Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ගේ සිනමාවේදිනිය: ලෙනී රීෆන්ෂ්ටාල්

ජෝර්ජ් ලූකස්, පීටර් ජැක්සන් හා රිඩ්ලි ස්කොට් වැනි එපික් වර්ගයේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට මෙන්ම තවත් බොහෝ සිනමාකරුවන් අධ්‍යයනය කරන චිත්‍රපට දෙකක් තමයි 1935 දී නිර්මාණය කළ Triumph of Will සහ 1936 බර්ලින් ඔලිම්පික් උළෙල ඇසුරින් 1938 දී තැනූ Olympia යන චිත්‍රපට. විශේෂත්වය වන්නේ මේ චිත්‍රපට දෙකම ඇඩොල්ෆ් හිට්ලර් හා ජෝසෆ් ගොබෙල්ස්ගේ පූර්ණ අනුග්‍රහයෙන් නට්සි ජර්මනියේ තනන ලද ඒවා වීමයි. එම චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළ ලෙනී රීෆන්ෂ්ටාල්ද විවාදාත්මක චරිතයක්.

මුල් කාලීන ජීවිතය

රීෆන්ෂ්ටාල් උපත ලබන්නේ 1902 වසරේ. ඇගේ පියා ධනවත් කර්මාන්ත හිමියෙක්. ඔහුට අවශ්‍ය වන්නේ ලෙනීවද තම ව්‍යාපාර ක්ෂේත්‍රයට හඳුන්වා දීමටයි. එසේ වුවත් කුඩා කල සිටම ඇය ප්‍රිය කරන්නේ කලාව ආශ්‍රිත ක්‍රියාකාරකම්. ඊට අමතරව පිහිනීම, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවන්ටවද ඇළුම් කරනවා. වයස 16 දි පමණ සිට ඇය නර්තනයට බෙහෙවින් ආශා කරමින් එය හැදෑරීමට බර්ලිනයේ ග්‍රිම් රීටර් නර්තන පාසලට බැඳෙනවා. ඉක්මණින්ම දක්ෂතම නර්තන ශිල්පිනියක් බවට පත් වන ඇයගේ කීර්තිය ජර්මනියෙන් පිටතටද විහිදී යනවා. කෙසේ වුවත් පාදයේ ආබාධයක් නිසා ඇගේ නර්තන දිවිය නිමා වෙනවා.

නර්තන දිවියේ නිමාවත් සමග ලෙනී යොමුවන්නේ රඟපෑම වෙතයි. ඇය නිළියක් ලෙස චිත්‍රපට කිහිපයකම රඟපා කීර්තියට පත්වන අතර කෙමෙන් අධ්‍යක්ෂණයටද යොමුවනවා. 1932 දී ඇය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ The Blue Light චිත්‍රපටය සඳහා වැනිස් චිත්‍රපට උළෙලේදී රිදී ත්‍යාගය හිමිකරගත්තා. කඳුකර පෙදෙසක වෙසෙන ජර්මානු ගැමි යුවතියක් ලෙස එම චිත්‍රපටයේ ඇගේ රංගනය විචාරක අවධානයට පමණක් නොව එවක ජර්මනියේ නැගී එන ජාතිකවාදී දේශපාලඥයෙකුගේ අවධානයටද යොමු වුණා. ඒ ඇඩොල්ෆ් හිට්ලර්. හිට්ලර් ට අනුව එම චරිතය දර්ශීය ජර්මානු ගැහැණියකුගේ චරිතය හුවා දැක්වූ නිසායි, ඔහුගේ අවධානය අැයට යොමු වී අැත්තේ.

