Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාරාදීසයක් බඳු ජපානයේ විස්ටේරියා මල් උමඟ

අධ්‍යාපන කටයුතු, රැකියා සහ පවුල් ජීවිතය වැනි විවිධ හේතු නිසා බාල මහලු බේදයකින් තොර ව වර්තමාන මිනිසාගේ ජීවන රටාව අතිශය කාර්යබහුල වී ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ නිසා අතීත මිනිසාට එතරම් අරුම පුදුම දෙයක් නොවූ, සොබාදහම සමඟ කාලය ගත කිරීම සහ එහි අසිරිය විඳීම වර්තමාන මිනිසාට විශේෂ යමක් බවට පත් ව තිබේ.

විවිධ හේතු මත කාර්යබහුල වී ඇති ජීවන රටාව නිසා වෙහෙසට පත්ව සිටින බොහෝ දෙනෙක්, නිදහසක් ලැබෙන ඕනෑම මොහොතක මුහුදු වෙරළක්, ගඟක්, වැවක්, වනාන්තරයක් හෝ වෙනත් එවැනි ස්ථානයක් වෙත ගොස් කාලය ගත කිරීමට ප්‍රිය කරති. එවැනි විශාල පිරිසකගේ පහස ලබන එවැනි අපූර්වත්වයෙන් පිරි ස්ථාන ඕනෑම රටක දැකිය හැක.

මෙම ලිපිය, වාර්ෂිකව දස දහස් ගණනින් ජනතාව ආකර්ෂණය කර ගන්නා, ජපානයේ පිහිටි අතිශය සුන්දර නිර්මාණයක් වන ‘විස්ටේරියා මල් උමඟ’ පිළිබඳව යි.

විස්ටේරියා මලින් වැසුණු බිම – www.whiteflowerfarm.com

විස්ටේරියා මල්

තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ  අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයේ බහුල ව දැකිය හැක. මෑතකාලීන ව එය ව්‍යාප්ත වූ රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක් තිබේ.

ප්‍රභේද දහයකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව කියන විස්ටේරියා ප්‍රධාන වශයෙන් වගා කෙරෙන්නේ විසිතුරු ශාකයක් වශයෙනි. සුදු, දම්, රෝස, ළා දම් වැනි වර්ණ කිහිපයකින් යුතු මෙම මල් පහතට එල්ලා වැටෙන ආකාරයෙන් හටගනී.

විස්ටේරියා ශාකය – www.pinterest.com

එක්සත් රාජධානියේ උපත ලබා අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ උද්භිද විද්‍යාඥයකු වූ තෝමස් නුටෝල් වරෙක පැවසුවේ එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ ජීවත් වූ වෛද්‍යවරයකු වූ කැස්පර් විස්ටාර්ට කරන ගෞරවයක් ලෙස මෙම මල් විශේෂය ‘විස්ටේරියා’ යනුවෙන් නම් කළ බව යි. තවත් මතයක් වන්නේ විස්ටාර්ට කරන ගෞරවයක් ලෙස මෙය විස්ටේරියා යනුවෙන් නම් කළේ පෘතුගීසි ජාතික උද්භිද විද්‍යාඥයකු වූ ජෝස් ෆ්‍රැන්සිස්කෝ කොරයා බව යි.

ජෝස්, එක්සත් ජනපදයේ පෘතුගාල තානාපති ලෙස සේවය කළ අතර ඒ කාලය තුළ ඔහු සහ විස්ටාර් ඉතා හිතවත් මිතුරන් බවට පත්ව තිබේ. එම මිත්‍රත්වය සිහිවීම සඳහා මෙම ශාකයට ඒ නම යෙදූ බව සමහරුන්ගේ මතය වේ.

විස්ටාර් – www.wikipedia.org

විස්ටේරියා උමඟ

ජපානයේ මධ්‍යම කිතක්‍යුෂු ප්‍රදේශය වනාන්තරවලින් බහුල කඳුකර ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ පිහිටා තිබෙන පෞද්ගලික ඉඩමක මෙම අපූරු විස්ටේරියා මල් උමඟ නිර්මාණය කර ඇත. විස්ටේරියා වැල්වලින් වැසී ගිය, මීටර් සියයකට වැඩි දිගින් යුතු, එම උමඟ කොටස් දෙකකින් සමන්විත වේ. එහි සුදු සහ දම් පැහැති මල් හටගන්නා විස්ටේරියා වැල් බහුල අතර, මල් හටගන්නා කාලයට ඒ අවට බිම ලක්ෂ ගණනක් මල් විසිරී තිබෙනු දැකිය හැකි ය.

මහජනයා සඳහා විවෘත වූ උද්‍යානය

මුල් කාලයේ දී මෙම මල් උමඟ පිහිටි ඉඩමට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමට හැකියාවක් නොවී ය. කෙසේ වෙතත් වසරකට කිහිප වරක් මලින් වැසී යන මෙම අපූරු උමඟ දැක බලාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බොහෝ සංචාරකයන් කැමැත්තක් දක්වන බැවින් මල් හටගන්නා කාලයට පමණක් එය මහජනතාවට විවෘත කිරීමට එහි හිමිකරු තීරණය කළේය.

