Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සපත්තු පෙට්ටියක සැඟවූ පාපන්දු ලෝක කුසලානය​

පාපන්දු ලෝක කුසලානය සම්බන්ධ රසවත් කතා අතර පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ විට ලැබුණ කුසලානය පිළිබඳව ද ඇති කතා එමට යි​. විශේෂයෙන්ම 1930 සිට 1970 දක්වා කාලය තුළ ප්‍රදානය කෙරුණ ජූල්ස් රිමේ කුසලානය පිළිබඳ ඉතිහාසය වෙනමම මාතෘකාවක්.

වරක් ආරක්ෂාව පිණිස සපත්තු පෙට්ටියක පවා සඟවන ලද එය දෙවතාවක් අතුරුදහන් වුණා​. පළමු වතාවේ එය සොයාගන්නා ලද්දේ බල්ලකු විසින්. මීළඟට එය අතුරුදන් වූ පසු අද වනතුරු එය කොහිදැයි හෝඩුවාවක් ලැබී නැහැ​.

ජූල්ස් රිමේ කුසලානය​

පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ප්‍රධාන දායකත්වය දරන ලද්දේ ලෝක පාපන්දු සම්මේලනයේ සහ ප්‍රංශ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ ජූල්ස් රිමේ ය​. ඒබල් ල​’ෆ්ලූර් නම් ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියාගේ නිර්මාණයක් වූ, මෙම තරඟාවලියේ කුසලානය මුලින් ලෝක කුසලානය ලෙස නම් කර තිබූ අතර​, පසුව ජූල්ස් රිමේ කුසලානය ලෙස නම් කෙරුණා​.

මෙම කුසලානය ප්‍රංශයේ නීස් නගරයෙන් 1930 ජූනි 21 වනදා නැව් නැග්ගේ උරුගුවේ රාජ්‍යය වෙත ගමන් කිරීමට යි​. ඒ පළමු ලෝක කුසලානය වෙනුවෙන්. කොන්ටෙ වර්ඩේ (Conte Verde) නෞකාවෙන් උරුගුවේ බලා ගිය ජූල්ස් රිමේ සහ තවත් නිලධාරීන් මෙන්ම ප්‍රංශ​, රුමේනියා, සහ බෙල්ජියම් කණ්ඩායම්වල ක්‍රීඩකයන් ද සමඟ කුසලානය ද උරුගුවේ වෙත ළඟා වුණා​. තරඟාවලිය උරුගුවේ රාජ්‍යය විසින් ජයගැනීම නිසා කුසලානය එරටෙහි නතර වුණා​.

ජූල්ස් රිමේ කුසලානය 1938 දී (FIFA Museum)

ලෝක කුසලානය 1934 දී පවත්වන ලද්දේ ඉතාලියේ​. ෆැසිස්ට්වාදී පාලක බෙනීටෝ මුසෝලිනී එම අවස්ථාව සිය පාලනය පිළිබඳ ප්‍රචාරණයට කදිම අවස්ථාවක් කරගත්තා​. ජූල්ස් රිමේ කුසලානය ඉතාලියට පැමිණියේ උරුගුවේ පිළ නොමැතිව යි​. 1930 තරඟාවලිය බොහෝ යුරෝපා රටවල් විසින් වර්ජනය කිරීම කෙරෙහි උරණ වූ උරුගුවේ රාජ්‍යය මෙම තරඟාවලිය වර්ජනය කළා​. කුසලානය සත්කාරක ඉතාලිය විසින් දිනාගනු ලැබුණා.

ඔස්ට්‍රියාව සහ මතායස් සින්ඩෙලාර්

1930 ගණන්වල ජර්මනියේ නායක ඇඩොල්ෆ් හිට්ලර්ට ජර්මන් ජාතිය ලොව උසස්ම ජාතිය යැයි ඔප්පු කිරීමේ ආශාවක් තිබුණා. එහෙයින් ඔහුට ලෝක කුසලානය සිය රට ජයගනු දකින්නට අවශ්‍ය වුණා. 1938 ලෝක කුසලානය පැවැත්වුණේ එම වසරේ ජුනි මස ප්‍රංශයේ දී. මාර්තු මාසයේ සිදු වූ සිද්ධියක් හේතුවෙන් ජර්මනියට ලෝක කුසලානය ලැබේය යන හිට්ලර්ගේ බලාපොරොත්තු ඉහළ ගියා.

