Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

13 වන සාග් ක්‍රීඩා උළෙල දෙසැම්බරයේ දී

13 වන සාග් ක්‍රීඩා උළෙල හෙවත් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල, 2019 වසරේ දෙසැම්බර් මාසයේ 1 වෙනිදා නේපාලයේ කත්මන්ඩු හි පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 1 වන දා සිට දෙසැම්බර් 10 වන දා දක්වා මෙම ක්‍රීඩා උළෙල එරට පැවැත්වෙනවා. මෙවර සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නේපාලයට හිමි වීමත් සමග සාග් ක්‍රීඩා උළෙල සඳහා නේපාලයට සත්කාරකත්වය හිමි වෙන්නේ තෙවන වතාවට යි. මීට පෙර 1984 පළමු සාග් ක්‍රීඩා උළෙල හා 1999 සාග් ක්‍රීඩා උළෙල පවත්වා තිබෙන්නේ නේපාලයේ යි.

වසර 3කින් පසුව පැවැත්වෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල 

ඉන්දියාවේ පැවති 12 වන සාග් ක්‍රීඩා උළෙල (wpengine.netdna)

සාග් ක්‍රීඩා උළෙලේ ඉතිහාසය 1984 වසර දක්වා දිව යනවා. පළමු සාග් ක්‍රීඩා උළෙල 1984 වසරේ නේපාලයේ කත්මන්ඩු හි පවත්වනවා. සාග් ක්‍රීඩා උළෙල මුල් කාලයේ දී වසර දෙකෙන් දෙකට පවත්වනු ලැබුවත්, පසු කාලයේ දී එය වෙනස් වී තිබෙනවා. 1995 වසරෙන් පසුව නැවත සාග් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ 1999 වසරේ දී යි. ඉන්පසුව, 2004 වසරේ දී යි නැවත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන්නේ.

2016 වසරේ දී 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව, 13 වන ක්‍රීඩා උළෙල පැවැත්වීමට ද වසර තුනක කාලයක් ගත වී තිබෙනවා. එය 2019 දෙසැම්බර් මාසයේ 1 වන දා පැවැත්වීමට නියමිත යි. 

දකුණු ආසියානු කලාපීය සංවිධානයේ සමුළු මෙන්ම, මෙම ක්‍රීඩා උළෙලෙත් නොයෙක් වර කල් යාමට කලාපයේ  පවතින දේශපාලනික ගැටළු හා රට රටවල සමාජ ආර්ථික අර්බුද ද බලපා තිබෙනවා. විශේෂයෙන් පාකිස්ථානය හා ඉන්දියාව 1947 වසරේ සිට කාශ්මීර ප්‍රදේශය මුල් කර ගනිමින් ඇති වී තිබෙන විරසකය වරින් වර ඉස්මතු වීම ද, මෙලෙස ක්‍රීඩා උළෙල නියමිත කාල සීමාවට වඩා කල් යාමට බලපා තිබෙනවා. 

සාර්ක් සංවිධානයේ ද, 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු 19 වන සාර්ක් සමුළුව නොපැවැත්වීමට තීරණය වන්නේ ඉන්දු-පාකිස්ථාන විරසකය හේතුවෙනුයි. එම සංවිධානයේ සමුළුවක් ඉන්පසුව මේ දක්වා පැවැත්වී නෑ.

මෙතෙක් කලක් පැවති සියලුම සාග් ක්‍රීඩා උළෙලවල් ජයග්‍රහණය කර තිබෙන්නේ ඉන්දියාව යි. 12 වන සාග් ක්‍රීඩා උළෙල ඉන්දියාවේ පැවැත්වෙන අතර, එහි දී ද සුපුරුදු ලෙස වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙන්නේ ඉන්දියාව යි. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනාගෙන තිබෙනවා.

13 වන සාග් ක්‍රීඩා උළෙල කල් යයි

13 වන සාග් ක්‍රීඩා උළෙල (ytimg)

13 වන සාග් ක්‍රීඩා උළෙල මේ වසරේ (2019) මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණත්, එය එම මාසයේ පැවැත්වීමට නොහැකි වන්නේ සත්කාරක දේශය වන නේපාලයේ ඔලිම්පික් කමිටු සභාති ධූරය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාපත් කරගැනීමේ දී උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය යි.

