Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් සිදුවන මේ මගඩිය පිළිබඳව ඔබ දැනුවත් ද?

ශ්‍රී ලංකාව සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක්. ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරයන් වෙත ඇදී ඒම මීට ප්‍රධානම හේතුවක්.

සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින මෙම කැස්බෑවුන් සංරක්ෂණය සඳහා විවිධාකාරයේ වැඩසටහන් රට පුරාම ක්‍රියාත්මක වන බව ඔබ දන්නවා. දකුණු වෙරළ තීරය දිගටම මෙවැනි මධ්‍යස්ථාන අතේ ඇඟිලි ගණනට ඔබ විසින් දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. සිමෙන්ති ටැංකි කීපයක් අටවා ගත හැකි සෑම මඩුවකම ‘කැස්බෑ සංරක්ෂණය’ නාමයෙන් කෙරෙනා මේ ජාවාරම පිළිබඳව, රටට ආලය කරන ඔබ සියළුදෙනාම අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු බවට තිබෙන විශ්වාසය නිසා මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කෙරෙනවා.

මොකද්ද මේ කැස්බෑ සංරක්ෂණය?

කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන වෙරළ තීරයන්. (seaturtlesofindia.org)

මුළු ජීවිත කාලයම මුහුදේ ගත කළත්, සාගරවාසී කැස්බෑවුන් විශේෂ සියල්ලම බිත්තර දැමීම සඳහා වෙරළ කරා ඇදෙනවා. දාර කැස්බෑවා (Dermochelys coriacea), ගල් කැස්බෑවා (Chelonia mydas), පොතු කැස්බෑවා (Eretmochelys imbricata), ඔළුගෙඩි කැස්බෑවා (Caretta caretta), සහ බ‍ටු කැස්බෑවා (Lepidochelya olivaecea) යන විශේෂ පහ ලංකාව වටාම, විශේෂයෙන්ම දකුණු මුදුදේ වෙරළ තීරයන්ට, බිත්තර දැමීම සඳහා ඇදෙනවා.

මේ ආකාරයෙන් මුහුදු වෙරළේ දමන බිත්තර විලෝපිකයින් සහ මිනිස් ක්‍රියාකාරකම් අතින් විනාශ වන නිසා මෙම බිත්තර එකතු කර ‘සංරක්ෂණ මධ්‍යස්ථානයන්’ හි තබා, ඒවායින් බිහිවන පැටවුන් මුහුදට මුදා හැරීම සහ ආබාධිත කැස්බෑවුන් ‍රැක බලා ගැනීම සිදුවන බවට පැවසෙනවා. තත්ත්වය එසේ වුවත්, වෙරළ තීරය දිගේ අඩියෙන් අඩියට පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන නීති විරෝධී වනවා බමණක් නොවේ, ඔවුන් ‘‍රැක බලාගන්නා’ කැස්බෑවුන්ට සලකන්නේත් ඉතාම අමානුෂික ලෙසින්. මෙම මධ්‍යස්ථාන වල හිමිකරුවන් විසින් වෙරළාශ්‍රිතව වෙසෙන්නන්ට හා ධීවරයින්ට බිත්තරයකට රුපියල් 30ක පමණක් මුදලක් ගෙවා, ඔවුන් හරහා තම මධ්‍යස්ථානයන්ට බිත්තර එකතු කරගනු ලබනවා.

සංරක්ෂණ මධ්‍යස්ථාන කැස්බෑ ගහණයට හානිදායකයි

ඔව්. ‘සංරක්ෂණය’ මුවාවෙන් පවත්වාගත්තත්, මෙම මධ්‍යස්ථාන කැස්බෑවුන්ගේ පැවැත්මට ඉතාම හානිදායකයි.

සංරක්ෂණ මධ්‍යස්ථානයක ඇති කෘතිම බිත්තර වළවල්. (midlifeadventure)

කැස්බෑවුන් කියන්නෙ චලතාපී සත්ත්ව කොටසක්. බිත්තරයක් තුළ වැඩෙන පැටවාගේ ලිංගය තීරණය වෙන්නෙ බිත්තරයට ලැබෙන තාපය අනුවයි. කැස්බෑ මවක් සුදුසු ස්ථානයක් ‍තෝරාගෙන, වළක් හාරා බිත්තර දමන විට, කුටියේ ගැඹුරත්, හැඩයත්, බිත්තර දමන ආනතියත් නිසා පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ආසන්න වශයෙන් 1:1 ආකාරයෙන් වෙනවා.

