Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියතම මිදි වර්ග 5ක්

මිදි කියන්නෙ අපේ රටේ බාල, මහලු කොයි කවුරුත් කන්නට කැමතිම පලතුරු අතුරින් එකක්. ඈත අතීතයේ සිටම යාපනය ප්‍රදේශයේ මිදි වගාව සිදුවුණත් මෙරට බොහෝ ප්‍රදේශවල සාර්ථකව මිදි වගාව සිදුකරන්නට තවම අපහසුයි. ඒ මෙරට දේශගුණය මිදි වගාව සඳහන් එතරම් යෝග්‍ය නොවන නිසා යි. දැනට පලතුරු බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මෙරට වගා කිරීම සඳහා මිදි ප්‍රභේද 5ක් නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව පසුගිය කාල සමය තුළ ශ්‍රීලාංකීය ගොවියන් සැලකිය යුතු පිරිසක් මිදි වගාව සඳහා යොමු වන ආකාරය දැකගන්නට ලැබුණා.

ලංකාවේ අපට මිදි වගාව ආගන්තුක වගාවක් වෙද්දී චීනය, යුරෝපා රටවල්, අප්‍රිකාව, ඉන්දියාව සහ දකුණු ඇමරිකානු රටවල් වර්තමානය වන විට සරුවටම මිදි වගාව සිදුකරන රටවල් අතර ඉදිරියෙන්ම සිටිනවා.එම රටවල් ආශ්‍රිතව වැඩි රසයකින් මෙන්ම තත්ත්වයෙන් උසස් යුත් මිදි ප්‍රභේද නිෂ්පාදනය කරනවා. එවැනි මිදි ප්‍රභේදවලට ලෝක වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතිනවා. මෙම ලිපිය මඟින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අද වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය වී තිබෙන මිදි ප්‍රභේදවලින් 5ක් පිළිබඳ යි.

කොට්න් කැන්ඩි

කැලිෆෝනියාවේ පදිංචිව සිටින ජැක් පැන්ඩෝල් පාරම්පරිකව මිදි වගා කළ පරපුරකින් පැවත ආ කෙනෙක්. එනිසා ජැක් ද මිදි වගාව පිළිබඳ උනන්දුවක් දක්වන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන්ඩෝල්, මිදි වගාව පිළිබඳ වැඩිදුරටත් ඉගෙන ගත්තා. ඉන් ලබා ගත් දැනුම භාවිත කළ පැන්ඩෝල් 1996 වසරේ දී නව මිදි ප්‍රභේදයක් සොයා ගත්තා. ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරමින් සිටිය දී ඔහුට ඩේවිඩ් කේන් පලතුරු ජාන විද්‍යාඥයා හඳුනාගන්නට ලැබුණා. ඉන් පසු ඔවුන් දෙපළ එකතු වී සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසින් කොට්න් කැන්ඩි නම් මිදි ප්‍රභේදය කරළියට පැමිණියා. ඒ 2011 වසරේ දීයි.

මෙම මිදි වර්ගයේ ගෙඩි මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වර්ධනය වන ඕවලාකාර හැඩැති ඒවා යි. කොළ පැහැයෙන් යුත් ‘කොට්න් කැන්ඩි’ මිදි ප්‍රභේදය වැඩි පැණිරසකින් යුක්ත යි. කොට්න් කැන්ඩි මිදි මෘදු ගතියකින් යුක්ත වුණත් හොඳින් හැපෙනසුලුයි. හොඳින් යුෂ තිබෙන මෙම මිදි වර්ගයේ බීජ රහිත නිසා පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය යි. කොට්න් කැන්ඩි මිදි ප්‍රභේදය සතුව තිබෙන මිහිරි රසය නිසාම වෙළඳපොළට හඳුන්වාදී කෙටි කලක් ගත වන විට විශාල ඉල්ලුමක් ඇතිවුණා.

