Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහවැස්සට ලස්සන වන ඌව පරණගම අප්‍රකට දිය ඇලි

මේ දිනවල  බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන මහ වැසි නිසා රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල, දියලුම ඇල්ල සහ බෝඹුරු ඇල්ල ඇතුළු දියඇලිවල ජලය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ තත්ත්වය නිසා දියඇලි පාමුල හා ජලාශවල දියනෑමෙන් ද රාත්‍රි කාලයේ කුඩා දියපහරවල් වලට බැස ඒ හරහා ගමන් කිරිමෙන් ද වලකින ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ඉල්ලා සිටින්නේ. 

බදුල්ලේ වැලිමඩට නුදුරු ඌව පරණගමත් ඉහළ ඌවේ අලංකාර දියඇලි කිහිපයක් පිහිටි පෙදෙසක්. වැඩි දෙනාගේ නෙත නොගැටෙන එම දියඇලි සොයා ගිය චාරිකාවක් තමයි මේ.

දියඇල්ල ගුවනේ සිට- Sahan Perera- pinterest.com

බෝඹුරු ඇල්ල

පේරවැල්ල ඇල්ල කියලත් මෙය හඳුන්වනවා. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම්වලට සමීප ව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ  දුරකින් තමයි දැකගන්න ලැබෙන්නේ.  බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැලකෙනවා.   වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් ඌව පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය- කඳපොල රක්ෂිතයේ තමයි ඇල්ල පිහිටා ඇත්තේ. බෝඹුරු ඇල්ල ගම්මානයට එන්නට වැලිමඩ සිට බස් රථයක් ද තියනවා. ජල ප්‍රවාහය වැඩි නිසා වර්ෂා සමයට ඇල්ල විශාල හඬක් නගමින් තමයි පහළට කඩා හැලෙන්නේ.

මේ ඇල්ලට ළඟාවීමට නම් නුවරඑළිය හරහා වැලිමඩට  හෝ  බණ්ඩාරවෙලට පැමිණ එහි සිට වැලිමඩට මුලින් ම පැමිණිය යුතු යි. වැලිමඩ නගරයේ සිට උඩුහාවර හරහා බෝඹුරු ඇල්ලට බසයක් තිබෙනවා.  ඔබේ ම වාහනයක් යොදා ගන්නවා නම් නම් වැලිමඩ සිට ඌව පරණගම මාර්ගයේ අඹගස්දෝව හන්දිය, හිඹිලියගහමඩිත්ත මුදනාව හන්දිය පසුකර කිලෝමීටර 11ක් පමණ ගිය විට බෝඹුරු ඇල්ලට යන අඩි පාර දැක ගත හැකි යි. එහි නාම පුවරුවක් ද සවිකර තිබෙනවා.  අඩි පාර දිගේ කිලෝමීටර 2ක් පමණ ගියවිට ඔබට මේ දිය ඇල්ල හමුවේවි.  ගමන් මාර්ගය අවට සුන්දර කෙත්වතු හා තුරු ලතා දැකගත හැකි යි.  ගමන් මගේ කූඩැල්ලන් නම් බහුල යි.

උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වෙනවා. පිදුරුතලාගල කඳුවැටියේ කොනකින් ඇද හැලෙන අලංකාර  දිය ඇල්ලක් වන නුවරඑළියේ ලවර්ස් ලීප්  ඇල්ලෙන් ගලා යන ජලය හාඑළිය හරහා සඳතැන්න බොරලන්ද ජලාශය ඔස්සේ ඇවිත් උමා ඔයේ අතු ජල පහරක් වන දූල්ගල ගඟට එකතුවෙනවා.දූල්ගල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමකින් කොටස් හතරක් සේ  වෙන් ව ඇද හැලීමෙන් තමයි මෙම සුන්දර ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ.

කොටස් කිහිපයකට බෙදී කඩාහැලෙන ඇල්ල – Travelsrilankaphotos.blogspot.com

රාජසිංහ රජුගේ ඇතා

 මේ ඇල්ල සම්බන්ධව රසවත් පුරාවෘත්තයක් අපට අහන්නට ලැබෙනවා:

 මහනුවර දෙවෙනි රාජසිංහ රජු පාලනය කරන සමයේ  එක් අවස්ථාවක රාජකීය ඇතා තමන් බැඳ තිබුණු දම්වැල් කඩාගෙන කැලේ පැනලා තියනවා. ඉන් කලබලයට පත්වුණු රජතුමා රාජකීය ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරයක් තෑගි දෙනවා යැයි අණබෙරකරුවන් අතේ රටවැසියන්ට පණිවිඩ යැවූ බව සඳහන්. ඉතින් මේ ගමේ හිටපු ශක්තිමත් පුද්ගලයෙක් වුණු වනසිංහ මුත්තා ඇතා අල්ලාගෙන බෝ මුලක ගැටගහලා තියෙනවා. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට එක් වුණා. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ වුණා. ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තබා තිබෙන බවයි පැවසෙන්නේ.

