Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයා: ගිරවා

පක්ෂි ලෝකයේ ඉතාමත් අලංකාර පක්ෂීන් අතර ගිරවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක් බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඊට අමතර ව සුරතලයට ඇති කරන පක්ෂීන් අතර ද ප්‍රධාන තැනක් ගන්නා ගිරවාට මිනිස් හඬ අනුකරණය කොට යම් යම් වචන උච්චාරණය කිරීමට ද හැකියාවක් ඇත.

මේ අපූරු පක්ෂියාට ඈත අතීතයේ පටන් සංස්කෘතිකමය වශයෙන් ද විශේෂ සැලකිල්ලක් හිමි ව තිබූ බව ගිරා සංදේශය සහ වෙනත් සාහිත්‍ය නිර්මාණ කිහිපයක් හැදෑරීමේදී මනාව පැහැදිලි වේ. මෙම ලිපිය පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයෙක් වන ගිරවා සහ සංස්කෘතිකමය වශයෙන් ගිරවා වැදගත් වන්නේ ඇයි ද යන්න සම්බන්ධව යි.

ව්‍යාප්තිය හා ගති ලක්ෂණ

විවිධ රටවල සිදු කර ඇති අධ්‍යයන අනුව ආසන්න වශයෙන් ගිරා විශේෂ 400ක් වැනි ප්‍රමාණයක් ඇත. නිවර්තන සහ උප නිවර්තන කලාපයට අයත් රටවල ගිරවුන් බහුල වශයෙන් දැකගත හැකි ය. Psittacoidea හෙවත් ‘සැබෑ ගිරවුන්’,  Cacatuoidea හෙවත් ‘කොකටූස්’ සහ Strigopoidea හෙවත් ‘නවසීලන්ත ගිරවුන්’ යනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සිදු කර ඇති අධ්‍යයනවලින් ගිරවුන් ප්‍රධාන කොටස් තුනකට බෙදා ඇත. මේ සියලු ම ගිරා විශේෂවලින් තුනෙන් එකක් පමණ වඳවී යාමේ තර්ජනයට ලක් ව ඇති බව ද එකී අධ්‍යයනවල දී සොයා ගෙන ඇත.

විදෙස් රටවල දැකිය හැකි ගිරා විශේෂයක් – The Spruce Pets

ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, මධ්‍යම අමෙරිකාව, දකුණු අමෙරිකාව වැනි නිවර්තන සහ උප නිවර්තන කලාපයන්ට අයත් ප්‍රදේශවල ගිරවුන් බහුල ව දැකිය හැකි ය. සමහර කැරිබියන් සහ පැසිෆික් දූපත්වල ද ඒවාට ම ආවේණික ගිරා විශේෂ දැකගත හැකි ය.  සත්ත්ව විද්‍යාඥයන්ට අනුව මෙතෙක් හඳුනා ගෙන ඇති වැඩි ම ගිරා විශේෂ ගණන වාර්තා වී ඇත්තේ දකුණු අමෙරිකාවෙනි.

ඕනෑම විශේෂයකට අයත් ගිරවුන්ට ශක්තිමත් හොටක් පිහිටා ඇති අතර ඊට අමතර ව ඔවුන්ගේ පාද සහ නියපොතු ද අනිකුත් පක්ෂීන්ට සාපේක්ෂව තරමක් වැඩියෙන් ශක්තිමත් බව මතය යි. බොහෝ ගිරවුන් විචිත්‍රවත් විවිධ වර්ණවලින් යුක්ත වන අතර කෙසේ නමුත් එම වර්ණ අනුව ගිරවුන් ලිංගික වශයෙන් වෙන්කොට හඳුනාගැනීමේ හැකියාවක් නැත.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි ගිරා වර්ග

ශ්‍රී ලංකාවේ ගිරවුන් වර්ග පහක් පමණ දක්නට ලැ‌බෙන අතර ඒ අතුරින් අළු ගිරවා සහ ගිරා මලිත්තා හෙවත් පොල් ගිරවා ඒකදේශීය වේ. ඇතැමුන් නොදැනුම්වත්කම හේතුවෙන් අළු ගිරවුන් නිවෙස්වල ඇති දැඩි කළත් එය නීතියෙන් තහනම් වන අතර එම ගිරා වර්ගය වද වී යෑමේ තර්ජනයට ලක් වූවකු ලෙස රතු දත්ත පොතේ ද සඳහන් වේ.

