Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන්ට ගොදුරක් වී ලොවෙන් වඳ වුණ තස්මේනියානු ව්‍යාඝ්‍රයා

වසර බිලියන ගණනක් අතීතයට දිවෙන පෘථිවියේ ආරම්භයේ සිට පැමිණෙන කතා බොහොමයක් අපිට අසන්නට ලැබෙනවා. ඒ අතරින් සමහර කතා අහම්බ බව හැඟී යනවා. සමහර කතා විශ්වාස කළ නොහැකි තරම් අපූරු ඒවා ද වනවා. ඒ අතරින් පෘථිවියේ ජීවය ආරම්භයේ සිට මේ දක්වා ජීවත් වූ ජීවීන් විශේෂ මිලියන ගණනක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

මේ ජීවීන්ගෙන් ඇතැම් අය අද වන විට ලෝකයෙන්  සම්පූර්ණයෙන් ම වඳ වී ගොසින්. සාමාන්‍යයෙන් විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට පෘථිවිය ආරම්භයේ සිට මේ වනතෙක් ජීවත් වූ ජීවීන්ගෙන් 99% ක් ම සම්පූර්ණයෙන් ම වඳවී ගොස් තිබෙනවා. 

තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක්ගේ ඡායාරූපයක්
තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක්ගේ ඡායාරූපයක් -www.nytimes.com

ජීවය ආරම්භ වූ අවදියේ සිට මේ දක්වා මහා පරිමාණ වඳවීම් එහෙමත් නැතිනම් නෂ්ඨ වීම් 5ක් පමණ සිදු වී ඇති බවටත් වාර්තා වනවා. කෙසේ වුවත් මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ එසේ ස්වභාවික හේතුවකින් වඳ වීමකට ලක් නොවී මිනිසාගේ ක්‍රියාකාරකම්වල ගොදුරක් ලෙසින්  සම්පූර්ණයෙන් ම වඳ වී ගිය සත්ත්වයකු පිළිබඳව යි. මීට වසර 70 කට පමණ ඉහත දී ලෝකයෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය මෙම සත්ත්වයා නමින් තස්මේනියානු ව්‍යාඝ්‍රයා යි.

තස්මේනියාවේ යක්ෂයා!

ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු කලාපය තම නිජ භූමිය කරගෙන හැදුණු වැඩුණු මේ ව්‍යාඝ්‍රයා හැඳින්වුණු අන්වර්ථ නාමය වුණේ ‘තස්මේනියාවේ යක්ෂයා’  යි. සාමාන්‍යයෙන් දඩ බල්ලෙකුට වඩා තරමක් ලොකු තස්මේනියානු ව්‍යාඝ්‍රයාට දිගු වලිගයක් පිහිටා තිබුණා. ඒ වගේම තමයි මේ සත්ත්වයා දුර තියා ම හඳුනා ගැනීමට හැකි ලක්ෂණයක් විදිහට ශරීරයේ පසුපස භාගයට වන්නට (පසු පාද ආශ්‍රිත ව) සිරුර පුරා ම සීබ්‍රාවකුගේ මෙන් ඉරි පිහිටා තිබුණා. මේ ඉරි ශරීරයේ ඉදිරි පස නම් දකින්නට ලැබුණේ නෑ.

තියුණු නිය, වේගය, උපතින් ම ලැබී තිබෙන ඉලක්කය ගැනීමේ හැකියාව නිසා ම තස්මේනියානු ව්‍යාඝ්‍රයා තස්මේනියාවේ යක්ෂයා ලෙසින් හැඳින්වුණා. මේ ව්‍යාඝ්‍රයකු සමඟින් සටන් කොට මිනිසකුට වුවත් ගැලවීමට පහසු වුණේ නෑ. 19 වන ශතවර්ෂයේ අග භාගයේ දී තස්මේනියානු ව්‍යාඝ්‍රයන් තස්මේනියාව ආශ්‍රිත ව අතිශය බහුල ලෙසින් දක්නට ලැබුණා. මේ සතුන් මේ නිසා ම මිනිසාට අහිතකර ලෙසින් හැසිරෙන ආකාරයක් ද පෙන්නුම් කළා. තස්මේනියානු ව්‍යාඝ්‍රයා වෘකයකුගේ සහ කොටියකුගේ දෙමුහුමක් වැනි කියා කිවහොත් නිවැරදි යි. ඒ තරම් ශක්තියක් සහ ඉලක්කයක් තස්මේනියානු ව්‍යාඝ්‍රයාට හිමි යි.

