කොළඹ පොළොව සුන්දර කරන නාගරික තෙත්බිම්

කොළඹට අපි කවුරුත් කියන්නේ ගෙන්දගම් පොළොවක් ඇති කොන්ක්‍රීට් නගරයක් කියලනේ. ඒත් කොළඹ පරිසරය තවමත් ටිකකින් හරි සුරැකී පැවතීමට ඒ අවට පිහිටි තෙත්බිම් උපකාරී වෙලා තිබෙනවා. ඒ බව තහවුරු කරමින් කොළඹ, ලෝකයේ පළමු තෙත්බිම් අගනුවර ලෙස වසර දෙකකට පෙර රැම්සා ජාත්‍යන්තර සමුළුවේ ද 13 වැනි සැසිවාරයේ දී නම් කෙරුණා. මේ අපි කොළඹ තෙත් තෙත්බිම් සොයා ගිය ගමනක්.

දියවන්නා ඔය- dailynews.lk

තෙත්බිම් නගර

1992 දී තමයි අපේ රට රැම්සාර් සම්මුතියට අත්සන් කළේ. දැනට එහි සාමාජික රටවල් 170ක් සිටිනවා. මෙතෙක් කල් රැම්සාර් තෙත්බිම් ලෙස නම් කළේ පාරිසරික වශයෙන් වැදගත් තෙත්බිම් පමණ යි. අපේ බූන්දල, මාදු ගඟ වගේ ඒවා. ඒත් නාගරීකරණයත් සමඟ නගරවල තෙත්බිම් මිනිසාගේ පැවැත්මට යොදා ගන්නේ කෙසේද?, නගර සභා මේවා කළමනාකරණය කරන්නේ කෙසේද? වගේ අදහස් සැලකිල්ලට අරන් 2015 දී තෙත්බිම් නගර සංකල්පය හඳුන්වා දී තිබෙනවා.

කොළඹ අවට පවත්නා තෙත්  බිම් මඟින් සිදුවන පාරිසරික වැදගත්කම සැලකිල්ලට ගෙන කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස මෙසේ ප්‍රකාශයට පත්කර තිබෙනවා. රැම්සාර් සම්මුතිය පළමු වතාවටයි මෙසේ තෙත්බිම් නගර සංකල්පය ක්‍රියාත්මක කර ඇත්තේ. ඒ අනුව ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම්  නගර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ හැරුණු විට චීනයේ නගර 6ක් ද, ප්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක් ද එසේ නාගරික තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත්කළා. ඒ අතරින් ලෝකයේ රැම්සාර් තෙත්බිමක් බවට පත්වුණු පළමු අගනුවර වන්නේ කොළඹ යි.

කොළඹ, ලොව අනෙකුත් අගනගර හා සසඳන විට කුඩා නගරයක් වුවත් එහි පාරිසරික වැදගත්කම ඉහළ යි. පරිපාලන අගනුවර වන කෝට්ටේ කොළඹ නගරයට යාබද ව පිහිටා ඇති අතර එය 13-14 වැනි සියවස්වල දී රටේ රාජධානිය වශයෙන් පැවතුණා. කෝට්ටේ ආරක්ෂිත රාජධානියක් වූයේ ද නගරය වටා පිහිටි වගුරු තෙත්බිම්වලින් ලැබුණු ආරක්ෂාව නිසා හෙවත් පංක දුර්ගයක් වූ නිසා බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

කෝට්ටේ අවට තෙත්බිම් – Wikipedia.org

 කොළඹ වටා පිහිටි තෙත්බිම්

වගුරු ආශ්‍රිත ශාක, පඳුරු සහිත බිම්, තණ බිම්, ගංගාධාර සහ කඩොලාන වනාන්තර ඇතුළත් ප්‍රධාන ශාකාවරණ 7කින් කොළඹ තෙත් බිම් සමන්විත යි.  මෙම කලාපය තුළ ජලජ සත්ව විශේෂ 209 ක් වාර්තා වෙනවා. මෙයින් 17 ක් ආවේණික විශේෂ වීම වැදගත්. තවත් සත්ව විශේෂ 26 ක් ජාතික වශයෙන් තර්ජනයට ලක්වෙලා.  ජලජ සත්ව විශේෂ අතුරින් සියයට 60 ක් ජාතික වශයෙන් තර්ජනයට ලක්ව සිටිනවා.

