මිනිස් සහකාරියගේ හැර යාම නිසා සිය දිවි නසා ගත් ඩොල්ෆින්

මිනිසා තම වර්ගයාට ම අයත් තවත් අයකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ලෝක සම්මතය වුව ද, අතීතය පිරික්සීමේ දී ඉන් ඔබ්බට ගොස් වෙනත් සතුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ අවස්ථා අපට හමුවෙනවා. මින් බොහෝ ඒවා, සාධාරණ සාක්ෂි සොයාගත නොහැකි, ප්‍රවාදමය ගණයේ ඒවා වෙනවා. සිංහයකු සමඟ සම්බන්ධතා පැවැත්වූ සුප්පා දේවියගේ කතාව ඉන් එකක්.

කෙසේ නමුත් මාග්‍රට් හව් ලොවැට් නම් විද්‍යාඥවරිය විෂයෙහි වූ මේ පන්නයේ කතාව තහවුරු කරගත හැකි සාක්ෂි රාශියක් තිබෙනවා. තමන් පර්යේෂණයට බඳුන් කරන්නට යෙදුණු ඩොල්ෆින් මත්ස්‍යයෙකු සමඟ පෙමින් වෙළුණු ඇය අවසානයේ එම සත්ත්වයා සමඟ කායික සම්බන්ධතා පවා පවත්වා තිබීම සුවිශේෂී කාරණයක් වෙනවා.

 මාග්‍රට් හව් ලොවැට් පීටර් නම් ඩොල්ෆින් සමග- nydailynews.com

 

විශේෂඥ කණ්ඩායමක් අනුයුක්ත කෙරෙයි

1964 වසරේදී නාසා ආයතනය එක්තරා පර්යේෂණයක් සඳහා විද්‍යාඥ කණ්ඩායමක් අනුයුක්ත කළා. ‘ඕඩර් ඔෆ් ද ඩොල්ෆින් ‘ යනුවෙන් එම කණ්ඩායම නම් කළ ද ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍යය වූයේ සම්පූර්ණයෙන් ම වෙනස් එකක්. මෙම කණ්ඩායම පෘථිවියෙන් පිට පවතින්නේ යැයි සැක කෙරෙන බුද්ධිමත් සත්ත්ව කණ්ඩායම් පිළිබඳ ව සෙවිය යුතු වුණා. හදිසියේවත් මෙවැනි සත්ත්ව කොට්ඨාසයක් හමු වුවහොත් සන්නිවේදනය කරන ආකාරය පිළිබඳ කාලයක පටන් කා තුළත් වූයේ කුකුසක්.
ස්නායු විද්‍යාඥයකු වන වෛද්‍ය ජෝන් ලිලී සිය ‘ මෑන් ඇන්ඩ් ඩොල්ෆින්’ නම් කෘතියේ ගෙන හැර පා තිබුණේ, බුද්ධියෙන් උසස් ඩොල්ෆින් මත්ස්‍යයන් මිනිසා සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන බව යි. මේ ක්‍රමවේදය පරීක්ෂා කොට, එය සත්‍යයක්නම් එම ක්‍රමවේදය ම යොදා ගෙන පිටසක්වළ ජීවීන් සමඟ ද සන්නිවේදනය කළ හැකි දැයි බලන්නට නාසා ආයතනයට අවශ්‍යතාවක් ඇති වුණා.

‘ඕඩර් ඔෆ් ඩොල්ෆින්’ කණ්ඩායම ඇති කෙරෙන්නේ ඒ අනුව යි. මෙම කණ්ඩායමට වෛද්‍ය ජෝන් ලිලී, කාල් සගාන් වැනි කිහිප දෙනෙක් අයත් වුණා. මිනිසා සහ ඩොල්ෆින් මත්ස්‍යයන් අතර සමීප සම්බන්ධතා ඇති කොට, ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම අධ්‍යයනය කිරීම මෙහිදී සිදු වූ අතර, පර්යේෂණ බොහොමයක් සිදුකෙරුණේ ශාන්ත තෝමස් ඩොල්ෆින් පොයින්ට් නම් රසායනාගාරය ආශ්‍රිත ව යි.

