Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යෝධ හිම කැටයම්වලින් සැරසුණු සප්පෝරෝ හිම සැණකෙළිය

හිම කියලා කිව්ව ගමන් හිතට ඇති වෙන්නෙ මහ පුදුම විදියේ සුවදායක හීතලක්. නුවරඑළියට මල් තුහින විතරක් පතිත වෙන රටක ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හිම පියල්ලක දර්ශනය පවා ආශිර්වාදයක්. ආක්ටික් කලාපයෙහි සහ ග්‍රීන්ලන්තය වගේ කලාපයන්වල මිනිසුන් ජීවත් වන අයිස්වලින් තනා ගත් ඉග්ලූ ගැන කතන්දර අපි ‍කුඩා අවධියේ පටන් අසා සිටින්නේ මුව අයාගෙන, ඉතාමත්ම පුදුමයෙන්. ශීතකරණයේ අධිශීත ඒකකයේ තිබෙන අයිස් කැටි සෙමින් දියව යන විදිය දැක තිබෙන අපිට පුදුමය දැනවෙන්නේ අයිස්වලින් මේ තරම් කල් පවතින නිර්මාණ කළ හැකිදැයි සිතන විට යි. බාහිර පරිසරයේ උෂ්ණත්වය මත අයිස් කැටි දියවී ගියත් බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉතාමත් අඩු සෙල්සියස් මට්ටමක ‍හෝ බොහෝවිට සෙල්සියස් සෘණ මට්ටමක පවතින විට ඝනීභවනය වන ජලය හිම කැටි ලෙසින් කාලයක් දිය නොවී සුරක්ෂිතව රඳා පවතිනවා. එතරම් තද නොමැති හිම පියළි සහ අධි ශීතල මත ඝනකම් අයිස් බවට පත් වන එකී හිම, ඝනීභවනය වූ ජලයේ තවත් එක් විස්මිත ස්වරූපයක් පමණ යි.

රාත්‍රියේදී ආලෝකමත් කරන ලද හිම ප්‍රතිමා (toyokeizai.net)

අපි දැක තිබෙනවා කළුගල්වලින් අපූරු නිර්මාණ කරන දේශිය නිර්මාණ ශිල්පීන්ව. ඒ වගේම දැව ආශ්‍රිත කැටයම් නිර්මාණත් අපට බෙහෙවින්ම හුරුපුරුදු දර්ශන. ඒත් ලාංකික අපට එතරම් පුරුදු බවක් නොමැති නිර්මාණ වර්ගයක් තමයි හිම පිළිම. ඝර්ම කලාපීය රටක ජීවත් වන අපට නම් හිම නිර්මාණ කිරීමට ස්වභාවික පරිසර තත්ත්වයක් උදා වන්නේම නැහැ. එකී අවස්ථාව උදා කරගැනීමට නම් අධිශීත කරන ලද අභ්‍යන්තර කෘතීම පරිසරයක් තුළ විනා එසේ නොමැතිව එවන් අත්දැකීමක් ස්වභාවිකව විඳ ගැනීමට ලාංකික අපට අවස්ථාව නැහැ. අප හිම පිළිම පිළිබඳව කුඩා කාලයේ සුරංගනා කතා නම් අසා තිබෙනවා. ඒ, කවුරුන් හෝ දුෂ්ඨ මායාකාරියකගේ සාපයකට හිම පිළිමයක් වී ගල් වී යන කවුරුන් හෝ කුමාරිකාවක් ගැන කතාවක්. අප එවන් කතාන්දරවලින් හිම පිළිම ගැන සිතින් සිතාගෙන සිටින අතරේ ලෝකයේ වෙනත් අන්තයක හිම පිළිම, හිම කැටයම් සැබවින්ම නිර්මාණය වෙමින් පවතිනවා. 

අලංකාර හිම නිර්මාණ (Japan Rail Pass)

ජපානය කියන්නේ කොහොමටත් හපන්නු‍න්ගෙන් පිරි රටක්. අත්කම් නිර්මාණ සඳහා ජපානය උසුලන්නේ සුළුපටු කීර්තියක් නොවෙයි. එවන් කීර්තිමත් ජපන් වැසියන් මහා හිම පර්වත මත නැගී සිතාගත නොහැකි ආකාරයේ විශ්මිත පිළිම, සියුම් කැටයම් නිර්මාණය කරනවා. එපමණක් නොවෙයි, ඔවුන් එකී හිම අසිරිය සැමරීම පිණිසම සැණකෙළි පවා සූදානම් කරනවා. ජපානයේ සප්පෝරෝ හිම සැණකෙළිය ඔවුන් විසින් සංවිධානය කෙරෙන එවන් විශේෂිත උත්සවයක්. 

