සුන්දරත්වයෙන් අනූන සොබාදහමේ අපූරු නිමැවුම්

සොබාදහම යනු සැබවින් ම විස්මිත නිර්මාණයක්. එය සුන්දරත්වයෙන් අනූන වීමට අමතර ව විද්‍යාවෙන් පවා තවමත් පැහැදිලි කරගත නොහැකි වූ විස්මිත ස්ථාන, සංසිද්ධි හෝ ජීවින් පිළිබඳ ව ගුප්ත බවක් ද නිර්මාණය කරනවා. මේ ලිපියෙන් සොබාදහමේ එවැනි අපූරු නිර්මාණ කිහිපයක් සහ ඒවා පිළිබඳ දැනට සොයා ගෙන ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන දැනගන්නත් ඔබට හැකිවේවි.

නිල් පාට ලාවා

ලාවා යනු ගිනිගෙන දැවෙන පාෂණ යි. පෘථිවි පෘෂ්ඨයේ කිලෝමීටර 150ක් පමණ ගැඹුරින් නිර්මාණය වන ලාවා ඇතැම් අවස්ථාවල පොළොව මතුපිටට පැමිණෙනවා. ගිනිකඳු සහ යමහල් විදාරණය වන ආකාරය පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ නරඹා ඇති අයකුට ලාවා කියූ සැණින් මතක් වන්නේ ගිනි රත් පැහැති උකු දියරයක්. නමුත් නිල් පැහැති ලාවා ගලන ස්ථානයක් පෘථිවියේ දැකිය හැකි බව ඔබ දැන සිටින්නට නැතුව ඇති.

Kawah Ijen යමහලෙන් නිල්පැහැති ලාවා ගලා එන ආකාරය – nationalgeographic.com

ඉන්දුනීසියාවේ Kawah Ijen යමහල නිල්පැහැති ලාවා සහ වාෂ්ප නිකුත් කිරීම නිසා ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් වී තිබෙනවා. ජාවා දුපතේ පිහිටා ඇති මෙහි ඇත්තේ සක්‍රීය, ගිනි ගන්නාසුලු සල්ෆර් වාෂ්ප පිටකරන යමහලක්. මේවා හඳුන්වන්නේ solfatara ලෙස යි. මෙම ප්‍රදේශයේ පවතින සල්ෆර් නිධි හේතුවෙන් මේ ආකාරයේ වාෂ්ප පිටවීමක් සිදුවන අතර එම වාෂ්ප අධික උණුසුමක් ගැනීම නිසා පෘථිවි පෘෂ්ඨයට පැමිණි පසු ඔක්සිජන් වායුව සහ ගැටීම සමඟ පුර්ණ දහනයක් සිදුවනවා. මේ හේතුවෙන් ලාවා සහ පිටවන දුම් නිල් පැහැ ගැනීම සිදුවන බව යි පැවසෙන්නේ. දිවා කාලයේ දී මෙම  ගිනිදැල් එතරම් නිල් පැහැයෙන් දිස්වන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේදී නිල් පැහැ විදුලි ආලෝකයක් ආකාරයට මනස්කාන්ත දර්ශනයක් මවන්නට මෙම යමහල සමත් වනවා.

මෙම යමහල ආසන්නයේ ම කිලෝමීටරයක් පමණ පළල ඇති කල්දේරමක් ආකාරයේ ජාලශයක් ද දැකිය හැකි යි. මෙහි ජලය ද කොළ නිල් පැහැයක් ගන්නා අතර එයටද හේතුව වන්නේ එහි අධික ආම්ලික ස්වභාවය නිසා විවිධ ලෝහ වර්ග දිය වීම යි. ලොව විශාලත ම ආම්ලික ජලාශය වන මෙහි ජලයේ pH අගය 0.5 වැනි ඉතා අඩු අගයක් ගන්නවා. ප්‍රදේශයේ ජනතාව සල්ෆර් කැණීමේ කටයුතුවල පවා එහි නිරත වනවා. එක් අයෙක් දිනකට සල්ෆර් රාත්තල් 200ක් පමණ කැණීම් කරන බව සඳහන්. මෙම වායු විෂ සහිත වූවත් ඔවුන් එතරම් දියුණු මුව ආවරණ භාවිත කරන බවක් දක්නට නැහැ. මේ නිසා බොහෝ පතල් කරුවන් මෙහි සල්ෆර් කැණීමේදී මිය ගොස් තිබෙන බවටත් වාර්තා වනවා.