ඊට බත්කූරන්, සමනළ විශේෂ 2ක්, ගොළුබෙලි විශේෂ 4 ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 2 ක්, සහ ක්ෂීරපායින් 4 ක් ඇතුළත් වෙනවා. තර්ජනයට ලක් වූ විශේෂ අතර අඳුන් දිවියා ද සිටිනවා. ආවේණික ශාක විශේෂ 09 ක් ඇතුළත් ව කොළඹ තෙත් බිම් ආශ්‍රිත ව ශාක විශේෂ 252 ක් පමණ වාර්තා වෙනවා. ඉන් 11 ක් ආසන්න වශයෙන් තර්ජනයට ලක් ව තිබෙනවා. මෙම තෙත් බිම් ශාක විශේෂ මානව ක්‍රියාකාරකම් මගින් දැඩි තර්ජන එල්ල වී ඇති ඒවා යි.  

බේරේ වැව- Wikipedia.org

 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමිය, බද්දගාන තෙත්බිම් උද්‍යානය, කොළොන්නාව තෙත්බිම්, කොළඹ බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගත් තෙත්බිම් පද්ධතිය, තලංගම වැව පාරිසරික ආරක්ෂක කලාපය, බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය කොළඹ නගරය ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් වෙනවා. නගරයේ ගංවතුර තර්ජන අවදානම අඩු කිරීමට ද පාරිසරික ආරක්ෂාවට මෙන් ම ජෛව විවිධත්වය ඉහළ නැංවීමට ද පාරිසරික සුන්දරත්වය ඉහළ නැංවීමට ද මින් සිදුවන්නේ විශාල මෙහෙයක්.

කොළඹ නගර සභා බලප්‍රදේශය, කොළොන්නාව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් ප්‍රදේශවල තෙත්බිම් තමයි කොළඹ තෙත්බිම් විදිහට සැලකෙන්නේ.

බැද්දගාන තෙත් බිම් උද්‍යානයේ පාරිසරික වැඩසටහනක්- facebook.com

 

රජය පසුගිය කාලේ තීරණය කර තිබුණේ ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක දී හැර දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනා ගෙන ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා කොළඹ නාගරික කලාපයේ තෙත්බිම් භාවිතය වැලැක්වීමට යි.  පරිසවේදීන් පවසන්නේ විනාශ වෙමින් පවතින මේ තෙත්බිම් අපේ රටේ දේශීය නීති හරහා රැකගත යුතු බව යි.   කෝට්ටේ අභයභූමිය, බෙල්ලන්විල අභයභූමිය වගේ වනජීවී සංරක්ෂණ ප්‍රදේශවලට වනසත්ව හා වෘක්ෂලතා පනත අදාළ වෙනවා. සමහර ප්‍රදේශ ඉඩම් ගොඩ කිරීමේ හා සංරක්ෂණය කිරීමේ පනත යටතේ නාගරික තෙත්බිම් වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

සමහර ප්‍රදේශ නාගරික සංවර්ධන නීතිය යටතේ ප්‍රකාශ කර තිබෙනවා. තලංගම වැව ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස නම්කර තිබෙනවා. තවමත් ආරක්ෂිත තත්ත්වයට පත් නොවූ තෙත්බිම් කිහිපයක් ද මේ කලාපයේ තිබෙනවා.  ඒ තෙත්බිම්වලට‍ නීතිමය ආරක්ෂාව ලබාදිය යුතු බව පරිසරවේදීන්ගේ ඉල්ලීම යි.

