වර්ෂාවකට පසු පොළවට උරාගන්නා ජලය වර්ෂාව වැටෙද්දී මෙන් ම සිසිල්ව පවතිනවා යැයි ඔබ සිතනවා ඇති. නමුත්, හැමවිටම එය එසේ නොවේ. පෘථිවි අභ්‍යන්තරයට ගලා බසිනා මේ වැසි ජලය එහි ඇති මැග්මා හෙවත් ද්‍රව ලාවා මගින් උණුසුම්ව ඇති පාෂාණ හරහා ගලා යාමේ දී අධික උණුසුමක් ඇති ජලය බවට පත් වේ.

සාමාන්‍ය උණූසුමේ සිට නටන ජලය දක්වා ජලය මෙසේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති තාප දීප්ත පාෂාණ මගින් උණුසුමට ලක්විය හැකියි. මෙම උණුසුම් ජලය පෘථිවි කුහරයේ ඇති විවරයන් ඔස්සේ ඉහලට ගමන් කරන අතර විවරය පටු, කුඩා එකක් වන විටදී උණුසුම් වතුර මලක් නැතහොත් ගීසරයක් ලෙසින්ද, එසේ නැතිනම්, වඩා විශාල විවර ඔස්සේ ඉහලට ඇදී ගොස් උණු දිය උල්පත්  ලෙසද මතුපිටට පැමිණේ. එසේම ලෝකයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් මඩ උල්පත්ද මෙම ක්‍රියාවලිය හේතුවෙන්  නිර්මාණය වී තිබේ.

ඕල්ඞ් ෆේත්ෆුල්’ උණුදිය උල්පත

(stephenwilkes.com)

ඕල්ඞ් ෆේත්ෆුල්’ ලෙසින් හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ ඇති ගීසරය ලොව වඩාත් ම ප්‍රසිද්ධ ගීසරයක් ලෙස සැලකේ(http://www.yellowstonepark.com/about-old-faithful/). එයට මෙම නම ලැබී ඇත්තේ අනිවාර්යයෙන් සෑම මිනිත්තු 74 කටවතාවක් ම එය උණුදිය විදින බැවිනි. එය උණු ජලය සහ උණුසුම් ජල වාෂ්ප අඩි 180 ක් පමණ උසකට විදීමට සමත්ය.

2016 වසරේ එම ප්‍රදේශයේ ඇතිවූ අධික ශීතලත් සමග (ෆැරන්හයිට් අංශක 0 දි) මෙම ගීසරයෙන් හිම ඉහලට විදීම සිදුව ඇත. එහිදී  සිදුවන්නේ උණු ජලය ඉහලට විදීමේදී එම ජලයේ ඇති අධික තාපය හේතුවෙන් එය වාෂ්ප බවට පත්වෙද්දීම අවට පරිසරයේ ඇති අධික ශීතල හේතුවෙන් ජල වාෂ්ප හිම බවට පරිවර්තනය වීමයි. රාත්‍රියේ, දහවලේ මෙන්ම ශීත කාලයේදී ද මෙම ගීසරය අමුතම අලංකාරයකින් දැකගත හැකියි.

ප්‍රිස්මැටික් උණුදිය උල්පත

(surrealplaces.net)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති ප්‍රිස්මැටික් උණුදිය උල්පත ඇමෙරිකාවේ සංචාරක ආකර්ෂණය ඉහලින්ම දිනාගත් උණුදිය උල්පත ලෙස සැලකේ. මීටර් 49 ක් පමණ ගැඹුරු වන එහි ඇති ආකර්ෂණීය වර්ණයන් ඇතිවී ඇත්තේ උල්පතේ ඉවුර ආසන්නයේ ඇති සාමාන්‍ය සිසිල් බවකින් යුතු ජලයේ ජීවත්වන බැක්ටීරියා විශේෂ හේතුවෙනි. එහි මධ්‍යයේ ඇති අලංකාර නිල් වර්ණය ඇතිවන්නේ මෙහි ඇති අධික උණුසුම් ජලය ආලෝකයත් සමග  එක්ව අනිකුත් වර්ණයන්ට වඩා නිල් වර්ණය පරාවර්තනය කිරීමෙනි.

ජිගොකුඩානි යාඑන්-කොඑන් උණුදිය උල්පත

(en.jigokudani-yaenkoen.co.jp/)

ජපානයේ ජිගොකුඩානි යාඑන්-කොඑන් උද්‍යානයේ ජීවත්වන මැකාක් වඳුරන් ලෝකයේම අවධානය දිනාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ශීත කාලයේදී ඇති වන අධික ශීතල නිසා එහි ඇති උණුදිය උල්පත් වල නිතර බැස සිටින බැවිනි. මිනිසුන් කොපමණ බලා සිටියද ඒ පිළිබඳ තැකීමක් නොකර තම සිරුරු උණුසුම් කර ගැනීමට ඔවුහු පුරුදු වී සිටිති. මිනිසුන් සේම පවුල් පිටින් උණුදියේ ගිලී සිටිම්න් මේ වඳුරෝ විවේකීව කාලය ගත කරති.

මයිවට්න් හි මඩ උල්පත්

(shutterstock.com)

අයිස්ලන්තයේම යිවට්න් ප්‍රදේශයේ ඇති මඩ උල්පත් උණු වී බුබුලූ දමන මඩ වලින් මෙන්ම හයිඩ්‍රජන් සල්ෆයිඞ් වැනි වායූන් පිටවන බැවින් එයටම ආවේණික ගන්ධයකින් ද යුක්තය. මෙම සල්ෆර් ගන්ධය සහ උණුමඩ උල්පත් හේතුවෙන් මෙම ප්‍රදේශය අපායේ (යකාගේ) මුන්‍තැන්ගෙය’ (Hell’s Kitchen) ලෙසින් හඳුන්වනු ලබයි.