අම්ල ජලයෙන් පිරුණු ජලාශය (cheapishtravels.com) සහ සල්ෆර් රැගෙන යන පතල්කරුවෙක් (boston.com)

 

ලොව පිරිසුදු ම ජලය ඇති ෆ්ලැට්හෙඩ් විල

ලොව විශාලත ම ස්වභාවික මිරිදිය ජලාශ අතරින් 79 වන ස්ථානය හිමි වන්නේ අමෙරිකාවේ උතුරු දෙසට වන්නට මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති ෆ්ලැට්හෙඩ් විල (Flathead Lake) ට යි. වර්ග කිලෝමීටර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම විල කිලෝමීටර 48ක් දිගින් සහ කිලෝමීටර 26ක් පළලින් යුක්ත වනවා. සාමාන්‍යයෙන් මීටර 50ක් පමණ ගැඹුරු වන මෙම විලේ උපරිම ගැඹුර මීටර 113ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ෆ්ලැට්හෙඩ් විල සතු ව ක්‍රමවත් ඉවුරු දක්නට ලැබෙන්නේ නැහැ. එසේම කුඩා ප්‍රමාණයේ දුපත් දුසිමක් පමණ ද මෙම විලෙහි තැනින් තැන දැකිය හැකිවනවා.

මෙම විලට ෆ්ලැට්හෙඩ් යන නම ලැබී ඇත්තේ මෙම ප්‍රදේශවල වාසය කළ සැලිෂ් (Salish) ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායම් හේතුවෙන් වනවා. මුල් කාලීනව අමෙරිකාවේ විසූ යුරෝපීය අමෙරිකානුවන් ස්වදේශික අමෙරිකානුවන්ගේ සංඥා භාෂා වරදවා තේරුම් ගැනීමෙන් සැලිෂ් ඉන්දියානුවන් ෆ්ලැට්හෙඩ් ඉන්දියානුවන් ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා.

ෆ්ලැට්හෙඩ් යන්න හිස පැතලි කිරීමේ ගෝත්‍රික චාරිත්‍රය නිසා හට ගත් නාමයක් වන අතර මෙම චාරිත්‍රයේ දී දරුවකුගේ හිස කුඩා කාලයේ දී ම කෘත්‍රිම ව බැඳ තැබීමෙන් හිස් කබලේ ස්වරූපය වෙනස් කිරීම සිදුවනවා. මෙම චාරිත්‍රය සැලිෂ් ගෝත්‍රිකයින් සිදු කළ බවට කිසිදු වාර්තාවක් හමුවන්නේ නැහැ. එනම් එය හුදෙක් යුරෝපීය අමෙරිකානුවන් සංඥා භාෂා අවබෝධ කරගැනීමේ දී සිදු වූ වරදවා තේරුම් ගැනීමක් බවයි සඳහන් වන්නේ. 1812 දී සැලිෂ් ඉන්දියානු ජනයා වාසය කළ මෙම ප්‍රදේශයේ සංචාරය කළ ඩේවිඩ් තොම්ප්සන් නමැති කැනේඩියානු ගවේෂකයා තම වාර්තාවල මෙම විල නම් කර ඇත්තේ ෆ්ලැට්හෙඩ් විල ලෙසින් වීම නිසා අද වනතුරුත් එය හඳුන්වන්නේ එම නාමයෙනු යි.

ෆ්ලැට්හෙඩ් විල – glaciersurfco.com

 

ෆ්ලැට්හෙඩ් විල ලොව සමොෂ්ණ කලාපයක මිනිස් වාසස්ථාන ආශ්‍රිත ව පිහිටි පිරිසුදු ම ස්වභාවික ජල මුලාශ්‍ර අතරින් එකක් ලෙසයි හැඳින්වෙන්නේ. මෙම විලෙහි ජලය කෙතරම් පිරිසුදු ද කිවහොත් ඇතැම් ස්ථානවල අඩි 20ක් පමණ ගැඹුරට ජලය විනිවිද දැකිය හැකි යි. එතරම් පිරිසුදු බවක් මෙම ජලයට ලැබීමට හේතුවී ඇත්තේ එහි පෝෂ්‍යපදාර්ථවල හිඟකම හේතුවෙන් වනවා.