ඇල්ලට පිවිසෙන අතුරු මාර්ගය ඇරඹෙන තැන- Travelsrilankaphotos.blogspot.com

දෙමුහුන් ඇල්ලක්

සමහරු කියන්නේ නම් මෙය දෙමුහුන් දිය ඇල්ලක් කියලා. ඒ වගේ ම මෙම දිය ඇල්ල කඩා හැලෙන්නේ අදියර 4 කින්. පළලින් වැඩිම නිසා දිය ඇල්ල තැන් 4කින් පහළට වැටෙන්නේ.  

 දිය ඇල්ලෙන් පහළ කොටස උමා ඔය ලෙස හැඳින්වෙනවා.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය ඉංග්‍රීසීන්ගේ සමයේ සතුන් දඩයම් කළ බිමක් ලෙස ද යොදා ගෙන තිබෙන බව කියවෙනවා.  ඇල්ලේ හඬ විශාල අතර එයින් නැගෙන ජල වාෂ්පය මීටර 30ක් පමණ ඈතට විසිවෙනවා. ඇල්ලට පහළින්   දිය නෑමට සුදුසු තැනක් ද පිහිටා තිබෙනවා.  කෙසේ වුවත් දියනෑමේ දී නම් වඩාත් පරිස්සම් විය යුතු යි. අදටත් මේ දිය ඇල්ල ශ්‍රී ලංකාවේ බොහෝ සංචාරකයන් අතර අප්‍රකට යි. දැන් දැන් සංචාරකන් සමහරක් දෙනා බෝඹුරු ඇල්ල බැලීමට යන නිසා එහි සුන්දර පරිසරය ද විනාශ වෙමින් පවතින බව පෙනෙනවා.

රවන් ඇල්ල

වැලිමඩ නගරයේ සිට මැදවෙල පාර දිගේ කිලෝමීටර් 14 ක් ගමන් කරන විට උඩුහාවර නමැති ගොවිතැන මූලික කර ගත් ගම්මානය හමුවෙනවා. එහි සිට තවත් කිලෝ මීටර් 1 1/2 ක් දුර ගෙවා කොරදෙකුඹුර නමැති ගම්මානයට පිවිසිය යුතු යි. වැලිමඩ සිට කොරදෙකුඹුර දක්වා වාහන ධාවනයට සුදුසු මාර්ගයක් ඇති අතර එය  කඳු  පල්ලම් බහුල දුෂ්කර පාරක්. දිය ඇල්ල පිහිටා ඇත්තේ කොරදෙකුඹුර කඩ මණ්ඩියේ සිට කිලෝ මීටරයක් දුරින්. දියඇල්ල නිර්මාණය වන්නේ මීටර 1842ක් උස කොටකිතුල කන්දේ ඊසාන බෑවුමේ ජලඋල්පත් වලින් නිර්මාණය වන හල්ඔයෙන්.  දිය ඇල්ල කඩා හැලෙන්නේ මලකොළ කන්දෙ තියෙන පර්වතයක් මතින්. ඇල්ල උසින් මීටර් 40ක් පමණ වෙනවා.

දිය ඇල්ල වෙත යාමට අසල්වැසි ගැමියකුගේ මඟ පෙන්වීම ලබා ගැනීම සුදුසු වන්නේ එවිට පහසුවෙන් මාර්ගය සොයාගත හැකි නිසා යි. ඇල්ල පිහිටි කඳු බෑවුමට ගම්මාන හරහා කෙත්වතු යායක් මැද්දෙන්, නියරෙන් – නියරට පනිමින් අඩි පාරක් දිගේ පියමං කළ යුතු යි. දුර තියාම දිය ඇල්ල ඇදහැලෙනු දැක ගැනීමට පුළුවන්.  එය සමීපයට යාමට නම් තවත් මීටර් දෙතුන් සියයක් පා ගමනින් යා යුතු යි.

ඇල්ලේ සමීප දසුනක්-  Wikipedia.org

 ඇල්ල ගල් පව්වක් මුදුනේ සිට එක එල්ලේ ම කඩා හැළෙන්නේ ජල තටාකයකට යි. ගල් පව්ව තනි කෙළින් පිහිටි නිසා ඇල්ල පව්වේ නොගැටී ඇද හැළෙන ආකාරය අපූරුයි. එය කෙටස් ගණනකින් යුක්ත ව පඩිපෙළක ආකාරයට කඩා හැලෙන්නේ සුන්දර දර්ශනයක් මවා පාමින්.

