Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ලෝත් සතුන් මෙතරම් “ස්ලෝ” ඇයි?

මුළු ජීවිත කාලයම ඉතා මන්දගාමී ජීවන රටාවක් ගත කරන ක්ෂීරපායී සත්ත්වයෙක් ගැන ඔබ අසා තිබෙනවා ද?

කොතරම් මන්දගාමීදැ යි කිවහොත්, ඇසිපිය ගැසීම පවා  සෙමින් සිදු කරන සත්ත්වයෙක් ලෝකයේ සිටිය හැකි ද?

සතුන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් ඔබ මේ සත්ත්වයා දැනටමත් හඳුනනවා ඇති.

“ස්ලෝත්” යනු දකුණු අමෙරිකා සහ මධ්‍යම අමෙරිකාවේ නිවර්තන වනාන්තර නිජ භූමිය කරගත් සත්ත්වයෙක්. වනාන්තරය තුළ කුමනාකාරයේ පෙරළියක් සිදු වුණත්, අවස්ථානුකූල ව කඩිසර වීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ අතිශය මන්දගාමී ජීවන රටාව ඒ තරමට ම ස්ථාවර යි!

පරිණාමීය උපක්‍රමයක්

දකුණු සහ මධ්‍යම අමෙරිකානු නිවර්තන වනාන්තර එවැනි සත්ත්වයකුට කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. එම වනාන්තරවල විලෝපික විවිධත්වය අධික වීම ඊට හේතුව යි. කෙසේ හෝ වේවා අප පොදුවේ ක්ෂීරපායි සතුන් ගෙන් දකින ක්‍රියාශීලි බව ස්ලෝත් වෙතින් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් ගේ රුක්වාසී ජීවිතය, ආරක්ෂාව සලසා ගැනීමේ ප්‍රබලත ම උපාය මාර්ගයක් වුවත්, මලපහ කිරීම සඳහා පොළොව සමීපයට පැමිණීමට සිදු වෙනවා. ඒ සුළු මොහොත පවා ඔවුන් විලෝපිකයකුට ගොදුරු වීමට ප්‍රමාණවත්.

ස්ලෝත් සත්ත්වයන් ගේ භූගෝලීය ව්‍යාප්තිය – slothconservation.org

 අවදානමක් තිබුණත්, ස්ලෝත් සත්ත්වයන් ගේ “මන්දගාමී බව” සුවිශේෂී ආකාරයේ පරිණාමීය උපක්‍රමයක් බව දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ ගැන ගැඹුරට විමසා බැලීමට යි දැන් සූදානම් වන්නේ.

ස්ලෝත්, මන්දගාමී වූයේ කෙසේ ද?

දැනට අනාවරණය කරගෙන ඇති ස්ලෝත් විශේෂ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදී යනවා. ඒ  “Three-toed” සහ “Two-toed” වශයෙන්. කාණ්ඩ නම් කර ඇති පරිදි ම එක් කාණ්ඩයක සිටින ස්ලෝත් සතුන් ගේ ගාත්‍රාවල ඇඟිලි හෝ දිගු නියපොතු ආකාරයේ ව්‍යුහ තුනක් දැකිය හැකි වන අතර, අනෙක් කාණ්ඩයේ සාමාජිකයන්ට ඇත්තේ එවැනි ව්‍යුහ දෙකක් පමණ යි. ඔවුන් මේවා ශාක අතුවල එල්ලී ගමන් කිරීම සඳහා භාවිත කරනවා.

ඔවුන් රුක්වාසී ජීවිතයක් ගත කරන සතුන් – www.bbc.com

මේ සියල්ලන් ම ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වී වඳව ගිය “යෝධ ස්ලෝත්” සතුන් ගේ (මොවුන් ටොන් කිහිපයක බරින් යුක්ත වූ බව පැවසෙනවා) කුඩා අනුවාද ලෙස හැඳින්විය හැකි යි.

ඔවුන් වසර 11,000 කට පමණ පෙර අවසාන අයිස් යුගයේ ජීවත් වූ අතර, පසුපස ගාත්‍රාවලින් නැඟී සිට ශාක පත්‍ර කරා ළඟා වීමට තරම් සමත්කම් දැක්වූ දැවැන්තයන්.

ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ස්ලෝත් සත්ත්වයකු ගේ කල්පිත ඉදිරිපත් කිරීමක් – maxs-blogo-saurus.com

ස්ලෝත් සතුන් ගේ ආහාර බොහෝවිට ශාක පත්‍ර මත පදනම් වෙනවා. ඔවුන් ආහාරයට ගන්නා ශාක පත්‍ර පෝෂ්‍ය පදාර්ථ අතින් ඉතා දුර්වල බැවින්, ලැබෙන අඩු කැලරි ප්‍රමාණය සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා. මේ නිසා ඔවුන්ට ඇත්තේ ඉතා මන්දගාමී පරිවෘත්තීය වේගයක්. ඔවුන් අද ගත කරන ජීවන රටාවට මන්දගාමී පරිවෘත්තීය ක්‍රියාවලිය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. නමුත්, එවැනි වෙනසක් සිදු වුණේ ඇයි?

නියත දේහ උෂ්ණත්වය

ක්ෂීරපායී සතුන් නියත දේහ අභ්‍යන්තර උෂ්ණත්වයක් පවත්වා ගෙන යන ජීවින් කොට්ඨාශයක්. බාහිර පාරිසරික උෂ්ණත්ව විචල්‍යතාවලට සාර්ථක ව මුහුණ දීමේ හැකියාවක් මෙමඟින් ලැබෙනවා. ක්ෂීරපායී සතුන් විශාල භූගෝලීය කලාපයක් තුළ විහිදී සිටින්නේ මේ නිසා යි.

නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගැනීම යනු ශක්තිය බොහෝ සෙයින් වැය වන ක්‍රියාවලියක්. එය පවත්වා ගැනීම සඳහා ශරීරයට සාපේක්ෂ ව ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමට ක්ෂීරපායි සතුන්ට සිදු වෙනවා. ස්ලෝත් සතුන් ද නියත දේහ උෂ්ණත්වයක් පවත්වා ගෙන යන ක්ෂීරපායි විශේෂයක්. නමුත්, ඔවුන් ජීවත් වන පරිසර පද්ධතියේ (නිවර්තන වනාන්තර) පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ නිවර්තන වනාන්තර යනු සාපේක්ෂ ව උණුසුමින් සහ තෙතමනයෙන් වැඩි පරිසර පද්ධතියක් වීම යි.

ශරීරයේ පාසි බැඳෙන තරම් අලසයෙකු මෙන් පෙණුනත්, සත්‍යය ඊට වඩා බෙහෙවින් වෙනස් – www.bbc.com

එබැවින්, ශරීර අභ්‍යන්තර තාප නියාමන ක්‍රියාවලියේ විශාල අවශ්‍යතාවක් ස්ලෝත්වරුන්ට ඇති වන්නේ නැහැ. පරිසරය ස්වභාවයෙන්ම උණුසුම් බැවින්, මාංශ පේශී සහ හෘද වාහිනී පද්ධතිය උණුසුම්ව තබා ගැනීම සඳහා ඔවුන්ට විශාල ශක්තියක් වැය කිරීමට අවශ්‍ය නොවන බව මින් අදහස් වෙනවා.

චලතාපියෙක් වැනි අචලතාපියෙක්

ස්ලෝත්වරුන්, සාම්ප්‍රදායික ක්ෂීරපායින්ට වඩා වෙනස් මඟක් ගනිමින් යම්තාක් දුරකට සිය ශරීර අභ්‍යන්තර තාප නියාමන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය ඉතිරි කර ගැනීමට සමත් වුණා. තවදුරටත් පැහැදිලි කළහොත්, අනෙකුත් ක්ෂීරපායි සතුන්ට සාපේක්ෂ ව නියත දේහ අභ්‍යන්තර උෂ්ණත්වයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවෙන් ඉවත් වීමට ඔවුන්ට හැකි වුණා. ඒ සඳහා ශක්තිය ඉතිරි කිරීමට රුකුල් දෙන මන්දගාමී ජීවන රටාවක් කරා ස්ලෝත්වරුන් විකාශනය වූ බව නිගමනය කළ හැකි යි. මෙම වෙනස නිසා ඔවුන්ට නිවර්තන වනාන්තර වැනි කුඩා භූගෝලීය කලාපයකට සීමා වීමටත් සිදු වුණා.

