Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සිදු වූ අබිරහස් සිදුවීම් හතරක්

දෙවන ලෝක සංග්‍රාමය යනු ගෝලීය ප්‍රජාව එතෙක් මෙතෙක් මුහුණ දුන් අතිශයින් ම පීඩාකාරී කාල වකවානුවක්. ව්‍යාකූලත්වය, මරණය, බිය, සමාජ කැලඹීම්, එකල ලෝකය පුරා පැතිර ගිය අතර, ඒවා සාමාන්‍යකරණයට ද ලක් වුණා. 1945 දී යුද්ධය අවසන් වුව ද එහි බලපෑම අංශ ගණනාවක් ඔස්සේ ලෝකයට බලපෑම් එල්ල කළා. යුද සමය අතරතුර සිදු වූ පැහැදිලි කළ නොහැකි සංකීර්ණ සිදුවීම් එම බලපෑම්වල එක් අංශයක් ලෙස හැඳින්විය හැකි යි. මෙම ලිපිය මඟින් දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සිදු වූ එවැනි අබිරහස් සිදුවීම් හතරක විස්තර ඔබ වෙත ගෙන එනවා.   

1. ප්‍රතිවාදියෙක් නැති ලොස් ඇන්ජලීස් සටන

1942 පෙබරවාරි 25 වැනි දා අලුයම ලොස් ඇන්ජලීස් හි වැසියන්ට ඉමහත් පීඩාකාරී කාලපරිච්ඡේදයක් වුණා. ඉතිහාසයට අනුව එදින නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවතුණු අතර, අහස පුරා අධිබල විදුලි සෙවුම් පහන් දල්වමින් අමෙරිකානු හමුදාව එයට මුහුණ දීමට මනා සූදානමකින් සිටියා. ඉන් මාස කිහිපයකට පෙර එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ පර්ල් වරායට ජපන් හමුදාව බරපතල ප්‍රහාරයක් එල්ල කළ බැවින්, තවත් එවැනි ම තර්ජනයක් ජපානයෙන් එල්ල විය හැකි බව අමෙරිකානුවන් අනුමාන කළා.

දෙවන ලෝක යුද සමයේ දී නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගත් අධිබල විදුලි පහන් – www.history.com

අලුයම 3.00 ට පමණ ලොස් ඇන්ජලීස්වලට යාබද වෙරළබඩ නගරයක් වූ සැන්ටා මොනිකා හි ගුවන් යානා නාශක තුවක්කු ක්‍රියා විරහිත වූ විට ආක්‍රමණය ස්ථිර බව තහවුරු වුණා. මෙම කාලය අතරතුර ලොස් ඇන්ජලීස් සහ ඒ අවට ප්‍රදේශයේ අහස හරහා කිසියම් හඳුනා නොගත් වස්තුවක් ගමන් කරන බව නිරීක්ෂණය වූ අතර, ඇතැමුන් එය තැඹිලි පැහැයෙන් දිළිසෙන සහ වටකුරු වස්තුවක් ලෙස විස්තර කර තිබුණා. මොහොතකින් ගුවන් යානා නාශක තුවක්කු අද්භූත වස්තුව දෙසට ප්‍රහාර 1400 ක් පමණ එල්ල කළ ද ඉලක්කගත වස්තුවේ සුන්බුන් කිසිවක් හමු වුණේ නැහැ. ප්‍රහාරය අවසන් වූ පසු තවදුරටත් එම අද්භූත වස්තුව අහසේ දර්ශනය වූයේ ද නැහැ.

නිශ්චිත හේතුවක් නැහැ

ප්‍රතිවාදියෙක් ලෙස සැලකූ පැහැදිලි කළ නොහැකි යමක් සමඟ සිදු කළ “ලොස් ඇන්ජලීස් සටන” හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගියා. ඉන් තිදෙනෙක් උද්ගත වූ කලබලකාරී තත්ත්වය මැද සිදු වූ රිය අනතුරුවලින් මිය ගිය අතර, ඉතිරි දෙදෙනා හටගත් පීඩාකාරී වාතාවරණය දරාගත නොහැකි ව හෘදයාබාධයකින් මිය ගියා.