අළු ගිරවා – mihithuru.lk

ශ්‍රී ලංකාවේ සුරතලයට ඇති කිරීමට යොදා ගන්නා ගිරා විශේෂයක් ලෙස ප්‍රසිද්ධ රෑන ගිරවා හෙවත් මාල ගිරවා (Rose-ringed Parakeet) මෙරට දැකිය හැකි තවත් ගිරා විශේෂයකි. පෙඳයේ පිහාටුවල දිග සමඟ ගත් විට මෙම විශේෂයට අයත් හොඳින් වැඩුණු ගිරවෙක් ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 40ක් (අඟල් 16ක්) පමණ දිග ය. මොවුන්ගේ ගෙලෙහි දැකිය හැකි මාලයේ වර්ණය අනුව එම ගිරවුන් ලිංගික වශයෙන් ද වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තිබේ.

බොහෝ විට ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ මෙම මාලය දැක ගත නොහැකි අතර ඇතැම්විට අළු පැහැති මාලයක් යාන්තමින් දැකගත හැකි ය. කෙසේ නමුත් පිරිමි ගිරවාගේ ගෙලෙහි දැකිය හැකි මාලය රතු පැහැයෙන් යුතු කැපී පෙනන එකක් නිසා ඔවුන් පිරිමි සතුන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් ඇත.

මාල ගිරවා – ප්‍රසාද් හපුආරච්චි

සැප්තැම්බර්-දෙසැම්බර් දක්වා කාලය තුළ ගිරවුන් ලිංගික වශයෙන් එක් වීම සිදු වන අතර තරමක් ශීත කාලගුණයක් සහිත කාලවලදී මොවුන් වාසස්ථාන සඳහා සුදුසු ස්ථාන තෝරාගනි යි. මෙම විශේෂයට අයත් ගිරවුන් ජීවත් වන ඇතැම් ප්‍රදේශවලදී සුරතල් සත්ත්ව වෙළෙඳාම සඳහා ඔවුන් අල්ලා ගැනීම නිසා ඔවුන්ගේ ගහනය සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතී.

ආහාර රටාව සහ වාසස්ථාන

ගිරවුන්ගේ ආහාර රටාව පිළිබඳව සැලකීමේ දී ඔවුන්ගේ ප්‍රධාන ආහාර වශයෙන් හඳුනාගත හැක්කේ ඇට වර්ග, පලතුරු වර්ග සහ අනිකුත් ශාකමය ද්‍රව්‍යයන් ය. ගිරවුන් සතු ව ඇති ශක්තිමත් හොටය මගින් විවිධ ඇට වර්ගවල පොත්ත ඉවත් කර ආහාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. පලතුරු වර්ග ආහාරයට ගැනීමේ දී පවා එහි බීජය ඉතිරි වන ලෙස, ඉතා ප්‍රවේශමෙන් ඉතිරි කොටස ආහාරයට ගැනීමට ගිරවා හුරු වී ඇත. සමහර ගිරා විශේෂයන් සත්ත්වමය ආහාර ද පරිභෝජනය කරන බව හඳුනාගෙන ඇත. ඊට අමතර ව අමෙරිකාව, අප්‍රිකාව සහ පැපුවා නිව්ගීනියාව වැනි රටවල ජීවත් වන ගිරවුන් විවිධ මැටි වර්ග ද ආහාරයට ගන්නා බව සොයා ගෙන තිබේ.

