

 ශරීර හැඩයෙන් සර්පයකුගේ පෙනුම ගන්නා නිසා ආඳන් විශේෂයක් සේ පෙනුණත්, සැබැවින් ම මෙම සත්ත්වයා ආඳකු ලෙස හැඳින්විය නොහැකි යි. විද්‍යාත්මක වර්ගීකරණය අනුව විදුලි ආඳන් වඩාත් සමීප වන්නේ කාප් සහ කැට්ෆිෂ් යන මත්ස්‍ය විශේෂවලට යි. විදුලි ආඳන් ජීවත් වන්නේ දකුණු අමෙරිකාවේ ඇමසෝන් සහ ඔරිනෝකෝ යන ගංගා ආශ්‍රිතව යි. මොවුන්ට වෝල්ට් 600ක් දක්වා වූ විදුලියක් නිපදවිය හැකි අතර, එම විද්‍යුත් කම්පනයෙන් ඔවුන් වටා සිටින බොහෝමයක් සතුන් අඩපණ කර දමන්න පුළුවන්. ඒ නිසා විදුලි ආඳන් සාර්ථක විලෝපිකයන් ලෙස හැඳින්විය හැකි යි.

 විදුලි ආඳන්ගේ විද්‍යුත් කම්පනයෙන් මිනිසකු වුවත් මරා දැමීමට හැකියාව තිබෙනවා. එම විද්‍යුත් කම්පනය පවතින කාල පරාසය මත, සිදුවන හානියේ බරපතලකම රඳා පවතිනවා. ඒ නිසා බොහෝවිට විදුලි ආඳකුගේ විද්‍යුත් කම්පන මිනිසකුට මරණීය වන්නේ නැහැ.

වැඩුණු පිරානා මත්ස්‍යයෙකුගේ තියුණු දත් වල ස්වභාවය – veloso.com 

පිරානා

 පිරානා කියන්නේ චිත්‍රපටවලට පවා මුල් වූ මත්ස්‍ය විශේෂයක්. දකුණු අමෙරිකාවේ ගංගා සිය වාස භූමිය කර ගත් පිරානා මසුන් සාර්ථක විලෝපිකයන් ද වෙනවා. සමූහ ලෙස ජීවත් වන පිරානා මසුන්ට මිනිත්තු කිහිපයක් ඇතුළත සත්ත්ව මළ සිරුරක් අස්ථි දක්වා ම කා දැමීමේ හැකියාවක් තිබෙනවා.

 සාමාන්‍යයෙන් පිරානා මසුන් මිනිසුන් මඟ හරින චර්යා රටාවක් අනුගමනය කරනවා. ආහාර හිඟ වී ජල මට්ටම අවම වූ අවස්ථාවක එක් ස්ථානයක සිටින පිරානා ගහණය ඉහළ යන්න පුළුවන්. එවැනි මොහොතක මිනිසුන්ට පවා පිරානා මසුන් පහර දීමේ හැකියාවක් තිබෙනවා. මෙම ප්‍රහාරවලට වැඩියෙන්ම මුහුණ දෙන්නේ කුඩා ළමයින් බව සඳහන්. බ්‍රසීලයේ වරින් වර පිරානා රංචුවල ප්‍රහාරයන්ට මැදි ව තුවාල ලැබූ මිනිසුන් ගැන වාර්තා වෙනවා.

වෙල්ස් කැට්ෆිෂ් – watershedcouncil.org

වෙල්ස් කැට්ෆිෂ්

 මධ්‍යම, දකුණු සහ නැගෙනහිර යුරෝපයට ආවේණික වූ දැවැන්ත මිරිදිය මත්ස්‍ය විශේෂයක් ලෙස වෙල්ස් කැට්ෆිෂ් හැඳින්විය හැකි යි. ඔවුන් බෝල්ටික්, කැස්පියන් සහ කළු මුහුද වැනි කරදිය පරිසරයේත් ජීවත් වන බව වාර්තා වී තිබෙනවා. මෙම මිරිදිය මත්ස්‍යා කොතරම් දැවැන්ත ද කියනවා නම්, වෙල්ස් කැට්ෆිෂ් කෙනෙක් දිගින් මිටර් 5ක් සහ බරින් කිලෝග්‍රෑම් 300ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.

 ශරීර ප්‍රමාණයේ දැවැන්ත බව නිසා මොවුන්ට ගොදුරු කරගත හැකි සතුන් විශේෂ ගණනත් අධික යි. ගොළුබෙල්ලන්, කෘමීන්, මාළුන්, ගෙම්බන් වැනි කුඩා පරිමාණයේ ගොදුරුවල සිට තමාගේ ම  වර්ගයා සහ තාරාවන් වැනි විශාල පරිමාණයේ සතුන් දක්වා මොවුන් ගොදුරු කර ගන්නවා. සුවිශේෂ ම කරුණ වන්නේ, ගොඩබිම ආසන්නයට පැමිණ පරෙවියන් පවා අල්වා ගෙන නැවත ජලය තුළට ඇදගෙන යෑමේ දඩයම් ක්‍රමයක් මොවුන් අනුගමනය කිරීම යි. වෙල්ස් කැට්ෆිෂ් කෙනෙක් ආරක්ෂාව පතා කරන පහරදීම් මිනිසාටත් හානිදායක වෙන්න පුළුවන්.

