Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෛද්‍යවරුන් නිර්දේශ නොකළ යුතුව තිබූ භයානක ඖෂධ – 2

අමෙරිකානු ආහාර සහ සෞඛ්‍ය පරිපාලන ආයතනය නිර්දේශය ලබා දුන්, භයානක ඖෂධ පිළිබඳ ලිපියක් මීට පෙර අප ඔබ වෙත ඉදිරිපත් කළා. එහිදී මිනිසුන් මිය යාමට පවා හේතු වූ ඖෂධ තුනක් ගැන විස්තර ඔබ වෙත ගෙන ආවා.

මේ ලිපියෙනුත් අප ඔබ වෙත ගෙන එන්නේ එවැනිම ඖෂධ තුනක් පිළිබඳ විස්තර යි.

ක්විලූඩ් – rxapotheek.com

ක්විලූඩ්

ක්වීලූඩ් නින්ද යාම සහ, සනායු සන්සුන් කිරීම සඳහා 1962 -1985 අතර කාලයේදී යොදා ගැනුණා. මෙය ඉතාමත් කාර්යයක්ෂ්ම, ඉක්මන් ක්‍රියාකාරී ඖෂධයක් ලෙස මුල් කාලයේ පෙනී ගියා. මේ නිසා නින්ද නොයාමේ රෝගවලින් සහ ස්නායු ආබාධවලින් පෙළුණු බොහෝ දෙනෙක් මේවා ලබා ගැනීමට ක්‍රියා කළ අතර, අවසානයේ ඔවුන් සමහරෙක් නැවතුණේ උන්මාද භාවයට, අපස්මාර තත්ත්වයට සහ වෙනත් මානසික රෝගාබාධවලට ලක්වීමෙනු යි. ඔවුන්ට නිතර ඔක්කාරය සහ වමනය ඇති වූ අතර, දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළුණු සමහරෙක් අවසන මරුමුවට පවා පත් වුණා.

මේ ඖෂධය නිසා පිරිසක් එසේ මිය යද්දී, තවත් කොටසක් ඊට තදබල ලෙස ඇබ්බැහි වුණා. වර්තමානය වන විට මෙය හෙරොයින්, එල්.එස්.ඩී වැනි ප්‍රබල මත්ද්‍රව්‍ය මට්ටමේ ම ලා සැලකෙනවා. අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය මේ සඳහා අනුමැතිය දීමට පෙර ම, සමහර විද්‍යාඥයන්, මෙහි අතුරු ආබාධ පිළිබඳ අනතුරු අඟවා තිබුණා. 1970 දශකය වන විට ක්වීලූඩ් අමෙරිකානු වීදිවල යහමින් විකිනුණු මත්ද්‍රව්‍යයක් වුණා.  1982 වසරේ පමණක්, ක්වීලූඩ් සම්බන්ධ තදබල අසනීප හේතුවෙන්, මිනිසුන් රෝහල් කරා පැමිණීමේ සිද්ධීන් 2764 ක් වාර්තා වී තිබුණා.

වේදනාව දැනීම නැති කරන ඖෂධ දෙකක්

මෝෆීන්වලින් සිදුකෙරෙන උත්තේජනවලට සමාන, පොපි ශාකයේ කොටස් අනුසාරයෙන් තනන ඖෂධ බොහොමයක කතාව මේ ආකාර යි. මෝෆීන් හා හෙරොයින් යන සංඝටක දෙක ම කලක දී, ඉන්ද්‍රජාලයක් මෙන් වේදනාව දැනීම නැති කරන ඖෂධ දෙකක් ලෙස සැලකුණා. මේවා වෛද්‍යවරුන් ඉතා ඉහළින් පිළිගෙන තිබුණු අතර, සාමාන්‍ය ජනතාව ද, ඉතා බහුල ලෙස එදිනෙදා එම ඖෂධ භාවිත කළා. 19 වන සියවසේ දී හෙරොයින්, වෙළෙඳපොළට නිකුත් වූයේ ‘ මෝෆීන්වලට, එමෙන් ඇබ්බැහිකාරකයක් නොවන, ආරක්ෂාකාරී ආදේශකයක්’ ලෙස යි.