සංරක්ෂණ ක්‍රියාදාමයේ දී ඉහළ අවධානයකට ලක් වූ සත්ත්ව කොට්ඨාශයක් ලෙස ස්ලෝත් හැඳින්විය හැකි යි – slothconservation.org

ස්ලෝත් ගේ ගස් මත පදනම් වූ ජීවිතය (රුක්වාසී) නිසා වනාන්තරයේ දරුණුත ම විලෝපිකයෙක් වන ජගුවරයන් ගෙන් එල්ල වන අවදානම අවම යි. එබැවින්, ක්ෂණික ප්‍රතික්‍රියා දක්වමින් සතුරා ගෙන් ඉවත් වීමේ හැකියාව ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. උදෑසනින් ම තුරු වියන කරා ගමන් කොට සූර්යයා ගෙන් යම් ශක්තියක් ලබා ගැනීම ස්ලෝත් සතුන් ගේ දින චර්යාවේ කොටසක්. ශරීරය වඩාත් උණුසුම් වූ විට ඔවුන් නැවතත් සෙවණ සහිත ස්ථරයට පැමිණෙනවා. මේ චර්යා රටාව වඩාත් සමීප වන්නේ ක්ෂීරපායී සතුන්ට නොව උරගයන් වැනි චලතාපීන්ට යි.

හරිත වැස්මේ ආරක්ෂාව

ස්ලෝත් සතකු හොඳින් නිරීක්ෂණය කළ විට ඔවුන් ගේ ලෝම හරිත පැහැයට හැරී ඇති අන්දම දකින්නට පුළුවන්. පාසි හෝ ඇල්ගී ශරීරය මත වැඩීමට තරම් ඔවුන් නිශ්චල හෝ මන්දගාමීයැ යි කෙනකුට හැඟුනත්, සැබැවින්ම එය සහජීවි සබඳතාවක් බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඔවුන් ගේ ලෝම විශේෂ ආකාරයකින් සැකසී ඇති අතර, ඇල්ගී හෝ පාසි වර්ග වැඩීමට අවැසි අවකාශ එමඟින් සැපයෙනවා. එපමණක් නොව, දිලීර වර්ධනයට පවා ඉඩ හසර ලබා දීමට ස්ලෝත් ශරීරය පසුබට වන්නේ නැහැ.

ලෝම ආවරණය මත හොඳින් ඇල්ගී වර්ධනය වූ සත්ත්වයෙක් – www.discoverwildlife.com

නිසැකව ම ඔවුන් අහිංසකයන්. ඒ වගේ ම ඉක්මනින් අනතුරට පත් විය හැකි සත්ත්වයෙක්. රුක්වාසී ජීවිතය භෞමික විලෝපිකයන් ගෙන් ගැලවීම සඳහා උපක්‍රමයක් වුවත්, තුරු වියනට ළඟා විය හැකි අනතුරුවලින් ඔවුන් ගැලවිය යුතු යි. විලෝපිකයෙක් සමඟ සටන් කිරීමට තරම්වත් ස්ලෝත්වරුන්ට ශක්තිය නැහැ. එබැවින්, බාහිර පරිසරයේ වර්ණ සමඟ මුසුවීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇති වෙනවා. ශරීරයේ වැඩෙන ඇල්ගී, පාසි සහ දිලීර වර්ග එම අවශ්‍යතාව තෘප්ත කරන බව සිතිය හැකි යි. වේෂාන්තරණය වූ ආසන්න වශයෙන් නිශ්චල වස්තුවක් හඳුනා ගැනීම කොතරම් දුෂ්කර ද!

සෙමින් ගියත් දුර්වලයන් නොවෙයි!