මිනිසා සහ ඩොල්ෆින් මත්ස්‍යයන් අතර සම්බන්ධතාවක් ගොඩනැඟීම

බටහිර වර්ජිනියාවේ පිහිටි ජාතික ගුවන් විදුලි තාරකා පිරික්සුම් මධ්‍යස්ථානයේ ස්ථාපිත ගීන් බෑන්ක් නම් දුරේෂය භාරව සිටි ප්‍රධානියා වූයේ තාරකා විද්‍යාඥ ෆ්‍රෑන්ක් ඩ්‍රේක් යන අය යි. නාසා ආයතනයේ අනුග්‍රහයෙන් සිදුකෙරෙමින් තිබූ ‘ඔස්මා’ ව්‍යාපෘතියේ මුලසුන හෙබවූයේත් ඔහු යි. එහිදී ඔහු රේඩියෝ තරංග භාවිත කර පිටසක්වළ ජීවීන් සමඟ සන්නිවේදනය කිරීමේ උත්සාහයක නිරත ව සිටියා.

වෛද්‍ය ලිලී ගේ ‘ මෑන් ඇන්ඩ් ඩොල්ෆින්’ පොත ඔහුට පරිශීලනය කරන්නට ලැබෙන්නේ ඒ අනුව යි. එය පරිශීලනය කරන විට තමන්ගේ හා ලිලීගේ පර්යේෂණවල ඇති සමානකම් පිළිබඳ ඔහුට අවබෝධ වනවා. මේ අනුව ඔහු ලිලී හා නාසා ආයතනය අතර සම්බන්ධතාවක් ඇති කොට ‘ඕඩර් ඔෆ් ද ඩොල්ෆින්’ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික අඩිතලම සකස් කරනවා. මේ අනුව ලිලී ඩොල්ෆින් මත්ස්‍යයින් හා නිරතුරුව සමීපව සිට පර්යේෂණ සිදුකළ හැකි පන්නයේ පර්යේෂණාගාරයක් ඉදි කරනවා. මියාමි හි කැරිබියන් මුහුදේ වෙරළක ඉදි කළ මෙහි එක් කොටසක ඩොල්ෆින් මත්ස්‍යයන් රඳවා තබාගැනීම ද, ඔවුන් සමඟ සමීප ව හිඳ සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීම ද සිදු කෙරුණා.

මාග්‍රට් හව් ලොවැට්ගේ ආගමනය

23 හැවිරිදි තරුණියක වූ මාග්‍රට් හව් ලොවැට්ට ඩොල්ෆින් පර්යේෂණාගාරය පිළිබඳ දැනගන්නට ලැබෙන්නේ, ලිලී ඇතුළු කණ්ඩායම එහි සේවයේ නිරත වන්නට පුද්ගලයන් සොයමින් සිටින සමයේදී යි. ඩොල්ෆින් මසුන් සමඟ සන්නිවේදනය කිරීම ගැන නොතිත් ආශාවෙන් පසු වූ ඇය මේ පර්යේෂණාගාරයට පැමිණ, විද්‍යාඥයන් හා සම්බන්ධ වී සේවය කිරීමට හැකි දැයි විමසනවා. එවකට එහි අධ්‍යක්ෂ ග්‍රෙගරි බේට්සන් ඇය සේවයට බඳවා ගන්නේ උසස් අධ්‍යාපනික සුදුසුකම් පවා ඇය සතු ව තිබූ නිසා යි. ඊටත් වඩා ඩොල්ෆින් මසුන් සම්බන්ධයෙන් ඇයට තිබූ අතිශය වූ උනන්දුව ඔහු දිරිමත් කරවනසුලු වුණා. ඇයට මුලින් ම ලැබුණු කර්තව්‍යය වූයේ ඩොල්ෆින් මසුන් සමීප ලෙස අධ්‍යයනය කොට සටහන් තබා ගැනීම යි. ඇය ඉතා යුහුසුළු ව එය සිදු කළ නිසා ලිලී හා බේට්සන් දෙදෙනා ඉක්මනින් ම ඇය පර්යේෂණාගාර කටයුතුවලටත් සම්බන්ධ කරගන්නවා.

 ජෝන් සී. ලිලී- floatworks.com

 

ඉතා උනන්දුවෙන් කටයුතු කළ ලොවැට් ඉක්මනින් ම ඉත සාර්ථක පර්යේෂිකාවක බවට පත් වුණා. ලිලී සතු ව සිටි ඩොල්ෆින් මත්ස්‍යයන් තිදෙනා පැමෙලා, සිසී සහ පීටර් යනුවෙන් නම් කළ ඇය දිනපතා ම ඔවුන් සමඟ සිටිමින් ඔවුනට මිනිස් ශබ්ද හුරු කිරීමෙහි නිරත වුණා. අනතුරු ව ප්‍රතිචාර සටහන් කිරීම ද සිදු කළා. කෙසේ නමුත් මෙම පර්යේෂණය දීර්ඝ කාලයක් ඇදී ගියේ එතරම් විශාල සාර්ථකත්වයක් නොමැති ව යි.

