Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබාදහමේ විචිත්‍ර රටා මවන ඩයටම

අප ජීවත් වන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු ග්‍රහලොවක. ජීවින් අතර පවතින මේ විවිධත්වය, පිටතින් අපිට දකින්නට ලැබෙන හැඩ, වර්ණ රටා සහ අනෙකුත් කායකර්මීය දේවල සිට අපට නොපෙනෙන අණුක මට්ටම් දක්වාම විහිදී යනවා. නිදහස් මානසිකත්වයෙන් සහ නිරීක්ෂණ දෑසකින් යුතුව අප අවට පරිසරය දෙස බලන ඕනෑම මොහොතක මේ විවිධත්වය අපට විඳගන්න පුළුවන්.

ජීවින් තුළ පවතින මේ අපූරු හැඩයන්, වර්ණ සංකලන තිබෙන්නේ අපගේ ඇසට හසුවන ලෝකය තුළ පමණක්ම නොවේ. අපට නොපෙනෙන පරිමාණය, එනම් ක්ෂුද්‍ර ලොව තුළත් ඉහත විස්තර කළ සොබාදහමේ මේ විචිත්‍රතාවය පවතිනවා. ඉතින් මේ ලිපිය හරහා විස්තර කරන්න යන්නේ අපගේ පියවි ඇසට නොපෙනෙන, එහෙත් අන්වීක්ෂීය ලොව තුළ අනේක විධ රටා මවන හැඩකාරයන් පිරිසක් වන ඩයටම ගැන යි.

ඩයටමයක්/Google Sites

මොනවද මේ ඩයටම?

සරලවම ඩයටම කියන්නේ ඇල්ගී ලෙස හඳුන්වන ජීවින්ට අයත්වන එක කාණ්ඩයක්. ඇල්ගී කියන්නේ බොහොම සංකීර්ණ විවිධත්වයක් දකින්න පුළුවන් ජීවින් සමූහයක්. කොහොමත් විද්‍යාවේ දී ජීවින් සතුව පොදුවේ පවතින ගුණාංග සහ එකිනෙකාගෙන් වෙනස් වන අන්දම තේරුම් ගැනීම උදෙසා ලස්සන වැඩක් කරනවා. ඒ තමයි ජීවින් වර්ග කරන එක. අපි එදිනෙදා ජීවිතයේ දීත් මේ ජීවින් වර්ගීකරණය යම් මට්ටමකින් සිදු කරනවා. උදාහරණයක් විදිහට ඖෂධීය වටිනාකමක් ඇති පැළෑටි, විෂ සහිත පැළෑටි වගේ වර්ගීකරණයන් දක්වන්න පුළුවන්. නමුත් ඒ හැමදෙයක්ම අපේ අවශ්‍යතා මත පදනම්ව කරන වර්ග කිරීම්. විද්‍යාවේ දී මේ වර්ගීකරණය මීට වඩා තරමක් එහාට ගෙනගොස් ජීවින් ස්වභාවිකවම වර්ග වෙන ක්‍රියාවලියක් ගොඩනඟා තිබෙනවා. ඒ නිසා මේ ලෝකය තුළ සිටින ජීවින් අතර තිබෙන පරිණාමික බන්ධූතාවය බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන්.

ඉතින් ඒ අනුව බැලුවම මේ ඩයටම කියන ඇල්ගී විශේෂය අයිති වන්නේ Protista නම් රාජධානිය තුළ තිබෙන ක්‍රිසොෆයිටා (Chrysophyta) නම් වංශයට යි. එම වංශය තුළත් වර්ග කිහිපයක් තිබෙනවා. ඒ අනුව තව දුරටත් ඩයටම බැසිලාරියෝෆිසියේ (Bacillariophyceae) නම් වර්ගයට අයත් වෙනවා.

ඩයටම කියන්නේ ලොව විශාල වශයෙන් පැතිරී ගිය ජීවින් කණ්ඩායමක්. ඔවුන් තෙතමනයක් සහිත පරිසර තත්ත්වයන් සිට කරදිය හා මිරිදිය වනි ජලජ වාසස්ථාන දක්වා පැතිරී පවතිනවා. බොහෝමයක් ඩයටම නිදහසේ පාවෙමින් දිවි ගෙවන අතර ස්වල්පයක් පමණක් ජලජ පරිසරයන් තුළ වෙසෙන ශාක හෝ වෙනත් උපස්ථරයක් මත සවිවී ජලය තුළත් ජීවත් වෙනවා. 

