මිනිසුන්ටත් අනතුරු සිදු කරන බියකරු කිඹුල් කැස්බෑවා

සාමාන්‍යයෙන් අප දන්නා කැස්බෑවාට ඇත්තේ දුටුවන් බිය ගන්වන ස්වරූපයක් නොවේ. කැස්බෑවාට ඇත්තේ වෙනත් සත්ත්ව විශේෂයන්ට වඩා තරමක් වෙනස්, නමුත් බියජනක නොවන පෙනුමකි. සාමාන්‍යයෙන් කැස්බෑවාගෙන් මිනිසුන්ට අනතුරු සිදු නොවන බැවින් කැස්බෑවා අහිංසක සතකු ලෙස සැලකේ.

සාමාන්‍ය කැස්බෑවෙක්- Pinterest.com

කෙසේ නමුත් මිනිසුන්ට ද අනතුරු සිදු කරන, කුඩා කිඹුලන් පවා ආහාරයට ගන්නා, බියජනක පෙනුමක් ඇති කැස්බෑ විශේෂයක් අමෙරිකාව, ජර්මනිය, චෙක් ජනරජය වැනි රටවල්වල දැකිය හැකි ය. මාංශමය ආහාර ගැනීම වඩාත් ප්‍රිය කරන මෙම කැස්බෑ විශේෂය ‘කිඹුල් කැස්බෑවන්’ යනුවෙන් හැඳින්වේ.

ව්‍යාප්තිය

මිරිදියේ වාසය කරන කැස්බෑ විශේෂයක් වූ කිඹුල් කැස්බෑවන් ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජලාශවල ය. ඒ අනුව ෆ්ලොරීඩා, නැගෙනහිර ටෙක්සාස්, මිසෝරි, ඉන්ඩියානා, කෙන්ටකි වැනි ප්‍රදේශවල පිහිටි ජලාශවල කිඹුල් කැස්බෑවන් බහුල වශයෙන් ජීවත් වේ.

කිඹුල් කැස්බෑවන් –  www.news-star.com 

අමෙරිකා එක්සත් ජනපදයට අමතරව චෙක් ජනරජය, හන්ගේරියාව සහ ජර්මනිය වැනි රටවල්වලත්, තවත් දකුණු අප්‍රිකානු රටවල් කිහිපයකත් මෙම කැස්බෑවන් ජීවත් වේ.

ශරීර ලක්ෂණ

කුඩා ප්‍රමාණයේ කිඹුලකුට සමාන පෙනුමකින් යුතු කිඹුල් කැස්බෑවාට තරමක් විශාල ප්‍රමාණයේ හිසක් පිහිටා තිබේ. සාමාන්‍ය කැස්බෑවාගේ මෙන් නොව තරමක් දිගින් වැඩි, ඝණ කටුවකින් මෙම කැස්බෑවාගේ සිරුර ආවරණය වී තිබේ. එහි ඉහළට වැඩුණු දැති වැනි කොටස් පේලි තුනක් ද දැකිය හැකි ය.

එම කොටස නිසා මෙම කැස්බෑවන් සාමාන්‍ය කැස්බෑවන්ගෙන් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. මොවුන්ගේ ශරීරයට පිටින් පිහිටි කටුව දුඹුරු, කළු හෝ කොළ පැහැති ඔලිව්වල වර්ණය ගන්නා අතර එය බොහෝවිට  ඇල්ගී විශේෂයන්ගෙන් වැසී තිබේ.

හොඳින් වැඩුණු දැති සහිත කටුවක් ඇති කිඹුල් කැස්බෑවෙක් – Pinterest.com

හොඳින් වැඩුණු කිඹුල් කැස්බෑවකුගේ ශරීරයට පිටින් පිහිටි කබල සෙන්ටිමීටර් 35ත් 80ත් අතර ප්‍රමාණයකට වැඩෙනවා. හොඳින් වැඩුණු කිඹුල් කැස්බෑවකුගේ බර කිලෝග්‍රෑම් 80ක් දක්වා විය හැකි බව ගණන් බලා තිබේ. පිරිමි කැස්බෑවන් ප්‍රමාණයෙන් විශාල වේ. 1931 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ මිසෝරි ප්‍රාන්තයෙන් කිලෝග්‍රෑම් 183ක පමණ බරින් යුතු කිඹුල් කැස්බෑවකු වාර්තා වී තිබේ. ඊට අමතර ව 1999 වසරේ දී චිකාගෝ නගරයෙන් කිලෝග්‍රෑම් 113ක බරින් යුතු තවත් කිඹුල් කැස්බෑවකු වාර්තා වී තිබෙයි.