එකල ලොව හොඳම පාපන්දු කණ්ඩායමක් වූයේ ඔස්ට්‍රියාව යි. ඔවුනට Wunderteam (ආශ්චර්යමත් කණ්ඩායම) ලෙස ද නමක් පටබැඳී තිබුණා. නමුත් 1938 මාර්තු 12 වනදා නට්සි ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳා ගනු ලැබුණා. මේ සමඟම හිට්ලර් කියා සිටියේ ඔස්ට්‍රියානුවන් ද ජර්මන් පිළට ඇතුලත් විය යුතු බව යි.

මතායස් සින්ඩෙලාර් (FourFourTwo)

සියලුම ඔස්ට්‍රියානු ක්‍රීඩකයන් මීට එකඟ වුණේ නැහැ. ඒ අතර ඔස්ට්‍රියාවේ හොඳම ක්‍රීඩකයකු වූ මතායස් සින්ඩෙලාර් ද වුණා. ඔහු වයස හා අයහපත් ශරීර සෞඛ්‍යය මත පදනම්ව ජර්මන් පිළට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ වෙද්දි ඔහුට වයස අවුරුදු 35ක් වුණා.

තරඟාවලියෙන් නැවතත් ජය ගත්තේ ඉතාලිය යි. ජර්මන් පිළ පළමු වටයෙන්ම ඉවතට විසි වුණේ හිට්ලර් ලජ්ජාවට පත් කරමින්.

1939 ජනවාරියෙ දී මතායස් සින්ඩෙලාර් සහ ඔහුගේ පෙම්වතිය වියානා නගරයේ ඔවුන් ජීවත් වූ නිවසේ මරණයට පත් වී සිටිය දී සොයාගනු ලැබුණා. ඔවුනගේ මරණයට හේතුව ලෙස ප්‍රකාශ වුණේ කාබන් මොනොක්සයිඩ් විෂ වීම යි. ඇතැමුන් විශ්වාස කරන්නේ ඔවුන් ඝාතනය කරන ලද බව යි.

සපත්තු පෙට්ටියේ සඟවන ලද කුසලානය​

මේ සමයේ යුරෝපය යුද්ධයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටියා. එකල ඉතාලි පාපන්දු ෆෙඩරේශනයේ සභාපති වූයේ ඔට්ටෝරිනෝ බරාසි යි. කුසලානය පිළිබඳ හිට්ලර් තුළ වූ උනන්දුව ගැන ඔහුට වූයේ සැකයක්. යම් හෙයකින් ජර්මන් හමුදා ඉතාලියට ඇතුළු වුවහොත් ඔවුන් කුසලානය ජර්මනියට රැගෙන යන්නට ඉඩ ඇතැයි සිතූ ඔහු එය තැන්පත් කර තිබූ, රෝමයේ වූ බැංකුවෙන් එය රැගෙන ගොස්, සපත්තු පෙට්ටියක බහා, සිය ඇඳ යට සඟවා තැබුවා.

ජර්මන් හමුදා ඇත්තෙන්ම ඉතාලියට ඇතුලු වූ අතර ඔවුන් රෝමයෙන් පසුබැස ගියේ 1944 දී. එතෙක් කුසලානය සඟවා තිබුණේ බරාසිගේ සයනය යට යි.

පික්ල්ස්

1966 ලෝක කුසලානය පවත්වන ලද්දේ එංගලන්තයේ දී යි. මෙම තරඟාවලිය ඇරඹීමට මාස හතරකට පමණ පෙර වෙස්ට්මින්ස්ටර්හි පැවති ප්‍රදර්ශනයක් අතරතුර එය සොරාගනු ලැබුණා. මේ පිළිබඳව 46 හැවිරිදි හිටපු හමුදා සෙබලකු අත් අඩංගුවට ගැනුණා. නමුත් ඔහු කියා සිටියේ සොරකම කළේ ඔහු නොවන බවත්, ඔහු අතරමැදියකු පමණක් බවත්. ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් නම් නියම සොරා කවරකුදැයි තවමත් හෙළි වී නැහැ.

