වෙසක් කාලෙට පිපෙනා ජනප්‍රියම වනමල: වෙසක් මල්

වෙසක් කාලෙට මතක් වෙන අපූරු මලක් අපට තිබෙනවා. ඒ තමයි වෙසක් උඩවැඩියා. මේ මලේ සුවිශේෂීත්වය වන්නේ වෙසක් මාසයට පිපී මාසයක් යනතුරුම මල පර නොවී තිබීම යි. මල් පිපීම ආරම්භ වන්නේ අප්‍රෙල් මාසයේ වුවත්, වෙසක් මාසයේ මල් පිපීම වැඩිවෙනවා. මේ මලේ සුගන්ධය අපට දැනෙනවා. පරිසර තත්ත්වයේ සුවදායීබව මත පෙබරවාරි, මාර්තු, ජුනි, අගෝස්තු සැප්තැම්බර් යන මාසවල ද සමහර අවස්ථාවල දී මල් පිපීම සිදුවෙනවා. වෙසක් කාලෙට පන්සල් යනකොට වෙසක් මල් අරන් යන්න සබරගමුවේ ගම්වානවල උපාසක උපාසිකාවන් කලකට ඉස්සර  පුරුදුව සිටියා. ඒත් අද නම් මේ මල් වඳ වී යන ශාක ගොන්නට අයත් වෙලා.

ආවේණික දුලබ උඩවැඩියාවක්

ගස් කඳක වැවුණු වෙසක් උඩවැඩියා පැළයක්- sundatyobserver.lk

ලෝකය පුරා උඩවැඩියා විශේෂ 29,000ක් පමණ හමු වෙනවා. එය ලොව පිළිගත් සපුෂ්ප ශාක අතර දෙවැනි ‘සපුෂ්ප ශාක පවුල’ ලෙස සැලකෙනවා. උද්භිද විද්‍යා පර්යේෂකයන් පවසන ආකාරයට, ලංකාවෙන් හමුවන උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 188ක්. එයින් විශේෂ 69ක්ම ශ්‍රී ලංකාවට ආවේණික යි. Dendrobium maccarthiae යනුවෙන් හැඳින්වෙන වෙසක් මල ද, ආවේණික, දුලබ මල් වර්ගයක්.

මේ  ශාකය වැවෙන්නේ පොළොවේ  නොවෙයි. ඒවා වැවෙන්නේ තවත් ගසක, එනම් ආධාරක ශාකයක, කඳේ හෝ අතුවල බැඳී එල්ලෙමින්. වෙසක් මල්, සිය පැවැත්ම සඳහා වෙලී සිටින ආධාරක ශාක ගණනාවක් දැකගත හැකියි. තෙත් කලාපයේ බහුලව වැවෙන හොර, වන ඉදල, බටදොඹ, රබර්, සහ පුවක් ආදී ගස් වර්ග ඒ අතර කැපී පෙනෙනවා. සෙවණ සහිත තෙත් පරිසරයේ මේ උඩවැඩියාව සරුවට වැවෙනවා.

ලා දම් පැහැති මේ මල්වල පෙති හයක් තිබෙන අතර පහලින් පිහිටි පෙත්ත විශාල වී පැතලි නෞතලයක් ලෙස වර්ධනය වී තිබෙනවා. මේ පහළ පෙත්ත මැද තද දම්පැහැති ලපයක් පිහිටා ඇති අයුරු දැකගත හැකියි. එම ලපය වටා සුදු පැහැති වලයක් දක්නට ලැබෙනවා. එහි මල් හටගන්නේ පහළට එල්ලා වැටෙන කිනිත්තක යි. මල සෙන්ටි මීටර් අටක් පමණ විශාල යි. වෙසක් මල් පරාගනය වන්නේ කෘමීන්ගෙන්. බීජ, සුළඟේ පාවී ව්‍යාප්ත වෙනවා.

නීතියෙන් ආරක්ෂිත යි

නීතියෙන් ආරක්ෂිත වුණත් අවදානමේ – Orchidsforum.com    

ඉංග්‍රිසි යටත්විජිත කාලයේ පටන්ම සබරගමුවේ වනපෙත් අලංකාර කළ මෙම ශාකයට විශේෂ වැදගත්කමක් ලබා දී තිබෙනවා. 1937 වසරේ දී වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ආරක්ෂිත ශාක විශේෂ අතරට වෙසක් උඩවැඩියා ද ඇතුළත් කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව වෙසක් ශාකය ඇතුළු අප රටේ හමුවන සියලුම ස්වදේශීය උඩවැඩියා ශාක ආරක්ෂිත ශාක ලෙස නම් කොට තිබෙනවා. මේ නිසා වෙසක් මල් ශාකය විනාශ කිරීම, එයට හානි කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන් තහනම්.  