1 ලෙනී රීෆන්ෂ්ටාල් (USC Cinematic Arts)

ප්‍රචාරකවාදී සිනමාවට අවතීර්ණය වීම

මේ වන විට හිට්ලර්, ජර්මනියේ බලයට පත්ව සිටියා. හිට්ලර්ගේ ප්‍රචාරක රැළිවලට සහභාගි වූ ලෙනී හට ඔහු පිළිබඳව තිබුණේ විශාල ප්‍රසාදයක්. ලෙනීගේ කුසලතාව මැනවින් හඳුනාගත් හිට්ලර් 1933 නියුරම්බර්ග් නුවර පැවති නට්සි රැළිය ගැන The Victory of Faith නම් ප්‍රචාරකවාදී වාර්තා චිත්‍රපටයක් තැනීම බාර දුන්නා. ඇය එය ප්‍රශ්ස්ත අයුරින් සිදු කළත් නොසිතූ බාධකයක් පැමිණුනා. එනම් නියුරම්බර්ග් රැළියේදී හිට්ලර් ළඟින්ම සිටි සහ ඔහුගේ දේශපාලන දිවියේ දකුණත් සගයා වූ අර්නස්ට් රෝම් හා ඔහුගේ එස් ඒ බලකායේ ප්‍රධානීන් ඉන් සති කිහිපයකට පසු හිට්ලර්ගේ අණ පරිදි ඝාතනයට ලක් වුණා. එම නිසාම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ නැහැ.

කෙසේ වුවත් ලෙනී රීෆන්ෂ්ටාල්ගේ සිනමා හැකියාව ගැන මනා වැටහීමක් සහිත හිට්ලර් සහ ගොබෙල්ස් දෙපළ 1934 නියුරම්බර්ග් නට්සි රැළිය ඇසුරින් තවත් ප්‍රචාරකවාදී චිත්‍රපටයක් තැනීම ඇයට භාර දුන්නා. නවමු සිනමා උපක්‍රම නිසා ලෝක ප්‍රකට වූ The Triumph of Will තමයි ඒ චිත්‍රපටය. හිට්ලර් වළාකුළු අතරින් දෙවියන් මෙන් අහස්යානයක් මඟින් නියුරම්බර්ග් නුවරට සම්ප්‍රාප්ත වන අයුරු, අති විශාල භට පිරිසක් සහභාගි වූ ආචාර පෙළපාලි ආදිය ඇසුරින් නට්සි පක්ෂයේ හා හිට්ලර්ගේ ප්‍රතිරූප පිම්බීමට එම චිත්‍රපටය සමත් වුණා.

පසු කලක ජෝජ් ලූකස් මෙම චිත්‍රපටයේ ඇතැම් ජවනිකා සිය ස්ටාර් වෝස් චිත්‍රපටය සඳහා යොදා ගත්තා. එපමනක් නොව මෑතකදි තිරගතවූ Star Wars : The Force Awakens චිත්‍රපටයේදී ද රීෆන්ෂ්ටාල්ගේ චිත්‍රපටියේ බලපෑම දක්නට ලැබෙනවා.

ට්‍රයම්ෆ් ඔෆ් විල් චිත්‍රපටයේ ජවනිකාවක් (Youtube)
ඉහත චිත්‍රපටයෙන් ආභාෂය ගත් ස්ටා වෝස් චිත්‍රපටයේ ජවනිකාවක් (Youtube)
ට්‍රයම්ෆ් ඔෆ් විල් චිත්‍රපටයේ ජවනිකාවක් (Entertainment Magazine)

1936 දී බර්ලිනයේ ඔලිම්පික් උළෙල පැවැත්වුනා. විවාදාත්මක අවස්ථා බහුල වූ ඒ ඔලිම්පික් උළෙල ඇසුරින් වාර්තා චිත්‍රපටයක් කරන ලෙස ලෙනී හට ආරාධනා ලැබුනේ හිට්ලර් හා ජෝසෆ් ගොබෙල්ස් දෙපළගෙන්. එහි ප්‍රතිඵලය වූයේ ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩා චිත්‍රපටයක් ලෙස ගැනෙන, කොටස් දෙකකින් යුත්, 1938 දී තිරගත වූ Olympia චිත්‍රපටය. එවක තිබූ තාක්ෂණය  අනුව චලන චිත්‍රවලට සංගීතය මුසු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ චිත්‍රපටය තුළ ක්‍රීඩකයන්ගේ චලන සමඟ සංගීතය මනාව මුසු කිරීමට ලෙනී සමත් වුණා.