පුවත වාර්තා කර තිබූ අයුරු – www.militarytimes.com

 1949 දී ලොස් ඇන්ජලීස් සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙරළ කාලතුවක්කු සංගමය යම් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. ඔවුන් පවසා සිටියේ මේ වෙඩි තැබීම වරදවා වටහා ගත් කාලගුණ බැලූනයක් නිසා සිදු වූ බව යි. තවත් අවස්ථාවක වැරදි රේඩාර් කියවීම් මත පදනම් වූ ව්‍යාජ අනතුරු ඇඟවීමක් නිසා ප්‍රහාරය සිදුකළ බවත් පැවසෙනවා. කෙසේ නමුත්, එකල අමෙරිකානු හමුදා පර්ල් වරායේ සිදුවීමටත් වඩා ප්‍රබල ජපන් ආක්‍රමණයක් දැඩි ව අපේක්ෂා කළා. එවැනි යුද මානසිකත්වයක සිටි නිසා “යුද අධිසංවේදීභාවය” මත හටගත් කලබගෑනියක් ලෙස ලොස් ඇන්ජලීස් සටන සලකන්නට පුළුවන්. එනමුදු තවමත් මේ සිදුවීම්වල සත්‍ය පසුබිම අපැහැදිලි යි.

2. නාසීන් ගේ අබිරහස් රත්‍රන් දුම්රිය

දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන භාගය තුළ ජර්මානු නිලධාරීන්, පෝලන්තයෙන් සහ රුසියාවෙන් සොරකම් කළ ධනය දුම්රියකින් ප්‍රවාහනය කළ බව පැවසෙනවා. එය තහවුරු කර ගැනීමට සාක්ෂි නොමැති වුවත්, නාසීන් ගේ අබිරහස් රත්‍රන් දුම්රිය අදටත් කුතුහලය දනවන පුරාවෘත්තයක්.

ඇතැම් ප්‍රවාද වලට අනුව දුම්රිය තුළ රත්‍රන් ටොන් 300 ක් පමණ ගබඩා කර තිබූ අතර, නැඟෙනහිර යුද පෙරමුණේ භාවිත කිරීමට අදහස් කළ අවි ආයුධවල මූලාකෘති පවා දුම්රියට ඇතුළත් කළ බව ඇතැමුන් විශ්වාස කරනවා. කෙසේ නමුත්, නාසි හමුදාවේ බලය පිරිහෙමින් තිබූ නිසා සතුරු පාර්ශවයට හසු නොවන සේ දුම්රිය සඟවා තැබීමට නාසීන් ක්‍රියා කළ බව යි පුරාවෘත්තයෙන් පැවසෙන්නේ.

අදටත් නාසීන් ගේ අබිරහස් රත්‍රන් දුම්රිය හුදු පුරාවෘත්තයක් සහ ඉතිහාසගත සත්‍යයක් යන අන්ත දෙක අතර දෝලනය වෙමින් තිබෙනවා – www.zdf-studios.com

නාසීන් ගේ අබිරහස් රත්‍රන් දුම්රිය, එකල ජර්මානු නගරයක් වූ වොල්බ්ර්ච් නගරය අසල Owl Mountains හි භූගත ව සඟවා ඇතැයි යන සැකය පැවතුණා. අද මෙම ප්‍රදේශය පෝලන්ත රජය යටතේ පාලනය වෙනවා. වසර ගණනාවක් පුරා පෝලන්ත විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් දුම්රිය සහ එහි අන්තර්ගතය සොයා ගැනීමට උත්සහ කළ ද ඔවුන් සාර්ථක වූයේ නැහැ.

