කැළිකසළ නිසා පීඩා විඳින ඔළුවිල් ප්‍රදේශයේ වන අලින්

පසුගිය දශක කිහිපය තුළ මෙරට වනාන්තර අනවසරයෙන් කපා දමන ආකාරය සුලබව දක්නට ලැබුණා. එලෙස වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ට සිය වාසස්ථාන අහිමි වුණා. එම නිසා උන් නිතර ගම්මානවලට පැමිණීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් තවත් වර්ධනය වුණා. සාමාන්‍යයෙන් අලින්ට හිතකර ආහාර දක්නට ලැබෙන්නේ වනාන්තර ආශ්‍රිතව යි. මිනිසා විසින් සීමාවක් නැතිව වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ට ආහාර සොයාගැනීම අපහසු වනවා. බොහෝ විට අලින් ගම්මාන කරා ඇදෙන්නේ කුස පුරවා ගැනීමට ආහාරයක් සොයාගන්නා අරමුණ ඇතිව යි. 

ආහාර සොයාගෙන ගම්මාන කරා ගිය වන අලින්ට අද වන විට පහසුවෙන් ආහාර සොයාගැනීමට තිබෙන අවස්ථාව ඇහිරී ගොස් තිබෙනවා. එම නිසා උන් නාගරික ප්‍රදේශවලට පැමිණ කැළිකසළ ආහාරයට ගැනීමට පුරුදුව සිටිනවා. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කැළිකසළ එකතු වන ස්ථානවලට පැමිණ ඒවා ආහාරයට ගන්නා විශාල අලි රංචුවක් පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ ඔළුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔළුවිල් ප්‍රදේශයේ ඇති කුණු කන්ද 

අම්පාර දිස්ත්‍රික්කයේ ඔළුවිල්-පල්ලකාඩු මායිමට ආසන්නව වනාන්තර ප්‍රදේශයක් පිහිටා තිබෙනවා. එම වනාන්තර ප්‍රදේශය තුළ වන අලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වනවා. දැනට වසර කිහිපයක පමණ සිට ඔළුවිල්-පල්ලකාඩු වනාන්තර සීමාව ආසන්නයට කැළිකසළ බැහැර කිරීම සිදුවනවා. එලෙස බැහැර කරන කැළිකසළ ගෙන එන්නේ සමන්තුරේ, කල්මුණේ, නින්දවූර්, අක්කරෙයිපත්තු, අඩ්ඩලච්චේනෙයි, කරෙයිතිව්, සහ අලයාඩි වෙම්බු වැනි ප්‍රදේශවල සිට යි. දිගු කාලයක් තිස්සේ එකතු වුණු කැළිකසළ නිසා වර්තමානය වන විට එම ප්‍රදේශයේ කුණු කන්දක් නිර්මාණය වී තිබෙනවා.

කුණු කන්දට පැමිණ සිටින වන අලින් (Tharmaplan Tilaxan)

අලි වැට කැඩී යාම 

ඔළුවිල්-පල්ලකාඩු වනාන්තර මායිමට කැළිකසළ බැහැර කිරීම ආරම්භ වුණු සමයේ දී එම ප්‍රදේශය වටා අලි වැටක් ඉදිකර තිබුණා. එම නිසා කිසිදු ගැටළුවකින් තොරව කැළිකසළ බැහැර කිරීමට හැකියාව ලැබුණා. නමුත් පසුගිය කාල සමයේ දී අලි වැට කැඩී යාම නිසා අසල තිබෙන වනාන්තර පෙදෙසේ ජීවත්වන වන අලින් කුණු කන්ද වෙත පැමිණ කැළිකසළ ආහාරයට ගැනීම සඳහා පුරුදුව සිටිනවා. එසේම කුණු කන්ද ක්‍රම ක්‍රමයෙන් විශාල වීම නිසා අසල තිබෙන වනාන්තර පෙදෙස තුළ ඉවතලන පොලිතින් බෑග්, ප්ලාස්ටික්, සහ වෙනත් අපද්‍රව්‍යය දක්නට ලැබෙනවා.

අලි වැට කැඩී යාම නිසා කුණු කන්ද වෙත එන වන අලියෙක් (Tharmaplan Tilaxan)

අලින් කැළිකසළ ආහාරයට ගැනීම නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල 

අලියා ප්‍රමාණයෙන් විශාල සතෙක්‌ නිසා උගේ බඩවැල් විශාල යි. එම නිසා කුණු ආහාරයට ගැනීම නිසා  පොලිතින් හිර වී අලියෙකු මරණයට පත්වීමට තිබෙන ඉඩ අඩු යි. නමුත් කුණුගොඩවල් තුළ නරක් වුණු ආහාර වර්ග සුලභවම දක්නට ලැබෙනවා. බොහෝ විට අලින් මරණයට පත්වන්නේ එවැනි නරක් වුණු ආහාර වර්ග ආහාරයට ගැනීම නිසා යි. නරක් වුණු ආහාර ආශ්‍රිතව බැක්ටීරියා සෑදෙනවා. එවැනි ආහාර අනුභව කරන අලින් ඒවා විෂ වීම නිසා මරණයට පත්වනවා. පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ දිස්ත්‍රික්ක රැසකින් එවැනි අලි මරණ පිළිබඳව අසන්නට ලැබුණා.