එමෙන්ම ක්‍රීඩා ඉසවු විවිධ කෝණවලින් කැමරා කිහිපයක් මඟින් රූගත කිරීම, ඉතා කලාත්මක ලෙස විවිධ තරඟ ඉසවු දැක්වීම, මන්දගාමී චලන, ට්‍රැක් ඩොලි හා කැමරා කිහිපයක් උපයෝගි කරගෙන ධාවන තරඟ රූගත කිරීම ආදී විවිධ සිනමා උපක්‍රම මෙහිදී ඇය භාවිතා කළා. අද දක්වාම රූපමය ක්‍රීඩා වාර්තාකරණයේදී ලෙනී රීෆන්ෂ්ටාල්ගේ මෙම විවිධ කැමරා උපක්‍රම ආභාෂයට ගන්නා බව විචාරක මතයයි.

ඔලිම්පියා චිත්‍රපටයේ ඇමරිකානු ජෙසී ඔවන්ස් දක්වන ජවනිකාවක් (A March Throuhgh Fim History blog)

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ලෙනී රීෆන්ෂ්ටාල් යුද්ධ පුවත් වාර්තාකාරිනියක් ලෙසද සේවය කළා. මේ කාලයේදී ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා ඒ අසල සංකේන්ද්‍රණ කඳවුරක රඳවා තිබූ රෝමා නොහොත් අභිගුණ්ඨිකයන් කිසිදු මුදලක් නොගෙවා යොදා ගැනීම ගැන යුද්ධයෙන් පසුවද ඇයට එරෙහිව නඩු පැවරුනා.

යුද්ධයෙන් පසු දිවිය

ලෙනී රීෆන්ෂ්ටාල් යුද්ධය අවසානයේදී ඇමරිකානු හමුදා අත්අඩංගුවට පත්වුණත් පසුව ඇය මුදා හැරුනා. එසේ වුවත් හිට්ලර් සමඟ තිබූ සමීප සබඳතාව නිසා ඇයගේ චිත්‍රපටවලට මුදල් යොදවන්නට කිසිම ආයෝජකයෙක් කැමති වූයේ නැහැ. හිට්ලර් තම දිවියට ඇතුළු වීම ගැන තමා බලවත් සන්තාපයට පත් වන බවත් නට්සීන් විසින් සංකේන්ද්‍රණ කඳවුරු තුළ මිනිසුන් මරා දැමූ බව තමන් නොදැන සිටි බව ඇය දිගින් දිගටම පැවසුවා.

පසුකාලයේ ඇය අප්‍රිකාවේ නුබා ගෝත්‍රිකයන් අතරම ජීවත් වී ඔවුන් පිළිබඳව ඡායාරූප පොතක් පළකළා. එය ඉතා ප්‍රශංසාවට ලක්වූවක්. දිය යට පිහිනීමට හා ඡායාරූප ගැනීමට ප්‍රියතාවයක් දැක්වූ ඇය එවැනි දිය යට ඡායාරූප සහිත පොතක් මෙන්ම තම සියවැනි උපන්දිනය දවසේ Underwater Impressions නම් වාර්තාමය චිත්‍රපටයක්ද නිකුත් කළා. කෙසේ වුවත් දෙවැනි ලෝක යුද්ධයෙන් පෙර ඇය දැක්වූ දක්ෂතාවයට සම කරන්නට හැකිවූයේ නැහැ.

වර්ෂ 2003 දී කලක් පිළිකාවෙන් පීඩා විඳි ලෙනී රීෆන්ෂ්ටාල් සඳහටම නෙත් පියාගත්තා.

කවරයේ රූපය : youtube.com

මූලාශ්‍ර :

Britannica.com

www.albany.edu

Related Articles