මාග්‍රට් හා පීටර්ගේ සබඳකම

මාග්‍රට් පර්යේෂණ අවසානයේ සවස් වරුවෙහි ඩොල්ෆින් මත්ස්‍යයන් හැරපියා යාම සිදු කළේ ඉතා අකැමැත්තෙනු යි. තමන්ට පර්යේෂණාගාරයේ නවතින්නට දෙන්නේ නම් පර්යේෂණ වඩා සාර්ථක ව සිදු කළ හැකි බැව් ඇය ලිලීට පවසා සිටියා. එමෙන් ම නිරතුරු ව තමන්ට ඩොල්ෆින් මත්ස්‍යයන් සමඟ ‘ජීවත් වන්නට ඉඩදෙන’ ලෙස ඇය ඉල්ලා සිටියා. මෙයට ප්‍රතිචාර දැක්වූ ලිලී පර්යේෂණාගාරයේ කාමරයක් ඇය වෙනුවෙන් පිළියෙළ කළේ අඩි දෙකක පමණ උසකට, එහි කොටසකට ජලය පිරවිය හැකි පරිදි යි. ඒ අනුව අවශ්‍ය විටෙක ඩොල්ෆින් සතුන් ඇයට එහි රඳවා තබා ගත හැකි වුණා.

පර්යේෂණය සඳහා ලොවැට් තෝරාගත්තේ පීටර් ව යි. ඇය සතියේ දින හයක් පීටර් සිය කාමරයේ රඳවා තබාගත් අතර, ඉතිරි දින ඔහු සිසී හා පැමෙලා සමඟ තැබුවා. පීටර් තමන් අසල සිටින සෑම විටක ම ඇය ඔහු හා සන්නිවේදනය කරන්නට උත්සාහ කළා. පසුකාලීන ව ඇය පවසන්නට යෙදුණේ පීටර් නම් පිරිමි ඩොල්ෆින් මත්ස්‍යයා තමන්ගේ ශරීරය කෙරෙහි මෙන් ම පෞරුෂය කෙරෙහි ද විශාල ලෙස ආකර්ෂණය වී සිටි බව යි.

ඔහු නිතර ම ඇගේ පාද දෙස බල සිටින්නට මෙන් ම, ඒවා මත රැඳී සිටින්නට ප්‍රිය කළ බවත්, දණිස් සන්ධිවල ක්‍රියාකාරීත්වය කෙරෙහි ආසාවෙන් බලා සිටි බවත් ඇය ප්‍රකාශ කරන්නට යෙදුණා. ඉන් නොනැවතුණු පීටර් නිතර ඇගේ පහසට සංවේදී ව පාද හා අත්වල ඇතිල්ලෙන්නට පටන්ගෙන තිබුණා. එහි යම් කිසි ‘ලිංගික ආකර්ශනයක් ‘ ඇති බැව් ඇය වටහා ගෙන තිබූ අතර, එය සන්තර්පණය කරනු වස් ඇය ද ඔහු පිරිමදින්නට වුණා. පීටර් එය ඉතා ආසාවෙන් විඳි බැව් ඇය පවසා තිබුණා. පීටර් කෙරෙහි තමන්ට ලිංගික ආකර්ශනයක් නොමැති බැව් ඇය දිගින් දිගට ම පවසා සිටිය ද, මානසික ව තමන් ඔහු හා බැඳුණු බැව් ඇය පිළිගත්තා.

 පීටර් සමග සන්නිවේදනය කරන ලොවැට්- BBC.com

 

පර්යේෂණ අසාර්ථක වෙයි

ඩොල්ෆින් මත්ස්‍යයන් විෂයයෙහි වූ පර්යේෂණයේ සාර්ථක අසාර්ථක බව මැනීම සඳහා ලිලී තිස් වි‍යැති පෝල් සගාන් පර්යේෂණාගාරය වෙත කැඳවා ගත්තා. එහිදී ඔහු සොයා ගන්නේ පර්යේෂණ ගමන් කරන්නේ තමන් බලාපොරොත්තු වූ දිශානතියට නොවන බව යි. කෙසේ නමුත් ලොවැට් හා පීටර් අතර සම්බන්ධතාව නම් දිනෙන් දින වැඩුණා.