නමුත් ‘සංරක්ෂණය’ සඳහා වල හාරා බිත්තර පිටතට ගෙන ‘සංරක්ෂණ මධ්‍යස්ථාන’ වලට ගෙනවිත් නැවත වල දමන්නවුන්ට මෙම ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව කිසිම දැනුමක් නැහැ. මෙම නිසා කැස්බෑ ‘සංරක්ෂණ’ මධ්‍යස්ථාන වලින් නැවත වල දමන බිත්තර වලින් බිහිවන 97%ක්ම පැටවුන් පිරිමි සතුන් වෙනවා. ගැහැණු සතුන් බිහිවීම ඉතාම දුර්ලභ නිසා මධ්‍යස්ථානය තුළ ටැංකියක තබා, ඉන් මුදාහරින්නේ වසර පහකින් පමණ පසුවයි.

මෙම හේතුව නිසා ප්‍රජනන කාර්යය සඳහා ගැහැණු සතුන් සාගරයට මුදා හැරෙන්නේ නැතිම තරම්. එසේම, මෙම මධ්‍යස්ථාන වල බිත්තර කුටීරයන්හි බිත්තර තැන්පත් කිරීමේ දී නියමිත දුර ප්‍රමාණයන්ට අනුව තැන්පත් නොකරන නිසා, දිලීර ආසාදන නිසා පැටවුන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු තරමින් ඉහළ යනවා. එනිසා, සංරක්ෂණය මුවාවෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන වලින් සාගර කැස්බෑ ප්‍රජාවට සිදු කෙරෙන්නේ ඉතාමත්ම දරුණු විනාශයක්.

විනාශය එපමණක්ම නොවේ…

ස්වභාවික තත්ත්වයන් යටතේ දී බිත්තරයකින් කැස්බෑ පැටවෙකු බිහි වූ විට වෙරළේ සිට එසැනින් මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ කාලයක් එක දිගට පිහිනීම සිදුකරනවා. ‘බාලක උන්මාදය’ (juvenille frenzy) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියෙන් ස්වභාවධර්මයා විසින් ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කර දුර්වලයින් ඉවත් කර දමනවා. මෙම පැටවුන් තනිව ආහාර සොයා ගැනීම අරඹන්නේ මෙම පැය 48 පිහිනා විඩා නිවීමෙන් පසුවයි.

තම ජීවිත කාලයේම සංචරණය, මග සොයාගැනීම සඳහා අතිශය වැදගත් වන පෘථිවියේ චුම්බක පද්ධතිය පැටවුන් විසින් තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නේ ද මෙම කාලයේ දී යි.

ස්වභාවික තත්ත්ව යටතේ බිත්තරයෙන් බිහිවන විගස පැටවුන් මුහුදට ඇදී යනවා. (defendersblog.org)

නමුත් මෙම ‘සංරක්ෂණ’ මධ්‍යස්ථාන වලින් බිහිවන පැටවුන්ට මෙම අතිශය වැදගත් ස්වභාවික ක්‍රියාවලියට මුහුණ පෑමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. ඔවුන්ව මුහුදට මුදා හැරෙන්නේ උපතින් පසු දින කීපයක් කොන්ක්‍රීට් ටැංකි වල තබා ගැනීමෙන් අනතුරුවයි. මෙයින් සිදුවන හානි බොහොමයි. ප්‍රධාන වශයෙන්ම,

1. බිත්තරයෙන් බිහිව පැය 48ක් පමණ දියඹට පිහිණීමට අවශ්‍ය ශක්තිය පැටවාට ලැබෙන්නේ බිත්තරයේ පෝෂ්‍ය ද්‍රව්‍ය වලින්.