මෙම කැස්බෑවුන්ගේ පිහිටා ඇති තරමක් දිගු වලිගයේ කෙළවර ඝණකම වැනි කරුණු මත පදනම් ව කිඹුල් කැස්බෑවාගේ ගැහැනු සහ පිරිමි සතුන් වෙන් කර හඳුනා ගත හැකි ය.

කිඹුල් කැස්බෑවාගේ වල්ග කොටස පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් –  arynews.tv 

 මෙම කැස්බෑවන්ගේ මුඛය තුළ මසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා පනුවකුගේ හැඩයකින් යුතු වූ කොටසක් පිහිටා තිබේ. එය ඔවුන්ගේ ප්‍රධාන ම ආහාරයක් වූ මසුන් අල්ලා ගැනීම සඳහා මෙම කැස්බෑවන්ට උපකාරී වේ.

කිඹුල් කැස්බෑවාගේ ආහාර

සම්පූර්ණයෙන් ම පාහේ මාංශ භක්ෂක සතකු වන කිඹුල් කැස්බෑවා තමන් ම අල්ලා ගන්නා සජීවී ජීවීන් සහ මියගිය ජීවීන් ද ආහාරයට ගනී. මෙම සතුන් ඔවුන්ට අල්ලා ගත හැකි සෑම දෙයක් ම පාහේ ආහාරයට ගනියි.

ඒ අතරින් මත්ස්‍යයන් ප්‍රධාන තැනක් ගන්නා අතර, සමහර අවස්ථාවල මෙම කැස්බෑවන් විසින් විශාල වශයෙන් මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා ධීවරයන්ට පවා මසුන් හිඟ වන බව වාර්තා වේ. මෙම සතුන්ගේ මුඛය තුළ පනුවකුට සමාන පෙනුමකින් යුතු කොටසක් දැකිය හැකි අතර ඔවුන් මුඛය විවෘත කරගෙන සිටින විට එම කොටස පනුවකු යැයි සිතා මසුන් ඒ තුළට රිංගා යයි. මසුන් සිය මුඛය තුළ රැඳී සිටින අවස්ථාවේ ක්ෂණික ව මුඛය වසා ගන්නා කැස්බෑවන් එම මත්ස්‍යයන් ආහාරයට ගනී.

පනුවකු ලෙස දිස්වන කොටසට ආකර්ෂණය වන මසුන් –  saportareport.com

මත්ස්‍යයන්ට අමතරව සර්පයන්, ගොළුබෙල්ලන්, කකුළුවන්, කෘමීන්, ජලජ පක්ෂීන්, සහ කුඩා කිඹුලන් පවා මෙම කැස්බෑවන් සිය ආහාරයට එක් කර ගනී. ජලාශවල දිය බීමට එන ලේනුන්, මීයන් සහ ආර්මඩිලෝ වැනි සතුන් පවා මෙම කැස්බෑවන්ගේ ගොදුරු බවට පත්වන අතර ඔවුන් පැන යාමට තැත් කිරීමේ දී මෙම කැස්බෑවන්සතුන් පසුපස ජලාශ ඉවුරුවලට  වේගයෙන් පිහිනා යයි.

කිඹුල් කැස්බෑවන්ගේ ආහාර පිළිබඳ ව සොයා බැලීමේ දී විශේෂ කරුණක් ලෙස ඔවුන් වෙනත් වර්ගවලට අයත් කැස්බෑවන් ද ආහාරයට ගන්නා බව සොයා ගෙන තිබීම හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම මෑතක දී සිදු කළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ වැඩිහිටි කිඹුල් කැස්බෑවකුගේ කුස තුළ ඇති ද්‍රව්‍යවලින් 78%කට ආසන්න ප්‍රමාණයක් වෙනත් විශේෂයන්ට අයත් කැස්බෑවන්ගේ කබලේ, එනම් ශරීරය මතුපිටින් පිහිටා ඇති කටු කොටස් බව යි.

කිඹුල් කැස්බෑවන් සුරතල් සතුන් ලෙස ඇති කරන අවස්ථාවල දී හරක් මස්, කුකුල් මස්, හා සහ ඌරු මස් ඇතුළු ලබාදෙන ඕනෑම මස් වර්ගයක් ඔවුන් ආහාරයට ගනී. ඊට අමතර ව ජලජ පැලෑටි ද සුළු වශයෙන් ඔවුන් ආහාරයට ගන්නා බව සොයාගෙන තිබේ.