හරිත වැස්මේ ප්‍රයෝජනය එතැනින් නතර වන්නේත් නැහැ. ස්ලෝත් සතුන් තම ලොම් මත වැවෙන ඇල්ගී ලෙවකන අන්දම විද්‍යාඥයන් නීරික්ෂණය කර තිබෙනවා. එමඟින් ඔවුන්ට අමතර පෝෂක ප්‍රමාණයක් සිරුරට ඇතුළු කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ස්ලෝත් සතුන් හමුවේ ඇති පරපෝෂිත අවදානමත් අවම යි. ඔවුන් ගේ ලොම්, ජලයට ප්‍රතිරෝධී ස්වභාවයක් දැරීම ඊට හේතුව වෙනවා. පරපෝෂිතයකුට ජලය නොරැඳෙන පරිසරයක ස්ථාවර වීම තරමක දුෂ්කර කාර්යයක්. 

ඔවුන්ට පොළොව මත ඇවිදීම යනු ඉතා දුෂ්කර කාර්යයක් – www.youtube.com

ස්ලෝත් සතුන් මන්දගාමී වූ පමණින් දුර්වලයන් ලෙස සැලකිය නොහැකි යි. මිනිසකු ගේ බාහු ශක්තිය සමඟ සංසන්දනය කිරීමේ දී ස්ලෝත් සතකුගේ බාහු ශක්තිය ඉතා ඉහළ යි. නමුත්, ඔවුන් ගේ පාද ශරීර ස්කන්ධයටවත් උපකාර වන අන්දමින් සැකසී නැහැ. එබැවින්, ඔවුන්ට පොළොව මත ඇවිදීම යනු ඉතා දුෂ්කර කාර්යයක්.

එක ගැටලුවක් ඉතිරි යි

මන්දගාමී ජීවන රටාවට හානි පූර්ණයක් වශයෙන් ස්ලෝත් සතුන්ට බොහෝ දේ සොබාදහම ලබා දී ඇති බව ඔබට වැටහෙනවා ඇති. විලෝපික අවදානම ඉතා හොඳින් පවතින පරිසර පද්ධතියක ජීවත් වුවත්, රුක්වාසී ජීවිතය, පසුබිම් වර්ණයට මුසු වෙමින් නිශ්චල ව සිටීමේ හැකියාව හරහා ඔවුන් සිය ආරක්ෂාව සලසා ගන්නවා. තවත් එක් කාරණයක් පැහැදිලි කරගත යුතු යි.

ලිපියේ එක් තැනක ස්ලෝත් සතකුට මලපහ කිරීම සඳහා පොළෝ මට්ටමට පැමිණීමට සිදුවන බව අප සඳහන් කළා. ශරීර කෘත්‍ය සිදු කිරීමට ගත වන කාලය සහ නැවත තුරු වියන වෙත ළඟා වීමට ගත වන කාලය සැලකීමේ දී ස්ලෝත් සත්ත්වයකු විලෝපිකයකු ගේ ගොදුරක් වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. එවැනි කාර්යයක් සඳහා මෙතරම් අවදානමක් ඔවුන්ට දරන්න සිද්ධ වුණේ කුමන හේතුවක් මත ද?

ඒ සඳහා නිශ්චිත පිළිතුරක් තව ම නැහැ. උපකල්පන හරහා සිදු කරන පැහැදිලි කිරීම්වලින් පමණක් සෑහීමට පත් වෙන්නට සිදු වෙනවා.

සලබ උපකල්පිතය

ශක්තිය වැය කරමින් සහ විලෝපික අවදානම හිස දරා ගනිමින් “ශරීර කෘත්‍යය” වැනි සරල ක්‍රියාවක් සඳහා ස්ලෝත් සතකු ගසෙන් පහළට බසින්නේ කිසියම් වාසියක් උදෙසා විය යුතු යි. හේතු දැක්වීම් කොතෙක් තිබුණත්, “සලබ උපකල්පිතයට” වැඩි පිළි ගැනීමක් ලැබෙන්නේ ඒ නිසා යි.