මේ සප්පෝරෝ හිම සැණකෙළිය අද ඊයේ ආරම්භ වූවක් නම් නොවෙයි. වර්ෂ 1950 දී ආරම්භ වී තිබෙන සප්පෝරෝ හිම සැණකෙළිය අවුරුදු 71ක් තරම් ඈත අතීතයක සිට ජපනුන් විසින් සිය සාම්ප්‍රදායික සංස්කෘතික කලා අංගයක් ලෙස වාර්ෂිකව පවත්වාගෙන එනු ලබනවා. ජපානයේ හොකයිඩෝ දූපතේ අගනුවර වන සප්පෝරෝහි පැවැත්වෙන බැවින් මෙයට ‘සප්පෝරෝ හිම සැණකෙළිය’ යන නම පටබැඳී තිබෙනවා. මෙකී සැණකෙළි උත්සවය සෑම වසරකම පෙබරවාරි මාසයේ සතියක් පුරා පැවැත්වෙනවා. 

සප්පෝරෝ හිම සැණකෙළිය කියන්නේ ජපානයේ පැවැත්වෙන ශීත සෘතු උත්සව අතරින් වඩාත්ම ජනප්‍රිය උත්සවයක්. මෙකී හිම සැණකෙලි භූමිය පුරා විවිධ අන්දමේ හිම නිර්මාණ දැක බලාගන්නට සැණකෙළියට පැමිණෙන නරඹන්නන්ට අවස්ථාව උදා වෙනවා.

සප්පෝරෝ හිම සැණකෙළිය (Sapporo.travel)

සප්පෝරෝ හිම සැණකෙළියේ ආරම්භය සිදුවන්නේ වර්ෂ 1950 දී උසස් පාසැල් සිසුන් විසින් ඔඩෝරි උද්‍යානයේ හිම ප්‍රතිමා කිහිපයක් සකසා ප්‍රදර්ශනය කිරීමත් සමග යි. එසේ ආරම්භ වූ මේ උත්සවය අද වන විට වාණිජ්‍ය පරමාර්ථයෙන් යුක්තවම, මහා පරිමාණයෙන් පැවැත්වෙන දැවැන්ත හිම සැණකෙළියක් බවට පත් වෙලා. සාමාන්‍යයෙන් මිලියන දෙකක පමණ දෙස්, විදෙස් සංචාරකයන් පිරිසක් වාර්ෂිකව මෙම සැණකෙළි භූමිය නැරඹීම සඳහා පැමිණෙනවා. අද වන විට සප්පෝරෝ හිම සැණකෙළිය භූමි ප්‍රදේශ තුනක් ආවරණය කරමින් ක්‍රියාත්මක වනවා. ඒ ඔඩෝරි, සුසුකිනෝ, සහ සූ ඩෝම් ප්‍රදේශ යි. ඔඩෝරි සහ සුසුකිනෝ පරිශ්‍රයන් පිහිටා තිබෙන්නේ සප්පෝරෝ නුවර මධ්‍යයෙහි වන අතර සූ ඩෝම් පරිශ්‍රය පිහිටා තිබෙන්නේ මධ්‍ය නගරයෙන් පිටත. 

අලංකාර හිම කැටයම් ප්‍රතිමා (Notes of Nomads)

වර්තමානය වන විට රටවල් 20කට අධික ප්‍රමාණයකින් හිම මූර්ති නිර්මාණ ශිල්පීන් මෙම උත්සවය සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කරනවා. හොකයිඩෝවලින් මෙන්ම කිසි දිනෙක හිම පතනය සිදු නොවන සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, හොංකොං වැන රටවලින් පවා ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් කණ්ඩායම් පැමිණ මෙම උත්සවයේ ප්‍රතිමා තරග සඳහා නිර්මාණ ඉදිරිපත් කර, ජයග්‍රහණයන් පවා අත්පත් කරගන්නවා.

හිම ප්‍රතිමා (Kanpai! Japan)

සැනකෙළියේ ප්‍රධාන ඒකකය වන්නේ ඔඩෝරි ප්‍රදර්ශන භූමිය යි. ඔඩෝරි උද්‍යානයේ කිලෝමීටර් 1.5ක දුර ප්‍රමාණයක් දක්වා හිම නිර්මාණ පිරුණු සැණකෙළිය ක්‍රියාත්මක යි. සැණකෙළියෙහි පවත්නා විශාලතම හිම නිර්මාණ පවතින්නේ මෙම භූමියේ යි. ඇතැම් නිර්මාණ මීටර් 25ක පමණ පළලින් සහ මීටර් 15ක පමණ උසින් යුක්ත වනවා. එකී හිම නිර්මාණ සාමාන්‍යයෙන් රාත්‍රී 10 පමණ දක්වා ආලෝක ගන්වා නරඹන්නන් සඳහා විවෘත කර තැබෙනවා. මහා පරිමාණ හිම නිර්මාණවලට අමතරව කුඩා හිම නිර්මාණ සිය ගණනක් ද, විවිධාකාරයේ ප්‍රසංග සහ ක්‍රියාකාරකම් ද ඔඩෝරි උද්‍යානය තුළ සංචාරකයන් සඳහා වෙන්ව පවතිනවා. ඒ අතරින් ප්‍රසංගයන් සහ ක්‍රියාකාරකම් බොහෝ ප්‍රමාණයක් පැවැත්වෙන්නේ හිම නිර්මාණ මතම යි.

