Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිමාල අඩවියේ ජීවත්වන අපූරු සත්ත්ව විශේෂ 5ක්

ලෝකයේ වඩාත් උසකින් පිහිටි කඳුවැටිය වන හිමාලයෙන් වැඩි කොටසක් ඉන්දියාව,නේපාලය සහ භූතානය යන රටවල්වලට අයත්. හිමාලය ඉහළ උන්නතාංශයක පිහිටා තිබෙන ප්‍රදේශයක් නිසා එහි පවතින්නේ අමුතු ම ආකාරයේ දේශගුණික රටාවක්. හිමාල අඩවියේ තිබෙන පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ද විශාල පරාසයක් පුරා විසිරී පවතිනවා.

නිතරම දේශගුණික වෙනස්කම්වලට භාජනය වන එම ප්‍රදේශ ආශ්‍රිත ව විවිධ සතුන් වර්ග ජීවත් වෙනවා. එම සතුන්ගෙන් සමහරක් හිමාලයට ආවේණික යි. අධික සීතල දේශගුණික රටාවකට හැඩ ගැසී සිටින එම සතුන්ගේ ජීවන රටාවේ අපූරු ගති ලක්ෂණ දක්නට ලැබෙනවා. ඉන්

1). හිමාලයානු නිල් බැටළුවා 

මෙම අපූරු බැටළු විශේෂය හිමාල අඩවියේ මීටර් 1200-1800ක් තරම් උස් බිම්වල පාෂාණ වැටි ආශ්‍රිත ව ජීවත් වෙනවා. ඉන්දීය ජනයා භාරාල් ලෙසින් හඳුන්වන මෙම බැටළු විශේෂය නේපාල වැසියන් හඳුන්වන්නේ නාවර් ලෙස යි. සිරුරේ දිග අඩි 4-5 පමණ වන මෙම බැටළු විශේෂයේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 75ක්.

නිල් සහ අළු මිශ්‍ර කෙටි ලොම් මෙම බැටළුවන්ගේ සිරුරේ පිහිටා තිබෙනවා. උන්ට හිමාලයානු නිල් බැටළුවා යන නම ලැබී ඇත්තේ ද ඒ නිසා යි. මෙම සත්ත්ව විශේෂය රංචු වශයෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් එක් රංචුවක බැටළුවන් 10 දෙනකු පමණ සිටිනවා.

හිමාලයානු නිල් බැටළුවෙක්- gettyimages.com

 

හිමාලයානු නිල් බැටළුවන් ප්‍රධාන වශයෙන් තණකොළ ආහාරයට ගන්නවා. තණකොළ හිඟවන කාලයට උන් ඔසු පැළෑටි හෝ පඳුරුවල කොළ ආහාරයට ගන්නවා. කඳුකරයේ ජීවත් වන මෙම බැටළු විශේෂයට හිම දිවියන්ගෙන් නිතර ම තර්ජන එල්ල වෙනවා. එනිසා උන් කඳුකරයේ ගල් වැටි ආශ්‍රිත ව සැඟ වී සිටිමින් සිය සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා.

 සතුරන් පැමිණි විට උන් ගල් අතර සැඟ වී නොසෙල් වී සිටිනවා. ගල් වැටිවල වර්ණය සහ මෙම බැටළුවන්ගේ වර්ණය තරමක් දුරට සමාන නිසා සතුරාට එක් වර ම නිල් බැටළුවා හඳුනා ගැනීමට අපහසු යි. එනිසා බැටළුවාට සතුරාගෙන් බේරී හීන් සීරුවේ පලා යාමට අවස්ථාව ලැබෙනවා.