සයිලර්ට් – vinmec.com

සයිලර්ට්

1975 වසරේදී වෙළෙඳපොළට නිකුත් වූ සයිලර්ට් මඟින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කොට ඒ.ඩී.එච්.ඩී/ ඒ.ඩී.ඩී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සිදු කෙරුණා.  මෙය කුඩා දරුවන් ඉලක්ක කොට ප්‍රචාරණය කිරීම සිදු කෙරුණු අතර, එහි දී සමහරුන්ට ‘කලාතුරකින් ඇති විය හැකි, හෘදය සම්බන්ධ සුළු අපහසුතා’ වැනි අතුරු ආබාධ පිළිබඳ ව විමසිල්ලෙන් පසුවන ලෙසත් දක්වා තිබුණා. කෙසේ නමුත් මින් හෘදය සම්බන්ධ විශේෂ ගැටලු නම් ඇති වූයේ නැහැ.  අක්මාව සම්බන්ධ ව නම් එය එසේ වූයේ නැහැ. මෙම ඖෂධය භාවිතා කළ සැලකිය යුතු පිරිසකට, අක්මාව සම්බන්ධ බලවත් රෝගාබාධ වැලඳුණා. ඒ එහි වූ විෂ තත්ත්වය අක්මාවට බලපැවැත්වූ නිසා යි.

සම්පූර්ණ අක්මා අකර්මණ්‍යතාව

ඖෂධය නිකුත් කොට ටික කලෙකින් සම්පූර්ණ අක්මා අකර්මණ්‍යතාව ඇති වුණු සිද්ධීන් 13 ක් නිල වශයෙන් වාර්තා වුණා. මින් 11 ක් ම මිය ගියා, නැතිනම් අක්මා බද්ධයකින් පසුව ජීවිතය බේරා ගත්තා. බැලූ බැල්මට මේ අගය ඉතා කුඩා ලෙස පෙනුණත්, පසුකාලීන ව ඔප්පු වූයේ ඊට වඩා වැඩි පිරිසක් මේ ඖෂධය හේතුවෙන් මිය යන්නට ඇති බව යි.  ඉන් බහුතරයකට හේතුව මේ ඖෂධය  යැයි හඳුනාගන්නට නොහැකි වී තිබෙන්නට ඇති  බැව් විද්වත් මතය යි.

ඉහත හේතු කාරණා නිසා, මේ ඖෂධය සම්බන්ධ ව තිබූ භයානක බව පිළිබඳ නියමාකාර චිත්‍රයක් එක්වර ම පෙන්නුම් කරන්නේ නැහැ. මුලින් ම මේ සම්බන්ධයෙන් අක්මා අර්බුද ඇති විය හැකි බැව් සොයා ගත් විට, එහි නිෂ්පාදකයන්  හෘදය සම්බන්ධ අපහසුතා මෙන් ම අක්මාව සම්බන්ධ ‘සුළු’ අර්බුද ද ඇතිවිය හැකි බැව් ලේබලයට ඇතුළු කළා.ඒ 1999 වසරේ දී යි. පසුකාලීනව මේ පිළිබඳ දැඩි කතාබහක් ඇති වූ පසු, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් දීප ව්‍යාප්ත ගවේෂණයක් සිදු කළ අතර, එහිදී හෙළි වූයේ, නිසියාකාරව, සයිලර්ට් සම්බන්ධ අක්මා ගැටලු සහ මරණ වාර්තා වූවානම්, ඒ සම්බන්ධ අගයයන්, ඉතා භයානක ලෙස වැඩි අගයක් ගනු ඇති බව යි.