වෙසක් මල් ශාකය තර්ජනයට ලක්වීම නිසා 2007 දී ලෝක සංරක්ෂණ සංගමය (IUCN) මඟින් වඳවී යාමේ තර්ජනයට ලක්වූ  විශේෂයක් ලෙස එය නම් කළා. යලිත් 2012 දී  රතු දත්ත ලැයිස්තුවෙහි අන්තරායට ලක්වූ (Endangered- EN) කොටසට එය ඇතුළත් කොට තිබෙන්නේ එහි අවදානම පහව නොගිය නිසා යි.

තිබෙන්නේ කොහෙ ද? 

බහුලව පැතිර තිබෙන රත්නපුර වනාන්තර -transcotravel.co.au

මෙය බහුලව පැතිර ගොස් තිබෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ යි. නමුත් පහතරට තෙත් කලාපයේ කළුතර, කෑගල්ල, ගාල්ල යන ප්‍රදේශවල දීත් දැකගත හැකියි. රත්නපුර, කුරුවිට, කලවාන, අයගම, වැද්දාගල වැනි ප්‍රදේශවල අදත් මේ මල් පිපෙනවා. වනාන්තරවල මෙන්ම ගෙවතුවල සෙවණැති ස්ථානවලත් මේ ශාකය පැතිර තිබෙනවා. සෙ. ග්‍රෙ. අංශක 25-30 දක්වා උෂ්ණත්වයක් ද, සියයට 70-75 දක්වා වන ආර්ද්‍රතාවයක් ද මේ ශාකයට අවශ්‍ය යි. හොඳ සුර්යාලෝකයක් ද පැවතිය යුතු යි. මේ නිසා ඝන වනාන්තර වෙනුවට වනයේ එළිමහන් තැන්වල තමයි වැඩිපුර මේ ශාක වර්ධනය වන්නේ.

හැදෙන්නෙ කොහොමද? 

windows2nature.wordpress.com – Bushana Kalhara – සෙවණ ප්‍රිය කරන මලක්

තරමක සෙවනක් සහිත තැන්වල ඇති ගස් කඳන් හෝ අතු මත ඇලී වැවෙනවා. වැඩුනු ශාකයක දිග  අඩි දෙකක තුනක පමණ වන අතර දිගටි ශාකය ආධාරක ශාකයෙන් පහළට එල්ලී වැඩෙනවා.  මෙම ශාක සිහින් සුදු හා ලා කොළ පැහැති මුල් විශාල ගණනකින් යුත් මූල පද්ධතියකින් ආධාරක ශාකයට සවිවී වැඩෙනවා. ශාක පත්‍ර මාංසල යි. ඒවා දිගින් සෙ. මී. 4-8ක් පමණ වෙනවා. ධාරක ගසට සවිකර දෙන මුල්වලට කියන්නේ ආලහ්න මුල් කියලා. ඊට අමතරව කඳෙහි හටගෙන වාතයේ එල්ලෙන මුල්වලට කියන්නේ වායව මුල් කියලයි. 

ආලහ්න මුල් බිස්සක් ලෙස වැවෙනවා. මේ මුල් අතර පත්‍රවල කොටස්, දූවිලි ආදිය එකතු වී කෘත්‍රිම පසක් තැනෙනවා. වැසි කාලෙට ඒකට ජලය උරාගෙන වියළි කාලෙට ගසට තෙතමනය ලබාදෙනවා. මේ ශාකයේ බීජ ප්‍රරෝහණය වීමට දිලීරයක් අවශ්‍ය යි.

නම වැටුණු හැටි

1950 දී වෙසක් මලට නිකුත් කළ මුද්දරය -bigstock.com

මේ ශාකයට Dendrobiium maccarthiae කියන උද්භිද විද්‍යා නම වැටුණේ 1860-1863 අතර මෙරට සිටි චාර්ල්ස් මැකාර්ති නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ගේ බිරිඳ වූ මැකාති ආර්යාව සිහිපත් කිරීමට යි. එය මුලින් නම්කර තිබෙන්නේ, Dendrobium maccarthiae thwaites යන විද්‍යාත්මක නමින්.

මැකාති ආර්යාව අප රටේ උඩවැඩියා සහ මල් වර්ග කිහිපයක් පිළිබඳ ලෝකයට හඳුන්වාදුන් කාන්තාවක්. ඒ නිසා ඇයට ගෞරව පිණිස එලෙස නම් කර තිබෙන්නේ මේ ශාකය ගැන පර්යේෂණ කළ එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ආචාර්ය ජී. එච්. කේ. ත්වේට්ස්  විසින්.

