Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිරු නොබසින අධිරාජ්‍යයේ නව උරුමක්කරු – ලුවිස් ආතර්

බ්‍රිතාන්‍ය රජ කිරුළේ උරුමය මෙතෙක් හිමි වී තිබුණේ පිළිවෙලින් චාල්ස් කුමරු, විලියම් කුමරු, ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ හැරී කුමරුටයි. නමුත් දැන් චාලට් කුමරිය සහ හැරී කුමරා අතරට තවත් උරුමක්කාරයෙක් පැමිණ සිටිනවා. ඒ, විලියම් කුමරුගේ බිරිඳ වන කේට් ආදිපාදිවරිය උපත ලබා දුන් පුංචි කුමාරයා. ඔහු නමින් ලුවිස් ආතර් චාල්ස්. ලුවිස් කුමරු උපත ලැබුවේ 2018 වර්ෂයේ අප්‍රේල් මාසේ 23 වැනිදා.

විලියම් සහ හැරී කුමාරවරුන් මෙන්ම ලුවිස් කුමරුගේ අයියා සහ අක්කා වන ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරියත් උපත ලැබූ ශාන්ත මේරි රෝහලේ දීම තමයි ලුවිස් කුමාරයාත් උපත ලබා ඇත්තේ. මෙය ඇත්තේ ලන්ඩනයේ පැඩිංටන් ප්‍රදේශයේයි.

ලුවිස් ආතර් කුමරුගේ ඡායාරූප

තම දරුවන්ගේ ස්වභාවික හැසිරීම් හරිම තාත්ත්වික විදිහට ඡායාරූප ගත කරන මවක් විදිහටයි කේට් මිඩ්ල්ටන්, නැත්නම් කේම්බ්‍රිජ් හි ආදිපදිවරිය ප්‍රසිද්ධ වන්නේ. ස්වභාවික ආකාරයට කුමර කුමරියන්ගේ හුරතලය කැමරා කාචයේ සටහන් කිරීමට ඇය දක්ෂයි.

harpersbazaar.com

කේම්බ්‍රිජ් හි ආදිපාදිවරිය රාජකීය පවුලේ අලුත්ම අමුත්තාගේ පළමු නිළ ඡායාරූපය ද අන්තර්ජාලයට එක් කළේ කුමාරයාගේ උපතෙන් හරියටම දින 3 කට පස්සේ. එනම් 2018 අප්‍රේල් මාසේ 26 වන දා යි. සුදු පැහැයෙන් ගෙත්තම් කළ ළදරු ඇඳුමක් ඒ පින්තුරයේ ඉන්න කුමාරයාට අන්දවා තිබෙනවා. මාරුවෙන් මාරුවට තම අක්කාගේ සහ අයියාගේ උණුසුමට ගුලි වී සිටින පුංචි ලුවිස් කුමරු විලියම් කුමාරයාගේ හැඩ හුරුකම් ගන්නා බවයි ඒ පින්තුර දුටු බොහෝ දෙනාගේ මතය. එකට ගුලි වුණු පුංචි ඇඟිලි විලියම් කුමාරයාගේ පුංචි කාලය මතක් කරන බවත් බොහෝ අය පවසනවා. විලියම් කුමාරයාගේ පුංචි කාලයේ පින්තුරයක් මේ පින්තුරය සමඟ සංසන්ධනය කරමින් අදහස් දක්වන්නත් බොහෝ දෙනා පෙළඹී ඇති බවයි පෙනෙන්නේ.

රාජකීය නම

අලුතෙන්ම රජ පවුලට එක් වුණු කුමාරයාට නම් තැබුණේ ලුවිස් ආතර් චාල්ස් ලෙසිනුයි. පියා වන විලියම් කුමාරයාගේ සහ සීයා වන චාල්ස් කුමාරයාගේ නම්වල මෙන්ම එලිසබෙත් මහ රැජිනගේ පියා වන හතර වන ජෝර්ජ් රජුගේ නමේ ද එන “ආතර්” යන නාමය යි මෙහි දී මොහුගේ නමට යොදාගෙන ඇත්තේ.

කේට් සහ විලියම් තමන්ගේ දරුවන් තිදෙනාටම යොදාගෙන ඇත්තේ සාම්ප්‍රදායික රාජකීය නාමයන්. කෙසේ වුවත් තුන් වන දරුවා ඉපදෙන්නටත් පෙර සිටම අනාවැකි පළ වුණේ තුන් වන දරුවාටත් එවැනිම නමක් තබනු ඇතැයි කියායි. ඇල්බට්, පිලිප්, ආතර්, ජේම්ස්, හෙන්රි වැනි නමක් දමනු ඇතැයි බලාපොරොත්තුවෙන් සමහරුන් ඔට්ටු ඇල්ලීම් ද කර තිබුණු බවයි ආරංචි මාර්ග පවසන්නේ.