අක්මාව ආශ්‍රිත ආබාධ

පසුකාලීන වෛද්‍ය වාර්ත පිරික්සීමේ දී හෙළි වූයේ, 1975 වසරේ සිට 1996 වසර දක්වා, එනම් සයිලර්ට් වැඩිපුර ම භාවිත වූ සමයේ, අමෙරිකා එක්සත් ජනපදයෙන් ‘අක්මා ආශ්‍රිත, ඖෂධ නිසා පැනනඟුණේ යැයි සැක කෙරෙන අතුරු ආබාධ පිළිබඳ සිද්ධි’ 193 ක් වාර්තා වී ඇති බව යි. මින් බහුතරය සයිලර්ට් නිසා ඇතිවන්නට ඇති බවට ඉතා සාධනීය සාක්ෂි හමු වී තිබෙනවා.

මේ සියලු කාරණා මධ්‍යයේ සයිලර්ට් 2010 වසර වන තුරු අමෙරිකා වෙළෙඳපොළේ තිබුණා. 2010 වසරේ දී, එම ඖෂධය නිකුත් කිරීම නතර කළ විට පවා අදාළ සමාගම පැවසූයේ එය නතර කළේ විකිණීම අඩු වුණ නිසා බව යි. කෙසේ නමුත් අමෙරිකා සෞඛ්‍ය බලධාරීන් වාර්තාවක් නිකුත් කරමින් ‘සයිලර්ට්’ සබැඳි අක්මා අර්බුද, නිල වශයෙන් වාර්තා වී තිබෙනවාට වඩා දස ගුණයේ සිට 25 ගුණයක් දක්වා විය හැකි බවට ප්‍රකාශ කළා.

පොසිකොර් – ina//vision

පොසිකොර්

අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය මඟින් නිර්දේශ කළ අනෙකුත් භයානක ඖෂධ මෙන් නොව මේ ඖෂධයට නිර්දේශය ලබා දී වසරක් තුළ නැවත එය තහනම් කෙරුණා.

ආරම්භයේ සිටම මේ ඖෂධය සම්බන්ධයෙන් විවිධාකාරයේ ගැටලු මතු වන්නට වුණා. මුල් කාලීන පර්යේෂණවලින් සොයා ගෙන තිබුණේ, මෙයට සැලකිය යුතු පිරිසකගේ හෘද ස්පන්දනයේ රිද්මයට බලපෑම් එල්ල කළ හැකි බව යි.  හෘද රෝග සහ ඇදුම රෝගයට ලබා දෙන සමහර ඖෂධ සමඟ මෙය රෝගීන්ට ලබා දීම ද අතුරු ආබාධ රාශියකට පාර කපන බැව් සොයා ගෙන තිබුණා. මේවා සමඟ ප්‍රොසිකොර් ලබා දිය නොහැකි වූයේ, එය අක්මා එන්සයිමවලට බලපෑම් එල්ල කරන නිසා යි. ඒ නිසා ඉහත සඳන් කළ ඖෂධ කාණ්ඩවල ක්‍රියාකාරීත්වයට ඉන් බලපෑම් එල්ල වුණා. 

මාරක ප්‍රතිඵල

මින් ඇති වන ප්‍රතිඵල මාරක විය හැකි බැව් පෙනී ගියා. මෙම ඖෂධය සමඟ ලබා දිය නොහැකි ඖෂධ ගණන දිනෙන් දින ඉහළ ගිය අතර, අවසානයේ එය නැවත කැඳවන විට ඖෂධ වර්ග 25 ක් සමඟ එය ලබා දීම මාරක ප්‍රතිඵල අත් කරන බැව් තහවුරු වී තිබුණා. මේ සබැඳි මරණ ගණනත් ඒ වන විට සියයක් පමණ වන්නට ඇති බවට සැක කෙරෙනවා.

කවරයේ ඡායාරූපය - whitesandstreatment.com 
මූලාශ්‍ර:
FDA.gov
Allthatsinteresting.gom
www.nddcb.gov.lk

Related Articles