නිල් බැටළුවන් කිහිපදෙනෙක් – gettyimages.com

 

2). හිමාලයානු කළු වලසා 

හිමාලයානු කළු වලසා ආසියාතික කළු වලසා ලෙසින් ද හඳුන්වනවා. හොඳින් වැඩුණු වලසකුගේ සිරුරේ දිග අඩි 5ක්ද බර කිලෝ ග්‍රෑම් 120ක් පමණ වෙනවා. අලංකාර දිළිසෙන කළු ලෝමවලින් සෑදුණු සිරුරකින් යුත් මෙම වලසුන් විශේෂය උසින් මීටර් 3000-3500 අතර ප්‍රදේශවල ජීවත් වෙනවා.

හිමාලයානු කළු වලසා  එතරම් උස බිම් ප්‍රදේශවල ගිම්හාන කාලය ගත කළත් ශීත කාලය ගත කිරීමට තරමක් පහළ ප්‍රදේශවලට පැමිණෙනවා. කඳු සහ ගස් නැගීමට දක්ෂ මෙම සතුන් දිවා කාලයේ දී ගස්වල අතු මත වාසය කරනවා. සර්ව භක්ෂක වන මොවුන් කුඩා සතුන්, මී පැණි, පලතුරු, මුල් වැනි දේවල් බහුල ව ආහාරයට ගන්නවා. නමුත් ශීත කාලයේ දී වලසුන් එක තැනකට වී නිදා ගැනීමට ප්‍රිය කරන නිසා ශීත කාලය එළඹීමට පෙර උන් මේදය බහුල ආහාර ගැනීමට පුරුදු ව සිටිනවා. 

හිමාලයානු කළු වලසා  – gettyimages.com

 

ඈත අතීතයේ දී හිමාලයානු කළු වලසුන් හිමාල අඩවියේ සුලබ ව දක්නට ලැබුණා. වනාන්තර විනාශය සහ දඩයම් කිරීම හේතුවෙන් මෙම වලසුන්ගේ ගහණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එනිසා සොබාදහම සංරක්ෂණය සඳහා වුණු ජාත්‍යන්තර සංගමය (IUCN) මෙම සත්ත්ව විශේෂය අවදානමට ලක්විය හැකි සත්ත්ව විශේෂයක් ලෙසින් වර්ගීකරණය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් හිමාලයානු කළු වලසා ආරක්ෂා කිරීම සඳහා බොහෝ පාර්ශවවල අවධානය යොමු ව තිබීම සතුටට කරුණක්. 

ගසක් උඩ සිටින කළු වලසෙක් – www.wikimedia.org

 

3). හිම දිවියා 

හිමාල අඩවියේ ජීවත් වන අපූරු සත්ත්වයකු වන හිම දිවියා පාෂාණ සහිත කඳුකර ප්‍රදේශවල වැඩිපුර ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් කටුක පරිසරවල ජීවත්වීමට අනුවර්තනය වී සිටින මෙම සත්ත්ව විශේෂය, ගිම්හාන කාලයේ දී මීටර් 2500-6000 තරම් උස් බිම්වල වාසය කළත් ශීත කාලය එළඹෙන විට පහත් බිම් ප්‍රදේශ කරා පැමිණෙනවා.

හොඳින් වැඩුණු හිම දිවියකු දිගින් අඩි 4ක් සහ බරින් කිලෝ ග්‍රෑම් 75ක් පමණ වෙනවා. ශරීරයේ තාපය මනාව සමතුලිත කර ගැනීමට හැකියාවක් තිබෙන මෙම දිවියන්ට, පැනීමක දී සිරුරේ සමතුලිතතාව පවත්වා ගැනීමට දිගු වලිගය සහාය වනවා.

හිම දිවියෙක් – gettyimages.com

 

හිම දිවියන්ගේ පාද, හිම මත පහසුවෙන් ඇවිද යා හැකි ආකාරයට සකස් වී තිබෙනවා. වේගයෙන් දිව යා හැකි සත්ත්ව විශේෂයක් වන හිම දිවියා හිමාල අඩවියේ සිටින දක්ෂ දඩයක්කරුවකු ලෙසින් ප්‍රසිද්ධ යි. මෙම දිවියන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වන සත්ත්ව විශේෂ අතරට නිල් බැටළුවන්, මාමොට් සහ හාවුන් අයත් වෙනවා. හිමාල අඩවියේ ජීවත් වන කුඩා සත්ත්ව විශේෂ බොහොමයකගේ ප්‍රධාන විලෝපිකයා බවට පත් ව සිටින්නේ හිම දිවියා යි. එනිසා හිම දිවියන්ට ආහාරවලින් නම් අඩුවක් නැහැ. 