කොළඹ තෙත්බිම් කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු.

දියසරු උයනේ පිපුණු නියඟලා- facebook.com

දියසරු උද්‍යානය

බත්තරමුල්ල, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාරේ කිඹුලාවලට ආසන්න ව දියවන්නා ඔය ඉදිරිපිට   දියසරු උයන පිහිටා තිබෙනවා.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පාලනය වන මේ උයන පාර්ලිමේන්තුවට නුදුරින් කිඹුලාවෙල හන්දිය අසල පිහිටා තිබෙනවා. එහි විශාලත්වය අක්කර 60ක්. 1981 වනවිට කුඹුරු ඉඩමක් ලෙස පැවති මේ ප්‍රදේශය නව පාර්ලිමේන්තුවේ ඉදිකිරීමත් සමඟ රජයට පවරා ගැනුණා. පසුව එය විවිධ ඉදිකිරීම්වල ඉවත ලන පස් ගොඩ කිරීමට යොදාගත් තැනක් ලෙස භාවිත කළා.

මේ බිම 2010 දී ගංවතුර පාලනය කිරීමේ අරමුණ මුල් කරගෙන ඇළ මාර්ග හා ජලාශ සහිත තෙත්බිමක් ලෙස සංවර්ධනය කෙරුණා. අද එය නාගරික ජනතාවගේ විනෝදය මෙන්ම පාරිසරික දැනුමක් ද ලබාගත හැකි රමණීය බිම්කඩක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.

දියසරු උයන ගුවනින්- facebook.com

 

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ගොඩනැඟීමේ දී  දියවන්නා ඔයේ රොන්මඩ ඉවත් කර දමා ඇත්තේ මෙම භූමිභාගයට යි. එහිදි රොන්මඩ බහුල වීම මත විවිධ ශාක වර්ග හට ගෙන වන රොදක් නිර්මාණය වුණා. ගංවතුරින් යටවීමත්, මත්ස්‍යයන් බෝ වීම සහ විවිධ වර්ගවල පක්ෂීන්ගේ පැමිණීමත් හේතුවෙන් මෙම ප්‍රදේශය තෙත්බිමක් බවට ස්වාභාවික ව පත් වුණා.

දියසරු උයනෙහි ශාක විශේෂ 150 කට වඩා තිබෙනවා. වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති හඳුන් දිවියන් මෙන් ම නිශාචර සතකු ලෙස හැඳින්වෙන දිය බල්ලා, විවිධ වර්ගයේ සමනලුන් සහ පක්ෂීන් ද මෙහි දිවි ගෙවනවා. මෙහි ආක්‍රමණික ශාක බහුල යි.  ශාක අතර කදුරු, වෙල්ආතා, හබරල, ගොඩපර, බෝවිටියා,  හුනු කිරිල්ල බහුල යි.

බැද්දගානේ සුන්දරත්වය- youtube.com

බැද්දගාන තෙත්බිම් උද්‍යානය                                                            

කොළඹ නාගරික තෙත්බිම් අතර ජෛව විවිධත්වයෙන් ඉහළ ම අගයක් හිමිකර ගන්නා තැනක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යානය හැඳින්විය හැකි යි.  මෙය 1985 දී ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියට අයත් බිම් ප්‍රදේශයක්. 2006 දී  නාගරික තෙත්බිම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කර මහජන පරිහරණයට විවෘත කෙරුණා.

එය හෙක්ටයාර් 18ක විශාලත්වයෙන් යුක්ත යි. වගුරු බිම්, ස්වභාවික පොකුණු, ජල මාර්ග, ලඳු කැලෑ ආදීයෙන් යුක්ත සුන්දර බිම්කඩක් ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යානය හැඳින්විය හැකියි . පක්ෂි නිරීක්ෂණ කුලුනු, ගමන් පථ, පක්ෂි නිරීක්ෂණ ස්ථාන ආදිය මෙහි සකස් කර තිබෙනවා. මැයි සිට ඔක්තෝබර් දක්වා පර්යටනික පක්ෂීන් රාශියක් ද බැද්දගානට පැමිණෙනවා.