රවන ඇල්ල අවට පරිසරයත් ඉතා අලංකාරයි. දිය දහරාවෙන් පෝෂණය වන කැලෑ රොද අපූරු වනවදුලක් නිර්මාණය කරලා. සංචාරකයන් නොයන නිසා මෙහි පරිසරය නම්  කෙළෙසීමට ලක් ව නැහැ.

අපූරු ජනප්‍රවාදයක් ද ඇල්ල වටා ගෙතී තිබෙනවා:

 දිය ඇල්ල කඩා හැලෙන්නේ රත්තරන් පුරෝපු තඹ හැලියක් උඩට. හැලිය ඇල්ල පාමුල නිදන් කරලයි තියෙන්නෙ. මේ හැලිය සමහරක් දාට දිය මතුපිටට එනව. ඒත් එය කිසි කෙනකුට ගන්න බෑ. කීප දෙනෙක් ම දැකලත් තියෙනව.

“ර” කියන්නෙ රත්තරන්වලට. “වන්” කියන්නෙ වැනි. රත්තරන් වගේ දිය දහර කියන අරුතෙන් තමයි රවන් කියන්නෙ.” 

 දිය ඇල්ලට පහළින් ඇති සුවිසල් කෙත් යාය ම අස්වද්දන්නේ දිය ඇල්ල බෙදාහරින ජල ප්‍රවාහයෙන්. 

ඇල්ලේ පහළ කොටසේ දසුනක්- Anura pallemulla facebook page

මානවෙල දියඇල්ල

වැලිමඩ ඉදලා කිලෝ මීටර 15ක් වගේ දුරකින් පිහිටි ලුනුවත්තේ තමයි මේ අලංකාර ඇල්ල පිහිටා තියෙන්නේ .  මල්වත්ත වැවිලි සමාගමට අයත් හියුගොලෑන්ඩි වතු  යාය මැදින් ගලායන ජල මාර්ගයකින් මානවෙල ඇල්ල නිර්මාණය වෙනවා. ඇල්ලට ළඟාවිය හැකි පහසු ම පාර තමයි වැලිමඩ සිට ලුනුවත්තට යන පාරේ කිලෝ මීටර15ක් යනවිට හමුවන ලුනුවත්ත නගරය පසුකර තවත්  මිටර් 500ක් වගේ තව ඉදිරියට ගොස් හැරී  ගමන් කිරීම.   හෝ ඔයෙන් තමයි ඇල්ල තැනී තිබෙන්නේ. එම ඔය ඌවේ කඳුකරයෙන් ඇරඹෙන ජල දහරාවක්. දියඇල්ල මීටර් 22ක උසකින් යුක්ත යි.  මේ ඇල්ල තට්ටු දෙකකට තමයි ඇද හැලෙන්නේ. ඇල්ලට ඉහළින් ඉදි කර ඇති අමුණ නිසා මෙහි ජලය අඩු වී ඇති බව පේනවා. ඇල්ල අවට ස්වභාවික ගුහා රාශියක් දැක ගත හැකි යි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මානාභරණ රජු හා බිසෝවරියන් නිතර මේ ඇල්ලේ දියනෑමට පැමිණී බව යි.

පිටපොළ දියලුම ඇල්ලේ දසුනක්- වැලිමඩ facebook page

පිටපොළ දියලුම ඇල්ල

වැලිමඩ සිට බොරලන්ද හරහා පිටපොළ ගම්මානයට පිවිසිය හැකි යි. මේ දියඇල්ලත් වැලිමඩ ප්‍රදේශයේ තියෙන අලංකාර කවුරුත් නොදන්නා දිය ඇල්ලක්.  දියලුම ඇල්ල ගැන අපි කවුරුත් දන්නවා. ඉතින් මේකත් හඳුන්වන්නේ පිටපොල දියලුම නමින්. එය එතරම් උස ඇල්ලක් නම් නොවේ. ඇල්ල පිහිටලා තියෙන්නේ බොරලන්ද පිටපොල කියන ගමේ.

ඕහිය සිට ගලා බසින ජල මාර්ග  නිසා උපත ලබා ඇති මහ ඔය ගල්පර්වතයකින් පහළට කඩා හැලීමෙන් මෙය නිර්මාණය වී තිබෙනවා.  ඇල්ල පිහිටා තිබෙන තැනට කියන්නේ අමුණ කියලයි.  මෙහි ජලය ඔහියේ සිට ම වනාන්තර මැදින් ගලාබසින් නිසා  අධික සීතලකින් යුක්ත යි. මෙම ඇල්ලට ඉහලින් තවත් මෙවැනි ම සුන්දර දියඇලි 3ක් පිහිටා තිබෙනවා.

කවරයේ ඡායාරූපය- බෝඹූරු ඇල්ලේ සුන්දරත්වය - sltraveler.lk
මූලාශ්‍ර:
ශ්‍රී ලංකාවේ දියඇලි- සංස්. ධර්මන් වික්‍රමරත්න
Silumina.lk

Related Articles