මෙම මිදි වර්ගය ආම්ලික ගතියෙන් අඩු නිසා මෙන්ම මෙහි ඇති වැනිලා රසයට සමාන මිහිරි රසය නිසා විවිධ ආහාර වර්ග සෑදීමේ දී බහුලව භාවිත කරනවා. කොට්න් කැන්ඩි මිදි අමුවෙන් පලතුරු සලාදවලට එකතු කර ආහාරයට ගැනීමට බොහෝ දෙනකු පුරුදුව සිටිනවා. මෙම මිදි වර්ගයේ උපත ඇමරිකාව තුළ සිදුවුණත් අද වන විට කොට්න් කැන්ඩි මිදි ප්‍රභේදය පේරු, ස්පාඤ්ඤය, ඉතාලිය, චිලී, බ්‍රසීලය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල්වල ද වගා කරනවා.

කොට්න් කැන්ඩි මිදි -A Variety of Fruits

 ෂැම්පේන්

ග්‍රීසියට ආවේණික යැයි විශ්වාස කරන මෙම මිදි වර්ගය පුරාණයේ සිට වගාකරන්නට ඇති බවට විශ්වාසයක් පවතිනවා. අතීතයේ දී මෙම මිදි ප්‍රභේදය කළු කොරින්ත් යන නමින් හඳුන්වනු ලැබුවා. එකල යුරෝපා රටවල වගා කෙරුණු කළු කොරින්ත් මිදි ප්‍රභේදය 19 වන සියවසේ දී ඇමරිකාවට හඳුන්වා දුන්නා. ඉන් පසුව ඩේවිඩ් ෆෙයාර්චයිල්ඩ් නම් සුප්‍රසිද්ධ උද්භිද විද්‍යාඥයා කළු කොරින්ත් මිදි ප්‍රභේදය ඇමරිකාව තුළ ව්‍යාප්ත කළා. ඒ අයුරින් ව්‍යාප්ත වුණු කළු කොරින්ත් මිදි ප්‍රභේදයට ඇමරිකානුවන් ’ෂැම්පේන්’ යන නම තැබුවා. එනිසා අද වන විට මෙම මිදි වර්ගය හඳුන්වන්නේ ෂැම්පේන් යන නමින්. ඇමරිකාවේ තොම්සන් සීඩ්ලස් සමාගම විසින් මෙම මිදි ප්‍රභේදය වඩාත් දියුණු තත්ත්වයකට පත්කළා.

මෙම මිදි වර්ගයේ ගෙඩි ප්‍රමාණයෙන් කුඩා යි. කළු පැහැයෙන් යුත් ෂැම්පේන් මිදි ඇට රහිතයි. මේවා මිහිරි රසයෙන් යුක්ත නිසා පාරිභෝගිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මෙම මිදි වර්ගයට ෂැම්පේන් මිදි යන නම ලැබුණත් මේවා වයින් නිෂ්පාදනය කිරීම සඳහා බහුලව යොදාගන්නේ නැහැ. මෙම මිදි විශේෂය වඩාත් සුදුසු වන්නේ අමුවෙන් හෝ බේක් කර ආහාර සඳහා එක් කිරීමට යි. එහි දී බේක් කරන ලද පේස්ට්‍රි, මෆින්, කේක් වැනි දේ සෑදීමේ දී ෂැම්පේන් මිදි භාවිත කරනවා. ෂැම්පේන් වීදුරු සහ චීස් තැටි සැරසීම සඳහා මෙම මිදි විශේෂය භාවිතයට ගන්නවා. පලතුරු සලාද, මස්, මාළු සහිත ආහාර සැරසීම සඳහා දේ සඳහා ද ෂැම්පේන් මිදි යොදා ගන්නවා.

 ෂැම්පේන් මිදි-Decanter Magazine

මූන් ඩ්‍රොප්

කැලිෆෝනියාවේ ජැක් පැන්ඩෝල්, ඩේවිඩ් කේන් පලතුරු ජාන විද්‍යාඥයා සමඟ එක්ව මෙම මිදි ප්‍රභේදය සොයාගත්තා. ඒ 2004 වසරේ දීයි. කැලිෆෝනියාවේ සැන් ජොකින් මිටියාවතේ වගා කරන මෙම මිදි වර්ගය එරට සුපිරි වෙළඳසල්වලින් විකිණීමට තිබෙනවා. මූන් ඩ්‍රොප් මිදි ප්‍රභේදයට වෙළඳපොළ තුළ සැලකිය යුතු තරම් ඉල්ලුමක් පවතිනවා. තවමත් එම මිදි වර්ගය වැඩි බිම් ප්‍රමාණයක වගා කරන්නේ නැහැ. එනිසා මෙම මිදි ප්‍රභේදය වෙළඳපොළ තුළ වැඩි කාලයක් දක්නට ලැබෙන්නේත් නැහැ. මූන් ඩ්‍රොප් මිදි ප්‍රභේදය වැඩි වශයෙන් අලෙවි කරන්නේ ග්‍රැපරි සමාගම යි.