රජ කිරුළේ උරුමය

thesouthafrican.com

රජ කිරුළේ මුල් උරුමය පැවරෙන්නේ චාල්ස් කුමාරයාට යි. ඉන් පසු පිළිවෙලින් විලියම් කුමාරයාටත්, ඔහුගේ පුත් ජෝර්ජ් කුමාරයා, දියණිය චාලට් කුමරිය සහ ඉන් පසුව යි හැරී කුමරුට උරුමව තිබුනේ. නමුත් නව කුමර උපතත් සමඟ හැරී කුමරු සය වන ස්ථානයට යන අතර අලුත උපන් ලුවිස් කුමරු පස් වන උරුමක්කරුගේ තැනට පැමිණ තිබෙනවා.

රජ පවුලේ කුමාරයන්ට හා සමාන තැනක් කුමාරියන්ටත් ලැබෙන නිසයි චාලට් කුමරියත් රජ කිරුළේ සිව් වන උරුමක්කාරිය බවට පත්ව තිබෙන්නේ.

ලුවිස් කුමරුගේ දෙව් මව්පියෝ

ලුවිස් කුමරුගේ දෙව් මව්පියෝ කව්රුන් වෙයි ද යන්න පිළිබඳ බොහෝ මතවාද ද පවතිනවා. පුංචි ආතර් බෞතීස්ම කරන දවසට යි දෙව් මව්පියන් පත් කරන්නේ. ජෝර්ජ් කුමාරයාගේ දෙව් මව්පියන් බවට පත් වුණේ විලියම් කුමාරයාගේ ඥාති සොයුරියක්, හොඳම මිතුරෙක්, ඩයනා කුමරියගේ සමීප ඥාතියෙක් ඇතුළු හතර දෙනෙක්.

පුංචි චාලට් ගේ දෙව් මව්පියෝ බවට පත් වුණේ කේට්ගේ පාසල් කාලයේ මිතුරියන් ඇතුළුව පස් දෙනෙක්.

පුංචි ලුවිස් කුමාරයාගේ දෙව් මව්පියන් ලෙසින් කව්රුන් පත් වෙයි ද යන්න තවමත් ගැටලුවක්. ඒ කෙසේ වෙතත් හැරී කුමාරයා සහ ඔහුගේ බිරිඳ වන මේගන් ආදිපාදිවරිය නම් ඔහුගේ දෙව් මව්පියෝ ලෙසින් පත් නොවනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය. කෙන්සිස්ටන් මාළිගයේ ජිවත් වන හැරී තම ඥාති පුතා සහ දියණිය බලන්නවත් නිතර පැමිණ නොමැති වීම යි එයට හේතුව. ඒ නිසා කුමරුට වඩාත් සමීප අයම දෙව් මව්පියෝ ලෙස තෝරා ගනී කියල යි බොහෝ දෙනා පවසන්නේ.

අලුත් අමුත්තා දැක ගැනීමට මහ පාරේ  

රජ පවුලට එක් වුණු අලුත් කුමාරයා දැක ගැනීමට දහස් ගණන් මිනිසුන් ශාන්ත මේරි රෝහල අවට රැස්ව සිටි බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. ඒ ඔහු ඉපදෙන්නට දවස් ගණනකටත් කලින් සිටයි. එයට හේතුව කුමාරයා හොඳින්ම දැක බලා ගැනීමට ඉදිරිපසින්ම හොඳම තැනක් අල්ලා ගැනීමටයි. මේ අතර John Loughrey නම් වයස අවුරුදු 60 ක් පමණ වන පුද්ගලයෙකු කැපී පෙනුණා. ඔහු රෝහල ඉදිරිපිට කුඩාරම් ගසාගෙන හිඳ ඇත්තේ උපතට දින 15 කට පමණ පෙර සිටයි.

සැමරුම් සිහිවටන

පුංචි ලුවිස්ගේ උපතෙන් පස්සේ ඔහුට නමක් තියන්නත් කලින්ම සැමරුම් සිහිවටන නිපදවලා. ඒ නිළ රාජකීය සිහිවටන කට්ටල විකිණිලත් අවසන් වෙලා. පුංචි සිංහ පැටියෙකුගේ සහ කඟවේනෙකුගේ රූපෙන් යුතු මේ සිහිවටනයේ “Welcome to Our New Royal baby” ලෙසින් ද මුද්‍රණය වී තිබුණු බවයි සඳහන් වන්නේ.

චාලට්ගේ ඇඳුම

prettygirls.com

ලුවිස් ඉපදුණාට පස්සේ ඔහුගේ අක්කා චාලට් මුලින්ම තම මල්ලි බලන්න ඇඳගෙන ගිය ඇඳුම අන්තර්ජාලය හරහා විකුනුණේ නිමේශයෙන්. මේ ඇඳුම පවුම් 40 ත් 45 ත් අතර මිලකටයි විකිණී තිබුණේ. මේ නිල් පැහැ කොට ගවුම නිර්මාණය කර තිබුණේ කේට් ආදිපාදිවරියගේ පාසල් කාලයේ මිතුරියක් බවයි පැවසෙන්නේ.

කවරයේ රූපය  : popsugar.com.au

මුලාශ්‍ර

owutranscript.com
latimes.com

Related Articles