හිම නිර්මාණයක් (Kanpai! Japan)

සප්පෝරෝ සැණකෙලිය ඉහළින් හිඳ දැක බලා ගැනීමට ඔඩෝරි උද්‍යානයේ නැගෙනහිර අන්තයේ පිහිටි සප්පෝරෝ සම්ප්‍රේෂණ කුලුනට නැගීමේ අවස්ථාව ද නරඹන්නන්ට හිමි වනවා. සප්පෝරෝ සැණකෙලිය පවතින කාලයේ දී මෙම කුලුන උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා විවෘතව තැබීමට බලධාරීන් පියවර ගන්නවා. කෙසේ නමුත් කුලුන මුදුනටම නැගීම සඳහා එක් වැඩිහිටියෙකුගෙන් ජපන් යෙන් 720ක පමණ මුදලක් අය කෙරෙනවා. යෙන් 1100ක ටිකට් පතක් මිල දී ගන්නා සංචාරකයෙකුට උදෑසන චාරිකා වාරයක් සහ රාත්‍රී චාරිකා වාරයක් ද හිමි වනවා. සුසුකිනෝ ඒකකයේත් හිම නිර්මාණ සිය ගණනක් පමණ ප්‍රදර්ශනය කෙරෙනවා. එහි පවත්නා හිම නිර්මාණ ආලෝක ගන්වා රාත්‍රී 11 පමණ දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා. කෙසේ නමුත් උත්සවයේ අවසන් දවසේ මෙම නිර්මාණ ප්‍රදර්ශනය වන්නේ රාත්‍රී 10 දක්වා පමණ යි. 

අලංකාර හිම ප්‍රතිමා (Fodors Travel Guide)

සූ ඩෝම් බිම් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරෙන්නේ බොහෝ විට පවුල් මට්ටමින් කරන ලද නිර්මාණ යි. එකී පරිශ්‍රයේ දී නම් හිම මත ලිස්සා යෑමේ සහ හිම පහුරුවල ගමන් කිරීමේ අවස්ථාව ද සංචාරකයන්ට උදා වනවා. මෙම භූමියේ හිම නිර්මාණවලට අමතරව විවිධ වර්ගයේ ප්‍රණීත ආහාරපාන වෙළඳසැල්, කැවිලිහල් සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා අවශ්‍ය පහසුකම් ද සලසා තිබෙනවා. මෙකී පරිශ්‍රය උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘතව පවතිනවා. මුළු සැණකෙළියම ආරම්භ වීමට දින කිහිපයකට ප්‍රථමයෙන්, එනම් ජනවාරි 31 වන දින පමණ සිට මෙකී පරිශ්‍රය ක්‍රියාකාරකම් සඳහා විවෘතව පවතිනවා.

හිම මාලිගාවක් (CNN.com)

වෙනත් වර්ෂයන්හි දී මෙම සැණකෙලි භුමියේ මහා පරිමාණ හිම නිර්මාණ ප්‍රදර්ශනය කෙරුණත්, ලබන වසරේ මෙකී සැණකෙළිය කුඩා පරිමාණයෙන් පැවැත්වීමට සංවිධායකයන් විසින් මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඊට හේතුව වන්නේ දැනට ලොව පුරා පවතින කෝවිඩ් වසංගත තත්ත්වය යි. ඒ අනුව ලබන වසරේ සප්පෝරෝ හිම සැණකෙළි භූමියේ දී සංචාරකයන්ට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ විශාල පරිමාණයේ හිම නිර්මාණ වෙනුවට කුඩා පරිමාණයේ හිම ප්‍රතිමා සහ කැටයම් නිර්මාණ පමණයි.

කවරයේ පින්තූරය (WordPress.com)

මූලාශ්‍රයයන්:

  • Sapporo Snow Festival, japan-guide.com
  • Sapporo, snowfes.com
  • Sapporo Snow Festival, hisgo.com
  • Sapporo Snow Festival, japan.travel
  • 2021 Sapporo Snow Festival, japancheapo.com
  • Sapporo Snow Festival 2021: Complete Guide to Japan’s Famous Winter Festival! (February 4-11) , livejapan.com
  • Sapporo Snow Festival, sapporo.travel
  • Sapporo Snow Festival, japanvisitor.com

Related Articles