තස්මේනියානු ව්‍යාඝ්‍රයාගේ ශරීරය නිර්මාණය වී ඇති ආකාරය පිළිඹිඹු කෙරෙනා චිත්‍රයක්
තස්මේනියානු ව්‍යාඝ්‍රයාගේ ශරීරය නිර්මාණය වී ඇති ආකාරය පිළිඹිඹු කෙරෙනා චිත්‍රයක් – monash.edu

ව්‍යාඝ්‍රයන්ගේ තර්ජනය ඉහළට

1800 ශතවර්ෂයේ අග භාගයට ළඟා වෙද්දි කැලෑ එළි පෙහෙළි වෙලා පරිසරය ජනාකීර්ණ වන්නට පටන් ගත්තා. මේ හේතුව නිසාවෙන් අධික ලෙසින් සිටි ව්‍යාඝ්‍රයන්ට තමන්ගේ නිජභූමි ක්‍රමක්‍රමයෙන් අහිමි ව යන්නට වුණා. මේ හේතුව නිසා ම ආහාර හිඟය, භූමියේ හිඟය වගේ කාරණා හේතු කර ගෙන ව්‍යාඝ්‍රයන් ගම් වදින්නට වුණා. මෙය එකල ජීවත් වූ පුද්ගලයන්ට විශාල හිසරදයක් වූවා.

එයට විශාලත ම හේතුව වූයේ ව්‍යාඝ්‍රයන් ගම් වදිමින් ගොවිපළ සතුන් දඩයම් කිරීමට පටන් ගැනීම යි. මේ නිසා ගම්වල සිටි ගොවිපළ සතුන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට ගැමියන්ට සිදු වුණා. ඒ වගේම ව්‍යාඝ්‍රයන් මිනිසුන්ට පහර දීමටත් පෙලඹුණා. ඉතා ශක්තිමත් මේ ව්‍යාඝ්‍රයන් කරන පහර දීම්වලින් ගැලවීමට මිනිසුන්ටත් පහසු වූයේ නෑ. දිනෙන් දින ඉහළ යන තස්මේනියානු ව්‍යාඝ්‍ර තර්ජනයට විසඳුමක් මිනිසුන්ට අවශ්‍ය වී තිබුණා.

මරා දැමුණු තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක්
මරා දැමුණු තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක් – historyofyesturday.com

 

ව්‍යාඝ්‍රයන් මැරුවොත් තෑගි!

මේ හිසරදයෙන් ගැලවෙන්නට ක්‍රමයක් කල්පනා කරන තස්මේනියානු බලධාරීන් අපූරු විසඳුමක් ගෙන එනවා. ඒ තමයි එක තස්මේනියානු ව්‍යාඝ්‍ර හිසකට යුරෝ එකක මුදලක් ලබාදීම. එකල යුරෝ එකක මුදලක් වර්තමානයේ දී යුරෝ සියයක වටිනාකමක්. මේ නිසා ම ව්‍යාඝ්‍රයන් දඩයම් කරමින් මුදල් සොයා ගැනීමට විවිධ මිනිසුන් පෙලඹෙන්නට පටන් ගන්නවා.

