1913 දී “සුදු හූරා” සිදු කළ, ලංකාවේ පළමු අස්ථි බද්ධය

වෛද්‍ය ආර්. එල්. ස්පිටල් විසින් ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සිදුකළ කාර්යයභාරය පිළිබඳව ආසන්න ලිපියක දී අප සඳහන් කළා ඔබට මතක ඇති. ඔහු විසින් එකල සිදු කළ බොහෝ වෛද්‍ය කර්මයන් ගැන විස්තර එම ලිපියේ අඩංගු වුණා. ඒ අතර, ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළේ ස්පිටල් විසින් බවත් සඳහන් කර තිබුණා මතක ද?

බර්ගර් ජාතික වෛද්‍ය ස්පිටල්, 1905 – 1935 අතර කාලයේ යටත්විජිත ලංකාවේ රජයේ පුරෝගාමී ශල්‍ය වෛද්‍යයෙකු ලෙස සේවය කළ, සරසවි ඇදුරෙකු, රචකයෙකු, මානව විද්‍යාඥයෙකු, සහ පරිසරවේදියෙකු ද වූවෙක්. ඉතින් මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ, දැනට වසර 100කටත් වඩා පෙර, වෛද්‍යකර්මය එතරම් දියුණු නොවූ අවධියක, වෛද්‍ය ස්පිටල් විසින් කළ ඒ ප්‍රථම අස්ථි බද්ධය ගැන යි.

ස්පිට්ල් (Three Blind Men)

සරනේලිස්ගේ අත

දහහත් හැවිරිදි තරුණයෙකු වූ සරනේලිස්, 1912 වසරේ ඔක්තෝබරයේ දිනෙක රෝහල කරා එන්නේ සිය දකුණතෙහි වූ බරපතල අස්ථි ප්‍රදාහයක් සහිතව යි. ඔහුගේ දකුණු අතෙහි අරාස්ථියේ පහළ කෙලවර දරුණු ලෙස දිරාගොස්, පූතික අස්ථි ප්‍රදාහය තත්ත්වයට පත්ව තිබුණා. අස්ථිය ඝණ බවට පත්ව, අස්ථියේ සිට සම මතුපිටට විහිදුනු කුඩා සිදුරු කීපයක් හරහා දුර්ගන්ධයක් සහිත සැරව ගලමින් තිබුණා. තවදුරටත් පරීක්ෂාවේ දී වෛද්‍යවරයාට පෙනීගියේ අස්ථිය දිරා ගොස්, සිදුරු සහිතව තිබූ බව යි. තුවාලයේ ඉතිහාසය පිළිබඳව විමසූ ස්පිටල්ට සරනේලිස් පැවසූයේ වසර 4කට පමණ පෙර දකුණු බාහුවේ, මැණික් ක‍ටුවට ආසන්න පූර්ව කොටස ඉදිමීම ආරම්භ වූ බවත්, පසු කලෙක පෙර කී අන්දමේ සැරව ගලන සිදුරු ඇති වූ බවත්.

එම ප්‍රදේශයෙන් පටක සාම්පල ගෙන පරීක්ෂා කිරීමේ දී, සාමාන්‍යයෙන් එවැනි තුවාල වලින් හමුවන අන්දමේ ක්ෂුද්‍රජීවීන් මිස, ක්ෂය රෝගකාරක හෝ වෙනත් බැක්ටීරියාවන් හමු නොවූ නිසා, ස්පිටල් තීරණය කරන්නේ ආසාදනය පිරිසිදු කර දැමීමට යි. ඒ අනුව සුළු ශල්‍යකර්මයක් සිදු කරමින්, සැරව ගලන සිදුරු හරහා මියගිය අස්ථි කොටස සූරා ඉවත් කරන ඔහු, ඉන්පසු ශුද්ධ කාබොලික් අම්ලයෙන් තුවාල පිරිසිදු කරනවා. ස්වල්ප දිනකින් සැරව ගැලූ සිදුරු වියළී, සුව වීම ආරම්භ වන නිසා සරනේලිස් රෝහලෙන් පිටව යන්නේ සිය අත යථා තත්ත්වයට පත්වනු ඇති ය යන බලාපොරොත්තුවෙන්.