පුෂ්ප කිනිත්තක්

මල් කිනිත්තක්-  flickr.com

පුෂ්ප හටගන්නේ කිනිත්තක් විදිහට යි. ඉතා අලංකාර පුෂ්පයක් මෙහි හටගන්නවා. ආධාරක ශාකයේ කඳනේ පහළට එල්ලී වැටෙන වෙසක් මල් දකින්න ලස්සන යි.  මලක් සෙ. මී. 5- 10 පමණ විශාලත්වයකින් යුක්ත වන අතර මල් කිනිත්තක එකවර මල් 10 – 15 පමණ හටගන්නවා.  

මුද්දරයට ගිය මල

ලංකාවේ ආවේණික උඩවැඩියා මුද්දර අතර- postbeeld.com

වෙසක් මලෙහි ඇති වැදගත්කම නිසා ඒ වෙනුවෙන් මුද්දර කිහිපයක්ම නිකුත් කර තිබෙනවා. මුලින්ම මුද්දරයක් නිකුත් කළේ 1950 පෙබරවාරි 04 දින යි.  එවකට තැපැල්පතිවරයා වූ ඉග්නේශෂ් පෙරේරාගේ අනුමැතිය යටතේ ශත පහළොවක වටිනාකමින් යුක්තව නිකුත් කළ වෙසක් ඕකිඩ් මුද්දරය ඉතා ජනප්‍රිය වුණා.  ඊට පසු 1994 දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකා උඩවැඩියා කවයේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් ශත පනහක වටිනාකමින් යුක්තව වෙසක් මල සහිත මුද්දරයක් යළිත් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ පළාත් පුෂ්ප වෙනුවෙන් නිකුත් කළ මුද්දර කාණ්ඩයේ සබරගමු පළාත් පුෂ්පය වූ වෙසක් මල නිරූපිත මුද්දරයක් 2019 වසරේ දෙසැම්බර් මස 13 වන නිකුත් කළා. 1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 50 නෝට්ටුවට ද මෙම වෙසක් මල එක්කර තිබෙනවා.

සබරගමු පළාත් පුෂ්පය

පළාත් පුෂ්ප අතර මුද්දරයක – stamps.gov.lk

ලංකාවේ පළාත් නවයටම පුෂ්ප නම් කිරීමේ දී සබරගමු පළාත් පුෂ්පය වශයෙන් නම් කළේ වෙසක් උඩවැඩියාව යි. 2009 වර්ෂයේ දී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමග රණවිරු මලක් නම් කිරීමේ අවශ්‍යතාවයක් මතුවූණා. එහිදී වෙසක් මල යෝජනා වුණත් එය ඉටුවුණේ නැහැ. මෙරට ජාතික පුෂ්පය සඳහා යෝජනාවන් සිදුකරන අවස්ථාවේ දී ද මේ මල යෝජනා වූ නමුත් එය තෝරාගෙන නැහැ.

විනාශයට හේතු

වෙසක් මල් ශාකය – උඩවැඩියා මල් මිතුරෝ FB page

වර්ෂ 1900න් පසු මේ අලංකාර පුෂ්පය විශාල වශයෙන් එකතු කරන්නට පටන්ගත් බව වාර්තා පවසනවා. ඒ වගේම පැළෑටි ගලවාගැනීම දිගු කාලයක් පුරා සිදුවුණා. තෙත් කලාපීය ප්‍රදේශවල කැලෑ සීඝ්‍රයෙන් එළිපෙහෙලි කරනවා. ධාරක ගස් කපා දමනවා. එය ශාකයේ පැවැත්මට ලොකු ප්‍රශ්නයක්. දේශගුණ විපර්යාස නිසා පරිසරයේ උණුසුම ඉහළ යාමත් වෙසක් ශාකයට අහිතකර ලෙස බලපාන කරුණක්. තෙත් කලාපීය වනාන්තර පෙදෙස්වල වෙසෙන ඇතැම් දෙනා පවසන අන්දමට, ‘වෙසක් මල්’ යනු වවා ගන්නට අමාරු ශාකයක්.

විදේශිකයන් විසින් කිහිප වතාවක්ම වෙසක් මල් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ආදී රටවලට ගෙන ගොස් තිබුණත් ඔවුන්ට මේ ශාකය බෝකර ගැනීමට ඉඩ ලැබී නැහැ.  වරක් ඕස්ට්‍රේලියාවේ ‘කිව් උද්‍යානය’ ද ලංකාවේ වෙසක් මල් බෝකර ගන්නට උත්සාහ කළත් එක් මලක් පීදීමෙන් පසුව ශාකය මැරී ගිය බව වාර්තා වී තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සබරගමු වංශ කතාව - 2 වෙළුම

Vidusara.com

Aruna.lk

කැප්ෂන්: කවරය -  වෙසක් මලේ පුෂ්ප මංජරියක් - උඩවැඩියා මල් මිතුරෝ FB page

Related Articles