Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕසෝන් වියන සුරැකීමට ශ්‍රී ලාංකිකයන් කළ යුත්තේ කුමක් ද?

ඔබ අප සියලු දෙනා ම දන්නා විදියට ඕසෝන් ස්ථරය පෘථිවිවාසීන්ගේ තිරසාර ජිවත් වීමට අත්‍යවශ්‍ය අංගයක්. නමුත් වසර ගණනාවක් පුරාවට අපගේ නොසැලකිල්ල හා අවධානයක් නොමැතිකම නිසා එහි වටිනාකම හරිහැටි තේරුම් ගැනීමට අප අපොහොසත් වී සිටිනවා. කෙදිනක හෝ ඕසෝන් වියන අපට අහිමි වුවහොත් එහි බලපෑම අපට මෙතෙක්යැ යි කිව නොහැකි වෙනවා පමණක් නොව අතිරික්ත අහිතකර පාරජම්බුල කිරණවල බලපෑම නිසා සිදුවන මෙතෙක් නොවිඳි පිඩාවන් රාශියකට අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.

1974 වන තුරු ම විද්‍යාඥයන් විසින් ඕසෝන් වියනට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිද්ධ වන බලපෑම හඳුනාගෙන තිබුණේ නෑ. පසු ව ඔවුන් එම බලපෑම පිළිබඳ ව මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තා. ඔවුන් එහි දී පැවසූ ආකාරයට දශක ගණනාවක් පුරාවට, සමහරවිට වසර සිය ගණනක් පුරාවට කාර්මීකරණයේ හා වාණිජමය වශයෙන් සිදු වූ දියුණුව සමඟ විශාල බලපෑමක් සිදු ව තිබුණා. මෙයට මූලික වශයෙන් ම බලපා තිබුණේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හා අනෙකුත් හැලජනීකරණය වූ හයිඩ්‍රෝකාබනුයි. මේවා විශාල කාලයක් පුරාවට වායුගෝලයේ රැඳී තිබීම නිසා මෙසේ ඕසෝන් වියනට හානි වී තිබුණා. මේය ඉක්මනින් ම නතර කළ යුතු ව තිබූ ගැටලුවක් වූ නිසා මෙයට අන්තර්ජාතික ව පිළියමක් යෙදීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා.

ඕසෝන් වියනේ සිදුරු ඇති වීම, එය පවතින දුර්වල තත්ත්වය පිළිබඳ ව ප්‍රබලව පෙන්නුම් කරනවා. Image credits: Seeker

1985 ඉදිරිපත් කල වියෙනා  ගිවිසුම සැලකෙන්නේ ඕසෝන් වියන සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පළමු පියවර ලෙස යි. ඉන්පසු ව මොන්ට්‍රියාල් සම්මුතිය 1987 වසරේ අත්සන් කෙරෙන්නේ ඕසෝන් වියන ආරක්ෂා කරගැනීමේ පළමු අන්තර්ජාතික සම්මුතිය ලෙස යි. එහි ප්‍රතිඵලයක් ලෙස සම්මුතික රටවල් විසින් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් භාවිතයෙන් ක්‍රමානුකූල ව ඉවත්වීමට එකඟ වුණා. එකඟතාවට අනුව සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා වේගයෙන් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් භාවිතයෙන් ඉවත්විය යුතු ව තිබුණා. විද්‍යාඥයන්  විසින් හඳුනාගෙන තිබෙන ආකාරයට රසායනික ද්‍රව්‍ය 96ක් පමණ ඕසෝන් වියනට හිතකර නොවන බවට හඳුනාගෙන තිබෙනවා.

1987 දී අත්සන් කරන ලද මොන්ට්‍රියාල් සම්මුතිය වෙනුවෙන් පසු ව සංශෝධන කිහිපයක් එකතු වුණා. පළමුව ලන්ඩන් සංශෝධනය එකතු වුණේ 1990 දී යි. එහි දී සියලුම සංවර්ධිත රටවල් ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, හලෝන්, හා කාබන් ටෙට්රාක්ලෝරයිඩ් යන දුම් වර්ග 2000 වන විට නතර කළ යුතු වුණා. කෝපන්හේගන් සංශෝධනය (1992), මොන්ට්‍රියාල් සශෝධනය ( 1997), සහ බිජිං සශෝධනය (1999) වසරේ කළ සංශෝධනවලින් සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් අහිතකර සංඝටක ඔවුන්ගේ ආරථිකයෙන් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කාලරාමු එකතු වුනා.

2016 දී ඉදිරිපත් කරන ලද කගාලි සංශෝධනය සැලකෙන්නේ මොන්ට්‍රියාල් සම්මුතියට එකතු කරන ලද ආසන්නතම සශෝධනය ලෙස යි. මෙහි දී අවධානය යොමුව තිබුණේ හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් (HFCs) නිෂ්පාදනය හා පරිභෝජනය අවම කිරීම වෙනුවෙනුයි.

