ලෝකයේ පළමු අන්තර්ජාතික පරිසර සම්මුතිය ලෙස නම් කෙරෙන්නේ, 1971 වසරේ නිර්මාණය වූ රැම්සා සම්මුතිය යි. ලෝක ප්‍රසිද්ධ පරිසර සම්මුතීන් වන ස්ටොක්හෝම්, රියෝ ප්‍රකාශනය, වියානා, මොන්ට්‍රියල්, කියතෝ හා පැරිස් සම්මුතීන් බිහි වන්නේ ඉන් අනතුරුව යි. 

ලෝකයේ තෙත්බිම් සුරැකීම සම්බන්ධයෙන් වන පැරිස් සම්මුතිය 1971 වසරේ ආරම්භ වෙන අතර, එම සම්මුතිය ඉදිරිපත් වූ 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා සමරමින් සෑම වසරකම පෙබරවාරි මස 02 දා අන්තර්ජාතික තෙත්බිම් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරෙනවා. එය බලාත්මක වන්නේ 1975 වසරේ දෙසැම්බර් මාසයේ දී යි. මෙම සම්මුතිය රැම්සා නමින් නම් වන්නේ එය 1971 වසරේ ඉරානයේ රැම්සා නගරයේ පැවැත්වුණු බැවින්. ආරම්භයේ දී සාමාජික රාජ්‍යයන් ඉතා කුඩා ප්‍රමාණයකින් රැම්සා සම්මුතිය නිර්මාණය වූ නමුත් අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන්ගෙන් 90%ක ප්‍රමාණයක් මෙයට ඇතුළත් වෙනවා. 

ලෝකය පුරා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම්, ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් ලෙස නම් කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් වෙනවා. මේ වන විට එම සංවිධානයේ මෙහෙයවීම මත ලොව පුරා හෙක්ටයාර් 253,614,951ක භූමි ප්‍රමාණයක් ඇති අතර, ඒවා රැම්සා අන්තර්ජාතික භූමි 2,375කට අයත් වෙනවා.

ලංකාවේ රැම්සා තෙත්බිම් ආරම්භ වීම 

රැම්සා (uia.org)

රැම්සා සම්මුතියට එළැඹීමෙන් පසුව ලොව වටා ඇති තෙත්බිම් රැම්සා කලාපයන් ලෙස වෙන් කර තිබෙනවා. එසේම මෙම රැම්සා තෙත්බිම් ලෝකයේ ප්‍රධාන කලාප 6ක් යටතේ පිහිටුවා තිබෙනවා. එනම් ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය, යුරෝපා කලාපය, උතුරු ඇමරිකානු කලාපය, කැරිබියානු හා ලතින් ඇමෙරිකා කලාපය, සහ ඕෂනියානු කලාපය ලෙස යි.

1990 වසරේ ඔක්තෝම්බර් 15 වන දින ලංකාව ද රැම්සා සම්මුතියට ඇතුළත් වූ අතර මේ වන විට ලංකාව රැම්සා තෙත්බිම් හයකින් සමන්විත වෙනවා. එම තෙත්බිම් සමූහය හෙක්ටයාර 198,172ක භූමියකින් සමන්විත යි. 

ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් ලෙස භූමි ප්‍රදේශයන් හයක් නම් කර තිබෙනවා.එම තෙත්බිම් හය කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. එනම් ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් හා මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් කරදිය තෙත්බිම් ලෙස කොටස් තුනකට යි.

ලංකාවේ පළමු රැම්සා තෙත් බිම - බුන්දල 

බුන්දල ජාතික වන උද්‍යානය (lankainoratravel)

1996 වසරේ දී ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත් බිම ලෙස බුන්දල ජාතික වන උද්‍යානය එම සම්මුතිය මඟින්  නම් කරනවා. බුන්දල හෙක්ටයාර් 6,210කින් සමන්විත යි. එය 1969 වසරේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන අතර ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශ කරන්නේ 1992 වසරේ දී යි. 

1996 දී බුන්දල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ පළමු අන්තර් ජාතික වටිනාකමක් හිමිකරගත් තෙත් බිම ලෙස රැම්සා ලේඛනයට එක් කෙරෙනවා. ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිට දක්ෂිණ අර්ධගෝලය කරා සැරිසරන පක්ෂීන්ගේ අවසන් නවාතැන් පළක් ලෙස බුන්දල ප්‍රසිද්ධ යි. එබැවින් බුන්දල ලොව පුරා වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුරුලු පාරාදීසයක් ලෙසයි.

දෙවැන්න - ආනවිලුන්දාව 

ආනවිලුන්දාව (themudhouse)

මෙරට දෙවැනි රැම්සා තෙත් බිම වන්නේ ආනවිලුන්දා අභය භූමිය යි. 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක්‌ වශයෙන් ප්‍රකාශයට පත්වෙනවා. පූර්ණ තෙත්බිමක් ලෙස මෙම භූමිය නම් කර ඇති අතර එල්ලංගා වැව් පද්ධතියකට අයත් මෙහි වැව් හතක්‌ දකින්න ලැබෙනවා. හෙක්‌ටයාර් 1357ක් (අක්‌කර 3393) විශාල මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කළේ 1997 ජුනි මස 11 වැනිදා යි.

මෙහි ක්ෂීරපායීන් විශේෂ 21ක්‌ ජීවත් වන බව හෙළි වී තිබෙනවා. තර්ජනයට ලක්‌වූ විශේෂයන් වන හඳුන් දිවියා, වල් බළලා හා උණහපුළුවා ද ඒ අතර සිටිනවා. තව ද ආනවිලුන්දාවෙන් සමනල විශේෂයන් 78ක් පමණ වාර්තා වෙනවා.

අනෙකුත් රැම්සා තෙත්බිම් 

විල්පත්තුව (jlobstertours)

මෙම රැම්සා තෙත්බිම් දෙක හැරුණු විට තවත් රැම්සා තෙත්බිම් හතරක් දකින්න ලැබෙනවා. දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය, මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය, කුමන - පානම අභය භූමිය හා අවසාන වශයෙන් 2015 දී නම් කරන ලද විල්පත්තුව එම තෙත්බිම් හතර ලෙස නම් කළ හැකි යි. 

ඊට අමතරව රැම්සා සම්මුතිය මඟින් 2018 වසරේ අන්තර්ජාතික වැදගත් තෙත්බිම් නගර කිහිපයක් ලෝකයේ රටවල් කිහිපයක නම් කරනවා. ඒ ඩුබායිහි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී යි. ඒ අනුව චීනයේ නගර 6ක් ද, ප‍්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක් හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත්බිම් ලෙස ප‍්‍රකාශයට පත් කරනවා.