පික්ල්ස් (Getty Images)

සොරකම සිදු වී සතියකට පසුව එම කුසලානය දකුණු ලන්ඩනයේ මාර්ගයක අයිනේ තිබී සොයාගන්නා ලද්දේ පික්ල්ස් නම් බල්ලකු විසින්. මේ සමඟම පික්ල්ස් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. කෙසේ වෙතත්, එංගලන්ත පාපන්දු සංගමය විසින් ඒ වන විට කුසලානයේ අනුරුවක් තැනවීමට පියවර ගෙන තිබුණා. යම් හෙයකින් සත්‍ය කුසලානය සොයා නොගනු ඇතැයි යන සැකය මතයි එය සිදු කරනු ලැබුණේ. එම අනුරුව තැනුවේ ආභරණ තනන්නකු වූ ජෝර්ජ් බර්ඩ් විසින්.

අවසන් සොරකම​

තුන්වන වතාවට ලෝක කුසලානය දිනාගත් බ්‍රසීලයට 1970 දී ජූල්ස් රිමේ කුසලානය ස්ථිරවම තබා ගැනීමට අවස්ථාව හිමි වුණා. එයින් පසු නව කුසලානයක් හඳුන්වා දෙන ලද අතර අදටත් භාවිතා වන්නේ 1974 දී හඳුන්වා දුන් එම කුසලානය යි.

එය රියෝ ද ජනේරෝ නගරයේ පිහිටි බ්‍රසීල පාපන්දු සංගමයේ මූලස්ථානයේ තැන්පත් කරන ලද්දේ විශේෂ කැබිනෙට්ටුවක යි. එහි ආරක්ෂාව පිණිස කැබිනෙට්ටුවට වෙඩි නොවදින වීදුරු යොදා තිබුණා. නමුත් එහි පිටුපස තනා තිබුණේ දැවයෙන්. 1983 දෙසැම්බර් 19 වන දා යම් කිසි පුද්ගලයකු හෝ පිරිසක් හෝ මෙම පිටුපස කොටස ගලවා කුසලානය රැගෙන ගොස් තිබුණා.

එවකට 17 හැවිරිදි ක්‍රීඩකයකු වූ පේලේ 1958 දී ජූල්ස් රිමේ කුසලානය සමඟ (Getty Images)

මෙම කුසලානයට සිදු වූවක් මේ වනතුරු හෙළි වී නැහැ. එය රත්‍රන් සඳහා දිය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන නමුත් තවත් විශ්වාසයක් වන්නේ සිහිවටන එකතු කරන යම් පුද්ගලයකු එය සොරකම් කරවන්නට හෝ සොරකම් කළ අයගෙන් මිලට ගන්නට හෝ ඇති බව යි.

කුසලානය වෙන්දේසියේ?

1997 වසරේ දී සොදබි වෙන්දේසි ආයතනය විසින් ලෝක කුසලානයෙහි අනුරුව වෙන්දේසියට තබනු ලැබුණා. මෙය වෙන්දේසියට ඉදිරිපත් කළේ ජෝර්ජ් බර්ඩ්ගේ උරුමකරුවන් විසින්.

කෙසේ වෙතත් 1966 දී නියම කුසලානය සහ අනුරුව හුවමාරු වූ බවට වූ සැකයක් මත මෙම අනුරුව මිල දී ගැනීම සඳහා බලාපොරොත්තු නොවූ ආකාරයේ තරඟයක් ඇති වුණා. ඒ ලෝක පාපන්දු ෆෙඩරේශනය සහ බ්‍රසීල පාපන්දු සංගමය අතර යි. අවසානයේ දී ලෝක පාපන්දු ෆෙඩරේශනය එය මිලට ගත්තේ ස්ටර්ලිං පවුම් 254,000කට යි.

