තලගොයා සහ කබරගොයා  කියන නම් ලංකාවේ ජීවත් වන ඕනෑම කෙනෙක්ට හුරුපුරුදුයි. බොහෝ විට, මින් එක්කෙනෙක් නැත්නම් දෙදෙනාම වුවද ඔබත් දැක ඇති. දෙමළ භාෂාවෙන් “Udumbu” කියලත්, ඉංග්‍රීසියෙන්  “Land monitor” හෝ “Bengal Monitor” කියලත් කියන්නේ තලගොයාටයි. විද්‍යාත්මිකව, මේ උරගයා හඳුන්වන්නේ Varanus bengalensis යනුවෙනි.

කබරගොයා යනු දෙමළින් “Kalawathan” ද, ඉංග්‍රීසියෙන්Water monitor” නමින් ද, විද්‍යාත්මකව Varanus salvator නමින් ද හඳුන්වන විශාල උරගයින් වර්ගයටය.

කබරගොයා මේ දෙදෙනාගෙන් වඩා විශාල සත්ත්වයා වේ. (zoochat.com)

නගරාබදව ජීවත් වන අපට, මේ උරගයින් දකින්නට ලැබීම තරමක අත්දැකීමකි. විශේෂයෙන්ම් තලගොයි, නිවාස ආශ්‍රිතව ඉඳලා හිටලා දකින්නට ලැබෙනවා. වැගුරුබිම් ආශ්‍රිත ප්‍රදේශ වලට තලගොයින් වඩාත් ප්‍රිය කරන අතර, ඇතැම් විට ගෙවතු වලටද පා තබනවා.

මෙම දෙදෙනා වෙන්කර හඳුනා ගැනීම විටෙක අසීරුයි. නමුත් මේ එක් එක් වර්ගයාට සුවිශේෂ වූ ලක්ෂණ ඇති අතර අපි මේ ගැන විමසුවේ උරගයින් සහ උභයජිවින් පිලිබඳ විශේෂඥ ඩිනාල් සමරසිංහ මහතාගෙන්.

තලගොයා මුළුමනින්ම ගොඩබිමෙහි වාසය කරන අතර කබරගොයා ජලශ්‍රිතව වැඩියෙන් ගැවසෙනවා. මේ උරගයින් දෙදෙනාටම පිහිනන්න හැකි වූවත් ජලය වැඩියෙන් ප්‍රිය කරන්නේ කබරාය.

ජීවත් වන්නට පරිසරයක් තෝරා ගැනීමේදී, මේ සතුන් දෙදෙනාම එම ප්‍රදේශයේ දේශගුණය, විශේෂයෙන්ම් උෂ්ණත්වය ගැන සැලකිලිමත් වේ. අචලතාපී ලෙස සැලකෙන මෙම සත්ව වර්ග දෙකම තම ශරීර උෂ්ණත්වය හරි ආකාරව පවත්වා ගැනීම සඳහා එකිනෙකාට ආවේනික ක්‍රමවේද උපයෝගී කර ගනී.

කබරගොයා ගේ ප්‍රශස්ත උෂ්ණත්වය 29 – 30‍ºC අතර වේ. මීට වඩා උෂ්ණත්වය අඩුවුවහොත් උන් අව්ව තපිමට හෝ උණුසුම් ජල දාරාවක් සොයාගෙන යාමට පෙළඹේ.

එහෙත්, තලගොයාගේ ශරීර උෂ්ණත්ව පරායාසය මීට වඩා පුළුල් වේ. 24ºC – 36ºC අතර වන මෙම ප්‍රශස්ත උෂ්ණත්වය නිසා තම පරිසරය ගැන වැඩිපුර වද වෙන්නට තලගොයාට අවශ්‍ය නොවේ.

තවද, විවිධ බාහිර ශාරීරික ලක්ෂණ උපයෝගී කරගෙන මේ උරගයින් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගත හැක. පහතින් දැක්වෙන්නේ එලෙස දක්නට ඇති ලක්ෂණ කිහිපයකි;

Thalagoya Kabaragoya - Sinhala

මේ සතුන් දෙදෙනා අතර සටනකදී දිනන්නේ කවුද? කබරගොයින්  තලගොයින්ට වඩා තරමින් විශාල වනවා පමණක් නොව, තලගොයින්ව ආහාරයට පවා ගන්නා අවස්ථා අපමණය. ඉතින්, ඔබේ ප්‍රශ්නයට උත්තරයම එහිම අන්තර්ගත වී ඇත.

මෙම උරගයින් දෙදෙනාම දකුණු ආසියාවේ ව්‍යාප්ත වී ඇති ලෙස සලකන නමුත්, ලංකාවේ සිටින කබරගොයා වන Varanus salvator salvator නම් වන උප විශේෂය මේ රටට ආවේනිකයි. මෙම සත්ත්වයා ශ්‍රී ලංකා නීතියෙන් ආරක්ෂා කරනු ලැබූ ප්‍රථම උරගයා වන අතර  ලොව දැනට සොයාගෙන ඇති විශාලම කබරගොයා (මීටර් 3.21ක් පමණ දිග) ශ්‍රී ලංකාවෙන් සොයාගත් සතෙකි.   

