මුහුදු යට වනාන්තර සාදන කෙල්ප් ඇල්ගී

ශ්‍රී ලංකාව කියන්නේ විවිධාකාර ජෛව පද්ධතීන්වලින් අනූන වූ රටක්. කඳුකර වනාන්තර, වියළි පතනබිම් වගේම, මුහුදුබඩ ප්‍රදේශ හා කලපුත්, කොරල් පරිසර පද්ධතීන්වල චමත්කාරයත් ඇතැම්විට ඔබ අත්දැකලා ඇති. අපි ඇමසන්, කොංගෝ වගේ ලෝක ප්‍රසිද්ධ වැසි වනාන්තර ගැන අහලා තිබෙනවා වුණාට, සමුදුර පතුලේ ඇති වෙන විශාල වනාන්තර පද්ධතියක් වන කෙල්ප් වනාන්තර ගැන ඔබ මීට පෙර අහලා තියෙනවා ද?

මේ ලිපිය වෙන් වන්නේ, අපේ නෙත් මානයෙන් සැඟවිලා තියෙන කෙල්ප් වනාන්තර ගැන තොරතුරු ස්වල්පයක් ඔබ හා බෙදාහදා ගැනීමට යි. නමුත් මේ කෙල්ප් කියන්නේ අපි ගොඩබිම දකින ගස්වැල්වලට සමාන කරන්න පුළුවන් ජීවින් කොට්ඨාශයක් නම් නොවෙයි. 

කෙල්ප් වනාන්තර කියන්නේ ලෝකයේ තිබෙන චමත්කාරජනක පරිසර පද්ධතියක්/theguardian.com

මොනවද මේ කෙල්ප්?

කෙල්ප් කියන්නේ වෙරළට ආසන්නව, සිසිල්, නොගැඹුරු සහ පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් සමුද්‍ර ජලයේ වැඩෙන විශාල, බහුසෛලික දුඹුරු ඇල්ගී විශේෂයක්. බැලූ බැල්මටම මේ කෙල්ප් ජලජ ශාකයකට සමාන වුණත්, සැබැවින්ම මේවා සත්‍ය ශාක ලෙස හැඳින්විය නොහැකියි. අපි නිතර දකින දියුණු භෞමික ශාක මෙන් මොවුන්ට සත්‍ය මුල්, කඳ, පටක පිහිටන්නේ නැති බව කියැවෙනවා. පෙනුමෙන් ඔවුන්ට ශාක හා සමාන අංග තිබුණත්, ව්‍යුහාත්මක වශයෙන්  ශාක හා සමාන නොවන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. නමුත් ඇතැම් ඇල්ගී විශේෂ උසස් ශාක සමග පරිණාමික බන්ධුතා දක්වන බව පර්යේෂකයින් පැහැදිලි කරගෙන තිබෙනවා. ඒ වගේම මොවුන්ගේ පුෂ්ප හා ඵල හට ගැනීමක් ද සිදුවන්නේ නැහැ. නමුත් කෙල්ප් ඇතුළු ඇල්ගී ජීවින්, ශාක මෙන්ම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ යෙදෙනවා.

කෙල්ප් ඇල්ගී මුහුදු පතුළේ වැඩී, හිරු එළිය සොයා ජලය මතුපිටට වැඩෙන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවන්වල ඔවුන් මෙලෙස හිරු එළිය සොයා මුහුදු පතුළේ සිට මීටර 45ක්, ඇතැම්විට මීටර 80ක් පවා උසකට වැඩෙනවා. මොවුන්ගේ වර්ධන වේගය ශාක මෙන් බොහොම හෙමින් සිදුවෙන්නේත් නැහැ. හිතකර පරිසර තත්ත්ව තිබේ නම්, දිනකට සෙන්ටිමීටර් 45ක් දක්වා වූ වේගයකින් වර්ධනය වීමට ඇතැම් කෙල්ප්වලට හැකියාව ලැබී තිබෙනවා. මේ අධික වර්ධනය නිසා ටික කලකින් කෙල්ප්වලින් සැදි වනාන්තර මුහුදේ නිර්මාණය වෙනවා.

නිවර්තන කලාපයේ සමුද්‍රාසන්නව දක්නට ලබෙන කඩොලාන, කොරල්පර, මුහුදු තෘණ​ වැනි පරිසර පද්ධතීන්වලින් බැහැරව ඇතිවෙන වන සමුද්‍ර පරිසර පද්ධතියක් ලෙස කෙල්ප් වනාන්තර හඳුනාගැනෙනවා. ඒ නිසා කෙල්ප් වනාන්තර හැඳින්වෙන්නේ ඉහත කී පරිසර පද්ධතීන් සමග මිශ්‍ර නොවී වෙනම පවතින සමුද්‍ර පරිසර පද්ධතියක් ලෙස යි. කෙල්ප් වනයන්ටම අනන්‍ය වූ ජෛව විවිධත්වයක් බොහෝ දුරට නිරීක්ෂණය කිරීමට හැකියි.