කෙසේ වෙතත් එම කුසලානය අනුරුව බව හෙළි වූ අතර ඒ අනුව එම වියදම නිශ්ඵල එකක් බව පැහැදිලි වුණා. තව ද නියම කුසලානය බ්‍රසීලයේ දී සොරාගත් අතුරුදහන් වූ කුසලානය බව තහවුරු වුණා.

පළමු පාදම​

කෙසේ නමුත් ල​’ෆ්ලූර් විසින් නිර්මාණය කළ පළමු කුසලානයේ එක් කොටසක් තවමත් ඉතිරිව පවතිනවා. එය කුසලානයේ පාදම යි. එය සොයා ගැනීමත් අපූරු කතා පුවතක්.

1954 ලෝක කුසලාන අවසන් තරඟයට පෙර බටහිර ජර්මන් නායක ෆ්‍රිට්ස් වෝල්තර් සහ ජූල්ස් රිමේ. මෙය රිමේගේ මරණයට පෙර වූ අවසන් ලෝක කුසලානය වුණා (Getty Images)

1954 දී බටහිර ජර්මනිය ලෝක කුසලානය දිනාගත්තා. මේ අතර ජර්මනියේ හනාවු නගරයේ දී ලෝක කුසලාන අනුරුවක් සෑදූ බවට කතාවක් පැතිර ගියා. 1958 දී ජූල්ස් රිමේ කුසලානය සත්කාරක ස්වීඩනයට රැගෙන එන විට එහි මුල් උස වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබුණා. මේ අනුව ජර්මානුන් මුල් කුසලානය සොරකම් කර වෙනත් එකක් ඒ වෙනුවෙන් ස්වීඩනය වෙත ගෙන ආ බවට සැකයක් මතු වුණා.

නමුත් සිදු ව තිබුණේ අනෙකක්. මුලින් ම ල​’ෆ්ලූර් විසින් නිර්මාණය කළ කුසලානයේ පාදමෙහි වූයේ පැති හතරක් පමණයි. ඒවායේ පළමු ලෝක කුසලාන හතර දිනූ රටවල නම් කොටා තිබුණා. (1930 – උරුගුවේ, 1934 – ඉතාලිය​, 1938 – ඉතාලිය, 1950 – උරුගුවේ). නමුත් බටහිර ජර්මනියේ නම ඇතුළු කිරීමට ක්‍රමයක් තිබුණේ නැහැ. එහෙයින් ඔවුන් එම පාදම වෙනුවට පැති අටක අළුත් පාදමක් සවි කළා.

මුල් පාදම සහිත ජූල්ස් රිමේ කුසලාන අනුරුව ප්‍රදර්ශනයේ තබා ඇති අයුරු (FIFA Museum)

2013 දී ලෝක පාපන්දු ෆෙඩරේශනය කෞතුකාගාරයක් ඉදි කිරීමට තීරණය කළ විට මෙම පාදමට සිදු වූ දේ සොයන්නට ඔවුන් කටයුතු කළා. එවිට ඔවුනට දැන ගන්නට ලැබුණේ කාටත් අමතක වූ එම පාදම ඔවුනගේම කාර්යාලයේ තිබෙන බවයි. ඒ අනුව FIFA කෞතුකාගාරයේ ඇති ජූල්ස් රිමේ කුසලාන අනුරුවට මුල් පාදම සවි කරනු ලැබුණා.

මූලාශ්‍ර​

1. 30 For 30 Soccer Stories – Mysteries Of The Rimet Trophy (ESPN)

2. World Cup ’98: A Complete Championship Guide by Glen Phillips and Tim Oldham

3. Lost and found: FIFA’s masterpiece (FIFA Museum)

Cover Image: 1930 අවසන් තරඟයෙන් පසුව FIFA සභාපති ජූල්ස් රිමේ, උරුගුවේ පාපන්දු සංගම් සභාපති පෝල් ජූඩ් වෙත පාපන්දු ලෝක කුසලානය ප්‍රදානය කරයි (Getty Images)

Related Articles