එය මේ කාලයේ ජීවත් වූ දඩයක්කාරයන්ට මහඟු අවස්ථාවක් බවට පත් වුණා. ඔවුන් තරගයට මෙන් තස්මේනියානු ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීම ආරම්භ කළා. 1888 දි ක්‍රියාත්මක කරන මේ යුරෝ එකක මුදලක් තෑගි දීමේ තීරණය 1909 වසර දක්වා පුරා වසර 21 ක කාලයක් පුරාවට ම ක්‍රියාත්මක වනවා. මේ වසර 21 ක කාලය සම්පූර්ණ වෙනකොට බලධාරීන්ට වැටහෙන්නට පටන් ගන්නවා තස්මේනියානු ව්‍යාඝ්‍ර ගහණය විශාල වශයෙන් අඩු වී ඇති බව. මේ දඩයම් නිසා අවසානයේ දී තස්මේනියානු ව්‍යාඝ්‍රයකු වනාන්තරයක සොයා ගැනීමටත් නොහැකි තත්ත්වයක් උදා වෙනවා.

අන්තිම තස්මේනියානු ව්‍යාඝ්‍රයා

1909 න් පසු ව කලාතුරකින් ව්‍යාඝ්‍රයයෙක් දකින්නට ලැබුණත් පෙර වගේ විශාල ගහණයක් දකින්නට ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි 1909 න් පස්සෙත් ඉතුරු වෙලා සිටි ස්වල්ප ගණනක් වූ සතුන් ද රැක ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම. මේ හේතු නිසා ඉතිරි ව සිටි සතුනුත් දඩයම සහ විවිධ හේතු නිසා ඉක්මනින් වඳ වෙලා යනවා. 

අවසන් වතාවට නිදැල්ලේ සිටි තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක් සම්බන්ධයෙන් නිල දත්ත වාර්තා වෙන්නෙ 1930 වර්ෂයේ දී. ඒ තමන්ගේ ගොවිපළක් වෙතට කඩා වැදුණු තස්මේනියානු ව්‍යාඝ්‍රයකු ගොවියෙක් දඩයම් කරනවා. ඒ සිද්ධියෙන් පසුව තස්මේනියානු ව්‍යාඝ්‍රයෙක් නිදැල්ලේ කැලෑවක සිටිනවාය යන නිල තහවුරු කිරීමක් තව ම ලැබිලා නෑ.

අවසන් වරට මරා දැමුණ නිදැල්ලේ සිටි ව්‍යාඝ්‍රයා
අවසන් වරට මරා දැමුණ නිදැල්ලේ සිටි ව්‍යාඝ්‍රයා – mongabay.com

ඒ වගේම නිල වශයෙන් දැනට පිළිගැනෙන ලොව ජීවත් වුණ අවසාන තස්මේනියානු ව්‍යාඝ්‍රයා තමයි 1936 වර්ෂයේ හෝබාට් හි සත්වෝද්‍යානයක ජීවත් වුණ සත්ත්වයා. මේ ව්‍යාඝ්‍රයා 1936 සැප්තැම්බර් මස 7 වෙනිදා අධික සීතල දරාගත නොහැකි ව මරණයට පත් වුණා. ඒ මරණයත් එක්ක ම තස්මේනියානු ව්‍යාඝ්‍රයා සම්පූර්ණයෙන් ම ලොවෙන් වඳ වී ගිය සත්ත්ව කොට්ටාසයක් ලෙසින් නම් කළා.

තස්මේනියානු ව්‍යාඝ්‍රයා තවමත් ඉන්නවාද?