නමුත් දින කීපයක් සිමෙන්ති ටැංකියක් තුළ ඔබමොබ පිහිනීමෙන් පැටවුන් මෙම ශක්තිය අහිමි කරගන්නවා. එනිසා මොවුන් මුදා හැරිය විට පිහිනීමට ඇති ශක්තිය මදකමින්  වෙරළාසන්නයේ දී ම විලෝපිකයින්ට ගොදුරු වන නිසා දියඹට පීනා යන්නේ ඉතාම සුළු කැස්බෑ පැටවුන් ප්‍රමාණයක්.

2. මෙම පැටවුන් ටැංකි වලට දමන්නේ සියළුම විශේෂ එකට සිටින ලෙසයි.

මෙම ඇතැම් විශේෂ අනෙක් විශේෂයන් නසා දමන් නිසා පැටවුන් එකිනෙකාගේ ගාත්‍රා ආදිය සපා කා හානි කර, විනාශ කර දැමීමට පෙළඹෙනවා. මෙනිසා මොවුන් ජීවත් වීමේ සම්භාවිතාව තව තවත් පහළ වැටෙනවා.

මෙලෙස විශේෂ දෙකකට අයත් කැස්බෑ පැටවුන් එක ටැංකියේ දමා තිබෙන විට ඔවුන් එකිනෙකා වර්ගයා නැසීමට පෙළඹෙනවා. (dreamlankatours.lk)

3. මෙම සංරක්ෂණ මධ්‍යස්ථාන මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරකයින් ලවා මෙම පැටවුන් මුහුදටම ගෙන ගොස් අතහැරීම සිදුකරනවා.

එවිට මෙම පැටවුන්ගේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍ර ග්‍රහණය කිරීමේ ක්‍රියාවලියට සෘජු බාධා ඇතිවන්නේ එම ක්‍රියාවලිය සඳහා වෙරළ කඩයිම ඉතාම වැදගත් වන නිසායි.

4. පැටවුන් මුහුදට මුදා හැරීම කළ යුත්තේ රාත්‍රියේ දී වුණත්, මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරක ආකර්ශණය දිනා ගැනීමට මොවුන් මෙම පැටවුන් දිවා කාලයේ මුහුදට මුදා හරිණවා.

එයින් ඔවුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ තව තවත් පහළ වැටෙනවා.

කැස්බෑවුන්ට අමානුෂික සැලකිලි

ඔබ මෙතෙක් දුර මෙම ලිපිය කියවූවා නම් ‘සංරක්ෂණය’ මුවාවෙන් සිදු කරන මෙම කැස්බෑ සංහාරය පිළිබඳව ඔබට කණගා‍ටුවක් හෝ තරහක් ඇති වී තිබෙනවාට සැකයක් නැහැ. ඒ තරහ හෝ කණගා‍ටුව තව දුරටත් වර්ධනය කිරීම පිළිබඳව ඔබෙන් සමාව ඉල්ලා සිටින නමුත්, මේ තොරතුරුත් ඔබට ඉදිරිපත් නොකළහොත් අප අපගේ වගකීම පැහැර හැරියා වනවා.

මෙම මධ්‍යස්ථාන බොහොමයක වැඩුණු කැස්බෑවුන් රඳවාගෙන සිටිනවා. ඇතැම්විට මේ බව ඔබත් දැක ඇති. අති විශාල සාගරයක නිදහසේ සැරීමට උපත් ලද මෙම සතුන් ‘සංරක්ෂකයින්’ විසින් රඳවා තබාගන්නේ අඩි 6×5, 4×4 ප්‍රමාණයේ ටැංකි වලයි. ඒ, ත්‍රීරෝද රථයක් රඳවා තැබීමට වැයවනවාටත් වඩා කුඩා ඉඩක්.

මීටර 1.2ක් තරම් දිගට වැඩුණු මෙම කැස්බෑවා රඳවා ඇත්තේ අඩි 5×5 පමණ වන ටැංකියක ය. (Supun Jayaweera)

තවත් මෙවැනි ‘සංරක්ෂණ’ මධ්‍යස්ථානයක වැඩුණු සුදු කැස්බෑවෙකු (ඇල්බිනෝ සත්ත්වයෙකු) රඳවා තබාගෙන සිටින්නේ උගේ පිට ක‍ටුව වත් වැසෙන්නට තරමේ ජලය නැති, නොගැඹුරු, 5×5 ප්‍රමාණයේ ටැංකියක යි. මේ පිළිබඳව විමසූ විට ඔවුන්ගේ පිළිතුර වූයේ සත්ත්වයා මෝරුන්ට බිලිවන නිසා මෙසේ කො‍ටුකර තබාගන්නා බවයි.