දූෂමාන ආරංචි

පසුකලෙක පෝලන්ත රජය පවා මේ අපූරු නිධානය සොයා ගැනීමේ කර්තව්‍යයට සහයෝගය දැක්වූවා. ඒ සඳහා ඉදිරිපත් වන ගවේෂණ කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමට පෝලන්ත රජය ක්‍රියා කළ අතර, එරට හමුදාව ද සෝදිසි මෙහෙයුම් සඳහා ඉදිරිපත් වුණා. 2016 දී ජර්මානු පතල් සමාගමක් මෙහෙයවූ සෝදිසි කිරීමක් අතරතුර Owl Mountains හි භූගත දුම්රියක් ඇති බව කියා සිටියා. මෙම තොරතුරු පුවත්පත්වලට කාන්දු වූ විට විශාල ආන්දෝලනයක් ඇති වූ අතර, රත්‍රන් දුම්රියේ පැවැත්ම සම්බන්ධ ප්‍රවෘත්ති නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට පෝලන්ත රජය ක්‍රියා කළා.

භූ විද්‍යාඥයන් දුම්රිය වළ දමා ඇති බවට කටකතා පැතිර ගිය ස්ථානය පරීක්ෂා කරමින් – www.bbc.com

 විවිධ දූෂමාන ආරංචි සහ ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණ දෙමින් ගවේෂණ විධිමත් ව පවත්වා ගැනීමට රජය උත්සුක වුණා. කෙසේ නමුත්, භූගත උමං මාර්ගයක සැඟවූ දුම්රියක පැවැත්ම පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වුණේ නැහැ. භෞතික සාධක හමු නොවුණත්, දුම්රිය සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි ඕනෑ තරම් තිබුණා. ඒවායේ සත්‍ය අසත්‍යභාවය විවාදාත්මක බැවින්, නිසි පිළිගැනීමක් ලැබුණේ නැහැ. අදටත් නාසීන් ගේ අබිරහස් රත්‍රන් දුම්රිය හුදු පුරාවෘත්තයක් සහ ඉතිහාසගත සත්‍යයක් යන අන්ත දෙක අතර දෝලනය වෙමින් තිබෙනවා.

3. සතුරන් මැදට පැමිණි ජර්මානුවා

1941 වර්ෂයේ එක්තරා දිනක ස්කොට්ලන්තයේ ගොවිබිමක් මත ගිනිගෙන දැවෙන ගුවන් යානයක් ගොවියකු ගේ ඇස ගැටුණා. යුදමය කාලවකවානුවක එවැනි සිදුවීම් බලාපොරොත්තු විය හැකි නමුත්, විනාශ වූ ගුවන් යානය අසල සිටගෙන සිටි ආගන්තුකයා නිසා මෙම සිදුවීම විශේෂ අවස්ථාවක් ලෙස ඉතිහාසගත වුණා. කැප්ටන් ඩේවිඩ් හෝන් යනුවෙන් ආගන්තුකයා තමා හඳුන්වා දුන්න ද ඉක්මනින් ම එය අසත්‍ය‍යක් බව ඔප්පු වුණා. ඔහු ගේ සැබෑ නාමය රුඩෝල්ෆ් හෙස් වන අතර, ප්‍රබල නාසී දේශපාලඥයෙක් වශයෙන් ද ඔහු ප්‍රකට යි.

ගුවන් යානය කඩා වැටුණු ස්ථානය -www.smithsonianmag.com

ගුවන් යානා නාශක අවි සහ රේඩාර් පද්ධති මඟ හරිමින් රුඩෝල්ෆ් කෙසේ හෝ ජර්මනියේ සිට ස්කොට්ලන්තයට ළඟා වී තිබුණා. එ‍ය ඉතා අවදානම් ගමනක් වුවත්, විස්මයජනක ම කරුණ ඇත්තේ එතැන නොවෙ යි. ජර්මනිය හමුවේ ස්කොට්ලන්තය සතුරු රාජ්‍යයක් ලෙස ක්‍රියා කරන බැවින්, නාසි පාලන තන්ත්‍රයේ උසස් නිලධාරියෙක් සතුරන් මැදට ම පැමිණීම ගැටලු සහගත වුණා. 