ගිරවුන් විශේෂ සියල්ල ම පාහේ ගස්වල ස්වාභාවික ව පිහිටි කුහර හෝ ඔවුන් සාදා ගත් කුහර සිය වාසස්ථාන බවට පත් කරගන්නා අතර එම වාසස්ථාන බොහෝ විට ගස්වල ඉතා උස් ස්ථානවල පිහිටා තිබේ.

ගිරවුන්ගේ වාසස්ථාන – Pinterest 

විශේෂ හැකියා 

අනිකුත් පක්ෂි විශේෂ සමඟ සැසඳීමේ දී ගිරවුන් වඩාත් බුද්ධිමත් පක්ෂි විශේෂයක් ලෙස හඳුනා ගත හැකි අතර ගිරවුන්ට මිනිස් හඬ අනුකරණය කර යම් යම් වචන උච්චාරණය කිරීමට ඇති හැකියාව සුරතල් සතුන් ලෙස ඔවුන්ට ඇති ඉල්ලුම ඉහළ නැංවීමට සමත් ව ඇත. සුරතල් සතුන් වශයෙන් ඇති කිරීම සඳහා ගිරවුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට ගිරවුන් අනිකුත් පක්ෂීන්ට වඩා වේගයෙන් වඳ වී යාමේ තර්ජනයට ද ලක්ව ඇත.

සංස්කෘතිකමය වැදගත්කම

ලෝකය පුරාම ගිරවා විවිධ හේතු නිසා සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන අවස්ථා හඳුනා ගත හැකි  ය. ශ්‍රී ලාංකිකයන් වන අපට ගිරවා කී සැණින් සිහියට නැගෙන්නේ ගිරා සන්දේශය යි. කෝට්ටේ යුගයේ දී නම හෙළි වී නොමැති හිමිනමක විසින් හයවැනි පරාක්‍රමබාහු රජුට සෙත් පතා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වෙත යවනු ලැබූ ගිරා සන්දේශයේ දූතයා ලෙස දැක්වෙන්නේ ගිරවෙකි. එහි ආරම්භයේ ඇති දූත වැනුමේ දී ගිරා කුලයේ ඇති විශේෂ ලක්ෂණ රාශියක් කර්තෘ හිමියන් පද්‍යානුසාරයෙන් දක්වා ඇත.

දිසි දිය කුස හැම සියොතුන්ගෙන්   ගුරුව
නිසි යස රැස කියවන නුවණින්       සරුව
ඉසි වර ලෙස නිති පණිවායෙන්      දුරුව
රිසි පල රස විද සතොසින් දව        සරුව

‘ලෝකයේ දක්නට ලැ‌බෙන සියලු පක්ෂීන් අතුරින් ගුරුව, ඔ‌බේ කීර්ති රාශිය පතුරවන්නා වූ ඥානයෙන් සරුව, ඍෂිවරයකු ලෙස නිතර ම ප්‍රාණඝාතයෙන් දුරුව, කැමැති පරිදි පල රස විඳ සතුටින් දවස ගෙවන්න’ යන්න එහි අර්ථය වේ.

සුඛ මුනිවරයා – Pinterest

 හින්දු දේව කතාවන්ට අනුව කාම දෙවියන්ගේ හා රතී දෙවඟනගේ වාහනය වන්නේ ද ගිරවා ය. ඒ අනුව කාම දෙවියන් මල්සර හී විදීමට පැමිණෙන්නේ එම ගිරා වාහනයෙනි. මදුරෙයි මීනාක්ෂි නම් දෙවඟනගේ දකුණු අතෙහි හා සරස්වතී දේවියගේ වම් උරයෙහි ගිරවකු වසන බව දේව කතාවල සඳහන් වේ. හින්දු සාහිත්‍යයේ එන ව්‍යාස නම් මුනිවරයාගේ පුතු වූ සුඛ මුනිවරයා නිරූපණනය කරන්නේ ද ගිරා මුහුණකිනි.