යෝධ මිරිදිය මඩුවන්ගේ වල්ගයෙන් කරන පහරදීමෙන් දරුණු තුවාල සිදුවිය හැකි යි – wired.com 

මිරිදිය මඩුවා

 Potamotrygonidae පවුලට අයත් මිරිදිය මඩුවන් විශේෂ දකුණු අමෙරිකාවේ කැරීබියානු කලාපයට ගලා බසින ගංගාවලට ආවේණික ව දිවි ගෙවනවා. මඩුවන් අන්තරායකාරී සතුන් විශේෂයක් ලෙස හඳුන්වන්නේ ඔවුන් වලිගයෙන් කරන පහර දීම් නිසා යි. මෙම වලිගයේ කටුවක් පිහිටන අතර, වලිගයෙන් කරන පහරදීමක දී එම කටුව ඇමිණී බරපතල තුවාල සිදු වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, දකුණු අමෙරිකාවේ වෙසෙන මිරිදිය මඩුවන් විශේෂ තරමක් කුඩා නිසා පහරදීම් එතරම් බරපතල වෙන්නේ නැහැ. ආලෝකය අඩුවෙන් ලැබෙන ජල මාර්ගවල වාසය කරන බැවින්, නොදැනුම්වත්භාවය නිසා ප්‍රහාරයට ලක්වීමේ හැකියාව වැඩි යි. 

 ගිනිකොනදිග ආසියාවේ ගංඟා සහ මෝය ආශ්‍රිත ව ජීවත් වෙන මිරිදිය මඩුවන් ගැන කතා කිරීමේ දී කරුණු කාරණා තරමක් වෙනස් වෙනවා. ගිනිකොනදිග ආසියාවේ වෙසෙන මිරිදිය මඩුවන් ශරීර ප්‍රමාණ‍යෙන් දැවැන්ත යි. ඔවුන් පළලින් මීටර් 1.9 ක් සහ දිගින් මීටර් 5ක් දක්වා වැඩෙන අවස්ථා තිබෙනවා. වලිගයේ පිහිටි කටුව සෙන්ටිමීටර් 38ක් දක්වා වැඩෙන නිසා දකුණු අමෙරිකානු විශේෂයට වඩා මොවුන්ගේ ප්‍රහාර බරපතල යි.  ප්‍රහාරයකින් මිනිසකුගේ අස්ථි දක්වා ගැඹුරට විහිදෙන තුවාල සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. 

බුල් ෂාර්ක් – viator.com 

 බුල් ෂාර්ක්

 මෝරුන්ට බිය විය යුතු එක ම ස්ථානය සාගරය යැයි ඔබ සිතුවා නම්, එම විශ්වාසය ගැන නැවත සලකා බැලීමට සිදු වෙනවා. මෝරුන් අතරින් “බුල් ෂාර්ක්” විශේෂය සාගරයේ සිටින භයානක සාමාජිකයකු වන අතර, මිරිදිය පරිසරයෙන් පවා ඔවුන් වාර්තා වී තිබෙනවා. ආහාර සොයා ගැනීම සඳහා කිවුල් දියේ වගේ ම මිරිදියටත් හැඩ ගැසෙන්න ඔවුන්ට පුළුවන්. ඇමසෝන් ගංගාවේ මෝය ප්‍රදේශයේ සිට සැතපුම් 2500ක් පමණ අභ්‍යන්තරය වන්නට බුල් ෂාර්ක් වාර්තා වී තිබෙනවා. එක්සත් ජනපදයේ මිසිසිපි ගංගාවෙනුත් බුල් ෂාර්ක් සත්ත්වයකු අල්ලා ගත් සිදුවීමක් ගැන සඳහන් වෙනවා. බුල් ෂාර්ක් නම් මෝරුන් විශේෂය වැඩි වශයෙන් මිනිසුන්ට පහර දීමේ සිදුවීම් වාර්තා වී තිබෙන නිසා මෙය අවදානම් සහගත තත්ත්වයක් ලෙස සළකන්න පුළුවන්.

පරපෝෂී ජීවන රටාවක් පෙන්වන කැන්ඩිරු මත්ස්‍යා – alchetron.com

කැන්ඩිරු

 කැන්ඩිරු කියන්නේ පරපෝෂී මත්ස්‍ය විශේෂයක්. ඔවුන් සාමාන්‍යයෙන් විශාල මසුන්ගේ කරමල්වලට සම්බන්ධ වී පරපෝෂී ලෙස ජීවත් වෙනවා. කැන්ඩිරු මත්ස්‍යයන් මිනිසුන්ගේ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට සම්බන්ධ වී සිට සොයාගත් සිදුවීම් ගැන වාර්තා වෙලා තිබෙනවා. එම සිදුවීම් තරමක් විවාදයට බඳුන් වුවත්, කැන්ඩිරු මසුන් ගැන දන්නා මිනිසුන් ඔවුන් බහුල ව වෙසෙන ජල මාර්ගවලට ප්‍රවේශ නොවීමට වග බලා ගන්නවා.

 ඇමේසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මෙම මසුන් මිනිසුන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය සමඟ සම්බන්ධ වුවහොත්, ආසාදන ඇතිවීම හෝ ශල්‍යකර්මයක් පවා අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් බහුල ව සිටින ප්‍රදේශ වලට ඇතුළු වීම මිනිසාට හානිදායක යි.

“ස්නේක් හෙඩ්” ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනා ගැනෙනවා – nytimes.com 

ස්නේක්හෙඩ්

ස්නේක්හෙඩ් මසුන් මිනිසුන්ට හානිකර මිරිදිය සත්ත්වයකු වන්නේ ඔවුන් ආක්‍රමණශීලි විශේෂයක් ලෙස හඳුනා ගැනෙන නිසා යි. ආක්‍රමණශීලි සතුන් පරිසර පද්ධතීන් අස්ථාවර කරන නිසා ඒවායේ අනිසි පල විපාක මිනිසාටත් අත් විඳින්න සිදු වෙනවා. ස්නේක්හෙඩ් මත්ස්‍යයෙකු දිගින් අඩි තුනකට වඩා වර්ධනය වන අතර, අභිජනන සමයේදී ඔවුන් හමුවට එන ඕනෑම කෙනකුට පහර දෙන්න පෙලඹෙනවා. 

වොල්ෆ් මත්ස්‍යයින් “අන්ජුමාරා” යන නාමයෙනුත් හැඳින්වෙනවා – exoticfish.fandom.com

වොල්ෆ් මත්ස්‍යයා

 වොල්ෆ් මත්ස්‍යයන් “අන්ජුමාරා” යන නාමයෙනුත් හැඳින්වෙනවා. දකුණු අමෙරිකාවට ආවේණික, විලෝපික මත්ස්‍යයකු වන මොවුන්, මීටරයකට වඩා වැඩි දිගකින් හා බරින් රාත්තල් 90ක් දක්වා වර්ධනය වෙනවා. ඉතා තියුණු දත් සහිත වොල්ෆ් මත්ස්‍යයා, කුඩා අපෘෂ්ඨවංශික සත්ත්වයන්ගේ සිට විශාල පරිමාණයේ සතුන් පවා ගොදුරු කරගන්නවා. 

ඇලිගේටර් ස්නැපින් ට(ර්)ට්ල් – effinghamdailynews.com

ඇලිගේටර් ස්නැපින් ට(ර්)ට්ල්

 ඇලිගේටර් ස්නැපින් ට(ර්)ට්ල් කියන්නේ සාපේක්ෂව විශාලව වර්ධනය වන උරග විශේෂයක්. පිරිමි සත්ත්වයකුගේ බර කිලෝග්‍රෑම් 70 ත් 80 ත් අතර වෙනවා. මෙම සත්ත්වයන් එක්සත් ජනපදයේ උතුරු ෆ්ලොරිඩාවේ සිට නැගෙනහිර ටෙක්සාස් දක්වා මිරිදිය පරිසර පද්ධතිය ආශ්‍රිත ව දක්නට ලැබෙනවා. ඔවුන්ගේ විශේෂිත ව අනුවර්තනය වූ දිව නිසා ඇලිගේටර් ස්නැපින් ට(ර්)ට්ල් වෙත ගොදුරු ආකර්ෂණය වීමක් සිදු වෙනවා. මොවුන් ගංගා පත්ලට පැමිණ මුඛය විවෘත කොට ඔවුන්ගේ විශේෂිත දිව පණුවකු දඟලන ආකරයෙන් චලනය කරනවා. අනතුරුව මාළුන් ආහාරයක් ලෙස රැවටී මෙම සතුන්ගේ ශක්තිමත් හකු අතරට ම පිහිනනවා.

 ඇලිගේටර් ස්නැපින් ට(ර්)ට්ල් මිනිසාට අනතුරු කළ හැකි සත්ත්වයෙක් ලෙස සැලකෙන්නේත් මේ ශක්තිමත් හකුපාඩා නිසා යි. ඔවුන්ගේ සපා කෑමකින් හට ගන්නා පීඩනය රාත්තල් දහසක් තරම් වෙනවා. එවැනි පීඩනයක් යෙදිය හැකි සත්ත්වයකුගේ සපා කෑමකින් වන හානිය අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ නේද?

කවරයේ පින්තුරය: පිරානා 3D චිත්‍රපටයේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් - madmikesamerica.com

මූලාශ්‍ර:

roaring.earth 

nationalgeographic.com

insmoothwaters.com

nationalgeographic.com

divestock.com

blog.nwf.org

nwf.org 

Related Articles