හිසේ ඉහළ සහ පැති දර්ශන A. Varanus bengalensis
B. Varanus salvator

ශාරීරික වෙනස්කම් කිහිපයක්

මීට කලින් සඳහන් කළ පරිදි, කබරගොයා ජලාශ්‍රිතව  ජීවත් වෙයි. වෙනත් බොහෝ සත්ත්ව විශේෂ මෙන්, එක ප්‍රදේශයක බලය පවත්වා ගෙන සිටින විශාල පිරිමි සත්ත්වයෙක් මෙය උරග විශේෂයටත් සිටින අතර මෙම පිරිමි සතා තමන්ට වඩා කුඩා හෝ බාල පිරිමි කබරගොයින් එම ප්‍රදේශයෙන්  පලවාහරියි. ගැහැණු සතුන් ජලයෙන්  මීටර් 200 – 300ක් පිටතට ගොස් බිත්තර දමයි.

තලගොයා හා සම්බන්ධ විශේෂ කරුණුද රාශියක් ඇත. තලගොයි මස් නීති විරෝදීව ලංකාවේ ආහාරයට ගනු ලැබේ. නිහාල් ද සිල්වාගේ “The Road from Elephant Pass” යන නවකථාවේ විල්පත්තු වනෝද්‍යානයේ සැඟවී සිටින විට තලගොයෙක් අල්ලා, මරා, මස් පුළුස්සා ආහාරයට ගත් සිද්ධියක් ගැන ලියවී ඇත.

තලගොයා ගස් නැගීමට දක්ෂයෙකි (Dinal Samarasinghe)

තලගොයා පමණක් නොව, කබරගොයා පිළිබඳවත් පොත් පත් වල ලියවී ඇත. රොබර්ට් බොයිල් විසින් ලියන ලද මෙම ලිපිය අනුව, මෙම උරගයින් දෙදෙනා සාහිත්‍යයේ සඳහන් කර ඇති අවස්ථා රාශියකි. 17 වන ශතවර්ෂයේ ලියවී ඇති ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිවල පවා මෙම සතුන් ගැන ලියා ඇත. රොබර්ට් නොක්ස්, ගෝ’ඩන් කමින්, මයිකල් ඔන්දාන්ට්ජේ සහ කාර්ල් මලර්ගේ කෘතිවල මේ සතුන් විස්තර කර ඇත. තවද, මේ ලිපියේ සඳහන් වී නැති තවත් අවස්ථාවක තලගොයෙක් ගැන කියවී ඇත; එනම් අමිතාව් ගොෂ්ගේ “The Shadow Lines” නම් කෘතියයි. මේ නවකථාවේ සිටින චරිත තලගොයෙක් දුටුවිට ප්‍රතික්‍රියා කරන්නේ එදිනෙදා ජීවිතයේදී අපට මෙම උරගයෙක් මුණගැසුණු ආකරයටම් කියා කිව හැක; එනම් දැඩිලෙස කලබලවී කෑකෝගැසීමෙනි.

කබරගොයෙක් නිවාස ආශ්‍රිත ප්‍රදේශයකට පැමිණෙයි.

කෙතරම් බියගන්වනසුරු ස්වරූපයක් තිබුනද, මේ උරගයින්ගෙන් හානි සිදුවීම ඉතාමත් දුර්ලභයි. මේ සතුන්ට තර්ජනය කළොත්, එවුන් මුලින්ම තම ශරීර ලොකු කර පෙන්වා, බියකුරු ස්වරූපයක් ගැනීමට තැත්කරයි. සමහරවිට, ශරීරය මදක් ඔසවා තර්ජනාත්මකව ස්හඬක් නංවයි. මේ ක්‍රියාකාරකම් කරන්නේ අනුන්ට හානි කිරීමේ අරමුණින් නොව; තමන්ට පාඩුවේ ඉන්න දෙන ලෙස ඉල්ලමිනි. මේ සියල්ලම නොතකා මෙම උරගයින්ට තව තවත් තර්ජනය කළහොත්, එවුන් වලිගය හකුළුවාගෙන එය කසයක් ලෙස භාවිතා කර පහරදෙයි. විශේෂයෙන්ම කබරගොයාගේ වලිගය වැදීමෙන් වැඩියෙන් තුවාල විය හැක. මීට හේතුව උන්ගේ ශක්තිමත් වලිගය මත ඇති ඉහළට නෙරා ඇති දාරයයි.

මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා මේ සතුන්ට සිදුවන ආපදා ඉතාමත් කණගාටුදායකයි. ඩිනාල් සමරසිංහ මහතා පවසන පරිදි, මෙම උරගයින්ගේ වාසස්ථාන අපගේ නාගරීකරන ක්‍රියකාරකම් නිසා විනාශ වෙමින් යන අතර තලගොයින් හා කබරගොයින් වාහන වලට යටවී මරණයට පත්වුනු අවස්ථාද එමටය.

මෙවන් කරුණු සලකා බලනවිට මේ උරගයින්ගෙන් අපට සිදුවන හානි ඉතාමත් අල්ප වන වුවත් අපගෙන් එම සතුන්ට සිදුවන හානි ඉමහත් බවත් පැහැදිලි වේ.