Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්ත්ව වැඩකරුවන්ගේ අපූරු නිමැවුම්

ස්වභාව ධර්මයේ නිමැවුම් අපූරු යි. සෑම විට සුන්දරත්වයෙන් අනූන සහ පරිසර හිතකාමී එවැනි නිර්මාණ ගොඩ නැංවීම ඇතැම් විටෙක සිදු කරන්නේ දෑසට නොපෙනන කුඩා ජීවීන් විසින්. සත්ත්ව ලෝකයේ දක්ෂ වැඩකරුවන් නිසි සැලැස්මක් පවා නොමැති ව ගොඩ නංවන නිර්මාණ අතරේ දැවැන්ත ප්‍රාකාර, කුඩා දූපත් මෙන් ම ස්වභාවික සිසිලන පද්ධති ද පවතිනවා. මේ සත්ත්ව වැඩකරුවන් විසින් මිහිමඩලට දායාද කරන ලද එවැනි අපූරු නිමැවුම් කිහිපයක් ගැන තොරතුරු යි.

මුහුදු පතුලේ දූපත් ගොඩ නංවන්නෝ

ජනපද ලෙස වැඩෙන ‘කොරල්පර’ ස්වභාව ධර්මයේ අද්විතීය ජීව ව්‍යුහයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් කොරල්පරයක් නිර්මාණය වන්නේ බිලියන ගණනක් වූ කුඩා බහුපාදීන් එක්වීමෙන් නිම වූ දැවැන්ත කැල්සයිට් තට්ටු හේතුවෙන්. නමුත් බෙල්ලන්, මත්ස්‍යයින්, මුහුදු හතු සහ මුහුදු ඉකිරියන් බොහෝ විට මෙසේ නිර්මාණය වූ කොරල්පර ටිකෙන් ටික සපා කෑම හේතුවෙන් ඒවා ඛාදනයට ලක් වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නැවත හැඩගැස්විය (reshape) හැකි මුහුදු වැලි සහ ඇතැම් විටෙක කුඩා දූපත් පවා නිර්මාණය වීම යි.

© Pedro Plassen Lopes / Flickr

නමුත් මුහුදු පතුලේ දූපත් ගොඩ නැංවීම සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගිරා මාළුන් හෙවත් parrotfish විසින් බව යි සඳහන් වන්නේ. බාහිර ජෛව ඛාදන නියෝජිතයන් (external bio erosion agents) ලෙස කටයුතු කරන ඔවුන් කොරල්පර ලෑටිගෑමේ අතුරු ඵලයක් ලෙස විශාල වශයෙන් කාබනේට් අවසාදිත නිෂ්පාදනය කිරීම සිදු කරනවා. 2015 වර්ෂයේ දී ඇමෙරිකානු භූ විද්‍යා සංගමය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ සෑම වර්ෂයක දී ගිරා මාළුන්ගේ කාබනේට් අවසාදිත රාත්තල් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් මාල දිවයින සතු වාක්කාරු දූපතට අලුතෙන් එක් වන බව යි.

ඉපැරණි ඛනිජ බුමුතුරුණු

පෘථිවිය මත ජීවිය ඇති වූ දිනයේ පටන් ම සත්ත්ව ලෝකයේ වැඩකරුවන් තම නිර්මාණකරණ කටයුතු සිදු කර ඇති බවට පවතින හොඳම සාක්ෂියක් වන්නේ ‘ස්ට්‍රෝමෙටලයිස්’ ස්වරූපයෙන් ඇති ඉපැරණි ෆොසිල යි. සයනොබැක්ටීරියා ලෙස හඳුන්වනු ලබන ජලයේ වාසය කරන ප්‍රභාසංස්ලේෂක ක්ෂුද්‍ර ජීවී ජනපද විසින් නිර්මාණය කරන ස්තර කිහිපයකින් යුතු ව්‍යුහයන් ‘ස්ට්‍රෝමෙටලයිස්’ ලෙස සැලකෙනවා. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් කැල්සයිට් නිෂ්පාදනය සඳහා පදනම සපයන අතර එසේ නිම වූ කැල්සයිට්, ක්ෂුද්‍ර ජීවීන්ගේ ඇලෙන සුලු බාහිර සූත්‍රිකා මත තැන්පත් වීම සිදු වෙනවා. ඉන් අනතුරු ව වසර මිලියන ගණනාවක් ගත වී යන්නේ කැල්සයිට් තැන්පත් වූ ක්ෂුද්‍ර ජීවී ෆොසිල, ඝනකම් ඛනිජ බුමුතුරුණක් (mineral mat)  බවට පත් කරමින්.

© Intomundo / Flickr

මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ දැනට සොයාගෙන ඇති පැරණි ම ‘ස්ට්‍රෝමෙටලයිස්’ අදින් වසර බිලියන 3.48 – 3.7 කට පමණ පෙර නිර්මාණය වූ ඒවා බව යි. එසේ ම බටහිර ඕස්ට්‍රේලියාවේ මෝර බොක්ක ආශ්‍රිත ව තවමත් ජීවී තත්ත්වයේ පවතින විශේෂ අටකට පමණ අයත් ‘ස්ට්‍රෝමෙටලයිස්’ දැක ගැනීමට හැකියාව පවතිනවා.

