Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජ’පුර අලෙවිකරණ පීඨයේ ප්‍රාසාංගික පෙරළිය- VIBES 2020

ලාංකීය සරසවි ඉතිහාසය තුළ ජයවර්ධනපුර සරසවිය යනු කළමනාකරණයේ මහගෙදර බව අවිවාදිත යි. දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණ පීඨය යන අභිමානවත් කිරුළ වසර ගණනාවක් පුරාවට තම හිස මත පළඳා ගනිමින් ලෝකයට අවැසි අතිදක්ෂ, නිර්මාණශීලී, විශිෂ්ට වූ හැකියා, දක්ෂතා හා ආකල්පයන්ගෙන් පිරිපුන් කළමනාකරුවන් දශක 6කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යනාංශ 12ක් ඔස්සේ ජ’පුර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය විසින් ලෝකයට දායාද කරමින් පවතිනවා.

ලාංකීය අලෙවි කලමනාකරණ ක්ෂේත්‍රය තුළ මෙන්ම ගෝලීය වශයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන අතිදක්ෂ අලෙවි කළමනාකරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් එහි සුවිශේෂී අධ්‍යනාංශයක් වන අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ නිෂ්පාදනයන් වන අතර, ලෝකයට අවැසි පිරිපුන් කළමනාකරුවන් නිර්මාණය කිරීමෙහිලා ඔවුන් සුවිශේෂී කාර්යයන් රාශියක් සිදුකරනවා.

කලාත්මක හැගීම් පිරිපුන් මානුෂීය සිත් ඇති තැනැත්තා ලෝකය නිර්මාණශීලී ලෙස අතීතයේ සිට ගොඩනැගූ අතර, එහි වර්තමාන පුරුක් අප කතා කළ අධ්‍යනාංශය තුළ නිසැකවම සිටින බවට VIBES 2020 ප්‍රසාංගික අත්දැකීම සාක්ෂ්‍ය සපයනවා. 

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය වාණිජ විෂය ධාරාව ඔස්සේ හදාරා, ලංකාවේ ඉහළම ප්‍රතිඵල රැගත් දක්ෂතම සිසුන් පිරිසක් ජයවර්ධනපුර සරසවියෙහි අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය වෙත පිය නගනවා. කුඩා කල සිට ප්‍රගුණ නොකළ නමුත් ඔවුන් සතු කලාත්මක හැකියාවන් මනා ලෙස ඔප් නංවමින්, සය මසකට ආසන්න කාලයක් තම හැකියාවන් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ආභාසය යටතේ මොවුන් තම අධ්‍යපන කටයුතුවලට අමතරව ප්‍රගුණ කරනු ලබනවා 

ගායන, වාදන, නර්තන, මෙන්ම රංගනය වේදිකාවක් මත ඉතාමත් අපූරුවට එළිදක්වන මොවුන්, ඊට අමතරව වේදිකා නිර්මාණය, අලෝකකරණය, ඩිජිටල්කරණය, සහ තමා න්‍යායාත්මක ලෙස උගත් කළමනාකරණ දැනුම ඔස්සේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමෙන් පිරිපුන් කළමනාකරුවන් ලෙස තම දැනුම, කුසලතාව සහ ආකල්ප මුවහත් කරගනු ලබනුයේ ආචාර්යවරුන්ගේ නොමඳ මඟ පෙන්වීම හරහා යි.

කාලයක් මුළුල්ලෙහි තමා වෙහෙසින් ප්‍රගුණ කළ හාකියාවන් පසුගිය ජනවාරි මස 09 වන දින ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ, අනුග්‍රාහකයන්ගේ, ආචාර්යවරුන්ගේ, ආදි විද්‍යාර්ථයින්ගේ, විද්‍යාර්ථයින්ගේ සහ 5000ක් ඉක්මවා ගිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ක්‍රීඩා පිටිය මත තැනුණු අභිමානවත් වේදිකාවක් මත එළිදැක්වූවා. ප්‍රසංගය ආරම්භයේ සිට අවසානය දක්වා නව්‍යතාවන්ගෙන් පිරිපුන් උද්වේගකර මෙන්ම ලාංකීය ප්‍රාසාංගික කලාව නවමු මානයකට කැඳවූ ප්‍රසංගයක් බවට VIBES – 2020 පත් වීම බොහෝ දෙනාගේ කතාබහට ලක් වන්නට හේතුවක් වුණා.

අඩි 70ක් පමණ විචිත්‍රවත් වූත්, ඩිජිටල් තාක්ෂණය සමගින් නවීනතම තාක්ෂණය සහිත වේදිකාවක් VIBES- 2020 ප්‍රසංගය වෙනුවෙන් අලෙවි කළමනාකරණ විද්‍යාර්ථයින් විසින් ගොඩනැගුණු අතර, තම වේදිකාව මත එළිදක්වන්නා වූ විවිධ අංගයන්ට ද ඔවුන් නිර්මාණශීලී ලෙස අති-නවීන තාක්ෂණය යොදාගෙන තිබීම විශේෂත්වයක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ; ආචාර්ය සෝමරත්න දිසානායකයන් මෙම විචිත්‍රවත් අවස්ථාව නැරඹීමට පැමිණ තිබූ අතර, අවට සිටි අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ ආචාර්යවරුන්ගෙන් 

“මේ marketing department එකේ ළමයිම ද?” යනුවෙන් ඔහු විමසා සිටිය බවත් දැනගන්නට ලැබුණා. 

කළමනාකරණය න්‍යායන්ට පමණක් සීමා නොකර ගනිමින් ප්‍රායෝගිකව ඒවා වර්තමානයට ආදේශකොට ගනිමින්, අනාගත අලෙවි කළමනාකරුවන් 300කට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රසංගය සඳහා සම්පත් දායකත්වය දැක්වීමත්, අධ්‍යනාංශයක් ලෙස මෙවන් විශාල ප්‍රාසංගික අත්දැකීමක් ලබාදෙන ලාංකීය සරසවි අතර එකම අධ්‍යනාංශය අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය වීමත් පිළිබඳව තමා ආඩම්බර වන බව අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය අමිලා ජයරත්නයන් විසින් එම අවස්තාවේ දී ප්‍රකාශ කර සිටියා. 

රුපියල් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් මෙහි පිරිවැය වශයෙන් දරනු ලබන අතර, එම මුදල් සොයාගැනීම සඳහා ද සිසුන්ම මැදිහත් වීම මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක්. 

2007 වසරේ ඇරඹි VIBES ප්‍රසංග මාලාවෙහි 09 වන දිගහැරුම මෙලෙසින් ලාංකීය ප්‍රාසාංගික කලාව නවමු මානයකට කැඳවමින් එදින එළිදැක්වූ අතර VIBES අත්දැකීමට අමතරව, එක් වසරක් සඳහා strangers, famigo, ගුරු අභිවන්දන, නැණසර වැනි ඉසව් ගණනාවක් ඔස්සේ අධ්‍යනාංශයෙහි නිර්මාණය වන අලෙවි කළමනාකරුවන් පෝෂණය කරනු ලබනවා.

සරසවි ඉතිහාසය මෙන්ම සරසවි අධ්‍යාපනය ප්‍රායෝගික තලයට ගෙන එමින්, විද්‍යාර්ථයින්ගේ දැනුම හෙට ලොවට ගැළපෙන අයුරින් තැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙහි අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය ගන්නා මෙම වෑයම, අගය කළ යුතු නොවෙ ද?

(මෙය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යනාංශය විසින් සම්පාදනය කරන ලද ලිපියකි.)

Related Articles