1966 වසර වන විට ලිලී යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී තිබූ අතර, පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව පසෙක ළූ ඔහු ‘විකාර නටන්නට’ පටන්ගෙන තිබුණා. ඩොල්ෆින් පර්යේෂණවලට ඉක්මනින් ම කණ කොකා හඬන්නට එය ද හේතුවක් වුණා. ‘එල්. එස්. ඩී ‘ නම් මෙම මත්ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණයක් ද ඇරඹූ ඔහු ඊට ඩොල්ෆින් මත්ස්‍යයන් ද යොදා ගත්තා. ඔවුන්ගේ හොඳ වේලාවට එම මත්ද්‍රව්‍ය ඩොල්ෆින් මසුන් වෙත බලපෑම් එල්ල කළේ නැහැ. කෙසේ නමුත් මින් කලකිරුණු බේට්සන් වහාම පර්යේෂණාගරයට නාසා ආයතනයෙන් ලැබුණු අනුග්‍රහය නවතා දැමෙන තැනට කටයුතු කළා.

පර්යේෂණ අවසන් වීමත් සමඟ ලොවැට්ට පීටර් ගෙන් වෙන් වන්නට සිදුවුණා. ඇයට ඔහු දමා ඒම ඉතා සංවේදී මෙන් ම අපහසු කාරණාවක් වුණා. පීටර්ගේ ප්‍රතිචාරයත් ඊට නොදෙවනි වූයේ නැහැ. ඔහු ඉතා දුකෙන් හැසිරෙන්න්ට වූයේ ඩොල්ෆින් මසුන්ට අනන්‍ය ශබ්ද නිරතුරුව ම පිට කරමිනු යි.

පීටර් ‘සිය දිවි නසාගනී’

මාග්‍රට්, පීටර් ගෙන් වෙන් වී සති කිහිපයකට පසු ලොවැට්ට ඉතා කනගටුදායක පුවතක් දැනගන්නට ලැබුණා. ඒ පීටර් ‘සියදිවි නසාගෙන’ ඇති බව යි. පර්යේෂණාගාරයෙන් ඒ පිළිබඳ ඇයට දැනුම් දුන්නා. ඔහු මිය ගොස් තිබුණේ ‘හුස්ම තදින් අල්ලා ගෙන, පර්යේෂණාගාරයේ තටාකයේ අඩියට කිමිද සිටීමෙන්. කෙසේ නමුත් පසුකාලීනව මේ ගැන විවාද ගණනාවක් ඇතිවුණා. මින් දුකට පත් ලොවැට් පැවසූවේ තමන්ට ද පීටර්ගෙන් වෙන්වීමේ දුක දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබූ බව යි. ඔහු දිවි නසා ගත් බැව් අරුමයක් නොවන බවත්, එක් අතකට තනි වී ලිලීගේ තටාකයේ සිර වී සිටිනවාට වඩා ඔහු මිය යාම යහපත් බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

 ලොවැට් වර්තමානයේ- BBC.com

පර්යේෂණාත්මක විවාද

ලොවැට් පසුකාලීන ව අදාළ ව්‍යාපෘතියේ නිල ඡායාරූප ශිල්පියා හා විවාහ වී දරුවන් තිදෙනෙක් ද ලැබුවා. පසුකාලීනව අත්හැර දැමුණු ඩොල්ෆින් පර්යේෂණාගාරය මිලදී ගත් ඇය එය නිවසක් බවට පරිවර්තනය කොට, සිය පවුල සමඟ එහි පදිංචි වුණා. කලක් තිස්සේ තමන් හා පීටර් අතර වූ සම්බන්ධතාව පිළිබඳ ව වැඩි යමක් ලෝකයා හමුවේ ප්‍රකාශ නොකළ ඇය, මෑතක දී ඒ පිළිබඳව බොහෝ දේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නට වුණා. මාග්‍රට් හා පීටර් අතර තිබූ සම්බන්ධයේ ස්වභාවය හා පීටර් ‘සියදිවි නසාගත්තේ යැයි’ කියන ආකාරය පිළිබඳ ව අදටත් විද්වතුන් පර්යේෂණාත්මක ව විවාද සිදුකරනවා.

කවරයේ ඡායාරූපය -  මාග්‍රට් හව් ලොවැට් පීටර් නම් ඩොල්ෆින් සමඟ - ladbible.com

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Theguardian.com
Historyofyesterday.com

Related Articles