ඒ නිසා මෙම ජලයේ ඇල්ගී වර්ධනය ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ. සැලිෂ් කඳුකරයේ හිම දියවීමෙන් ගලා හැලෙන ජලය මෙම විලෙහි ප්‍රධාන ජල මුලාශ්‍රය වන අතර මෙම ජලයේ පෝෂ්‍යපදාර්ථ හිඟ වීම ඉහත තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වනවා. එසේ ම විලෙහි පෝෂක ප්‍රදේශයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් ම ආවරණය වන්නේ ජාතික වනෝද්‍යාන සහ වනාන්තර ප්‍රදේශවලින් වීමත් ජලයේ පිරිසුදු බවට හේතු වනවා.

ෆ්ලැට්හෙඩ් විල් ජලයේ පැහැදිලිකම පෙන්වන ඡායාරූපයක් – instagram.com – flatheadlakemontana

 

සාමාන්‍ය විල් ජලය වසර ගණනාවක් එක තැන රැඳීම ස්වභාවික ව සිදුවනවා. උදාහරණයක් ලෙස නෙවාඩා ප්‍රාන්තයේ Tahoe විලෙහි එක් වරක් පිරුණු ජලය සම්පුර්ණයෙන් ඉවත් වීමට වසර 650ක් පමණ ගත වන බවයි පැවසෙන්නේ. නමුත් ෆ්ලැට්හෙඩ් විලෙහි ජලය සම්පුර්ණයෙන් ඉවත් වීමට ගතවන්නේ වසර 2.2 ක් වැනි ඉතා අඩු කාලයක්. මෙම ශීඝ්‍ර ජල ඉවත් වීමත් ෆ්ලැට්හෙඩ් විලේ ජලය ඉතා පිරිසුදු ව පැවතීමට තවත් හේතුවක් වනවා.

පාට පාට ඉරි රටා වැටුණු ග්ලැසියර

ග්ලැසියර යනු සුදු පැහැ හෝ යාන්තමින් නිල් පැහැ ගත් යෝධ අයිස් කුට්ටි බවයි අපගේ මතය. මේ නිසා ඇන්ටාක්ටික් කලාපය ම සුදු නිල් පැහැයක් ගන්නවා ඇතැයි අපට මවා ගන්නට පුළුවන්. නමුත් සමහර ග්ලැසියර කහ, දුඹුරු, කොළ වැනි වර්ණවත් රටා සහිතවත් හමුවනවා. අයිස්වලින් පමණක් පිරුණු මහ්ද්වීපයක වෙනත් වර්ණ රටා තිබෙන්නේ කොහොමද යන්න එසේ නම් ගැටලුවක්.

විවිධ වර්ණ ඉරි වලින් සමන්විත ග්ලැසියරයක් – toptrendy.sk

 

ග්ලැසියරවල පෘෂ්ඨයේ විවිධ පැලුම් දැකිය හැකි යි. ඒවා අතරින් මුහුදු ජලය හෝ දියවූ ග්ලැසියර ජලය ගලා යාමේ දී ඉතා වේගයෙන් ඝන වීමට පත්වනවා. මෙම ක්‍රියාවලිය වේගයෙන් සිදුවීම නිසා අයිස් තුළ වායු බුබුළු හට ගැනීමක් වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජලය අයිස් බවට පත්වීමේ දී ජලයේ දියවී ඇති වායු අණු බුබුළු ලෙස රැඳෙනවා. මේ නිසයි අයිස් වලාකුළු වැනි ස්වභාවයක් ගන්නේ. බුබුළු හට නොගතහොත් අයිස් දිස්වන්නේ අවර්ණ ලෙස යි. නමුත් සුර්යයාලෝකයේ නිල් පැහැ ආලෝකය මේ හරහා ගමන් කිරීමෙන් එහි රැඳෙනවා. අහස නිල් පැහැ වීමට බලපාන සංසිද්ධිය ම මෙහිදීත් සිදුවන නිසා ග්ලැසියර මතින් ජලය ගමන් කළ ස්ථාන තද නිල්පැහැ ඉරි වශයෙන් දිස්වීම ඉතාමත් සුලබ යි.