අත් අඩංගුවට ගත් පසු ස්කොට්ලන්තයට පැමිණි කාරණාව විමසූ විට හෙස් පැවසුවේ නාසි දේශපාලකයන් සහ බ්‍රිතාන්‍ය පාර්ශවය අතර සාමය ස්ථාපිත කිරීම සඳහා තමා පැමිණි බව යි. නමුත්, එය විශ්වාස කිරීමට ඉතා අමාරු නිදහසට කාරණාවක් වූවා.

අපැහැදිලි අරමුණක්

දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ විට නාසි බලවතුන් ගේ ධූරාවලිය දිගින් දිගට ම පවත්වා ගැනීම සඳහා හිට්ලර් සැලසුමක් සකස් කළා. ඒ අනුව ඔහු ගේ ආසන්නත ම අනුප්‍රාප්තිකයා හර්මන් ගෝරිං වූ අතර, රුඩොල්ෆ් හෙස් ද එම අනුප්‍රාප්තික රේඛාවේ ස්ථානයක් හිමිකර ගෙන තිබුණා. කොතරම් ප්‍රබලයෙක් වුවත්, යුද්ධය ඇරඹුණු පසු ඔහුට පැවරුණු රාජකාරි සම්බන්ධයෙන් ගැටලු මතු වුණා. යම් කාර්යයක් ඉටු කිරීම සඳහා හිට්ලර් ගෙන් ලැබුණු සීමිත කාල‍යත් ඊට හේතු වූ බවයි පැවසෙන්නේ.

ඇඩොල්ෆ් හිට්ලර් සහ රුඩොල්ෆ් හෙස් – www.newscientist.com

ජර්මානු හමුදාව, සෝවියට් සංගමය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන විට පෙරමුණු දෙකක යුද ව්‍යසනය වලක්වා ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍යය සමඟ සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවක් හෙස්ට තිබූ බව සඳහන් වෙනවා. ඔහු ස්කොට්ලන්තයට තනිව ම පියාසර කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කළේ එම අවශ්‍යතාව මත ද යන්න අදටත් පැහැදිලි නැහැ.

බ්‍රිතාන්‍ය රජය හෙස් ගේ අරමුණ නොපිළි ගත් අතර, යුද්ධය අවසන් වූ පසු ඔහු යුද අපරාධකරුවෙක් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කිරීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා කළා.

කෞතුක භාණ්ඩයක් බවට පත් වූ හෙස් පැමිණි ගුවන් යානයේ බඳ කොටසක් – www.smithsonianmag.com

සිරගත ව සිටිය දී අවස්ථා කිහිපයකදී ම සියදිවි නසා ගැනීමට රුඩෝල්ෆ් උත්සහ කළා. ඔහුගේ සිරගත ජීවිතය දශක හතරක් පමණ දිගු වන අතර, 1987 දී ඔහු යළිත් වරක් සිය දිවි නසා ගැනීමට තැත් කළා. එවර ඔහු ගේ දිවි බේරා ගැනීමට කිසිවකුට හැකි වුණේ නැහැ.

 රුඩෝල්ෆ් සැබවින් ම ස්කොට්ලන්තයට පියාසර කළේ ඇයි?

 බ්‍රිතාන්‍ය නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම් අතරතුර සිදු වූයේ කුමක් ද?

 රුඩෝල්ෆ් මානසික රෝගයකින් පෙළුණු තැනැත්තෙක් ද?

ඔහු ස්කොට්ලන්තයට තනිව ම පැමිණීමට තරම් එඩිතර වූයේ එවැනි රෝගී තත්ත්වයක් තිබූ නිසා ද?