ශ්‍රි ලංකාවේ උණුදිය උල්පත්

ශ්‍රි ලංකාවේ ද උණුදිය උල්පත් රැසක් පිහිටා ඇති අතර ඒවා හම්බන්තොට සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන පටු රේඛාගත වපසරියක පැතිර තිබේ. හඳුනාගත් උණුදිය උල්පත් 9ක් පමණ මේ වන විට දක්නට ලැබේ.

  • ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – රන්කිහිරිය/කන්නියා
  • පොලොන්නරුව දිස්ත්‍රික්කය – නෙලූම්වැව/මුතුගල්වැල
  • අම්පාර දිස්ත්‍රික්කය – මහඔය/වහව/කපුරැල්ල
  • හම්බන්තොට දිස්ත්‍රික්කය –   මදුනාගල

(trips.lakdasun.org)

කන්නියා උණු දිය උල්පත් මේ වනවිට උණු වතුර ළිං 7ක් බවට පත්කර ඇත. ළිං එකිනෙකෙහි ජලයේ උෂ්ණත්වය වෙනස් වන අතර ඛනිජමය ගුණයෙන් යුක්ත වන බැවින් එම ජලයේ ලෙඩ රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බව පැවසේ. මෙම උණුදිය උල්පත් අතීතයේදී වෙල්ගම්වෙහෙර වැඩවාසය කළ භික්ෂුන්වහන්සේලා විසින් භාවිතයට ගත් බවටද තොරතුරු වාර්තා වේ.

මහඔය උණුදිය ළිං ලංකාවේ ඇති උෂ්ණත්වය අධිකම උණුදිය ළිං ලෙස සැලකෙන අතර විවිධ උෂ්ණත්වයන්ගෙන් යුතු ළිං 7ක් දැකගත හැකිය. ඒවායින්  2ක් පමණක් ස්නානය කළ හැකි මට්ටමේ උෂ්ණත්වයක පවතින අතර  අධිකම උෂ්ණත්වය ඇති ළිඳේ ජලයේ උණුසුම සෙල්සියස් අංශක 56 ක් පමණවේ. එම ළිං වල උෂ්ණත්වය අධික බැවින් උණුසුම් හුමාලය ඉහල නගින ආකාරය දැකගත හැකිවේ.

මදුනාගල උණුදිය උල්පත්හි ජලයේද චර්ම රෝග ඇතුලු විවිධ රෝගාබාධ සුවකිරීමේ බලයක් ඇතැයි පැවසෙන්නේ එහිද ඛනිජමය ගුණයක් ඇතිබැවිනි. උඩවලව බහු කාර්ය යෝජනා ක‍්‍රමය වර්ෂ 1962/63 කාලයේදී ආරම්භකරන තුරුම මේ උණුදිය උල්පත් වනයෙන් සැඟවුණු රහසක්ව පැවතී ඇත. මෙහි ඇති මුල්ම ළිඳ සැබෑ උණූදිය උල්පත වටකර තනා ඇති අතර නල මගින් දෙවන ළිඳට එයින් ජලය මුදා හැරේ.

මේ අවට ප්‍රදේශයේ අතීතයේ පැවතුණා යැයි සැලකෙන මදුනාගල සහ කරඹගල ආරණ්‍ය සේනාසන වල භික්ෂුන් වහන්සේලා මෙම උණූදිය උල්පත් පරිහරණය කරන්නට ඇති බව පැවසේ.

මෙම උණුදිය උල්පත් ද අනෙකුත් ස්වාභාවික සම්පත් මෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්වෙමින් පවතී. උණුදිය උල්පතින් ස්නානය කිරීමේදී ඇතැමුන් සබන් හෝ ෂැම්පු භාවිතා කරන අතර ඒවා උල්පත් ජලයට එක්වීමෙන් එම ජලය අපවිත්‍රවීම පමණක් නොව එහි ඇති ස්වාභාවික ඛනිජමය සහ ඖෂධීය ගුණයන්ද විනාශ වී යාම සිදුවේ. එමෙන්ම මෙම උණුදිය උල්පත් පවතින ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සුලබ බැවින් දීර්ඝ කාලීනව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී ඒවා භූගත ජල මාර්ග වලට එක් වීම මගින් උණුදිය උල්පත් හි ජලය දුෂණයට ලක් වීමේ අවදානමක් පවතින බවද අමතක නොකළ යුතුය.

උණුදිය උල්පත්හි ජලය දුෂණයට ලක් වන්නේ හුදෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. එබැවින් එම උල්පත්හි ස්නානය කිරීමේදී ඒවා අපිරිසිදු නොකිරීමත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සීමා කිරීමත් වැනි ක්‍රියාමාර්ග තුළින් මෙම ස්වාභාවික සම්පත් මතු පරපුරටද උරුම වන ලෙස සුරක්ෂිත කිරීමට අප පියවර ගත යුතුමය. නැතහොත් සිදුවන්නේ ස්වාභාවිකත්වයෙන් තොර මළලෝකයක් වෙත මිනිසා විසින්ම මාර්ගය සකසාගැනීමයි.

කවරයේ පින්තුරය: zmescience.com