මුහුදු ජලයේ ඇල්ගී ආදී ශාක ප්ලවාංග බහුල ව තිබෙනවා. ඇන්ටාක්ටික් සාගර කලාපයේ මුහුදු ජලයේත් මෙම තත්වය දැකිය හැකි යි. මේවා නිසා ජලයට ලැබෙන්නේ කොළ වර්ණයක්. නමුත් ඝනීභවනය වීමේ දී මෙම කොළ පැහැ අංශු ගුරුත්වය නිසා ග්ලැසියරයේ පතුලට ගමන් කර තැන්පත් වනවා. මේ නිසා ග්ලැසියරයක ජලයෙන් ඉහළ පෙනෙන කොටසේ කොළ පැහැයෙන් යුත් ඉරි රටා දැකිය හැකි වන්නේ නැහැ. නමුත් ග්ලැසියර දියවීම් සහ පුපුරා යාම් නිසා ඇතැම් අවස්ථාවලදී ඒවා උඩු යටිකුරු විය හැකි යි. එවිට පතුලේ තැන්පත් වූ එවැනි වර්ණ රටා දැකගත හැකි වනවා.

අඳුරු පැහැ ඉරි රටා සහිත ග්ලැසියරයක් – ilovetraveling.org

 

ග්ලැසියර පෘෂ්ඨ පුපුරා යාමේදී හෝ දිය වීමේ දී වෙන්වන විශාල කොටස් ග්ලැසියර කඳු ඔස්සේ පහළට ගමන් කර මුහුදට එක්වනවා. ඒවා සමඟ ග්ලැසියර පෘෂ්ඨවල ඇති රොන් මඩ හෝ වෙනත් මණ්ඩි ආදියත් එක්වනවා. මුහුදට එක්වන ග්ලැසියරවල කහ, දුඹුරු හෝ කළු පැහැ රේඛා නිර්මාණය වීමට හේතුවන්නේ එම අවසාදිත ද්‍රව්‍ය ග්ලැසියර කොටස්වල රැඳීම යි.

මහා නිල් සිදුර

කැරිබියන් මුහුදු කලාපය ලොව දර්ශනීය ම මුහුදු වෙරළ සහ දුපත්වලින් සමන්විත වනවා. මධ්‍යම අමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටි බලීස් (Belize) රාජ්‍යයත් මායිම් වන්නේ මෙම කැරිබියන් මුහුදට යි. බලීස් වෙරළට කිලෝමීටර 70ක් පමණ දුරින් කැරිබියන් මුහුදේ තද නිල් පැහැ වෘත්තාකාර සිදුරක් වැනි යමක් දැකිය හැකි යි. මහා නිල් සිදුර (Great Blue Hole) ලෙසින් හඳුන්වන මෙය පිහිටා ඇත්තේ ප්‍රදීපාගාර කොරල් පරය (Lighthouse Reef) මධ්‍යයේ යි. මෙහි වෘත්තාකාර ස්වභාවය නිසා එය මෙනමින් හඳුන්වනවා. වර්ග මීටර 70,000 කට වැඩි විශාලත්වයකින් යුත් මෙම සිදුර මීටර 314ක විශ්කම්භයකින් යුක්ත යි.

කිමිදුම්කරුවන් සහ සංචාරකයන් අතර ප්‍රකට මෙම ස්ථානය සාගර විද්‍යාඥයන්ගේ ද නිරන්තර අවධානයට ලක්වුණා. ඒ මෙම සිදුර පතුලේ ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය වීම නිස යි. මුහුදු ජලයේ මීටර 124ක් ගැඹුරට විහිදී තිබෙන මෙම මහා නිල් සිදුරේ පතුල සොයා මුල් වරට පර්යේෂණ සිදුවුණේ 2018 වසරේදී යි. ඔවුන් මෙම සිදුරේ ත්‍රිමාණ සිතියමක් සකස් කිරීම වෙනුවෙන් සිය පර්යේෂණය මෙහෙයෙව්වා.

ප්‍රදීපාගාර කොරල් පරයෙන් වටවූ මහා නිල් සිදුර – cntraveler.com

 

එහිදී මීටර 90ක් පමණ දුරකට ඔවුනට දැක ගැනීමට ලැබුණේ සාමාන්‍ය මුහුදු ජීවින් සහ ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇති ආකාරය යි. නමුත් මීටර 90ක දුරකින් පසු මෙම කුහරයේ කිසිදු ජීවී සාධකයක් හමු වී නැහැ. නමුත් මුහුදු මට්ටමේ සිට මීටර 8000ක් පමණ දක්වා මත්ස්‍ය විශේෂ හමු විය යුතු ව තිබුණත් මෙම පර්යේෂණයේ නියුතු පර්යේෂකයන්ට හමු වී ඇත්තේ විෂ සහිත ඝනකම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ස්තරයක්. මෙය ජලය මත පාවෙමින් තිබෙන අතර සිදුරේ මුළු විෂ්කම්භයම පාහේ ආවරණය කරමින් පැතිරී තිබෙනවා.