මේ සියලු ගැටලු අදටත් අබිරහසක්!

4. රවුල් වොලන්බර්ග්ට සිදුවූයේ කුමක් ද?

රවුල් වොලන්බර්ග් යනු ස්වීඩන් ව්‍යාපාරිකයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන අතර, දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන භාගය තුළ පිරිහෙමින් සිටි ජර්මානුවන් ගෙන් යුදෙව්වන් දහස් ගණනක් බේරා ගැනීමේ ගෞරවය හිමි කර ගත් පුද්ගලයෙක්. 1944 ගිම්හානයේ සිට එම වසර අග දක්වා ඔහු හංගේරියාවේ සිටි යුදෙව්වන්ට ස්වීඩන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සහ ජාත්‍යන්තර නීතිය යටතේ ස්වීඩන් භූමියේ රැකවරණය ලබා දෙමින් යුදෙව්වන් ආරක්ෂා කිරීම වැනි සේවා සැපයූවා.

රවුල් වොලන්බර්ග් – www.raoulwallenberg.net

වොලන්බර්ග් සිය කටයුතු සිදුකර ගෙන යන අතරතුර හංගේරියාවේ බුඩාපේස්ට් නගරය වැටලීමට සෝවියට් හමුදා ක්‍රියා කළා. එහි දී ඔත්තු බැලීමේ චෝදනාව යටතේ වොලන්බර්ග් අත් අඩංගුවට ගැනීමට සෝවියට් හමුදා උත්සුක වූ අතර, දශකයකට වැඩි කාලයක් ඔහු සෝවියට් භාරයේ සිටියා. 1947 ජූලි මාසයේ දී රවුල් වොලන්බර්ග්, ස්වභාවික හේතුන් මත මිය ගිය බව වාර්තා වුණා. සෝවියට් පාර්ශවය පවසන අන්දමට ඔහු ගේ මරණය සිදු වී තිබුණේ හෘදයාබාධයකින්.

වොලන්බර්ග් ගේ මරණය තෙක් සියල්ල සාමාන්‍ය අන්දමින් ගෙවී ගිය ද මරණයෙන් පසු වොලන්බ‍ර්ග් අබිරහසක් වීම ඇරඹුණා. සිරකරුවන් කිහිප දෙනෙක් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව වාර්තා කිරීම ඊට හේතුව යි. විස්මයජනකම කරුණ වන්නේ 1960 දී පවා එක් සිරකරුවෙක් වොලන්බර්ග් ජීවතුන් අතර සිටින බව පැවසීම යි. වරෙක ඔහු සෝවියට් සංගමයේ කුප්‍රකට ලුබියන්කා බන්ධනාගාරයේ සිටින බවත් වාර්තා වුණා. වොලන්බර්ග් සෝවියට් භාරයේ තබා ගැනීමට මුල් වූ සෘජු හේතුවක් පැහැදිලිව සඳහන් වන්නේ නැහැ. බොහෝ හේතුන් අනුමානිත කරුණු පමණ යි. වොලන්බර්ග්, එක්සත් ජනපද ඔත්තු සේවා සමඟ සම්බන්ධයැ යි කියන කාරණයේ සිට හංගේරියානුවන්ට එරෙහි ව ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් දක්වා එම හේතු විහිදෙනවා.

අබිරහසක් වූ වොලන්බර්ග්

වොලන්බර්ගේ මරණය සිදු වූ අන්දම සහ මරණය වාර්තා කිරීමෙන් පසු ඔහු ව දුටුවායැ යි පැවසෙන ස්ථානවල තොරතුරු අවුල් සහගත යි. 1947 දී ස්වභාවික හේතුන් මත මිය ගිය බවට වූ සඳහනට අමතර ව 1945 දී “ගෙස්ටාපෝ” නමැති ජර්මානු රහස් පොලිසිය අතින් වොලන්බර්ග් ඝාතනය වූ බවත් පැවසෙනවා. 1947 දී රුසියානුවන් ම වොලන්බර්ග් ඝාතනය කළා යන සැකය ද තිබෙනවා.