ඇතැම් ඇල්ගී විශේෂ අපිට පියවි ඇහැටත් දකින්න පුළුවන්. නමුත් ඩයටම විශේෂයෙන්ම පවතින්නේ ක්ෂුද්‍ර ඇල්ගී මට්ටමේ, නැත්නම් පියවි ඇසට නොපෙනෙන ඇල්ගී කාණ්ඩයක් ලෙසට යි. 

 

Pennate ඩයටම ආකාරයක්. මෙහි රන් පැහැ දුඹුරු වර්ණය ඔබට නිරීක්ෂණය කළ හැකි ද?/library.wisc.edu

ඩයමට ජීවින්ගේ ව්‍යුහාත්මක කරුණු කිහිපයක්

ඩයටම කියන්නේ තනි සෛලයකින් තැනුණු ජීවින් කොට්ඨාශයක්. නමුත් ඔවුන් ඇතැම් විට සෛල එකින් එක සම්බන්ධ වූ කොළනියක් ආකාරයෙන් වුණත් දැකගත හැකියි. මේ කොළනි ඔවුන් සාදා ගන්නේ විචිත්‍ර හැඩතල මවමින්. මේ හැඩතල රිබන් ආකාර, තාරකා ආකාර, සිග්-සැග් හැඩැති ආකාර ලෙස වූ විවිධ ජ්‍යාමිතික හැඩතල වෙන්න පුළුවන්. 

ඩයටම ප්‍රභාසංස්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්නා ජීවින්. එම ක්‍රියාවලිය උදෙසා ඔවුන්ගේ සෛල තුළ ක්ලොරොෆීල් a සහ c යන ප්‍රභාසංස්ලේෂක වර්ණක තිබෙනවා. ඊට අමතරව කැරොටීන්, සැන්තොෆීල් වැනි වර්ණකත් ඩයටම තුළ අඩංගු වෙනවා. නමුත් ඩයටම තුළ අඩංගු වන ෆියුකොසැන්තීන් නම් දුඹුරු පැහැ වර්ණකය නිසා අනෙක් වර්ණකවල ඡායාව වසා දමන අතර (වඩාත් පැහැදිලි කළහොත්, අනෙකුත් වර්ණකවල වර්ණවත් බව ඉස්මතු වීමට ඉඩ නොදීම) ඒ හේතුවෙන් ජීවි ඩයටම සෛලවලට ස්වභාවික රන් පැහැයට හුරු දුඹුරු වර්ණයක් අත්කර දී තිබෙනවා. 

ඩයටමවල ලිංගික හා අලිංගික ප්‍රජනනය එකම සටහනකින්/researchgate.net

කෙසේ නමුත් ඩයටම සෛලයක් තුළ තිබෙන සුවිශේෂත්වය මේ කිසිවක් නොවෙයි. සුවිශේෂත්වය වන්නේ ඔවුන්ගේ සෛල බිත්තිය යි. ඔවුන්ගේ සෛල බිත්තිය සිලිකාවලින් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අනුව බැලුවම ඩයටම කියන්නේ හරියට නිකම් වීදුරු ගෙවල් ඇතුළේ ජීවත් වෙන ජීවින් කොට්ඨාශයක් වගේ. මේ සිලිකා සෛල බිත්තියට විද්‍යාවේ දී කියන්නේ “Frustule” කියලා. මේ ෆ්‍රස්ටියුල් එක නැවතත් ස්ථර දෙකකින් යුක්ත යි. එක ස්ථරයකට කියන්නේ Epitheca, නැත්නම් “අපිපේටිකාව” කියලා. අනෙක් ස්ථරය “උපපේටිකාව”, නැත්නම් Hypotheca කියලා හඳුන්වනවා. මේ සෛල බිත්තිය නිසා තමයි ඩයටම ජීවින්ට අපූරු හැඩතල ලැබී තියෙන්නේ. 

සමමිතිකත්වය අනුව ඩයටම වර්ග දෙකක් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අනුව ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වන ඩයටම pennate diatoms ලෙසත්, අරීය සමමිතිය දක්වන ඩයටම centric diatoms ලෙසත් හඳුන්වනවා.