1936 වර්ෂයේදී නිල වශයෙන් තස්මේනියානු ව්‍යාඝ්‍රයා මිහිතලයෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය බවට සනාථ වුවත් ඉන් පසුව ඇතැම් අවස්ථාවලදී තස්මේනියානු ව්‍යාඝ්‍රයන් තවමත් ජීවත් වන බවට සාක්ෂි මතු වුණා. ඇතැම් මිනිසුන් තමන් වනයේ ගමන් කරන විට දී තස්මේනියානු ව්‍යාඝ්‍රයන්ගේ ප්‍රහාරයට ලක් වූ බව ද ප්‍රකාශ කොට තිබුණා. මේ තත්ත්වය උඩ තස්මේනියානු ව්‍යාඝ්‍රයා තව ම ජීවත් වන බවට පැහැදිලි සාක්ෂියක් ලබා දීමට සූදානම් අයකුට ඕස්ට්‍රේලියානු සඟරාවක් යුරෝ ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට ද කැමැත්ත පළ කළා. ඒ 2004 වර්ෂයේදී යි. නමුත් කිසිවකුටත් ඒ කාලයේ දී තස්මේනියානු ව්‍යාඝ්‍රයා තව ම ජීවත් වන බව ඔප්පු කිරීමට නොහැකි වූවා.

තස්මේනියානු ව්‍යාඝ්‍රයා සම්බන්ධයෙන් මෑත කාලීන ව ප්‍රබලත ම සාක්ෂිය මතු වන්නේ පසුගිය වසරේ පෙබරවාරි 21 වනදා යි. ඒ තස්මේනියානු ව්‍යාඝ්‍රයන් පිළිබඳව දැනුම්වත්කිරීමේ සංගමයක සභාපති වූ නීල් වෝටර්ස් මගිනු යි. ඔහු තවමත් තස්මේනියානු ව්‍යාඝ්‍රයන් ජීවතුන් අතර සිටින බවට රූපමය සාක්ෂියක් සැපයූවා. ඔහු ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට සිටියේ තස්මේනියානු ව්‍යාඝ්‍රයන්ගේ සජීව ඡායාරූප ගැනීමට තමන් සමත් වූ බව යි. එම ඡායාරූපවල තස්මේනියානු ව්‍යාඝ්‍ර පවුලක් ම දැකිය හැකි වනවා.

නිළ වශයෙන් ලොව ජීවත් වූ අවසන් තස්මේනියානු ව්‍යාඝ්‍රයාගේ සේයාරුවක්
නිල වශයෙන් ලොව ජීවත් වූ අවසන් තස්මේනියානු ව්‍යාඝ්‍රයාගේ සේයාරුවක් – unimelb.edu.co

මේ ඡායාරූපයන් ශීඝ්‍රයෙන් පැතිර ගිය අත රම වනජීවීන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය මේවා ඉතා ම ප්‍රබෝධයෙන් යුතු ව හුවමාරු කළා. නමුත් මෙම ඡායාරූප අධ්‍යයනය කළ, තස්මේනියානු ව්‍යාඝ්‍රයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විශේෂඳ මතය වූයේ මේවා නිර්මාණය කළ ඡායාරූප හෝ වැරදි ඡායාරූප බව යි. ඡායාරූප පිළිගැනීමට සුදුසු තත්ත්වයක නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කළා. ඉන් අනතුරු ව නීල් වෝටර්ස් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ සත්ත්ව විශේෂඳයන් එලෙස පැවසීම තමන්ගේ උනන්දුව තවත් වැඩි කළ බව යි.තස්මේනියානු ව්‍යාඝ්‍රයන් තවමත් ජීවත් වන බව ඉක්මනින්ම  ඔප්පු කිරීමට ද තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කළා.

තස්මේනියානු ව්‍යාඝ්‍රයා ජීවත් වනවාද නැද්ද යන්නට තවමත්  නිල සාක්ෂියක් හමු වී නෑ.එම සත්ත්වයා ඉතිහාසයට එක් වී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ලොවෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය සත්තව කොට්ටාසයක් ලෙසට යි.

කවරයේ ඡායාරූපය - ලොවෙන් වඳ වුණ තස්මේනියානු ව්‍යාඝ්‍රයා - Discoverthetarkine.co.au 

 මූලාශ්‍ර :

Monash.Edu.Co

Mongabay.com

www.nytimes.com

Related Articles