 වඩාත් සුවිශේෂම කරුණු එළිදරව් වන්නේ ඉන් පසුව යි. මරණය වාර්තා කිරීමෙන් පසු ඔහු විවිධ තැන්වල ජීවතුන් අතර සිටින අයුරු ඇතැමුන් දැක තිබුණා. පෙර සඳහන් කළ 1960 සිදුවීමට අමතර ව 1962 දී රැංගල් දූපත තුළත්, 1987 දී වෙනත් සෝවියට් බන්ධනාගාරයකත්, වොලන්බර්ග් ජීවත් වූ බව පැවසෙනවා. අවසානයේ දී ස්වීඩන් බලධාරීන් ම වොලන්බර්ග් මිය ගිය බව නිල වශයෙන් ප්‍රකාශ කළා. එම නිල ප්‍රකාශය 2016 තරම් ඉතාම මෑතක දී සිදු කිරීම විශේෂත්වයක්.   

යුදෙව්වන් වෙනුවෙන් සිදු කළ සේවය නිසා වොලන්බර්ග් අද වීරත්වයෙන් පිදුම් ලබනවා – www.timesofisrael.com

රුසියාව, ජර්මනිය, හංගේරියාව, එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ආණ්ඩු සමඟ වොලන්බර්ග් සබඳතා පැවැත්වූවා. දෙවන ලෝක සංග්‍රාමය අතරතුර නාසින්ට හිතවත් හංගේරියානු රජය යටපත් කිරීමට පවා ඔහු මූලිකත්වය ගත් බව වර්තමානයේ සැක පහළ කරනවා. කෙසේ නමුත්, ඔහුත් සමඟ සමීපව කටයුතු කළ ස්වීඩන් රජය වොලන්බර්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කර තිබුණා.

  කාලයා ගේ ඇවෑමෙන් රවුල් වොලන්බර්ග්, දෙවන ලෝක සංග්‍රාමය ආශ්‍රිත ව සිදු වූ තවත් අබිරහසක් ලෙස ඉතිහාසයට එකතු වුණා. ඔහු ගේ මරණය සිදු වූ අන්දම, මරණයට පත් වූ කාල වකවානුව සහ මරණයෙන් පසුව පවා ඔහු ජීවතුන් අතර සිටියායැ යි පැවසෙන වාර්තාවල සත්‍යා අසත්‍යභාවය තව ම විසඳී නැහැ. නාසීන් සහ මිත්‍ර පාර්ශවය සමඟ වොලන්බර්ග් පැවැත්වූ සබඳතාත් අපැහැදිලි යි.

දෙවන ලෝක සංග්‍රාමය අතරතුර සිදු වූ පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ගණනාවක් ම තිබෙනවා. ඉන් බොහෝ සිදුවීම් පුද්ගල අතුරුදහන් වීම් සමඟ සම්බන්ධ වන අතර, ඇතැම් සිද්ධීන් පසුකලෙක විසඳීමට හෝ පැහැදිලි හේතු දැක්වීමක් ඉදිරිපත් කිරීමට අවකාශ ලැබුණා. ඉදිරි කාලයක දෙවන ලෝක සංග්‍රාමය ආශ්‍රිත ව සිදු වූ තවත් අබිරහස් සිදුවීම් මාලාවක් සමඟ හමුවෙමු.

කවරයේ ඡායාරූපය: දෙවන ලෝක සංග්‍රාමයේ කතා නායකයා, ඇඩොල්ෆ් හිට්ලර් - www.history.com

මූලාශ්‍ර:
www.grunge.com
explorethearchive.com
historycollection.com

Related Articles