ස්ලෝත් සතකු ගේ ලෝම ආවරණය කුඩා පරිසර පද්ධතියකට සමාන කළ හැකි යි. ඇල්ගී, දිලීර, පාසිවලට අමතර ව කුඩා කෘමීන් ද එහි වාසය කරනවා. මේ ජීවින් අතුරින් බොහෝමයක් දැකිය හැක්කේ ස්ලෝත් ගේ ලෝම ආවරණය තුළ පමණ යි. වෙනත් තැනක ඔවුන් දකින්නට ලැබෙන්නේ නැහැ. Cryptoses නමැති සලබ විශේෂයත් ස්ලෝත් සපයා දුන් කුඩා ලෝකයට සීමා වූ සාමාජිකයෙක්. එම සලබයන් ගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීමට නම්, ඔවුන්ට නිවහන සපයන “ස්ලෝත් ස්වාමියා” පහළට පැමිණිය යුතු යි.

ලෝම මත සිටින සලබයන් – slothconservation.org

ස්ලෝත් සතකු පහළට විත් ශරීර කෘත්‍යය සිදු කරන අතරතුර ගැහැනු සලබයන් ලෝම ආවරණයෙන් ඉවත් වී මලපහ මත බිත්තර දැමීම සිදු කරනවා. යටි රෝපණයේ ජීවිතය අරඹන සලබ කීටයන් වැඩිවියට පත් වූ පසු නැවතත් තුරු වියනට පියාඹා ගොස් ස්ලෝත් සත්ත්වයකු ගෙන් පිහිට පතනවා.

දැන් තවත් ගැටලුවක් පැන නඟිනවා.

එකිනෙකා ගෙන් වෙන් විය නොහැකි තරමේ සහජීවි සම්බන්ධයක් Cryptoses සලබයා සහ ස්ලෝත් අතර පවතිනවා ද?

මාරාන්තික කැප කිරීමක් ද?

පර්යේෂණවලට අනුව ස්ලෝත් ගේ ලෝම ආවරණය මත සිටින ඇල්ගී ප්‍රමාණය, සලබයන් සංඛ්‍යාව සහ ලොම් මත ඇති නයිට්‍රජන් ප්‍රමාණය යන සියල්ල එකිනෙකට සම්බන්ධ බව පැවසෙනවා. ස්ලෝත් සතකු සතුව වැඩි සලබ ගහණයක් සිටී නම්, එහි ඉහළ ඇල්ගී වර්ධනයක් සහ ඉහළ නයිට්‍රජන් ප්‍රමාණයක් නිරීක්ෂණය කළ හැකි යි. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට ඇල්ගී වර්ධනය ඉහළ දැමීමේ හැකියාවක් මේ සලබයන් සතුව පවතිනවා.

Cryptoses සලබයන් ගේ ජීවන චක්‍රය සැකෙවින් – royalsocietypublishing.org

ශරීරය මත වැඩෙන ඇල්ගී, ස්ලෝත් සතුන්ට වැදගත් ආහාර ප්‍රභවයක් වන අතර, ඒවා මේද සංයුතියෙන් ද ඉහළ යි. ස්ලෝත් ආහාරයට ගන්නා ශාක පත්‍රවලින් එම මේද අවශ්‍යතාව එතරම් සම්පූර්ණ වන්නේ නැහැ. ඇල්ගී ආවරණය සැඟ ව සිටීම සඳහා ස්ලෝත්වරුන්ට රුකුලක් වන බවත් අප ඉහත සඳහන් කළා.

ප්‍රතිඋපකාරයක් ලෙස ස්ලෝත් සතුන් වනාන්තරයේ පහළට ගොස් Cryptoses සලබයන් ගේ ජීවන චක්‍රයට උපකාර කරනවා විය හැකි යි. නමුත්, එය විශාල කැප කිරීමක්. ස්ලෝත් සතුන් බොහෝමයක් විලෝපිකයන්ට ගොදුරු වන්නේ ශරීර කෘත්‍යය සිදු කරන අතරතුර යි.

සමතුලිතතාව රැක ගැනීම සඳහා එක් එක් සත්ත්වයාට සොබාදහම වගකීම් පනවන අයුරු අපූරුයි නේද?

කවරයේ ඡායාරූපය: ස්ලෝත් සතුන් මන්දගාමී ජීවිතයක් ගත කළ ද ඔවුන් දුර්වලයින් නොවෙයි - slothconservation.org
මූලාශ්‍ර:
kids.nationalgeographic.com
www.bbc.com
Slothconservation.org
www.nationalgeographic.com

Related Articles