කෙල්ප් වනාන්තර මූලිකවම ඇලස්කාවේ සිට කැලිෆෝනියාව දක්වා වූ වෙරළබඩ ප්‍රදේශ, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, මහ බ්‍රිතාන්‍ය, ජපානය වැනි රටවල්වල වෙරළට ආසන්න සමුද්‍ර පරිසරයේ පැතිර පවතිනවා.

කෙල්ප් වනාන්තර ලෝකය පුරා පැතිරී තිබෙන්නේ මේ ආකාරයෙන් (නිල් පැහැයෙන් දක්වා ඇත)/journeys.maps.com

 

කෙල්ප් වනාන්තර ලෝකයට වැදගත් ඇයි?

සුවිශාල කෙල්ප් ගහණයන් බාධකයක් ලෙස ක්‍රියා කොට උදම් රළ ශක්තිය දුර්වල කරන නිසා මේ පරිසර පද්ධති තුළ සමුද්‍ර ජලය පවතින්නේ බොහෝ දුරට නිශ්චලව යි. මෙලෙස නිර්මාණය වන සන්සුන් පරිසරය නිසා, දහස් සංඛ්‍යාත වූ සමුද්‍ර ජීවින්ට වාසස්ථාන සපයන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකිරීමට කෙල්ප් වනාන්තරවලට හැකි වී තිබෙනවා. විවිධාකාර අපෘෂ්ඨවංශීන්, මසුන්, සහ වෙනත් කුඩා ඇල්ගී විශේෂ රාශියකට මෙම වනාන්තර වාසස්ථාන සපයා දෙනවා. එමෙන්ම ඇතැම් මසුන් වර්ග තම වර්ගයා බෝ කරන ස්ථාන ලෙස ද කෙල්ප් වනාන්තර භාවිතා කරනවා. ඝනව ළඟ ළඟ වැඩුණු ‍යෝධ කෙල්ප් නිසා ඔවුන්ට පහසුවෙන් විලෝපිකයන් ගෙන් සැඟවී තම ජීවන චක්‍රය සම්පූර්ණ කරගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා බොහෝ ජීවින්ගේ යෞවන අවධිය ගත කරන තවානක් ලෙස කෙල්ප් වනාන්තර හැඳින්විය හැකියි. නමුත් ආහාර සුලභතාවය නිසා විවිධ මෝරුන් විශේෂ, තල්මසුන්, මුහුදු සිංහයන් මේ වාසස්ථාන කරා ඇදීයෑම නිරන්තරයෙන් සිදුවෙනවා. ඒ අනුව මේ පරිසර පද්ධතිය කේන්ද්‍ර කරගෙන සුවිශාල ආහාර දාමයක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් ඉතා සරුසාර වූ ධීවර සම්පතකට හිමිකම් කීමේ අවස්ථාව, කෙල්ප් වනාන්තර පිහිටි රටවල්වලට හිමිවී තිබෙනවා.

වාණිජමය වශයෙන් පළමු ලෝක සංග්‍රාමය සමයේ සිටම කෙල්ප් වනාන්තර මිනිසාට වැදගත් වී තිබෙනවා. පළමු ලෝක සංග්‍රාමයේ දී වෙඩි බෙහෙත් සෑදීමට ගන්නා පොටෑෂ් අඩංගු ප්‍රභවයක් ලෙස කෙල්ප් ඇල්ගී භාවිතා කළ නිසා එකල මහා පරිමාණයෙන් කෙල්ප් වනාන්තර නෙලීම සිදුවුණා. කිසිම නියාමනයකින් තොරව සිදු වූ මේ ක්‍රියාවලියෙන් සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණා. නමුත් වර්තමානයේ දී  කෙල්ප් වනාන්තරවලින් කෙල්ප් නෙළා ගනු ලබන්නේ මතුපිට වියනක් මෙන් පෙනෙන ස්ථරයෙන් පමණ යි.

කෙල්ප් වනාන්තර තුළ පිහිනීම මේ වනවිට සංචාරකයන් අතර ජනප්‍රිය වෙමින් තිබෙනවා/scubadivergirls.com

වර්තමානයේ කෙල්ප්වලින් මූලිකවම ගන්නා ප්‍රයෝජනය වන්නේ ඇල්ජින් නම් රසායනිකය වෙන් කර ගැනීම යි. ඇල්ජිනේට් ආහාර සහ දත්බෙහෙත් කර්මාන්තවලට යොදා ගන්නා ජෙලිකාරකයක් ලෙසත් භාවිතා කරනු ලබනවා. මීට අමතරව පොහොරවල සංඝටකයක් ලෙස, සෞඛ්‍යමත් ආහාර අමුද්‍රව්‍යයක් ලෙස හා විකල්ප බලශක්ති ප්‍රභේදයක් ලෙසද  කෙල්ප් ආශ්‍රිත නිෂ්පාදන ලෝකය පුරා ජනප්‍රිය වෙමින් තිබෙනවා.