ඩයටම ජීවින්ගේ ප්‍රජනනය සිදුවන්නේ සරල ද්විකණ්ඩනය මඟින්. එය අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ද්විකණ්ඩනයේ දී සිදු වෙන්නේ වැඩිහිටි ඩයටම සෛලයේ න්‍යෂ්ඨිය හරහා බෙදීමකට ලක් වීමෙන් නව දුහිතෘ සෛල දෙකක් ඇතිවීම යි. නමුත් Pennate Diatoms සහ Centric Diatoms යන දෙවර්ගයම තම ජීවන චක්‍රය තුළ Auxospores නමැති විශේෂිත වූ සෛල ආකාරයක් සාදමින් ලිංගික ප්‍රජනනයත් සිදු කරනවා.

සෙන්ට්‍රික් ඩයටම/Science Source

අපට හුස්ම දෙන ඩයටම

අප ගන්නා ඕනෑම ආහාරයක් අප වෙත ලැබුණු ආහාර දාමය දිගේ ආපස්සට ගියහොත්, අපට හමුවන මුල්ම පුරුක වන්නේ ස්වයංපෝෂී ජීවියෙක්. ගොඩක් වෙලාවට ඒක ශාකයක් වෙන්න පුළුවන්. ශාකවලට එලෙස ස්වයංපෝෂී ලෙස ආහාර නිපදවීමට අවශ්‍ය වන දේවල් අතර හිරු එළිය කියන්නේ අත්‍යාවශ්‍ය සහ ප්‍රාථමිකම සාධකයක්. නමුත් අපි දන්නවා අපේ  පෘථිවිය 72% පමණ වපසරියකින් වැසිලා තියෙන්නේ ජලයෙන් කියලා. එසේ නම් ප්‍රාථමික නිෂ්පාදකයන්ට සිය ආහාර නිෂ්පාදනයට අවශ්‍ය හිරු එළියෙන් වැඩි කොටසක් අපතේ යන්න පුළුවන් කියලා අපට තවත් පැත්තකින් හිතන්න පුළුවන්. නමුත් ඩයටම ඇතුළු සාගර සහ මිරිදිය විල් පුරා පැතිර ගිය සුවිශාල ඇල්ගී ගහණයට පිං සිදු වන්නට එලෙස සූර්ය ශක්තිය අපතේ යෑමක් සිදුවන්නේ නැහැ. ජලජ වාසස්ථානවලත් උසස් ශාක ජීවත් වෙනවා තමයි. නමුත් ඔවුන්ගේ පැතිරීමට සාපේක්ෂව, ඒක සෛලීය මට්ටමේ සිට බහු සෛලීය මට්ටම දක්වා ඇල්ගී ජීවින් ලෝකය පුරා අනේක විධ වාසස්ථානවල පැතිරී කරන මෙම සේවය සුළුපටු නැහැ.

ඩයටම ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම පැත්තෙන් 20%ට වැඩි ධාරිතාවයකින් යුතුව ක්‍රියා කරන අතර සමුද්‍රීය වශයෙන් ප්‍රාථමික නිෂ්පාදකයෙකු ලෙස 40%ක පමණ දායකත්වයක් දරනවා. තවත් පැත්තකින් මෙම මෙහෙය සඳහන් කළහොත්, පෘථිවි වායුගෝලයට නිදහස් වෙන ඔක්සිජන්වලින් හතරෙන් එකක්ම නිපදවන්නේ මෙම තනි සෛලීය යන්ත්‍රාගාර යි. ඒ නිසා අපි, අප ගන්නා හුස්ම පොදට ණයගැති වන්නේ අපගේ ඇසට පෙනෙන සුවිසල් වෘක්‍ෂලතාදියට​ පමණක්ම නොවේ. මේ කාරණා නිසා ඔවුන් දේශගුණික විපර්යාස ක්‍රියාවලීන් සඳහාත් ප්‍රධාන දායකයින් ලෙස සම්බන්ධ වන අතර සමුද්‍ර ආහාර ජාලයේ සැලකිය යුතු පදනමක් ද සාදනවා.