ඉන්දියාවේ පලාඵල ශාස්ත්‍රය හෙවත් ජොතිෂ්‍යයේ එක් අංගයක් සදහා ගිරවුන් යොදා ගන්නා ලද අතර ඒ සදහා විශේෂ කාඩ් කුට්ටමක් යොදා ගනී. කූඩු කර සිටින ගිරවා වෙත කාඩ් කුට්ටම ළං කළ විට ඔහු තෝරා ගන්නා කාඩ් පත් අනුව එහි දී පලාඵල කථනය කරයි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථානවල ඇති සිතුවම් හා කැටයම් අතර ද ගිරා රූප දක්නට ලැ‌‌බෙයි. ගිරා රුව අනුව තැනූ පැරණි පහන් ද හඳුනාගත හැකි ය.

ගිරවාගේ හැඩයට නිර්මාණය කරන ලද පහනක් – Facebook- Prashanth Malavige

බෞද්ධ සාහිත්‍යයේ ගිරවා ගැන සඳහන් වන කරුණු

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කතා ප්‍රවෘත්ති ගණනාවක ද මෙම පක්ෂියා  පිළිබඳ ව සදහන් වන අතර පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කථා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනි යි.

සත්තිකුම්භ ජාතකයේ හොර රැලක් රැඳී සිටි ස්ථානයකට සහ තාපසයන් විසූ ආරාමයකට වැටුණු එකම පවුලට අයත් ගිරවුන් දෙදෙනකු පසුකාලීන ව ඒ ඒ ස්ථාන දෙකෙහි දී ආශ්‍රය කළ අයගේ ස්වාභාවය අනුව එකිනෙකට වෙනස් වූ අයුරු දැක්වේ. එහිදී හොර රැල සමඟ හැදී වැඩුණු ගිරවා පරුෂ වචන කියමින් ඉතා අසංවර ලෙස හැසිරුණු බවත්, අනික් ගිරවා තාපසයන්ගේ ආශ්‍රය නිසා මිහිරි වචන කතා කළ සංවර අයකු වූ බවත් සඳහන් වේ.

සතුරු රජුගේ රහස් දැන ගැනීම

 සාලිකේදාර නම් ජාතක කතාවේ දී එක්තරා ආත්මයක ගිරා රජකු ව උපන් ‌බෝසතාණන් වහන්සේ තමන්ගේ ගිරා දරුවන්ට, මාපියන්ට හා අසරණ වූ ගිරවුන්ට වී ආදිය ගෙනැවිත් දෙමින් ඔවුන් පෝෂණය කළ අයුරු සඳහන් වේ.

 උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයන් සතුරු රජුගේ රහස් දැන ගැනීම සඳහා යොදවන ලද්දේ ද ගිරවෙකි. ඔහු රහස් දැන ගැනීමෙන් නොනැවතී සතුරු රජුගේ පුරෝහිත කේවට්ට බමුණා වෙත වර්චස් හෙළා ඔහු විහිලුවට ලක් කළ බව ද කියැවේ.

පන්සිය පනස් ජාතකයේ ම එන චුල්ල සුඛ ජාතකයේ ද තමන් විසූ වෘක්ෂය දිරා යද්දීත් එය හැර නොගිය කළගුණ දත් ගිරවකු පිළිබඳ ව සඳහන් වේ. ඊට අමතර ව දීඝනිකායේ මහාවග්ගට්ඨකථාවේ දඹදිව කුරු රට ආරාමයක විසූ සතර සතිපට්ඨානය මෙනෙහි කළ ගිරවකු පිළිබඳව ද සඳහන් ය.

 

කවරයේ පින්තූරය- ගිරවා - Pinterest

මූලාශ්‍ර:

www.srilankabiodiversity.blogspot.com

www.hindu.blog.com

ගිරා ගීතය- ඇල්.ඒ. ජයරත්න

ගිරා සංදේශය

Related Articles