මෙම මිදි වර්ගයේ ගෙඩි මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වර්ධනය වන දිගැති හැඩයෙන් යුත් ඒවා යි. කළු පැහැයෙන් යුත් මූන් ඩ්‍රොප් මිදි ප්‍රභේදය අනිකුත් කළු මිදි වර්ගවලට වඩා වැඩි පැණිරස ගතියකින් යුක්ත යි. හොඳින් හැපෙනසුලු මිදි වර්ගයක් වන මෙහි බීජ රහිත යි. මූන් ඩ්‍රොප් ප්‍රභේදයේ බොහෝ මිදි ප්‍රභේදවල මෙන් ප්‍රතිඔක්සිකාරක, විටමින් ඒ,සී, කේ, මැංගනීස්, සහ ෆ්ලෙවනොයිඩ් යන පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි.

මූන් ඩ්‍රොප් මිදි අමුවෙන් පරිභෝජනය කිරීමට බොහෝ දෙනකු පුරුදුව සිටිනවා. මෙම මිදි වර්ගය බදින ලද සහ පිසින ලද ආහාරවලට එක් කරන්න කදිමයි. විශේෂ ක්‍රමයට සකසන ලද අතුරුපස වර්ග සැරසීමට, විවිධ මස් වර්ගවලින් සකස් කරන ලද ප්‍රණීත ආහාර වර්ග සරසන්නට මෙම මිදි වර්ගය සුලබව භාවිත වනවා. මූන් ඩ්‍රොප් මිදිවල දිගැටි හැඩය නිසා සරසන ලද ආහාර බඳුනට වැඩි අලංකාරයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙම මිදි වර්ගය සතියක පමණ කාලයක් ශීතකරණයක් තුළ ගබඩා කර තැබිය හැකියි. ඊට වඩා වැඩි කාලයක් ගබඩා කර තැබුවොත් ඒවායේ රසය වෙනස් වීමට ඉඩ තිබෙනවා.

 මූන් ඩ්‍රොප් මිදි-delish.com

කියෝහෝ

ජපන් කෘෂි විද්‍යාඥයෙකු වුණු ඔයිනු යසුෂි 1937 වසරේ දී මෙම දෙමුහුන් මිදි ප්‍රභේදයක් ලෙසින් සංවර්ධනය කිරීම ආරම්භ කළා. මෙම මිදි වර්ගයට කියෝහෝ යන නම ලැබුණේ 1946 වසරේ දීයි. ඉන් වසර 11ක් ගතවුණු පසුව එනම් 1957 වසරේ දී කියෝහෝ මිදි ජපානයේ වාණිජ වගාවක් ලෙසින් ආරම්භ වුණා. ඉන් පසුව මෙම මිදි ප්‍රභේදය චීනය, ඇමරිකාව, කොරියාව, චිලී යන රටවල්වලට ව්‍යාප්ත වුණා.
ප්‍රමාණයෙන් විශාල කියෝහෝ මිදි වටකුරු හැඩයෙන් යුක්ත යි. ඒවායේ පොත්ත සිනිඳු වන අතර ගෙඩියක් ඇල්ලූ විට තද ගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් වයලට් දම් පැහැයේ සිට තද දම් පාට දක්වා පැහැය වෙනස් වන මෙම මිදි වර්ගය පරිභෝජනය කිරීමට පෙර එහි පොත්ත ඉවත් කරනවා. ඒ පොත්ත තරමක කහට ගතියකින් යුක්ත නිසා යි. අඩු ආම්ලිකතාවක් සහිත මිදි වර්ගයක් වන කියෝහෝ හි බ්‍රික්ස් අගය 18-20 අතර අගයක් ගන්නවා. එනිසා මෙම මිදි වර්ගය පැණිරස ගතියෙන් වැඩියි.