සොඳුරු දූවිලි දෙව් මැදුරු

දිලීර වගාවේ යෙදෙන වේයන් (fungus-farming termites) විසින් හැඩයෙන් උසැති දෙව් මැදුරකට සමාන ගොඩැලි (හුඹස්) නිර්මාණය කරන බව යි වාර්තා වන්නේ. අඩි හතක් පමණ උසකින් යුතු මෙම ගොඩැලි ඔවුන්ගේ පොළොව යට පිහිටි කූඩු ආවරණය වන ආකාරයට නිම කිරීම සිදු කරන අතර ස්වභාවික සිසිලන පද්ධතියක් ලෙස ද ක්‍රියා කරනවා. මෙහි මූලික අරමුණ වන්නේ වේයන් විසින් ආහාරයට ගනු ලබන දිලීර නිසි පරිදි වැඩීම සඳහා අවැසි ක්ෂුද්‍ර දේශගුණික කලාපයක් කූඩුව තුළ ඇති කිරීම යි.

© Flickr

එසේ ම 2015 වර්ෂයේ දී සිදු කරන ලද පර්යේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ වේයන් විසින් නිම වන මෙම ගොඩැලි ක්‍රියාත්මක වන්නේ දිවා-රාත්‍රී කාලයේ දී උෂ්ණත්වයේ සිදු වන වෙනස්වීමෙන් ලැබෙන වාසිය මත බව යි. දවල් කාලයේ දී ගොඩැල්ලේ මධ්‍යම කවුළුවට වඩා වැඩි වේගයෙන් එහි පිටත කයිරුව (buttress) රත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කයිරුව තුළ ඇති උණුසුම් වාතය ඉහළ ගොස් මධ්‍යම කවුළුව සතු සිසිල් වාතය පහළ බසිනවා. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ගොඩැල්ල තුළ වාත සංසරණය සඳහා ඉඩ සැලසෙන අතර සෑම විට ම කූඩුවට නිසි පරිදි වාතාශ්‍රය ලැබීම සිදු වෙනවා. රාත්‍රී කාලයේ දී සිදු වන්නේ මෙම ක්‍රියාවලියේ ම පරස්පරය යි.

බීවර් සතුන්ගේ ස්වභාවික වේලි

පුළුල් වලිගයක් සහිත ප්‍රමාණයෙන් තරමක් විශාල කෘදන්තයින් වන බීවර් සතුන් සත්ත්ව ලෝකයේ වඩාත් ප්‍රකට වී ඇත්තේ ඔවුන් විසින් ගොඩ නංවන දැවමය වේලි හේතුවෙන්. ඔවුන් විසින් වාසස්ථාන ලෙස යොදා ගැනීම සඳහා ගැඹුරු පොකුණු නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වන දැවමය වේලි, බීවර් සතුන් ව විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරන ක්ෂේමස්ථාන ලෙස ද කටයුතු කරනවා. මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ යුරෝපීය ජාතිකයන් උතුරු ඇමෙරිකාවට පැමිණීමට පෙර දැවමය අවසාදිත ඝන අඩි බිලියන ගණනාවක් රඳවා ගත් බීවර් වේලි මිලියන කිහිපයක් ම මහද්වීපය පුරා විසිරී පැවතුණු බව යි.

(© Parks Canada) ලොව විශාලත ම බීවර් වේල්ල

මේ වන විට ලොව පුරා බීවර් ජනගහණය තරමක් අඩු වී පැවතුණ ද ඔවුන් තවමත් ක්‍රියාකාරී ව ස්වභාවික වේලි තැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටිනවා. දැනට සොයාගෙන ඇති විශාලත ම බීවර් වේල්ල කැනඩාවේ වුඩ් බෆලෝ ජාතික උද්‍යානයේ පිහිටා ඇති අතර එය පළලින් සැතපුම් භාගයකට ආසන්න යි. එම බීවර් වේල්ල ප්‍රමාණයෙන් විශාල වෙනවා සේ ම කුඩා වනාන්තරයක් නිර්මාණය වීමට අවැසි තරම් පැරණි බව යි ජාතික උද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජීවමාන සුවිසල් කොරල්පරය

ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග වෙරළ තීරයේ සැතපුම් 1,400 ක දුරක් ආවරණය කරන ‘මහා බාධක පරය’ දැනට මිහිමත පවතින විශාලත ම ජීවමාන ව්‍යුහය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ජීව විද්‍යාත්මක පුදුමයක් ලෙස සැලකිය හැකි එය නිර්මාණය වී ඇත්තේ ස්වාධීන කොරල්පර 3,863 ක් එක්වීමෙන්. එසේ ම මහා බාධක පරය, මත්ස්‍ය විශේෂ 1,600 ක්, මුහුදු කැස්බෑ විශේෂ 6 ක්, මුහුදු ක්ෂීරපායී විශේෂ 30 ක්, මුහුදු සර්ප විශේෂ 14 ක් ඇතුළු මුහුදු ජීවින් විශේෂ 9,000 කට නිවාසස්ථාන සපයනවා.

© David Doubilet / National Geographic Creative

ප්‍රමාණයෙන් දැවැන්තයෙක් වන මහා බාධක පරය නිර්මාණය වීම ආරම්භ වී ඇත්තේ අදින් වසර 6,000 – 9,000 කට පමණ පෙර අයිස් යුගයේ අවසන් කාලයේ දී ගෝලීය ජල මට්ටම ඉහළ යාමෙන් පසු ව යි. නමුත් වර්තමානයේ දී ක්‍රමයෙන් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, මහා බාධක පරයේ පැවතීමට දැඩි අභියෝගයක් වී ඇති බව යි පරිසරවේදීන් ප්‍රකාශ කරන්නේ. එසේ ම පසු ගිය තෙවසරක කාලය තුළ මහා බාධක පරය සතු කොරල්පර අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

කවරයේ පින්තූරය : © Adam Wolz / Pinterest

වේලි තැනීමේ යෙදී සිටින බීවර් සතුන් දෙදෙනෙක්

Related Articles