තෙමසකින් නැවතත්

සුව වූවා යැයි සිතූ අත නැවතත් ප්‍රදාහයට පත්ව, සරනේලිස් තෙමසකට පසු නැවත රෝහලට පැමිණෙන්නේ අංශක 101ක උණක් ද සහිතව යි. විශාල සිදුරු 5ක් නැවතත් මතුව තිබූ අතර, ඒවායින් ගැලූ ස්‍රාවය තද දුර්ගන්ධයෙන් යුක්ත වූවා. ඉන් අට දිනකට පසුව ඔහුව නැවතත් සැත්කමකට භාජනය කෙරෙන්නේ එයට හේතුව සොයාගැනීමට යි.

මෙහි බාහුවෙහි දක්නට ලැබෙන දිගු, වඩාත් පළල අස්ථිය අරාස්ථිය යි.  (ResearchGate)

මැණික් ක‍ටුවට ආසන්නයෙන් කැපුමක් යොදා, මහපටැඟිල්ලට සම්බන්ධ කණ්ඩරාවන් ඉවතට කර අරාස්ථිය පාදාගත් වෛද්‍යයාට දැකගැනීමට හැකිවුණේ එහි පහත කෙලවර අඟල් 1 1/2ක පමණ කොටස ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක පවතින බව යි. එහි මියගිය අස්ථි පටකය සිදුරු සහිත බවට පත්ව තිබූ අතර, පර්යස්ථිය (අස්ථියක් ආවරණය කෙරෙන ඝණැති, තන්තු සහිත සම්බන්ධක පටකය) කුණු වී, අපිරුහිතය (එනම්, දිගු අස්ථියක අවසන් කොටස) දක්නට නොහැකි වන තරමටම දිරා ගොස්, සන්ධිය තැනූ කාටිලේජ වලින් සිහින් කොටසක් පමණක් ඉතිරිව තිබුණා. නමුත් සන්ධියට එතරම් හානියක් සිදුව තිබුණේ නැහැ.

ප්‍රතිකර්මයක් තිබේ ද?

මෙවැනි තත්ත්වයක අස්ථියකට ප්‍රතිකාර කිරීම එකල ලංකාවේ වෛද්‍ය කර්මයේ දියුණුව අනුව අසීරු නොව, කළ නොහැකි යමක් වුණා. පර්යස්ථිය සහ අපිරුහිතය සුවෙන් තිබුණා නම්, පර්යස්ථියට යටින් පරිඡේදනයක් සිදු කර, එය බටයක් අයුරින් පිහිටන ලෙසට මසා දැමිය හැකිව තිබූ බව වෛද්‍ය ස්පිටල් තමා එම ශල්‍යකර්මය පිළිබඳව පසුව ලියූ වාර්තාවේ සඳහන් කරනවා. කෙසේ නමුත් අස්ථියේ තත්ත්වය අනුව එය සිදු කළ නොහැකි නිසාත්, තවමත් වැඩෙන තරුණයෙකුගේ දකුණු අත කපා ඉවත් කළ නොහැකි නිසාත්, මියගිය සමවයස් අයෙකුගෙන් ලබාගෙන රිඟර් ද්‍රාවණයක් තුළ ගබඩා කොට තබාගත් අස්ථි කොටසක් හෝ රෝගියාගේම අනුජංඝාස්ථියේ කෙලවරක් අතට බද්ධ කිරීම එහි දී ගත හැකිව තිබූ හොඳම විසඳුම බව වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කරනවා.

කෙසේ නමුත් එයින් දින 25කට පසුව එක් යෝග්‍යාවස්ථාවක් උදාවෙනවා.

ලංකාවේ ප්‍රථම අස්ථි බද්ධය

වයස අවු. 30ක් වූ මිනිසෙකු රෝහලට පැමිණෙන්නේ ඩයිනමයිට් පිපිරීමක් නිසා යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමට හානි වූ වම් බාහුවක් සහිතව යි. ඔහුගේ අත සැත්කමකින් ඉවත් කිරීමට තීරණය වෙනවා.

මෙම අවස්ථාව අපගේ පළමු රෝගියා වූ සරනේලිස්ට යම් වාසනාවන්ත තත්ත්වයක් උදාකරවූවක්. ඔහුගේ අතෙන් තවමත් සැරව ගලමින් පැවතුනත්, දෙවන රෝගියාගෙන් ඉවත් කරන අස්ථි කොටසක් යොදාගෙන සැත්කමක් කළ යුතු වුණේ එවැනි අවස්ථාවක් නැවතත් උදා නොවිය හැකි නිසා යි. එනිසා දෙවැන්නාගේ බාහුව සැත්කමක් මගින් ඉවත්කළ වහාම එය ලබාගන්නා වෛද්‍ය ස්පිටල්, එහි අරාස්ථියේ පහත කෙලවරේ අඟල් දෙකක පමණ කොටසක් ඉවත් කරගෙන, උණුසුම් සේලයින් ද්‍රාවණයක බහා තබා, සරනේලිස්ව අස්ථි බද්ධ කිරීමේ සැත්කමට සූදානම් කරනවා.