රටා මවන ඩයටම කොළනි/nikonsmallworld.com

ඩයටම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව ද ඉඟි සපයන ජීවින් කොට්ඨාශයක්. නිදසුනක් වශයෙන් ඩයටම විශේෂවලට ජීවත් වීම උදෙසා සුදුසු වූ විවිධ pH පරාසයන් හා ලවණතාවයේ විවිධ පරාසයන් තියෙනවා . පෝෂක සාන්ද්‍රණය, අවලම්බනය වූ අවසාදිත ප්‍රමාණයන්, ජල ප්‍රවාහයන්, උන්නතාංශය සහ විවිධ ආකාරයේ මිනිස් ක්‍රියාකරකම් ඇතුළු අනෙකුත් පාරිසරික විචල්‍යයන් සඳහාත් ඩයටම විශේෂවලට ජීවත් විය හැකි පරාසයන් තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජලයේ ජෛව තත්ත්වය තක්සේරු කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ඩයටම ඉතා වැදගත් වනවා. එමෙන්ම ඩයටම, සෛල බිත්තියේ සිලිකා සහිත පෘථිවියේ විශාලතම සිලිකාභවනය වූ ජීවීන් කාණ්ඩය ලෙස ජෛව රසායනික ක්‍රියාවලීන් සඳහා විශාල දායකත්වයක් සපයනවා.

ඩයටමීය පස කර්මාන්ත බොහෝමයක් උදෙසා වැදගත් වෙනවා/draxe.com

ඩයටමවල ආර්ථික වැදගත්කම

වසර මිලියන ගණනක් තිස්සේ ඩයටම සෛල සිය ජීවන චක්‍රය අවසන් කිරීමෙන් පසු මළ සෛල ලෙස සාගර පතුළේ තැන්පත් වීමෙන් ඩයටමීය පස නිර්මාණය කරනවා. සිලිකාවලින් පොහොසත් මෙම පස විවිධ කර්මාන්ත උදෙසා භාවිතා කරනවා. එයට උදාහරණ ලෙස පිහිනුම් තටාකවල ජලය පිරිසිදු කිරීම සඳහා පෙරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම, විවිධ සිරප් වර්ග, මධ්‍යසාර පාන, ඖෂධ, ද්‍රාවක, සහ රසායනික ද්‍රව්‍ය පෙරීමේ කටයුතු සඳහා යොදාගැනීම පෙන්වන්න පුළුවන්. ඩයටම අංශුවල තිබෙන සියුම් ව්‍යුහය නිසා ඩයටම පසට මෙම ගුණාංගය ලැබී තිබෙනවා. ඩයටමීය පස අවසීරුම් ද්‍රව්‍යයක් වන නිසා විවිධ පොලිෂ් වර්ග, ඇතැම් විට දන්තාලේප නිපදවීමට, සහ සබන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීමට ද භාවිතා කරනවා. මෙම සිලිකාමය පස තවදුරටත් හැකිතාක් සිහින් කුඩු බවට පත් කර පළිබෝධ පාලනය සඳහා වුවත් භාවිතා කළ හැකියි. කුඩා ඩයටමීය අංශු ස්වල්ප ලෙස ආශ්වාස වීම මිනිසුන්ට හානිකර නොවන නමුත්, මැක්කන් හෝ මැස්සන් වැනි කෘමීන්ට මෙම කුඩු මාරාන්තික වෙනවා. ඉහළ සිලිකා අන්තර්ගතය නිසා මෙම කුඩු අන්වීක්ෂීය මට්ටමින් තියුණු යි. සරලවම කිව්වොත්, හොඳින් කුඩු කරපු වීදුරු වගේ. එය කෘමියෙකුගේ පිටත ආවරණයට හානි කරන අතර, මෙම සියුම් අංශු ශරීරගත වුවහොත් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව කැඩී බිඳී යන්න පවා හේතු වෙනවා.

ඒ අනුව ඩයටම කියන්නේ සොබාදහම තුළ විචිත්‍ර රටා මවන්නෙක් විතරක්ම නෙවෙයි. ජෛවීය පද්ධතීන් අතර සමතුලිතතාවය රකින වැදගත් සාමාජිකයෙක්.

 

Cover: ඩයටම අන්වීක්ෂීය ඇසින්/Wikimedia 

මූලාශ්‍රයයන්:

diatoms.org

britannica.com

sciencing.com

Related Articles