සුරතල් සතකු ලෙස?

සාමාන්‍ය කැස්බෑවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් මෙම කිඹුල් කැස්බෑවන් සුරතල් සතකු ලෙස ද ඇති කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ මෙම කැස්බෑවන් ජීවත් වන ප්‍රාන්තවල ඔවුන් සුරතල් සතුන් ලෙස අලෙවි කිරීම ද දක්නට ලැබේ. ඔවුන්ගේ ශරීර ප්‍රමාණය සහ වෙනස් ආහාර රටාව වැනි කරුණු නිසා සාමාන්‍ය පුද්ගලයකුට මෙම කැස්බෑවන් සුරතලකු ලෙස ඇති කිරීම පහසු කාර්‍යයක් නොවේ. කෙසේ නමුත් කැස්බෑවන් ඇති කිරීම සඳහා විශේෂ කැමැත්තක් දක්වන අයකුට මෙම සතුන් නඩත්තු කිරීම එතරම් අපහසු කාර්‍යයක් නොවේ.

සත්වෝද්‍යානයක ඇති කරන කිඹුල් කැස්බෑවෙක් – wtop.com 

සුරතල් සතුන් ලෙස ඔවුන් ඇති කිරීමේ දී බොහෝ විට මෙම කැස්බෑවන්ට සජීවී මත්ස්‍යයන් ආහාර වශයෙන් ලබා දිය යුතු වේ. ඊට අමතර ව වෙනත් ඕනෑම වර්ගයක මස් හෝ සමහර එළවළු වර්ග ද ඔවුන්ට ලබා දිය හැකි ය. අධික උණුසුම සහිත පරිසර තත්ත්වයන් තුළ මෙම සතුන් තැබීම හේතුවෙන් ඔවුන්ගේ ආහාර රුචිය අඩු වී විවිධ රෝගාබාධයන්ට ලක් වීමේ අවධානමක් තිබේ.

කිඹුල් කැස්බෑවන්ගෙන් සිදු විය හැකි අනතුරු

සාමාන්‍යයෙන් මෙම කැස්බෑවන් මිනිසුන්ට හිරිහැර නොකරන නමුත් කෝපයට පත් වූ අවස්ථාවල දරුණු ලෙස සපාකෑමේ අවදානමක් තිබේ. ඇඟිලි හෝ අතේ කොටසක් වෙන් වී යන තරම් ඔවුන්ගේ සපාකෑම් භයානක විය හැකි ය. මෙම හේතුව නිසා ම ස්වාභාවික ව මෙම සතුන් ජීවත් නොවෙන අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය වැනි සමහර ප්‍රදේශවල කිඹුල් කැස්බෑවන් සුරතල් සතුන් ලෙස ළඟ තබා ගැනීම තහනම් කර තිබේ.

කිඹුල් කැස්බෑවන් නිසා කුඩා ළමයින්ට අනතුරු සිදු වූ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම කැස්බෑවන්ගෙන් සිදු වූ අනතුරු නිසා මිනිසුන් මිය ගිය සිදුවීම් වාර්තා වී නැත.

කිඹුල් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ අරමුණින් පළ කර ඇති දැන්වීමක් – www.iucn.org

කිඹුල් කැස්බෑවාට එල්ල වී ඇති තර්ජන

සුරතල් සත්ත්ව වෙළෙඳාම සහ මස් සඳහා දඩයම් කිරීම නිසා මේ කිඹුල් කැස්බෑ ගහණය සැලකිය යුතු ලෙස පහළ යමින් පවතී. මේ හේතුව නිසා ම අමෙරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්ත මෙම කැස්බෑවන් අල්ලා ගැනීම සහ ළඟ තබා ගැනීම තහනම් කර තිබේ. ඊට අමතර ව ජාත්‍යන්තර පරිසර සංරක්ෂණ සඳහා වූ සංගමය (International Union for Conservation of Nature) මෙම කැස්බෑවන් තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් ලෙස ද නම් කර තිබේ.

මෙම කරුණු පදනම් කරගෙන කිඹුල් කැස්බෑවන් සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය කිරීම තහනම් කිරීමට සහ නියාමනය කිරීමට ද අමෙරිකා එක්සත් ජනපදය මේ වන විට කටයුතු කරමින් පවතී.

කවරයේ පින්තූරය- කිඹුල් කැස්බෑවා-  nedhardy.com 

මූලාශ්‍ර- www.nationalgeographic.com

www.nwf.com

www.stlzoo.com

www.in.gov

www.britannica.com

Related Articles