ස්පිටල් ඔහුගේ නිවස වූ “විචර්ලි” ඉදිරිපිට. අද මෙය කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසැල යි. (comsaa.blogspot.com)

පෙර සැත්කම සිදු කළ ස්ථානයම ඡේදනය කර, පෙර ඉවත්කළ අස්ථි කොටස තිබූ තැන මතුකර ගැනීමෙන් අනතුරුව, අලුතෙන් අසමව වර්ධනය වෙමින් පැවති අස්ථිය ඉවත් කරන ස්පිටල් සුදුසු අයුරින් නව අස්ථි කොටස බද්ධ කර, තුවාලය මසා, පිටතින් පතුරු තබා බැඳ සැත්කම් කළ ස්ථානය වෙළනවා. මෙම වෙළුම් දිනකට වරක් අලුත් කරන්නේ එතනින් ගලමින් තිබූ රුධිරය මිශ්‍ර ස්‍රාවයන් හේතුවෙනුයි.

දින 3කට පසු පූර්ව බාහුව සහ අත පැරිස් බදාමයෙන් තැනූ ආධාරකයක් තුළට දැමෙන අතර, කැපුම් තුවාලයේ වණව තිබූ කෙලවරක් මතින් පමණක් සිදුරක් තබන්නේ ස්‍රාවයන්ට පිටතට ගලා ඒමට හැකි වන ලෙස යි. මෙය ද සති දෙකකින් පමණ අවම වී යන අතර, මාස 4ක පමණ කාලයක් ස්නේහක ස්‍රාවයක් පමණක් මද වශයෙන් ගලමින් තිබූ බව වෛද්‍ය ස්පිටල් සඳහන් කරනවා. සැත්කමෙන් මාස 5කුත් මද කලකට පසු සරනේලිස් සිය ගම් බලා යන්නේ සුවපත් වූ, ක්‍රියාකාරී අතකුත් සහිතව යි.

සාර්ථකයි!

සැත්කමෙන් වසරකට පසු සරනේලිස්ව පරීක්ෂා කරන ස්පිටල් වාර්තා කරන්නේ ඔහු සුවෙන් සිටින බවත්, අතෙහි යම් විකෘතිතා තිබුණත්, එය භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින බවත්. නමුත් වැඩෙන වයසේ රෝගියෙකුට අස්ථි බද්ධයක් සිදු කරන්නේ නම්, සිදුවිය හැකි විකෘතිතා අවම කරගැනීමට සමවයසේ පසුවන්නෙකුගෙන් පමණක් අස්ථි කොටස් ලබාගත යුතු බව එම නිරීක්ෂණයන්ගෙන් පසු ස්පිටල් තහවුරු කරනවා. ඉතින් ලංකාවේ එතෙක් සිදු කළ පළමු අස්ථි බද්ධය සාර්ථක වෙන්නේ එහෙම යි.

එයින් පසු, අද දක්වාත්, රට පුරා අස්ථි බද්ධයන් සිදු වෙනවා. ඒවාට ගෞරවය සහ ස්තුතිය ලැබිය යුත්තන් අතරේ වෛද්‍ය ආර්. එල්. ස්පිටල් ද සිටිය යුතු බව Roar විශ්වාස කරනවා.

කොළඹ මහ රෝහල. 1900 ගණන් වල ලබාගත්, පසුව වර්ණ ගැන්වූ සේයාරුවක් (lankapura.com)

Journal of Ceylon Branch of British Medical Association නමින් එකල ලංකාවේ පල වූ, බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ලංකාවේ ශාඛාවේ ජර්නලයට, “Transplantation of the lower two inches of the radius from one individual into another” යන මැයෙන් වෛද්‍ය ස්පිටල් විසින් අදාල සැත්කමෙන් අනතුරුව ලියා පල කෙරුණු ලිපිය පාදක කොට ගෙන මෙය ලියැවිනි.

විශේෂ ස්තුතිය විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩිට ලැබිය යුතු.

Cover : Three Blind Men

Related Articles