හිමෙහි ඇවිද යන හිම දිවියෙක් – gettyimages.com

 

4). හිමාලයන් මොනාල් පක්ෂියා 

වර්ණවත් පක්ෂියකු වන හිමාලයානු මොනාල් හිමාල අඩවියේ සිටින වඩාත් අලංකාර පක්ෂියෙක්. මොනාල් පක්ෂියාගේ අලංකාර බව නිසා ම නේපාලයේ ජාතික පක්ෂියා වශයෙන් ද  නම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් මීටර් 2000-4000 තරම් උස්බිම්වල වාසය කරන මෙම පක්ෂි විශේෂය විවෘත හෝ මිශ්‍ර වනාන්තර ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

පිරිමි හිමාලයානු මොනාල් කුරුල්ලාගේ සිරුරේ නිල්, කොළ, දම්, රතු වර්ණවලින් යුත් පිහාටු දක්නට ලැබෙනවා. එනිසා මෙම පක්ෂියාට විශාල ආකර්ෂණයක් හිමි ව තිබෙනවා. පිරිමි මොනාල් පක්ෂියා අලංකාර වුණත් ගැහැනු මොනාල් පක්ෂියා වර්ණවත් නැහැ. උන්ගේ සිරුරේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කළු-දුඹුරු වර්ණවලින් යුක්ත පිහාටු යි. රංචු වශයෙන් ජීවත් වන මෙම පක්ෂි විශේෂය සන්නිවේදන කටයුතු සඳහා විවිධ ශබ්ද භාවිත කරනවා. ප්‍රජනන සමයේ දී කාන්තා පක්ෂීන් ආකර්ෂණය කරගැනීම සඳහා පිරිමි පක්ෂියා නඟන හඬ විශේෂ යි. 

පිරිමි හිමාලයානු මොනාල් පක්ෂියෙක් – gettyimages.com

 

5). රතු පැන්ඩා 

විශාල වලිගයක් සහිත බළලකු තරම් ප්‍රමාණයෙන් විශාල සත්ත්වයකු වන රතු පැන්ඩාගේ සිරුරේ දිගු රතු ලෝම දක්නට ලැබෙනවා. හොඳින් වැඩුණු රතු පැන්ඩකු අඩි 2කට වඩා දිග යි. නිශාචර සත්ත්වයකු වන රතු පැන්ඩා දහවල් කාලයේ දී ගස්වල අතු මත නිදා ගෙන සිටිනවා. රාත්‍රී කාලයේ දී උන් ආහාර සොයමින් වනය පුරා ඇවිදිනවා

ඒ අයුරින් රාත්‍රී කාලයේ දී ආහාර සොයා යන නිසා හිම දිවියන් වැනි භයානක සතුන්ගෙන් රතු පැන්ඩාට වැඩි තර්ජනයක් එල්ල වන්නේ නැහැ. ශාක පත්‍ර, පලතුරු, මුල් සහ කුරුලු බිත්තර රතු පැන්ඩා සතුන්ගේ ප්‍රධාන ආහාර යි. දඩයම් කිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් වඳ වී යන රතු පැන්ඩාවන් වඳ වී යමින් පවතින සතුන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් කර තිබෙනවා.

රතු පැන්ඩා – gettyimages.com

 

 

කවරයේ ඡායාරූපය- රතු පැන්ඩා සත්ත්වයෙක් - gettyimages.com

මූලාශ්‍ර:

peakadventuretour.com

tourmyindia.com

themysteriousworld.com

insidehimalayas.com

Related Articles