මෙය පිහිටා ඇති ප්‍රදේශය කඳුකර ප්‍රදේශයක් බැවින් එහි උස් කඳු මුදුන්වල සිට අවට නරඹන්නන්ට, මලින් වැසී ගිය මෙම ස්ථානය ඉතා චමත්කාරජනක ලෙස දිස් වේ.

ඉහළ සිට බලන විට මල් උමඟ දිස්වන අයුරු –  www.japanguide.com

සෑම වසරක ම, විස්ටේරියා මල් හටගන්නා කාලය තුළ ලක්ෂ ගණනක් දේශීය සහ විදේශීය සංචාරකයන් ‘කිටකියුෂු’ ප්‍රදේශයට පැමිණේ. එහි පිහිටි උණ ශාකවලින් පිරි වනාන්තර සහ විස්ටේරියා මල් උමඟ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානත ම සංචාරක ගමනාන්තයන් වේ. කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිසක් පැමිණීමත් සමඟ ඇති වන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම උමඟ නැරඹීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඊට පෙර, දිනයක් සහ වෙලාවක් වෙන් කරගැනීම අනිවාර්ය කර තිබේ.

මල් උමඟ පිහිටි උද්‍යානයේ පිහිටි කුඩා පාලමක් – www.japanguide.com

ළඟා විය හැකි අයුරු

බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණයට ලක් වන මෙම ස්ථානයට ළඟා විය හැකි මාර්ග සහ ක්‍රම කිහිපයක් ඇත. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් ‘JR Yahata’ දුම්රිය ස්ථානයේ සිට ගමන් ගන්නා දුම්රියකින් එහි ළඟා විය හැක. ඒ සඳහා ජපන් යෙන් 280ක් වැය වන අතර ගමනට ගත වන කාලය ආසන්න වශයෙන් විනාඩි 15කි. ඊට අමතර ව, විස්ටේරියා උමඟ දැක බලාගැනීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ම ක්‍රියාත්මක වන ශට්ල් බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක වේ.

එම බස් රථ, ආසන්න වශයෙන් පැය භාගයකට වරක්, පෙර කී දුම්රිය ස්ථානය ආසන්නයේ සිට මල් උමඟ පිහිටි ඉඩම ආසන්නයට ම ගමන් කරයි. සාමාන්‍ය බස් රථ මගින් ද මෙම ස්ථානයට ළඟා විය හැකි වුවත් සාමාන්‍ය බස් රථ එම ඉඩම ආසන්නයට ම ධාවනය නොවේ. මෙහි පැමිණෙන දේශීය සංචාරකයන් බොහෝ විට මෝටර් රථවලින් පැමිණෙන බැවින් වාහන නවතා තැබීම සඳහා වෙන් කළ ස්ථාන 200ක් පමණ මෙම ස්ථානය අවට තිබේ.

සංචාරකයෝ – www.dreamstime.com

ගාස්තු සහ විවෘත ව තබන වේලා

අප්‍රේල් මස අගභාගයේ සිට මැයි මස මුල්භාගය දක්වා වන විස්ටේරියා මල් හටගන්නා කාලය තුළ මෙම මල් උමඟ පිහිටි උද්‍යානය උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘත ව ඇත. මල් හටගෙන තිබෙන ප්‍රමාණය අනුව උද්‍යානයට ඇතුළු වීම සඳහා වන ගාස්තු වෙනස් වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය මල් ප්‍රමාණයක් හටගෙන ඇති කාලයක එහි ප්‍රවේශ පත්‍රයක් ජපන් යෙන් 500ක් වන නමුත් විශාල වශයෙන් මල් හටගන්නා අවස්ථාවල ප්‍රවේශ පත්‍රයක මිල ජපන් යෙන් 1,000ත් 1,500ත් අතර වේ.

නරඹන්නන් බහුල ව පැමිණෙන කාලවලදී මෙය නැරඹීමට කලින් දිනයක් සහ වෙලාවක් වෙන් කරගත යුතු වේ. ජපන් යෙන් 500ක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් වෙන් කරගත හැකි අතර ඉතිරි මුදල උද්‍යානයේ පිවිසුමේ දී ගෙවිය හැකි ය. කෙසේ වෙතත් බහුල වශයෙන් මල් හටනොගන්නා කාලවල දී එම ස්ථානයෙන් ම ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන මෙය නැරඹීමට සංචාරකයන්ට හැකියාව ලැබේ.

පහළට එල්ලා වැටෙන මල් – www.pinterest.com

 

කවරයේ ඡායාරූපය- විස්ටේරියා මල් උමග සහ එය නැරඹීමට පැමිණි යුවළක් - www.indephedia.com

මූලාශ්‍ර:

www.japanguide.com

www.japan.travel

www.top.his.usa.com

Related Articles