කෙසේ නමුත්, මාස ගණනාවක් පුරාවට තිබුණු මෙම අර්බුදයට නිසි පිළියමක් ලෙස නව සභාපතිවරයෙක් පත් කිරීම සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වූ පැමිණිලක් විභාග කිරීමෙන් අනතුරුව යි. නව සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත අර්බුදයකින් තොරව පත් කර ගැනීමෙන් අනතුරුව, 13 වන සාග් උළෙල සඳහා නියමිත දිනය නේපාලය විසින් ප්‍රකාශයට පත් කරනවා.

මෙවර සාග් සඳහා රටවල් හතක් සහභාගී වන අතර ගියවර එය රටවල් අටක් ලෙස දකින්න ලැබුණා. මෙවර එම රටවල් අටෙන් ඇෆ්ගනිස්තානය ඉවත් වී තිබෙනවා. 

මෙවර සාග් ක්‍රීඩා උළෙල සඳහා තරග 28 පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, ගොල්ෆ් හා කරාතේ ක්‍රීඩා උළෙල සඳහා අලුතෙන් එකතු වෙන ක්‍රීඩා බවට පත් වී තිබෙනවා. වසර අටකට පසුව නැවතත් සාග් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ද එකතු කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

ක්‍රීඩා පැවැත්වෙන ආකාරය 

ගියවර සාග් ක්‍රීඩා උළෙලේ පිහිනීමෙන් රන් පදක්කම් බොහෝ ප්‍රමාණයක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක මැතිව් අබේසිංහ (thepapare.com)

දෙසැම්බර් පළමු වෙනි දා සමාරම්භක උළෙල පැවැත්වෙන නමුත්, පළමු ක්‍රීඩාව ලෙස වොලිබෝල් ආරම්භ කිරීම සිදුවන්නේ ඊට දින කිහිපයකට ප්‍රථමව යි. නොවැම්බර් මාසයේ 27 වන දින පළමු ක්‍රීඩාව ලෙස වොලිබෝල් ආරම්භ වෙනවා. සමාරම්භක දින ද ක්‍රීඩා ආරම්භ වෙන අතර ඒවා බැඩ්මින්ටන්, පාපන්දු (පිරිමි), කරාතේ හා ටෙනිස් ලෙස නම් කළ හැකි යි.

ක්‍රිකට් (පිරිමි හා ගැහැණු), ගොල්ෆ්, ටේබල් ටෙනිස් හා ටයික්වොන්ඩෝ යන ක්‍රීඩා දෙසැම්බර් දෙවන දින ආරම්භ වීමට නියමිත යි. දෙසැම්බර් තුන්වන දා ආරම්භ වීමට නියමිත ක්‍රීඩා වන්නේ මලල ක්‍රීඩා, දුනු විදීම, පා පැදි, පාපන්දු (ගැහැණු) හා වෙඩි තැබීම් වැනි ක්‍රීඩා යි. ක්‍රීඩා පටන් ගන්නා අවසන් දිනය වන්නේ දෙසැම්බර් 7 වන දා යි. එදින බාස්කට් බෝල්හා ජූඩො ඇතුළු ක්‍රීඩා වර්ග කිහිපයක් ආරම්භ වීමට නියමිත යි. මේ සියලු ක්‍රීඩා 10 වන දා සමාප්ති උළෙලට පෙර අවසන් වෙනවා.

බොහෝ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල්වල දී ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් පදක්කම් ලබාගත් ශ්‍රී ලංකාව, මෙවර ද සාග් ජයග්‍රහණය සඳහා සුදානම්. ඒ සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් තරග බිමට අවතීරණ වීමට සුදානමින් පසු වෙනවා.

කවරයේ පින්තූරය- 12 වැනි සාග් උළෙලේ සමාප්තිය (telegraphindia)

මූලාශ්‍රයයන්: 

ocasia.org 

thepapare.com 

aninews.in

Related Articles