ජපන් වැසියන් අතර වඩාත් ජනප්‍රිය මිදි වර්ගයක් වන කියෝහෝ ඔවුන් උත්සව අවස්ථාවන්වල දී බහුලව භාවිත කරනවා. එහි දී අතුරුපස වර්ග සමඟ මිශ්‍ර කිරීමට, බේක් කරන ලද ආහාරවලට එකතු කිරීමට, වයින් සෑදීමට, සාම්ප්‍රදායික කොක්ටේල් වර්ග සෑදීමට, සහ ඇපල්, දොඩම්, රටකජු, ආමන්ඩ්, චීස් වැනි දේවල් සමඟ මුසු කිරීමට කියෝහෝ මිදි යොදාගන්නවා. උත්සව සමයේ දී ජපන් වැසියන් සිය හිතවතුන් සතුටු කිරීම සඳහා මෙම මිදි පොකුරක් තෑගි කිරීම බහුලවම සිදුකරන දෙයක්.

 කියෝහෝ මිදි -Green Seeds 

පිනොට් නොයාර්

පිනොට් නොයාර් නම් මිදි ප්‍රභේදය යුරෝපයට ආවේණික යැයි විශ්වාස කරනවා. වර්තමානය වන විට ප්‍රංශය මෙම මිදි වර්ගය නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව සිටිනවා. ජර්මනිය සහ ඇමරිකාව ආශ්‍රිතව ද පිනොට් නොයාර් මිදි බහුලව වගා කරනවා. ඊට අමතරව ඉතාලිය, මෝල්ඩෝවා, ස්විට්සර්ලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ආජන්ටිනාව, සහ චිලී යන රටවල් ආශ්‍රිතව ද මෙම මිදි විශේෂය වගා කරනවා.

මෙම මිදි වර්ගයේ ගෙඩි කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණය දක්වා වර්ධනය වන වටකුරු හැඩයෙන් යුත් ඒවා යි. එසේම අඳුරු නිල් පැහැයෙන් යුත් පිනොට් නොයාර් මිදි ප්‍රභේදයේ පොත්ත සිනිඳු යි. මිහිරි සුවඳකින් යුත් මෙම මිදි ප්‍රභේදයේ ඉස්ම හොඳින් තිබුණත් බීජ සහිත යි. පිනොට් නොයාර් ප්‍රභේදයේ ඇන්තොසියානින්, රෙස්වෙටරෝල්, කැරොටිනොයිඩ්ස්, ටැනින් සහ ටර්පෙනස් වැනි සංයෝග අඩංගු යි.

පිනොට් නොයාර් මිදි -Expensive Champagne Guide

පිනොට් නොයාර් මිදි ප්‍රභේදය වයින් නිෂ්පාදනය සඳහා පමණක් භාවිත කරනවා. මිදි තරුණ අවධියේ පවතින විට එනම් බ්‍රික්ස් අගය 18-20 අතර තිබිය දී නෙළාගන්නේ ෂැම්පේන් හෝ දීප්තිමත් සුදු වයින් සෑදිම සඳහා යි. රතු වයින් සෑදීම සඳහා මිදි පරිණත වන තුරු තැබිය යුතුයි. එහි දී වඩාත් පැණිරසක් ගන්නා මිදිවල බ්‍රික්ස් අගය 23.5කට ළඟා වනවා. බටහිර රටවල වයින් නිෂ්පාදනය සඳහා ගන්නා පිනොට් නොයාර් මිදි ඇතැම් ආසියානු රටවල්වල විවිධ ආහාර සමඟ මිශ්‍ර කරනවා. ඒ අනුව සුෂි, සෂිමි, කුකුල් මස්, ඌරු මස්, සැමන් මාළු වැනි ආහාර සමග පිනොට් නොයාර් මිදි යුගලනය කරනවා. සාමාන්‍යයෙන් මෙම මිදි වර්ගය සතියක පමණ කාලයක් නැවුම් ගතියෙන් ශීතකරණයක් තුළ තබාගන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය- Wine Australia

මූලාශ්‍ර:

teabreakfast.com

Related Articles