බැද්දගාන උයනේ සත්වයෙක්, කොළ දිවියා- facebook.com

 

බැද්දගාන තෙත් බිම් උද්‍යානය  සුන්දරත්වය ඉහළ යි. එය ගහකොළ, පක්ෂීන්, සමනලුන් පිරි උද්‍යානයක්. ශාඛ විශේෂ 100ක්, ක්ෂීරපායී සත්ව විශේෂ 10ක්, කුරුළු විශේෂ 50ක්, මත්ස්‍ය විශේෂ 20ක් පමණ එහිදී දැක ගත හැකි යි. මෙම උද්‍යානයේ  දිවි ගෙවන උභය ජීවී විශේෂ ගණන 5ක්.

ඒක දේශික ශාඛ සහ වඳවී යෑමේ තර්ජනයට ලක් ව ඇති ශාඛ සහ සත්ව ප්‍රජා රැසක් මෙහි දකින්නට ලැබෙනවා.  පාසල් සිසුන් මෙන් ම සොබාදහමට කැමති කවුරුත් විවේකය ගතකිරීමට මෙහි පැමිණෙනවා.  විවාහ මංගල ඡායාරූප පසුතලයක් ලෙසත් මෙතැන ජනප්‍රිය වෙලා.

අභයභූමියේ නිල් කිතලා-exploresrilanka.lk

ශ්‍රී ජයවර්ධනපුර අභය භූමිය

කෝට්ටේ පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔය කේන්ද්‍ර කරගත් තෙත්බිම් හෙක්ටයාර් 449.2ක් අභය භූමියක් ලෙස 1985 ජනවාරි 9 දින ප්‍රකාශයට පත් කෙරුණා.  පසුකාලීන සංවර්ධන කටයුතු නිසා මේ වනවිට එහි ඉතිරි ව ඇත්තේ සුළු බිම් ප්‍රමාණයක් පමණ යි. දියවන්නා ඔය හා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය දැනට අභය භූමියට ඉතිරි ව පවතිනවා. පාර්ලිමේන්තුවට වම්පසින් තිබූ තෙත් බිමෙන් විශාල කොටසක් දියත උයන නාගරික උද්‍යානය තැනීමට ඉවත්කර තිබෙනවා.

තලංගම වැව වාන් දමමින් – tripadvisor.com

තලංගම වැව

මේ වැව තිබෙන්නේ කෝට්ටේට ඉතා ආසන්නව යි.  පැලවත්ත යුදහමුදා මූලස්ථානය පිටිපසින් මේ කුඩා වැව පිහිටා තිබෙනවා. ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් ලෙස එය සැලකෙනවා. ජලාශ්‍රිත කුරුල්ලන් වගේ ම උරග විශේෂ සහ උභය ජීවින් ද මෙහි දැක ගත හැකි යි. දැනටත් තලවතුගොඩ තලංගම ප්‍රදේශයේ කුඹුරුවලට ජලය සපයන්නේ මේ වැවෙන් තම යි. මෙය ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත පරිසර ආරක්ෂණ කලාපයක්. පක්ෂි විශේෂ 100කට අධික සංඛ්‍යාවක් ද ක්ෂීරපායින්, සර්පයන් සහ සමනළ විශේෂ රාශියක් ද මෙහි දිවි ගෙවනවා.

 කවරයේ ඡායාරූපය - බැද්දගාන දියත උයන - Wikipedia.org

මූලාශ්‍ර:

සිරිලක තෙත්බිම් සිසු අත්පොත- ශ්‍රී ලංකා ක්ෂේත්‍ර කුරුලු විද්‍යා කවය

Silumina.lk

Dinamina.lk 

Related Articles