ස්වභාවධර්මයා විසින් ඇල්බිනෝවකුගේ ඉරණම තීරණය කරන්නේ එම ආකාරයට නම්, ස්වාභාවධර්මයටම අයත් තවත් එක් ජීවීන් විශේෂයක් පමණක්ම වන අපට, ස්වභාවධර්මයා විසින් ‍තෝරාගෙන ඇති ක්‍රියාවලියක් වෙනස් කිරීමට හෝ බාධා කිරීමට අයිතියක් කොහි ද? අවුරුදු 300ක පමණ ආයු කාලයක් ඇති මෙවන් සතෙකු මෙවැනි ස්ථානයක සිරකර තබා ගැනීමට සදාචාරාත්මක අයිතිය අපට නැති බවයි අපිටනම් හැඟෙන්නේ.

නීතිමය පසුබිම

ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතට අනුව 1972 වර්ෂයේ සිට සියළුම සාගර කැස්බෑ විශේෂ වලට ආරක්ෂාව ලබා දී තිබෙනවා. වර්තමානය වන විටත් ක්‍රියාත්මක වන මෙම පණතේ දෙවන උප ලේඛණයට, ලංකාවට පැමිණෙන සාගර කැස්බෑ විශේෂ 5ම දැඩි ලෙස ආරක්ෂිත උරගයින් ලෙස නම් කර ඇතුලත් කර තිබෙනවා.

එසේම, එම පනතේ 30(1) වගන්තියට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම්! එපමණක් නොවෙයි, එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙනවා. ඒ අනුව ‘සංරක්ෂණකරුවන්’ විසින් සිදු කරන මෙම කූඩු කැඩීම, බිත්තර එකතු කිරීම, සහ පැටවුන් සහ වැඩුණු සතුන් ළඟ තබා ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට පටහැනියි. නීතිය එසේ වුවත් සංරක්ෂණයට මුවාවෙන් ඇස් පනාපිට සිදුවන මෙම ජාවාරම් වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වන බවක් පෙනෙන්නට නම් නැහැ.

ප්‍රවේශපත්වල ඉහළ මිළ ගණන් පිළිබඳව මොවුන් ඉදිරිපත් කරන නිදහසට කරුණ නම් සත්ත්වාහාර සඳහා මුදල් වැයවන බවයි. (Supun Jayaweera)

කැස්බෑවා ඉතා දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතෙක්. බුද්ධිමත් ජීවීන් ලෙස අපගේ වගකීම විය යුත්තේ මෙම සත්ත්වයින් වඳවීමෙන් ගලවාගැනීමට සංරක්ෂණය කිරීමයි.

නමුත් සංරක්ෂණයේ නාමයෙන් සිදුවන මෙවන් අමානුෂික, නීති විරෝධී ජාවාරම් නිසා සිදුවනවා ඇත්තේ නම් මෙම සත්ත්වයින්ගේ වඳවීම තව තවත් ඉක්මන් වීම ම පමණයි. ස්ථානීය සංරක්ෂණය හා විතැන් සංරක්ෂණයේ වෙනස වත් නොදත් නුසුදුස්සන් වගකිව යුතු ඉහළ නිලයන්ට පත් වූ විට මෙවැනි සිදුවීම් සිදුවනු පුදුමයට කරුණක් නොවෙයි.

මෙතෙක් දුර මෙම ලිපිය කියැවූ ඔබ පරිසරයට ආදරය කරන්නෙක් නම්, නීතියට ගරු කරන්නෙක් නම්, ලංකාවට ආදරය කරන්නෙක් නම්, කරුණාකර අන් අය ද දැනුවත් කරන්න, මෙම ලිපිය බෙදාගන්න.

තොරතුරු ලබාදීමේ විශේෂ ස්තුතිය පරිසරවේදී, නීති ශිෂ්‍ය සුපුන් ජයවීරට හිමි විය යුතු ය.

කවරයේ පින්තුරය: (Pinterest)

Related Articles