වන අලින් කැළිකසළ ආහාරයට ගන්නා ආකාරය (Tharmaplan Tilaxan)

කුණු රසයට ඇබ්බැහි වුණු වන අලින් ගම් වැදීම 

කැළිකසළ ආහාරයට ගැනීමට පුරුදු වුණු වන අලින් එම රසයට ඇබ්බැහි වනවා. එවිට උන් වනාන්තරවල තිබෙන ශාකමය ආහාරවලට වඩා ප්‍රියතාවයක් දක්වන්නේ කැළිකසළ ආහාරයට ගැනීමට යි. එවිට වන අලින් කැළිකසළ සොයාගෙන ගම්මාන කරා පැමිණීම සුලබවම දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය ඔළුවිල් කුණු කන්ද ආශ්‍රිත ගම්මානවලට ද බලපා තිබෙනවා. ඒ ඔළුවිල් කුණු කන්දේ තිබෙන කුණු ආහාරයට ගැනීම සඳහා පැමිණෙන විශාල අලි රංචු ඔළුවිල් ප්‍රදේශයේ තිබෙන ගම්මාන ආක්‍රමණය කිරීම නිසා එම ගම්වැසියන්ගේ වගාවන්වලට නිතරම හානි සිදුවනවා. එසේම එම ගම්මානවල මිනිසුන් මරණයට පත්වීම, දේපලවලට හානි සිදුවීම වැනි දේවල් නිතරම සිදුවීම නිසා ගැමියන් දුක්ඛිත ජීවිතයක් ගතකරනවා.

කුණු ආහාරයට ගන්නා අලින්ගේ ආයුෂ කෙටි වනවා 

අලියකුගේ බඩවැල සෑදී තිබෙන්නේ ශාකමය ආහාර සහ පෝෂණයෙන් අඩු ආහාර උරාගැනීම සඳහා යි. එම නිසා අලියාගේ බඩවැල් තුළ තිබෙන ආහාර ජීර්ණය වීම සඳහා දින 2ක් පමණ ගතවනවා. නමුත් කැළිකසළ ගොඩවල්වල තිබෙන ආහාර අනුභව කරන අලින් වැඩිපුර ආහාරයට ගන්නේ පෝෂණයෙන් වැඩි බත්, පාන්, මස්‌ වැනි ආහාර යි. එම ආහාර ඉක්‌මනින් ජීර්ණය වී සිරුරට උරාගන්නා නිසා කුණු කන අලින් ඉක්මනින්ම  ස්ථුල බවට පත්වෙනවා. 

සාමාන්‍යයෙන් අලියෙකු ආහාර සොයාගැනීම සඳහා දිනකට කිලෝමීටර් 15ක් 20ක් පමණ අවිදිනවා. නමුත් කුණු කන්දට පැමිණෙන අලින්ට ආහාර සොයාගැනීම සඳහා එලෙස ඇවිදීමට අවශ්‍ය වන්නේ නැහැ. එම නිසා ශරීරයේ වැඩි වශයෙන් මේදය තැන්පත් වීම හේතුවෙන් වැළඳෙන ලෙඩ රෝග ද, දියවැඩියාව වැනි රෝග ද නිසා ආයුෂ කෙටි වනවා.

අලි වසුරු සමග පිටව ඇති පොලිතීන් (Tharmaplan Tilaxan)

ඔළුවිල් කුණු ප්‍රශ්නයට බලධාරීන් නිසි විසඳුමක් ලබා දී නැහැ 

වන අලින් කැළිකසළ ආහාරයට ගැනීම වැලැක්වීම සඳහා උන් ගැවසෙන ප්‍රදේශවලට කැළිකසළ බැහැර කිරීමෙන් වැළකිය යුතු යි. නමුත් ඔළුවිල්-පල්ලකාඩු වන සීමාව අසල නිර්මාණය වී තිබෙන කුණු කන්දට අවට ප්‍රදේශ රැසකින් එකතු වන කසළ ගෙනැවිත් දමනවා. එලෙස ප්‍රදේශ රැසක කුණු ගෙනැවිත් දැමීම සඳහා එම ස්ථානය වෙන් වී තිබෙන නිසා අලින් එහි පැමිණීම නැවැත්වීමට පිළියම් යෙදිය යුතු යි. ඒ සඳහා කළ යුත්තේ වර්තමානය වන විට විනාශයට පත් වී තිබෙන අලි වැට යළි පිළිසකර කිරීම යි. නමුත් අදාළ බලධාරීන් ඒ සඳහා උනන්දු වන බවක් පෙනෙන්නට නැහැ. 

කුණු කන්ද මත නිදහසේ ඇවිදින වන අලින් (Tharmaplan Tilaxan)

විනාශ වී යන අලි සම්පත රැකගත යුතු යි 

පසුගිය කාල සමයේ දී විවිධ අනතුරු සිදුවීම නිසා විශාල වශයෙන් වන අලින් මරණයට පත්වුණා. එලෙස වැඩිවෙමින් පවතින වන අලි මරණ නිසා ලංකාවේ අලි ගහණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. කැළිකසළ ආහාරයට ගැනීම නිසා සිදුවන අලි මරණවල වැඩිවීමක් ද පසුගිය කාල සමයේ දී දක්නට ලැබුණා. එවැනි මරණ වැලැක්වීම සඳහා අදාළ බලධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක වනවා නම් අප රටේ අලි සම්පත රැකගත හැකි යි. එම නිසා ඔළුවිල්-පල්ලකාඩු ප්‍රදේශයේ පිහිටා ඇති කුණු කන්ද අසල තිබෙන අලි වැට පිළිසකර කර අලින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම අදාළ බළධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීම ද වනවා.   

කවරයේ ඡායාරූපය- ඔළුවිල්-පල්ලකාඩු කුණු කන්දට පැමිණ සිටින වන අලින් (Tharmaplan Tilaxan)

Related Articles

Exit mobile version