නිල් සිදුරේ හරස්කඩක් – researchgate.net

 

බැක්ටීරියා සහ ශාක අවශේෂ වසර ගණනක් දිරාපත් වීමෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව නිර්මාණය වනවා. එම වායුව ස්තරයක් වශයෙන් මුහුදු පතුලේ රැඳී තිබීමට හේතු වන්නේ ඝනත්වයෙන් වැඩි මුහුදු ජලය සහ වැසි ජලය හමුවන ස්ථානයේ (halocline) ඒවා එකතු වීම නිස යි. මෙම ස්තරයෙන් පහළ ඔක්සිජන් වායුව හෝ කිසිදු ජීවී සාධකයක් දක්නට නැතත් මිය ගිය මත්ස්‍ය සහ කොරල් ජීවි අවශේෂ දැකිය හැකි වනවා.

මීටර 120ක් පමණ ගැඹුරේ දී පර්යේෂකයන්ට දැක ගන්නට ලැබී ඇත්තේ ගොඩබිම ගල් ගුහාවල දැකිය හැකි ආකාරයේ සිරස් හිරි ලඹ (stalactite) පාෂාණ කොටස්. මේවා නිර්මාණය වන්නේ ගල් ගුහාවක ඉහළ සිට පහළට, වතුර බිංදු ලෙස වෑස්සීමෙන්. ඒ අනුව පර්යේෂකයන්ගේ උපකල්පනය වූයේ මෙය මීට වසර ගණනකට පෙර ඉහළ විවරයක් පැවති හුණුගල්වලින් නිර්මාණය වූ ගල් ගුහාවක් වන බවත් එය අද වන විට සාගරයෙන් වැසී ගොස් ඇති බවයි.

නිල් සිදුරේ පතුලට ආසන්නයේ දක්නට ලැබෙන සිරස් හිරි ලඹ – reddit.com

කාල නිර්ණය කිරීමෙන් පසු මෙම ගල් ගුහාව ඇතුළු ප්‍රදේශය අවසන් අයිස් යුගයේ දී නිර්මාණය වන්නට ඇති බව උපකල්පනය කෙරෙනවා. ඒ මීට වසර 150,000කට පමණ පෙර යුගය යි. එම අයිස් යුගය නිමා වූයේ මීට වසර 14,000 කට පමණ පෙර වන අතර ලෝකයේ ම පැවති අයිස් කඳු දිය වී මුහුදු මට්ටම ඉහළ යාම නිසා කැරිබියන් මුහුදේ ද ජල මට්ටම ඉහළ යන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. ගල්ෆ් බොක්ක ආශ්‍රිත ව, දකුණු චීන මුහුදේ සහ බහමාස් දුපත් අශ්‍රිතවත් හමුවන අනෙකුත් නිල් කුහර බොහෝදුරට නිර්මාණය වී ඇත්තේ ද මේ ආකාරයට ම බව යි පැවසෙන්නේ.

නිල් සිදුර පත්ලේ තිබී Go Pro වර්ගයේ කැමරාවක් ද පර්යේෂකයන්ට හමු වී තිබෙන අතර එහි සංචාරකයන් පිරිසකගේ ඡායාරූප අඩංගු වී තිබෙනවා. එසේම වසර ගණනකට පෙර අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ යැයි සැලකිය හැකි අවශේෂ කොටස් ද පර්යේෂණයේදී හමු වී තිබෙනවා. මේ දක්වා පුද්ගලයන් තිදෙනකු පමණ මෙම කුහරයේ කිමිදුම් කටයුතුවල නිරත ව සිටිය දී අතුරුදහන් වූ බවට වාර්තා වන අතර නිරන්තරයෙන් අනතුරු සිදුවන මෙම ස්ථානයේ දක්ෂ පළපුරුදු කිමිදුම්කරුවකුට වුවත් අනතුරක් සිදු වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි පැවසෙන්නේ.

කවරයේ ඡායාරූපය - කැරිබියන් මුහුදේ "මහා නිල් සිදුර" - yannarthusbertrandphoto.com

මූලාශ්‍ර: 

phys.org

marineinsight.com 

businesinsider.com

flbs.umt.edu

deq.mt.gov

duskyswondersite.com 

amusingplanet.com

 zmescience.com

Related Articles