කෙල්ප් වනාන්තර හමුවේ සාගර ප්‍රවාහයන් මන්දගාමී වන නිසා, වෙරළ ඛාදනය වැළැක්වීමට වටිනා සේවයක් කෙල්ප් වනයන්වලින් සිදු වෙනවා. එවිට වෙරළාසන්න නගර වඩාත් ආරක්ෂිත වන අතර, මිල අධික දේපල ආරක්ෂණ ක්‍රම ඇතිකිරීම සහ දේපල ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතා අවම වී යනවා. එමෙන්ම මේ අසිරිමත් පාරිසරික පද්ධතිවල පිහිනීම කෙමෙන් කෙමෙන් කිමිදුම්කරුවන් අතර ජනප්‍රිය වෙමින් පවතින නිසා, සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන ලෙස ද කෙල්ප් වනයන් වැදගත් වෙනවා.

තර්ජන රැසකට මුහුණ දෙන කෙල්ප් වනාන්තර

මුහුදු ඉකිරි නිසා මුඩුබිමක් වූ කෙල්ප් වනයක් (අර්චින් බැරන්ස්)/oregonmarinereserves.com

කෙසේ හෝ වේවා ලෝකයේ බොහෝමයක් ජෛව පද්ධතීන් මෙන් කෙල්ප් වනාන්තරත් තර්ජන රැසකට මුහුණ දෙමින් සිටිනවා. එම තර්ජන මානවයා අතින් මෙන්ම සොබාවික සංසිද්ධීන් මඟිනුත් ඇති වෙනවා. කෙල්ප් වනාන්තර, කඩොලාන සහ කොරල්පරවලටත් වඩා ඉක්මනින් නැතිවී යාමට නැඹුරුවක් දක්වන ඉතා සංවේදී පරිසර පද්ධතීන්. නමුත් නැවත ඉතා ඉක්මනින් වර්ධනය වීමේ හැකියාවකුත් මේ පරිසර පද්ධතියට තිබෙනවා. මේ සංවේදීතාවය නිසා ගෝලීය උණුසුම, උණුසුම් සාගර දියවැල්වල අක්‍රමවත් හැසිරීම් වැනි අයපහත් පාරිසරික සංසිද්ධීන්වල තීව්‍රතාවය මැනීමේ ද‍ර්ශකයක් ලෙස කෙල්ප් වනාන්තර යොදා ගැනෙනවා.

කෙල්ප් වනාන්තර ඊළඟට වැඩියෙන්ම තර්ජනයට ලක්වන්නේ මුහුදු ඉකිරියා නම් සත්ත්ව විශේෂය නිසා යි. මෙම මුහුදු ඉකිරීන් කෙල්ප් ඇල්ගී සමුදුර පතුල සමග සම්බන්ධ වී පවතින “අවුල්පාසුව” නම් ව්‍යුහය ආහාරයට ගන්නවා. මේ හේතුවෙන් හොඳින් වැඩුණු කෙල්ප් යෝධයන් අවුල්පාසුවෙන් වෙන්වී යනවා. මුහුදු ඉකිරීන්ගේ ගහණයේ විශාලත්වය අනුව කෙල්ප් වනයන් මෙලෙස සපාකෑම්වලට ලක්වී විනාශ වී ගොස් මුඩුබිම් පවා ඇතිවන අවස්ථා තිබෙනවා. මේ මුඩුබිම් “අර්චින් බැරන්ස්” (urchin barrens) යනුවෙන් හඳුන්වනවා. කෙල්ප් වනයන් ඉක්මණින් වර්ධනය වන නිසා සාමාන්‍ය තත්ත්ව යටතේ ඉකිරියන්ගේ බලපෑම අවම කරගැනීම පරිසර පද්ධතිය තුළින්ම සිදුවුණත්, ඉකිරියන්ගේ විලෝපික ගහණය අවම වුණොත් කෙල්ප් වනාන්තරවලට මෙම විනාශය කළමණාකරණය කිරීමට නොහැකි වෙනවා. බොහෝවිට පමණ ඉක්මවා සිදුවන ධීවර කටයුතුවලින් මුහුදු ඉකිරියන් පාලනය කරන විලෝපිකයන්ගේ ගහණය අඩු වීම සිදු වෙනවා.

කෙල්ප් වනාන්තරවල යහපැවැත්ම උදෙසා විලෝපිකයන්ගේ සහාය අත්‍යාවශ්‍ය යි/reddit.com/r/pics/

එමෙන්ම මලාපවහන, කාර්මික අපද්‍රව්‍ය, රසායනික පොහොර සහ පළිබෝධනාශක වැනි මානව ක්‍රියාකාරකම් නිසා උපදින පාරිසරික දූෂකයන් කෙළින්ම සමුද්‍රීය පරිසරය වෙත නිකුත් කිරීමේ ගැටළු හමුවේ මේ අපූරු, අතිසංවේදී පාරිසරික පද්ධතිය තම පැවැත්ම හමුවේ දිනෙන් දින තර්ජනයට ලක් වෙමින් සිටිනවා.

කෙල්ප් වනාන්තරවල වැදගත්කම ඔබට තවත් සිත තුළට කාවද්දා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ BBC සමග එක්ව කළ මෙම වැඩසටහන ඔබට නැරඹිය හැකියි.

කවරයේ පින්තූරය: baresports.com/

මූලාශ්‍රයයන්: fisheries.noaa.gov

oceana.org/

bbc.com/

Related Articles