දශක ගණනාවක් පුරා කර්මාන්තවලින් නොකඩවා ඕසෝන් වියනට හානි කරන සංඝටක පිට වීම එය තුනී වී යාමට ප්‍රධාන ලෙස ම බලපෑ කාරණාවක්. Image credits: Umweltbundesamt

හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් සැලකෙන්නේ ගෝලීය දේශගුණයට අතිශයෙන් ම ප්‍රබල ලෙස හානිදායක ම හරිතාගාර වායුවක් ලෙස යි. ඉදිරි දශක තුනක කාලය තුළ මේ වායුව පරිභෝජනය 80%කින් අවම කිරීමට රටවල් 197ක් එකඟ වී තිබෙනවා.

ඕසෝන් වියන සුරැකීමේ දී ශ්‍රී ලංකාව සිටින තැන කොතැන දයන්න ඔබට ගැටලුවක් ඇති. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට සංවර්ධිත රටවලට සාපේක්ෂ ව ඕසෝන් වියනට හානිකර වායු නිකුත් කරන උපාංග ඉවත් කිරීමේ ඉලක්ක සඳහා යම් සහනයක් ලැබී තිබෙනවා.

මොන්ට්‍රියාල් සම්මුතියට අනුව සැලකීමේ දී ඕසෝන් වියනට අහිතකර ද්‍රව්‍ය ශ්‍රී ලංකාව විසින් 2020 වන විට 35%කින්, 2025 වන විට 67.5%කින්, හා 2030 වනවිට 100%කින් අඩු කළ යුතු වෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාව ඕසෝන් වියනට අහිතකර ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ අපනයන කිරීම සිදු කරන්නේ නෑ. එයට හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් ද ඇතුළත් වෙනවා. නමුත් එම ද්‍රව්‍ය ආනයනය කරනවා.

හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් භාවිතය ක්‍රමානුකූල ව අවම කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය 2013 වසරේ ලැබුණා. අද වන විට ශ්‍රී ලංකාව ඕසෝන් වියනට අහිතකර ද්‍රව්‍ය 56ක් පමණ භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

නමුත් මෙයින් අදහස් වෙන්නේ මෙය සම්පුර්ණයෙන් ම රජයේ හෝ එක්සත් ජාතීන්ගේ සම්මේලන නිසා ම සිදුවන්නක් නොවන බව යි. ඕසෝන් වියන සුරැකීම වෙනුවෙන් විශාලතම සහය ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. ඉතා කුඩා නමුත් විශාල ප්‍රමාණයක් වන මේ සහයෝගය නිසා විශාල ශක්තියක් මේ වෙනුවෙන් නිර්මාණය වී තිබෙනවා. එය ඉතා විශාල ශක්තියක්. මේ හරහා අපගේ වායුගෝලයට ධනාත්මක ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා.  

මෙය පටන් ගන්නේ තමන් මිලට ගන්න ශීතකරණය ඕසෝන් ස්ථරයට හානිකර වායු නිකුත් නොකරන බවට සැක හැර දැනගැනීම වගේ සුළු දේවල්වලින්. ශීතකරණ ගැන අවධානය යොමු කළොත් හොඳම ODS නොවන වායු වර්ග වෙන්නේ R 600A, R1234ze, NH3 (ඇමෝනියා), සහ CO2 (කාබන්ඩයොක්සයිඩ්), වායු සමීකරණ සඳහා R 290, R 32, R 1234yf, R 410A,  සහ R 407C කියන වායු සුදුසු යි. මේවා මිලට ගනිද්දී අදාළ වායු තිබෙනවා ද කියලා පරීක්ෂා කරලා බලන්න.

එමෙන්ම මේවා නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් මෙන්ම ජාතික ඕසෝන් ඒකකය 011 203 4222 අමතා මේ පිළිබඳ ව වැඩි විස්තර දැන ගන්නත් ඔබට පුළුවන්.

විද්‍යාත්මක පර්යේෂණ සහ නව පරිසර හිතකාමී තාක්ෂණයන්ගේ දියුණුවත් සමග ඕසෝන් වියන තුනී වී යාම වැළැක්වීමට අපිට ඉහළ හැකියාවක් තිබෙනවා. Image credits: Wikipedia

අපි ඉස්සර හිතන් හිටියේ ඕසෝන් වියන නිනක් අපේ හිසට ඉහළින් තියන වියනක් කියලා විතරයි. නමුත් අප වැරදි බව දැනගත් දා සිට අද දක්වා අප අපේ මුළු හැකියාව මෙය රැකගැනීම වෙනුවෙන් යෙදිය යුතු ව තිබෙනවා. එය අපගේ යුතුකමක් පමණක් නොව අප අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු වගකීමක් ද වෙනවා.

Cover:  ඕසෝන් වියන හිරුගේ පාරජම්බුල ආලෝකයට එරෙහිව පළිහක් ලෙස ක්‍රියාකරමින් පෘථිවිය මත ජීවය සුරැකීමට දායක වෙනවා. Image credits: Geography and you

Related Articles